‘ලිච්ඡවී’ විප්ලවය
Posted on September 25th, 2015

රිවිර සිකුරාදා පුවත්පත සදහා ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය – 122 

2015 සැප්තැම්බර් 26 සිකුරාදා(වචන 970)      

ලිච්ඡවී රාජ්‍යය හා සප්ත අපරිහානී ධර්ම දැන් නැවතත් කරලියට පැමිණ තිබේ. යහපාලනයට සමඟාමීව ලිච්ඡවී කියවීම නැවත ඇරඹී ඇත. ලිච්ඡවී කියවීම යහපාලනයට සමගාමීව ඇරඹීම හොඳ ක්‍රියාවක් වුවද එහෙත් වර්තමානයේ එය දේශපාලන වේදිකාව වර්ණවත් කරන තවත් එක් වචනයක් පමණි. ලිච්ඡවී රාජ්‍ය සහ ඉරණම පිළිබද ඇතිවන කතිකාවතදී සිදුවන වෙනස මාරය. ඇල්ලු සොරෙකු නැත. නඩු හමාරය. දැන් සියලෝම වැදගත් මහත්වරුය. එකට කති. බොති. ගයති. නටති. ඔළුව අලි නිසාද කඳ බුලතක් නිසාද සීනුව වලිගේ ගැටගසා ඇති නිසාද ඔටුන්න සුළු පටු එකක් විය නොහැක.

කාල්මාක්ස් කීවාක් මෙන් හැම දෙයක්ම වෙනස්වීම එයට පෙර බුදුන් වහන්සේ කියා ඇත. ඒ වෙනස් නොවන්නේ වෙනස්විම බවත් වෙනස්වීම අවසන් වන්නේ සියල්ල අවසන් වීමෙන් බවත්ය.

Dharman Wicremaretne02

පරාජය වේදනාකාරිය. එය කාටත් පොදුය. පරාජයේ වේදනාව වෙනුවට හිත ඇඳුම් කන්නේ රට බේරාගත් රණ විරුවන්ට දෝෂාරෝපණයට යටත් වීමට සිදුවීමය. ඉන්දු ලංකා ගිවිසු‍මට එරෙහිව පාරේ අරගල කල අය දෝහීන්ය. සාම තවලම දක්වමින් සුදු නෙළුමට පාර කැපූ අය වීරයින්ය. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සටනට නායකත්වය දුන් අය යුධ අපරාධවලට වැරදිකරුවෝ ලෙස නම් කලද පුදුම විය යුතු නැත. රෝස මලක් ගහගෙන ඉටිපන්දම් එලියේ සිටිමින් ඇග රත්කරගෙන යුද්ධය බයිට් එකට ගත්තේනම් කොච්චර සුන්දරදැයි ඇතැමුන් ඉදිරියේදී අසන්නටද බැරි නැත.

දැන් කියන්නේ ජාතිය විලාසිතාවක් බවය. ආගම එහි යට ඇදුමක් බවය. අනේ අනිච්චං කියන්නේ මේවාටය. දෙයියෝ දෙනකොට භූතයෝ රවනවාය. පෙරේතයෝ අඩනවායැයි කියමනක් ඇත. විපක්ෂයේ යුක්තියේ හඬ යටපත්කර යහපාලනයේ ඉදිරි පියවරක් ලෙස ලිච්ඡවී පාලනයක් ගෙන යනවායැයි කීවාට වැඩක් නැත. වර්තමානයේ ලිච්චවී රාජ සභාවේ නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. ලිච්ඡවී විප්ලවය වන්මෑන් ෂෝ එකකි. සියල්ලම නිදොස්ය! නිවාරනය!! තීන්දුය!!!

Dharman Wicremaretne03

ඇවන්ගාඩ් දෙබරයට ගල් ගැසුවද කැළණි ගඟට බහු ජාතික සමාගමේ තෙල් කාන්දුව ගැන කිසිවෙකු කථා නැත. බලපත්‍රය තහනම් කලද ඒ නමට පමණි. කහටගස්ගිලිය නගරයේදී රථවාහන පොලිස් නිළධාරියෙක් දෙනෝදහක් ඉදිරිපිට ආබාධිතයෙකුට හොදටම තලනු ලබයි. රටපුරා ළමා සහ කාන්තා අපචාර හිස ඔසවනු ලබයි. මේවාට උත්තර දෙන්නේ වට්ටක්කා චින්තනයේ ෆැට් න්‍යායෙනි.

ප්‍රජාතන්ත්‍රය හෝ සදාචාරය ඇත්තේ නමට පමණි. ඒවා දැන් හිස් වචන සමූහයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩුවූ පළාත් සභා මන්ත්‍රීන් පත් කළේ තරු 7 අරුම පුදුම ප්‍රජාතන්ත්‍රවාදයකිනි. සන්ධානයේ එකමුතුව තුළ සිටින පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද ඒ අනුව කැපී ගොස්ය. මනාප ඡන්ද 24,727ක් ගත් තේරිපත් නොවූ ලැයිස්තුවේ තෙවැනියා වූ මධුමාධව අරවින්ද වෙනුවට පත්කලේ 5වැනියා වූ මනාප ඡන්ද 21,605ක් ගත් ‍ජානක සූරියබණ්ඩාරගේය. කළුතර දිස්ත්‍රික්කයෙන් එජාපයෙන් තරඟකර පරාජයට පත්වූ අපේක්ෂකයා බස්නාහිර පළාත් සභාවට සන්ධානයෙන් පත්කල පළාත් ඇමතිවරයාය.

Dharman Wicremaretne05

එනකොට යනකොට එහෙමය. කරනකොට කියනකොට මෙහෙමය. ඒ අනුව අපරාධවලට දැන් තිත තබන මැජික් පොල්ල වන්නේ මරණ දඬුවමය. මරණ දඬුවම යනු තවදුරටත් ශිෂ්ඨ ලෝකයට උචිත දෙයක් ‍නොවේ. එබැවින් කිසිවෙකු මරණ දඬුවම ඉල්ලා අතීසාරයට අඹුඩ ගැසිය යුතු නොවේ. දැනටමත් මරණීය දණ්ඩනයට නියම වී සිටින අයගේ සංඛ්‍යාව 1,115කි. ඉන් 583ක් අභියාචනා ඉදිරිපත් කර ඇත. බන්ධනාගාර 31ක් තිබුණට එල්ලුම්ගසක් ඇත්තේ වැලිකඩ පමණි. මේ අනුව යම් හෙයකින් මරණ දඬුවම නීතිගත කලහොත් මහපාරේ ඇතිවන ටැෆික් මෙන් බෙල්ලේ තොන්ඩුව දැමීමටද ටැෆික් එකක් ඇතිවනු ඇත. ප්‍රථමයෙන් 1812 ජුනි 10වැනිදා මරණ දඬුවමට නියම වූයේ ඉංගිරියේ කළු අප්පෝය. අවසාන වරට 1976 ජුනි 23වැනිදා මරණ දඩුවමට ලක්කළේ ජේ.එම්. චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවාය. ජාතිවාදී කෝලාහලය පැවති 1915දී එයට වැරදිකරුවන් කරමින් මරාදැමූ 90න් බහුතරයක් වරදකරුවන් නොවූ බවද පසුව කියවිණි.

ජිනීවා මඟුලද අවමඟුලකි. ජීනීවා මානව හිමිකම් වාර්තාවේ හරස්කඩ ජාත්‍යන්තර ක්‍රමයේ සම්මතයන්ට එරෙහිව යන්නකි. එය මව්බිමට එරෙහිව සිදුවන්නට යන මහා ආක්‍රමශීලි අපරාධයකි. රටේ ස්වාධීනත්වයට සහ ස්වෛරීත්වයට එරෙහිවී යන්නකි. ශ්‍රී ලංකාවට සිදුවූ මෙම අසාධාරණය දැන් ඉඹලා පිළිගනිමින් පවතී. මෙයට එරෙහිව ජාත්‍යන්තර උසාවියකට ගොස් නඩු පැවරීමට පවා ආණ්ඩුවට හැකියාව ඇත. එහෙත් එය එසේ සිදුවීම උගහටය. මෙම වාර්තාව පිළිගතහොත් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිදුවේ.

Dharman Wicremaretne06

කිතුල් ගහේ මුළින් එන්නේ කොට ගොබයකි. කොට ගොබය හෙවත් පොඩි අත්ත ආවාට පසු මුදුන් මුල එන බව ගැමියෝ දනිති. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් පරාජයකර රට බේරාගත් සෙන්පතියන් සියළුදෙනාට එරෙහිව නඩු පවරන සූත්‍රයද එහිම සඳහන් කර ඇත. විජාතික සංයුතියක් සහ සංඝටකයක් සහිත සම්මිශ්‍රිත විශේෂ උසාවි අවධානයට යොමුකිරීම පවා මහා ඛේදවාචකයෙකි. ජීනීවා මඟුල ඉදිරියේ ජනතාව සිටිය යුත්තේ කැත්තට පොල්ල මෙනි. අන්න නයා මෙන්න පොල්ල, මං සිල්ගත්තා වගේ යැයි කිසිවෙකු ඇඟ බේරාගෙන වැඩ කල යුතු නොවේ.

ඉන්දියාව විසින් 2003 සිට ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරිමට උත්සාහා කරන සීපා ගිවිසුමද දැන් ‍තිබෙන්නේ ගෙදර එළි පත්තේය. එය එළි බස්සන්නේ කවදාදැයි දන්නේ ඒවාට එක්වූ අය පමණි. දෙරට අතර භාණ්ඩ සහ සේවා අළෙවිය, එක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම සහ දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්‍රමණය වැනි සංකීර්ණ දෑ සීපා ගිවිසුමට ඇතුළත් බැවින් ඒ ගැන විපරමින් සිටිය යුතුය. යෝජිත සීපා ගිවිසුම පිළිබදව තරුණ පරපුර දැනුවත් විය යුතුය. මේවා 1987 ජුලි මස දහස් ගණනක් ඝාතනයට පත්කරමින් ලක්ෂ සංඛ්‍යාවකගේ විරෝධය නොතකා අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුම මෙන් කිසිදා අහෝසි කල නොහැකිය.

ජාතික එකමුතුව විසින් ඉදිරිපත් කරන ලද පස්වැදෑරුම් ජාතික ප්‍රතිඥාව ජාතිකවාදී දේශපාලන පක්ෂවලට පෙරමග ගමන් කරන නියමුවෙක් වැනිය. මොහොතින් මොහොත ඉදිරියට යන ෆෙඩරල් ක්‍රමය පරාජය කල හැක්කේ පස්වැදෑරුම් ජාතික ප්‍රතිඥාවේ අරමුණු පිළිබදව ජනතාව දැනුවත් කිරීමෙන් පමණි. බටහිර රටවල අසාමාන්‍ය හදිස්සිය සහ බලහත්කාරි පිළිවෙතින් පැහැදිලි වන්නේ රට බෙදීමේ න්‍යාය පත්‍රය නව ජවයකින් ඉදිරියට එන බවකි. නිහඬවීමෙන් එයට අනුගත වීමට හෝ යටත්වීමට සිදුවීම වැලකිය නොහැකිය.

විශේෂ යුධ අධිකරණය හමුවේ හමුදා නායකයින්ට අපරාධ චෝදනා ගොනුකලහොත් එය ලොව සිදුවූ බරපතල දේශපාලන පාවාදීම ලෙසට ඉතිහාස ගතවනු ඇත. නෝර්වේ රජය මැදිහත්වී 2002දී ඇතිකල සටන් විරාම ගිවිසුම මෙන් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක නාමයෙන් සිදුවන මෙම මැදිහත්වීම් අවසානයේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්වීම දක්වා ගමන් කෙරෙනු ඇත. මෙම අවාසනාවන්ත තත්ත්වය වැලැක්විය යුතුය. දිනු ජයග්‍රහණයන් රැකගත යුතුය. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ සහ සියළු රණවිරුවන්ගේ නාමයෙන් ඒ සඳහා වඩාත් පුළුල් ජනබලවේගයක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයකි. එය 1985 ඇතිකල මව්බිම සුරකීමේ ව්‍යාපාරයට සමාන බහුජන සංවිධානයක් ලෙස පණ ගැන්විය යුතු වේ.  

බටහිරට යටත්ව සිය න්‍යාය පත්‍ර දිගහරින පිරිස්ද සිටිනවා නොවේ. ධර්මසිරි බණ්ඩාරනායකට අනුව එක්සත් ජාතින්ගේ නඩුව පැවැත්වීමට එරෙහිවන සංවිධාන තහනම් කල යුතුය. කලාත්මක ලෙසින් මෙසේ කියන විට බණ්ඩාරනායකලාටද ජනාධිපති ලේකම් කාර්යාලයේ  තල්ලුවෙන් පරාදීසය සොයා යා හැකිය. කලාවේ යහපත තකා බලි ඇරීම වුවද ඉදිරියේ කලාට කිසිවෙකු පුදුමවිය යුතු නැත.

 තේ දළු කිලෝ එකක මිල රුපියල් 58කි. රබර් කිලෝ එකක මිල රුපියල් 150කි. වී කිලෝව රුපියල් 50 කීවද රජරට ගොවීහු වී නියමකර තිබෙන සහතික මිලට විකුණා ගැනිමට නොහැකිව මහපාරේ අරගල කරති. කන බොන දේවල් ගිනි ගණන්ය. ඩොලරය නහුතෙටම නගී. වෛද්‍යවරු බිරිඳගේ දරු ප්‍රසූතියට පෙර බාර හාර වෙති. පඬුරු බදිති. මහාචාර්යවරු ලෙඩ රෝග දෙවියන් පිට පටවති. පීඨාධිපතිවරු චීන සෙන්සුන් මගින් වාසනාව ගෙනැතැයි ගෙදර තබා ගනිති. ඉංජිනේරුවෝ නිවස වටා ආරක්ෂක මුට්ටි වල දමති. මෙය මිත්‍යාව වපුරන රටකි. යහපාලනයට සමඟාමීව ඇරඹී ඇතැයි කියන ලිච්ඡවී විප්ලවයද මිත්‍යාවේ නව කියවීමක් පමණි.

ධර්මන් වික්‍රමරත්න 

ejournalists@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress