ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය
Posted on May 19th, 2015

නලින් ද සිල්වා

මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවට අද ඉතිරි වී ඇත්තේ පළිගැනීම් පමණ ය. ඔවුන්ට ජනතාව ඉදිරියට ගොස් කීමට ඇත්තේ අප අහවල් අහවල් අය අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හෝ අලුතෙන් පිහිටුවන ලද ඊනියා මූල්‍ය අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයේ හෝ විමර්ශන හෝ පරික්‍ෂණ හෝ කරන බව පමණ ය. එමෙන් ම ආණ්ඩුව කියනු ඇත්තේ ඒ අත්අඩංගුවට ගැනීම් ආණ්ඩුවේ මැදිහත්වීම්වලින් තොරව කෙරෙන බවත් ය. ඒ කතාව කි දෙනකු පිළිගන්නේ ද යන්න වෙනම ම කතාවකි. එහෙත් ගෝඨාභය හා දියවඩන නිළමේ පරීක්‍ෂණවල දී ඔය මොකක්දෝ කොට්ඨාශය හොට පටළවා ගත් බව නම් පැහැදිලි ය. 

මේ අත්අඩංගුවට ගැනීම් පරික්‍ෂණ විමර්ශන ආදිය සිංහල බෞද්ධ සංස්කෘතියෙහි කීර්ති නාමයට කැළැලක් කිරීමට සිදුකරන දේ යැයි අපි නිර්භයව කියමු. මේ සියල්ල පිටුපස ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීමේ දේශපාලනය ය. අද අත්අඩංගුවට ගැනෙන්නේ කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ දී මහින්ද රාජපක්‍ෂට සහාය දුන් හා තවමත් මහින්දට පක්‍ෂපාති අය ය. හාමුදුරුවන් උසාවි ගෙන්වන ආණ්ඩුව විග්නේස්වරන්ට උසාවි තහනම් නියෝග කැඩීමට උපකාර කරයි. මහින්ද රාජපක්‍ෂ යනු සර්වසම්පූර්ණ පුද්ගලයෙකු නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. එහෙත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නේ ඔහු ය. ඔහු එසේ කළේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අවශ්‍යතාවයට ය. සිංහල බෞද්ධ සංස්කෘතියට සිංහල බෞද්ධයන් යැයි කියාගන්නා සියළු අය අයත් නො වෙති. එමෙන්ම ආගමෙන් බෞද්ධ නොවන විශාල පිරිසක් සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වෙති. 

උදාහරණයක් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග හා ඇතැම් වාමාංශිකයෝ සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් නො වෙති. සිංහල ජාතික ආධිපත්‍යයක් ගැන කතාකරන චන්ද්‍රිකා සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වන්නේ කෙසේ ද? හසලක වීරයාගේ පිළිමය ඉවත් කළ යුතු යැයි කියන දඹර අමිල හිමි සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වන්නේ කෙසේ ද? මහින්ද රාජපක්‍ෂගේ රෙදි ගලවා ගෙදර යැවීමට කතා කළ, රනිල් බලයට පත්කිරීමට කටයුතු කළ, බල ලෝභි චම්පක රණවකලා සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් නො වෙති. අනෙක් අතට සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් ක්‍රිස්තියානි කතෝලික බැතිමත්තු වෙති. සිංහල බෞද්ධ සංස්කෘතියට අයත්වීමට සිංහලයකු වීම හෝ බෞද්ධයකු වීම හෝ අනිවාර්ය වන්නේවත් ප්‍රමාණවත් වන්නේවත් නො වේ. 

ඉංගිරිසින් සිංහලයන්ට, සිංහල බෞද්ධ සංස්කෘතියට, සිංහල ඉතිහාසයට එරෙහිව දෙමළ ජාතිවාදය යොදාගන්නේ 1833 සිට ය. අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ අපි ඒ බව කීවෙමු. එදා සන්ඩේ ඔබිසර්වර් පුවත්පතෙන් සිළුමිණෙන් අපට විරුද්ධ ව ලියු අනුරුද්ධ තිලකසිරිලා  අද සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් කතා කරති, ලියති. එහි ප්‍රශ්නයක් නැත. එහෙත් ප්‍රශ්නය වනුයේ ඔවුන්ගෙන් අවසාන වශයෙන් ගත්කල සිංහල බෞද්ධ සංස්කෘතියට යහපතක් වේ ද යන්න ය. අද ඔවුහු ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ජාතික ඇඳුම ගලවා ඔවුන්ට ටයි කෝට් ඇන්දවීමට කතා කරති. 

ශ්‍රී ල නි පක්‍ෂය එ ජා පක්‍ෂයෙන් වෙනස් වන්නේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයේ දී ය. ජාතිකත්වය මත පදනම් වූ ශ්‍රී ල නි පක්‍ෂය සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කිරීමට, පෝෂණය කිරීමට බැඳී ඇත. එ ජා පක්‍ෂය බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ පක්‍ෂය වෙයි. එ ජා ප නායකයන්ගේ ඇඳුමෙන් පැළඳුමෙන් ද කතා බහෙන් ද ඇවතුම් පැවතුම්වලින් ද ඒ බව විද්‍යමාන වෙයි. 

අද ඇත්තේ පික්පොකට් ආණ්ඩුවකි. එය බටහිරයන් වෙනුවෙන් පෙනී සිටියි. එය මෙහෙයවනු ලබන්නේ කෙරීලා හා කැමරන්ලා විසිනි. එහි දී ඔවුනට මෝදිලාගේ සහාය ද ලැබෙයි.  එහෙත් මේ ආණ්ඩුව පවත්වා ගෙන යන්නේ මෛත්‍රිපාල ය. ශ්‍රී ල නි පක්‍ෂයෙන් ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරුන්ට මෙන් ම අනෙක් ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට ද ඔහු බලපෑම් කරයි. ඔහු නොවන්නට මේ ආණ්ඩුවට එක් දිනයකවත් පැවැත්මක් නැත. ශ්‍රී ල නි පක්‍ෂය වහාම මෛත්‍රිපාල පක්‍ෂ සභාපතිත්වයෙන් පන්නා දැමිය යුතු ය. පක්‍ෂ ව්‍යවස්ථාව අනුව එසේ කළ නොහැකි නම් මෛත්‍රිපාලට චම්පක හා වෙල් විදානේ (මෙය වෙල් විදානේලාට කරන අගෞරවයක් නො වේ) සමග එකතු වීමට ඉඩ හැර මහින්දගේ නායකත්වයෙන් වෙනත් පක්‍ෂයක් පිහිටුවා ගත යුතු ය. එය සිංහල බෞද්ධ සංස්කෘතියේ පක්‍ෂය විය යුතු ය.

නලින් ද සිල්වා

2015 මැයි 19 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress