අන්තර්ජාලීය පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරමු.
Posted on September 7th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

(පැරණි ලිපියක් යලි ඉදිරිපත් කරන්නේ, ඒ අවශඅයතාවය තදින්ම දැනෙන බැවණි)
Posted on January 22nd, 2011

අපි කාලාන්තරයක් මුළුල්ලේ විශාල අරගලයක් නිරතවූවෝ වෙමු. ඒ අරගලය ජයග්‍රහහීව නිමව, මේ වනවිට අවුරුද්දකුත් මාස හයක කාලයක් ගතවී ඇත. මේ වනවිට ජයග්‍රහණය උදෙසා යුද්ධය මෙහෙය වූ නායකයා රටේ පාලන බලය මෙහෙයවමින් සිටියි. නමුත් ස්වභාවයේ ධර්මතාවන්ට අනුකූලව, සෑම ක්‍රියාවකටම ඊට සමාන වූද ප්‍රතිවිරුද්ධ දිසාවට ක්‍රියාකරන්නාවූද ප්‍රතික්‍රියාවක් තිබේ. ඒ අනුව මේ පවතින රජයටද, එම ධර්මතාවයන් බලපාන බැවින්, එම ප්‍රතිවිරුද්ධ ප්‍රති ක්‍රියාවන් හදුනා ගෙන පිහිටුවා ගත් මේ රජය, මෙරට දේශප්‍රේමීන්ගේ අභිලාෂයන් ඉටුවෙන ආකාරයට මෙහෙයවීම, මුළු ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකීය දේශප්‍රේමීන් සතු භාරදූර කර්තව්‍යයක් බවට පත්ව තිබේ.

අඛණ්ඩව වසර 30ක දේශප්‍රේමී අරගලය හා බද්ධව මුළු මහත් ලෝකය පුරා විසිරී පැතිරී විවිධ තල වලින් මෙම සටනට දායක වූ ලක්මෑණියන්ගේ ආදරණීය දූ දරුවන් වන අපට, මේ වනවිට විශාල වගකීමක් අපගේ මාතෘභූමිය අපහැමට පවරා ඇත. ඒ දිනාගත් නිදහස රැකගැනීමේ වගකීමයි. මෙම වගකීම ඉටුකිරීමට මේ ලෝකය පුරා විසිරී මෙතෙක් කල් දේශප්‍රේමී අරගලයට දායකවූ සියළුම, උගත් බුද්ධිමත් දේශප්‍රේමීන්ගේ මධ්‍යස්ථානයක් ගොඩනැංවිය යුතුය. මෙම මධ්‍යස්ථානය පුළුල් ලෙස මෙරට පවතින නිදන්ගත ගැටළුද, ක්ෂණිකවද හටගන්නා ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කොට, මෙරට දේශප්‍රේමී උගතුන්ගේ හා බුද්ධිමතුන් ඒ ඒ ප්‍රශ්නයන්ට ඉදිරිපත් කරන, විසඳුම් රජයට හා ජනතාවට ඉදිරිපත් කල යුතුය.

මෙම කාර්ය කිරීමේදී ජාතික තලයේ සිටින දේශප්‍රේමී උගතුන් හා බුද්ධිමතුන් හා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකීය දේශප්‍රේමී උගතුන්ට හා බුද්ධිමතුන්ට, ඒ ඒ ගැටළුව සාකච්ඡා කරණ මධ්‍යස්ථානයක් ගොඩනැංවීමට සිඳුවෙන අතර, එය කල හැකි එකම මාධ්‍ය අන්තර් ජාලයයි. මෙය මෙරට ප්‍රශ්න හා ගැටළු වලට විසදුම් ඉදිරිපත් කරණ මෙරට ඉහලම දේශප්‍රේමී උගතුන් හා බුද්ධිමතුන්ගෙන් සමන්විත ආයතනයක් බැවින් මෙය
ශ්‍රී ලංකාවේ අන්තර්ජාලීය පාර්ලිමේන්තුව වශයෙන් නම් කර ගොඩනැංවීමට කටයුතු කරණ මෙන් යොජනා කරමි.

ශ්‍රී ලංකාව තුල, වචනයේ පරිසමාප්ථයෙන්, ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයින් පත්කරගන්නා පාර්ලිමේන්තුවක් ස්ථාපිතව පවතී. වර්තමානයේදී අප සමාජය පාර්ලිමේන්තුවෙන් සියල්ල යදින සමාජයක් බවට පත් කරන ලද්දේ මෙරට දේශපාලඥයින් විසිනි. මෙම පරිවර්තනය සඳහා වසර 62ක කාලයක් ගතවී ඇති අතර, මෙම ස්ථාපිත පාර්ලිමේන්තුව විසින් මෙම රට අර්බූද ගනනාවකින් යුත් මහා අගාධයකට තල්ලු කිරීම අඛණ්ඩව සිඳු කරගෙන ආ කාර්යභාරයකි. අප එසේ කියන විට මෙම පාර්ලිමේන්තුව මගින් මේ රටේ සංවර්ධනය උදෙසා කිසිඳු කාර්යභාරයක් සිදුකර නැතැයි යන්නක් ගම්‍යවේ. නමුත් සැබෑව එය නොව, මෙම පාර්ලිමේන්තුව විසින් මේ රට විද්‍යාත්මක සැලසුමකට අනුව සංවර්ධන ඉලක්කයන් කරා මෙහෙයවීම සිඳු නොකල බවයි. මෙම රට විදේශීය කොල්ලකරුවන්ගේ දේශපාලන පරීක්ෂණාගාරයක්ව පවත්වා ගෙන ආ රාජ්‍යයක් වන අතර, විවිධ ආකාරයේ අධිරාජ්‍යවාදී පරීක්ෂණයන් ගනනාවක් මේ ජන සමාජය හා සත්ව ශාක ප්‍රජාව අතරද සිඳු කරන හා සිඳු කරමින් යන පරීක්ෂණ තෝතැන්නක් බවට පත්ව ඇත. පාර්ලිමේනතුවට පත්වෙන හා ඉවත්ව යන මන්ත්‍රීන් ඇමතිවරුන්, අගමැතිවරුන් ගනනාවක් මෙම පාර්ලිමේන්තු ද්වාරය අතරින් එහා මෙහා ගියද එසේ ගිය අයගෙන් ඉතා අල්පයක් පමණක් සැබෑ විසඳුම් හඳුනාගෙන කටයුතු කලද, ඔවුනට සැබෑ විසඳුම ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන මහා බලවේගයක් මේ පවතින පාර්ලිමේන්තුවට පිටින් හිඳගෙන ක්‍රියාකාරීව සෑම සැලසුමක්ම ඉතා සියුම්ව විනාශ කොට දැමූහ.

මෙම විනාශකාරීන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා අකාලයේ මියගිය අතර, 1953දී, අගමැති ඩඩ්ලි සේනානායක මහතාව බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණයක්ද, 1959 දී අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාව ඝාතනය කිරීමද, 1962දී සිරිමා බණ්ඩාරායක මහත්මියගේ රජය පෙරලීමේ හමුදා කුමන්ත්‍රණයද, 1964දී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය අකාලයේ බිඳ දැමීම, 1966 ජනවාරි මස ඩඩ්ලි සේනානායක මහතාගේ රජයට එරෙහිව දියත් කර හරින ජනතා විරෝධතා අරගලයද, 1971 අප්‍රේල් අරගලයද, හරහා ප්‍රතිගාමීන් 1977 දී පූර්ණ ජයග්‍රහණයක් ලබා ගත්හ. එම ප්‍රතිගාමී බලවේග අඛණ්ඩව වසර ගනනාවක් පාලනය කලේ නීතියක් යුක්තියක් නැති දේශයක් වන අතර එයට නායකත්වය සපයන ලද්දේ ජනාධිපති ජේ ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ මහතා විශ්‍රාම ගැනීමෙන් පසු මෙම අදිසි හස්තයට එක්සත් ජාතික පක්ෂය පවිත්‍රකරණයකට භාජනය කිරීමකට භාජනය කිරීමට අවශ්‍ය වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා, ගාමිණී දිසානායක මහතා ඇතුළු ප්‍රබල දෑ හිතකාමී එක්සත් ජාතික පාක්ෂිකයින් රාශියක් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ නියමයෙන් විනාශ කරදමා යලිත් ජේ. ආර්. ජයවර්ධන යුගයේ එක්සත් ජාතික පක්ෂයක් නිර්මාණය කිරීමට වෙර දරණ අතර, තමන්ගේ අළුත්ම නිර්මාණය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව බලයට පත්කර වැඩි චන්ද එකක් එතුමියට තිබූ පාර්ලිමේන්තුව බිඳවට්ටන්නේ නැතිව අඛණ්ඩව පවත්වා ගෙන ගියහ.

එක්සත් ජාතික පක්ෂය තමන්ට ඇවැසි පරිදි නිර්මාණය කර ගත් පසුව 1964දී, සිරිමා බණ්ඩාරනායක රජය පෙරලා දැමූ ආකාරයටම, ඇයගේ රජය පෙරලා දමා, එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකර, තමන්ගේ නවතම පරීකෂණය සාර්ථක කර ගැනීම හෙවත් දකුණු ආසියාව ගිල ගැනීමේ කුමන්ත්‍රණය හෙවත් ද්‍රවිඬ ඊලම ස්තාපිත කිරීම සිය සගයා වූ රනිල් වික්‍රමසිංහ ලවා, චන්ද්‍රිකා කුමාරණතුංග විධායක ජනාධිපති ධූරය දරද්දීම ඉටුකලේ ශ්‍රී ලංකා ව්‍යාවස්තාව හා නීතිය සමච්චලයට ලක්කරමිණි.

ලෝකය පුරා විසිරී පැතිරී සිටි ශ්‍රී ලාංකීය දේශප්‍රේමී පරපුර හා මෙරට සිටි දේශප්‍රේමී පරපුර සිය අරගලය අත් නොහල අතර, සතුරාව මනාව හදුනාගෙනද සිටියහ. අවසන ආයුධ සන්නද්ධ බටහිර කුලී හමුදාව වූ ප්‍රභාකරන්ගේ කොටි හමුදාව අන්ත පරාජයකට පත්ව සන්නද්ධ සටන හෙවත් සුද්දාගේ දකුණු ආසියාවේ නවතම පරීක්ෂණය ජයග්‍රහණයේ අභිමුවට පැමිණ තිබියදී සුන්නද් දූවිලිව ගියහ.

මෙම ක්‍රියාදාමයත් සමග විය යුතු වඩාත්ම වැදගත්වූ දේ සිදු නොවිණ. එනම් කාලාන්තරයක් මුළුල්ලේ මෙරට දේශප්‍රේමී අරගලයට බද්ධව විවිධ තලයන්හි සටන කල හා සටන් මෙහෙයවූ දේශප්‍රේමීන් සෘජුවම මේ රට ගොඩනැංවීමේ කාර්යයට දායක වීමට යාන්ත්‍රණයක් නොමැති කම ඉදිරියේ, එම කාර්යෙන් වියෝව හිදීමට සිදුවීමය. මෙය කිසියම් පුද්ගලයකුගේ වරදක් නොව මෙරට ස්ථාපිත ව්‍යාවස්ථාවට අනුව එවැනි යාන්ත්‍රණයක් පිහිටුවීමට අනුගමනය කලයුතු කරුණු කාරනා දෙස බැලූවිට, මෙය දිගු කලක් ගත වන්නකි. එබැවින් ව්‍යාවස්ථාමය කොටුවකට ගාල්වී නොසිටින මෙරට දේශප්‍රේමීන්ට එවැනි යාන්ත්‍රණයක් ගොඩනැංවීමට සිදුව ඇත. එය තරමක් අසීරු කටයුත්තක් වුවද මෙම කටයුත්ත කිරීමට සිදුව ඇත්තේ මෙරට දේශප්‍රේමී, උගතුන් හා බුද්ධිමතුන් සමග වීම, මෙම කාර්යය පහසු කරවන්නකි.

අප කලයුත්තේ කුමක්ද? ජාත්‍යන්තරය පුරා හා රට පුරා සිටින දේශප්‍රේමී ජනතාව නියෝජනය කරන, එම ජනතාවගේ සිතුම් පැතුම් වලට හා අදහස් සාකච්ඡාවට බාජනය කරන මධ්‍යස්ථානයක් ගොඩනැංවීමයි. ඉන් නොනැවතී එම සාකච්ඡාවට බදුන්වූ කරුනු අතරේ ඇති රටට වැඩදායක අදහස් හා යෝජනා ක්‍රියාවට නැංවීමේ ක්‍රම වේදයන්ද, මෙම මධ්‍යස්ථානය විසින් සාකච්ඡා කල යුතුය. මෙම මධ්‍යස්ථානය මෙරට පාර්ලිමේන්තුව තුල නියෝජනයක් නැති දේශප්‍රේමී උගතුන්තේ හා බුද්ධිමතුන්ගේ හඬ මේ දෙරණ මත මුදාහරින මධ්‍යස්ළුානයයි.

මේ මගින්, මෙරට උඩුදුවා ඇති ප්‍රශ්න වලට විසදුම් සාකච්ඡා කොට අනුමැතියකට ලක්කොට එම යෝජනා සංවාදයන් සඳහා සමාජ ගත කරන මධ්‍යස්ථානයක් පමණක් නොව පවතින රජයන්ට ඉදිරිපත් කොට ඒවා ක්‍රියාත්මක කරවීම සදහා අවධානයන්ට ලක් කරවන මධ්‍යස්ථානයක්ද විය යුතුය. මෙම කටයුත්ත සිදුකල හැකි හා සිදුකල යුතු ප්‍රධානම කර්තව්‍යයක් බවට මේ වනවිට පත්ව ඇත. මෙම කටයුත්ත ඉටුකිරීමේ ඉතාම පහසුම ක්‍රම වේදය අන්තර්ජාලය බැවින්ද, ලෝකය පුරාම විසිරී සිටින ශ්‍රී ලාංකික දේශප්‍රේමී උගතුන්ට හා බුද්ධිමතුන්ට ඉතා පහසුවෙන්ම ගොනුවිය හැකි මධ්‍යස්ථානය අන්තර්ජාලය බැවින්ද මෙම ශ්‍රී ලාංකික දේශප්‍රේමී උගතුන් හා බුද්ධිමතුන් මේ රටේ සංවර්ධන කාර්යයන් සදහා කරන සියළුම යෝජනාවන් සමාජගත කරන මධ්‍යාස්ථානය මෙය විය යුතුය. මෙය තුල ගොනුවී සිටින දේශප්‍රේමී උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ මතයන් පුරාන ලංකාවේ හා ඉන්දියාවේ රජුට ඉහලින් සිට උපදෙස් දෙන පුරෝහිත බමුණු පරම්පරාවගේ කාර්යය සෘජුව ඉටු කල යුතුය. මෙය අප ශ්‍රී ලංකාවේ අන්තර්ජාලිය පාර්ලිමේන්තුව වශයෙන් නම් කල යුතු අතර, එම නාමය මගින් ලෝකයේ ප්‍රථම අන්තර්ජාලීය පාර්ලිමේන්තුව බිහි කිරීමේ ගෞරවය අපට හිමිවෙන අතර, මේ මගින් අති දැවන්ත කාර්යභාරයක් අපට ඉටුකල හැක. අප පිහිටුවන ලබන අන්තර් ජාලීය පාර්ලිමේනතුව සඳහා වසර ගනනාවක් ලංකා වෙබ් අඩවිය හා බද්ධව දේශප්‍රේමී විමුක්ති අරගලයට දායකත්වය සැපයූ සියලූම උගතුන් බුද්ධිමතුන් හා දේශප්‍රේමීන්ගේ අන්තර්ගතය වැදගත් වේ. අප ඒ සඳහා පෙල ගැසෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress