ජවිපෙ අපේ ෆොටෝ පෙන්නලා මුදල් හොයලා… – චිත්‍රාංගනී විජේවීර
Posted on September 26th, 2015

ජනිත සෙනෙවිරත්න Courtesy Divaina

රෝහණ විජේවීර මහතාගේ දරු පවුල පත්ව සිටින අසීරුතාව සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය විසින් සිදු කළ අනාවරණයත් සමඟ ඒ සම්බන්ධයෙන් දැවැන්ත මතවාදයක්‌ රට තුළ මතුව තිබේ.

ඒ සමඟම මීට සම්බන්ධ විවිධ පාර්ශ්ව විසින් එකිනෙකට චෝදනා කරගන්න තත්ත්වයක්‌ ද ඇතිවී තිබේ. ඒ අතර ජනාධිපතිවරයා ද වහාම ක්‍රියාත්මකවී විජේවීර දරු පවුලට තවත් මාස හයක්‌ නාවික හමුදා නිවස්‌නයේ රැඳී සිටින්නට අවස්‌ථාව ලබාදෙන ලදී. ඒ අතරේ ජනතා විමුක්‌ති පෙරමුණට කිසිදු සම්බන්ධයක්‌ නැති පිරිස්‌ පවා විජේවීර දරු පවුලට නිවාසයක්‌ ලබාදීම සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටී. කෙසේ වෙතත් ඔවුන්ට තවමත් නිවසක්‌ ලැබී නොමැත. එබැවින් එම ප්‍රශ්නය තවමත් අවසන්ව නැත. එම ප්‍රශ්නයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මියගෙන් අපි මේ සම්බන්ධව විමසුවෙමු.

මේ ඇයගේ කතාවයි….

මේ ප්‍රශ්න හින්දා අපි මේ වෙනකොට දැඩි පීඩනයකට ලක්‌වෙලා, අවුරුදු විසිහයක්‌ තිස්‌සේ අපි ගැන නොබලපු ජනතා විමුක්‌ති පෙරමුණට පත්තරවල අපේ ප්‍රශ්නය ගියාට පස්‌සේ දැන් සේරම මතක්‌ වෙලා,

දැනට මාස කීපයකට පෙර අපේ ගේ ඉල්ලලා ලිපියක්‌ ලැබුණු විට මම ටිල්වින් සිල්වාට කතා කළා, මම ඔහුට ප්‍රශ්නය කිව්වා, ඔයාට ගෙවල් දෙන්න අපට මුදල් නැහැ කියලා ඔහු කිව්වා. එතකොට මේ ගැන මම අනුර කුමාරට කතා කරන්න ටිල්වින් සිල්වාගෙන් අනුරගේ නොම්මරේ ඉල්ලුවහම ඔහු දුන්නේ නැහැ. ඊට පස්‌සේ මම නොම්මරේ හොය හොයා ඉන්නකොට ජවිපෙට සම්බන්ධ ඒත් දැනට ක්‍රියාකාරී දේශපාලනයේ නැති කෙනෙක්‌ මට අනුර කුමාරගේ නොම්මරය දුන්නා , මම ඒකට කතා කලත් අනුර කුමාර කතා කළේ නැහැ, ඒත් පස්‌සේ මගේ නොම්මරය කියලා නොදැන මට කතා කරලා කවුද කියලා ඇහුවා, මම විස්‌තරේ කිව්වා, ඊට පස්‌සේ එයා කිව්වා අපහු කතා කරන්නම් කියලා, ඒත් කවදාවත් අනුර කුමාර කතා කළේ නැහැ, මම එයාගේ නොම්මරේට දවසට කෝල් 20 – 30 දුන්නත් එකකටවත් කතා කළේ නැහැ, බැරිම තැන මම මගේ දරුවන්ගේ දුරකථනවලින් කෝල් ගත්තත් ඒවටවත් එයා පිළිතුරු දුන්නේ නැහැ .

පහුගිය කාලයේ ජනතා විමුක්‌ති පෙරමුණේ සමහරු අපිව බලන්න ඇවිත් මගේ දරුවෝ ටික වටකරගෙන ෆොටෝ අරගෙන ඒවා පිට රටවල ඉන්න අපේ සාමාජිකයන්ට පෙන්නලා, ලක්‌ෂ ගණන් මුදල් එකතු කරලා තිබුණා අපිට දෙන්න කියලා , ඒ මුදල් මොනවා වුණාද දන්නේ නැහැ, මේ ගැන මම දැනගත්තේ මේ ලිපි දැකලා මට පිට රටවල ඉන්න බොහෝ දෙනෙක්‌ මට කතා කළාට පස්‌සේ. ඒ සල්ලිවලට මොකද වුණේ කියල අද මම ප්‍රශ්න කරනවා, ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයෝ දහස්‌ ගණනක්‌ ඉන්නවා විවිධ රටවල දේශපාලනරැකවරණ ලැබුණු අය, ඒ අය තමයි මේ මුදල් එවලා තිබුණේ.

මගේ දරුවෝ හයදෙනාගෙන් එක්‌කෙනයි රට ඉන්නේ, අනිත් කාටවත් රැකියාවක්‌ නැහැ, මගේ දරුවෝ රටේ කොන් වෙනවා, පාසලේ කොන් වෙනවා, පාසලට ගියහම කියන්නේ හොරාගේ, මිනීමරුවාගේ දරුවෝ කියලා, සමහරු විජේවීරව ප්‍රභාකරන්ට සමාන කරලා දරුවනට දොස්‌ කියලා දරුවන්ට, මගේ දරුවෝ හොඳට ඉගෙන ගෙන තියෙනවා, සමහර දරුවන්ට පළමු පන්තියේ උපාධි සාමාර්ථ වගේම පශ්චාත් උපාධි පවා තියෙනවා, එත් රැකියාවක්‌ නැහැ, තාත්තා විජේවීර කියලා දැනගත්තහම කවුරුත් රස්‌සාවට ගන්න බයයි, ඒ ආයතනවල යූනියන් හදයි කියලා, සෝමවංශ කියලා තිබුණා මගේ දරුවෝ දෙන්නෙක්‌ ඉංජිනේරුවෝ කියලා, ඒක බොරුවක්‌, මගේ එක දරුවෙක්‌වත් ඉංජිනේරුවෝ නෙවෙයි, ඇත්තටම ඒ අය දන්නේ නැහැ අපේ දරුවන් ගැන.

විජේවීර ලියපු පොත්වල අයිතිය හරිනම් තියෙන්නේ මටනේ, ඒත් ජනතා විමුක්‌ති පෙරමුණ වසර ගණනක්‌ තිස්‌සේ ඒ පොත් අච්චු ගහලා විකුණනවා, ඒවා විකුණලා සම්පූර්ණ ආදායම ගන්නේ ජවිපෙ. මටවත් මගේ දරුවන්ටවත් සතයක්‌ ඒ සල්ලි වලින් දීලා නැහැ, මේක දේශපාලන කුහකකම, මම ඒ පොත්වල අයිතිය ඉල්ලලා නීතිමය පියවර ගන්නවා , උතුරේ තරුණයෝ ගැන ජනතා විමුක්‌ති පෙරමුණ කතා කරනවා, ඒත් තමන්ගේ පක්‌ෂයේ නිර්මාතෘවරයා රෝහණ විජේවීරගේ මරණය ගැන ඒ කාලයේ මැරුණු හැට දහසක්‌ තරුණයෝ ගැන ජනතා විමුක්‌ති පෙරමුණ තවම පරීක්‌ෂණයක්‌ ඉල්ලලා තියෙනවාද? ඒ කවුරු ගැනවත් තමන් ආපු ගමන් මග ගැනවත් අද ජනතා විමුක්‌ති පෙරමුණට මතක නැහැ. විජේවීර කරපු දේ ගැන හරි වැරැද්ද මම කතා කරන්නේ නැහැ, ඒත් කිසිම කෙනෙක්‌ව ඒ විදිහට මරන්න බැහැනේ, අඩුම තරමින් නඩු විභාගයක්‌ ඕනනේ, තවම මරණ පරීක්‌ෂණයක්‌වත් ඉල්ලලා නැහැ. තමන්ගේ පක්‌ෂයට, නායකයට, සාමාජිකයන්ට සාධාරණය ඉටුකරන්න බැරි අය කොහොමද රටට සාධාරණය ඉටු කරන්නේ,

2008 දී අපිට ගේ බාරදෙන්න කියලා ලියුමක්‌ ආවා, ඒ ගැන මම ජනතා විමුක්‌ති පෙරමුණට දැන්වුවා, එවිට ජනතා විමුක්‌ති පෙරමුණ කිව්වා පිටකෝට්‌ටේ ප්‍රදේශයෙන් ගෙයක්‌ දෙන බව. ඒත් ලැබුණේ නැහැ.

ඒ දවස්‌වල කරුණා ගමනායක, ඒ කියන්නේ උපතිස්‌ස ගමනායකගේ බිරිඳ ලන්ඩනයේ සිට මට නිතර කතාකර සුවදුක්‌ විමසනවා, ගෙයක්‌ ලැබුණද අහනවා, කරුණා ගමනායක ජවිපෙ ලන්ඩන් ශාඛාවට මට ගෙයක්‌ ලැබී නැති බව කියලා, ඒක ඒ අය ජනතා විමුක්‌ති පෙරමුණෙන් අහලා, ඊට පස්‌සේ සෝමවංශ මට කතාකරලා තර්ජනය කළා වැරදි කතා කියන්න එපා කියලා, ඊට පස්‌සේ ගේ දෙන එක නැවත්තුවා,

මට අන්තිමට කරන්න දෙයක්‌ නැතිකමට මම අරලියගහ මන්දිරයට ගිහින් එවකට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා හමුවුණා, එවෙලේ ඔහු කොහේදෝ ගමනක්‌ යන්න එලියට බැහැලා හිටියේ, ඒත් එතන හිටපු අය මට ඔහු අසලට යන්න ඉඩදුන්නා, මම ගිහින් මගේ ප්‍රශ්නය ඔහුට කිව්වා, විනාඩි ගාණකට ඔහුව හමුවෙන්න ලැබුණේ, ඒත් ඔහු අපේ ප්‍රශ්නය ගැන හොයලා බලලා ,අපට යන්න තැනක්‌ නැතිබව දැනගෙන දිගටම අපිට ඉන්න දුන්නා ,

ජනතා විමුක්‌ති පෙරමුණ කාලයක්‌ අපේ පවුලට මාසිකව රුපියල් පන්දාහ ගානේ දුන්නා ,තව කාලයක්‌ මාසෙකට රුපියල් දසදහස ගානේ දුන්නා, අන්තිම කාලේ මාසෙකට රුපියල් පහළොස්‌ දාහගානේ දුන්නා, ඒක ගන්න අපේ දරුවෙක්‌ පක්‌ෂ කාර්යාලයට යන්න ඕන, කාර්යාලයට ගෙන්නලා හිඟන්නන්ට දෙනවා වගේ තමයි ඒ අයට සල්ලි දුන්නේ, හිඟන්නන්ට වගේ සොච්චම සොච්චම දීලා අපව නටවනවා, අපිව අල්ලේ නටවන්නයි ඒ අය හදන්නේ

දෙවැනි දුවගේ විවාහයට සල්ලි දුන්නා කියලා දැන් ජනතා විමුක්‌ති පෙරමුණ කියනවා ,දෙවැනි දුවගේ විවාහයට සල්ලි දුන්නේ අනුර කුමාරගේ මන්ත්‍රීත වැටුපෙන් නෙවෙයි, පිටරට ඉන්න ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයෝ ඒකට විශාල වශයෙන් සල්ලි එව්වා, ඒ එවපු සල්ලි වලින් සොච්චමක්‌ තමයි අපට දුන්නේ ,

ජනතා විමුක්‌ති පෙරමුණ මාධ්‍ය ඉදිරියට ඇවිත් ලස්‌සන වචන ටිකක්‌ නම් කියනවා, ඒත් ඒවගේ වැඩනම් ලස්‌සන නැහැ, අද අපි පත්වෙලා ඉන්න තත්ත්වයට ජනතා විමුක්‌ති පෙරමුණ වගේම විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස්‌ පෙරමුණ වගේම පෙරටුගාමී පක්‌ෂයත් වග කියන්න ඕන, අපේ ප්‍රකාශන අපි සේරටම කිව්වත් මේ කව්රුත් බැලුවේ නැහැ .

මට අද වෙනකොට ජනතා විමුක්‌ති පෙරමුණ ගැන කිසිම විශ්වාසයක්‌ නැහැ. මම හිතනවා ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‌රකමසිංහ මහතා මේ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණයක්‌ ඉටු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා, හැමදාම හමුදා කඳවුරක ඉන්නත් බැහැ. දරුවන්ටත් සාධාරණයක්‌ ඉටු වෙන්න ඕන.

ජනතා විමුක්‌ති පෙරමුණෙන් අපට දැන් ගෙවල් ඕන නැහැ. කිසිම උදව්වක්‌ අපිට ඉදිරියට ජනතා විමුක්‌ති පෙරමුණෙන් අවශ්‍ය නැහැ, ජනාධිපතිවරයා මැදිහත්වෙලා මාස හයක්‌ දික්‌කරලා තිබෙනවා , ඒ දීර්ග කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණේ සම්බන්ධයක්‌ නැහැ, ඒක ජනාධිපතිවරයා නාවික හමුදාව සහ ආරක්‌ෂක මණ්‌ඩලය සමඟ සාකච්ඡා කරලා ගත් තීරණයක්‌, අපි ගැන බොරු කියන්න එපා කියලා මම ජනතා විමුක්‌ති පෙරමුණෙන් ඉල්ලනවා, මමවත්, මගේ දරුවන්වත් දැන් ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලනය හා සම්බන්ධ නැහැ, අපිව අවුරුදු 26 ක්‌ රැවට්‌ටුවා, විසිහත් වැනි අවුරුද්දෙත් රැවටෙන්න අපිට බැහැ , දැන් ජනතා විමුක්‌ති පෙරමුණ ලැඡ්ජාව වහගන්න විවිධ දේ කියනවා, ඒ සේරම බොරු, මම මේ ප්‍රශ්නය රජයත් සමඟ හැකි තරමින් සාකච්ඡා කර විසඳාගන්නවා,

ජනිත සෙනෙවිරත්න

One Response to “ජවිපෙ අපේ ෆොටෝ පෙන්නලා මුදල් හොයලා… – චිත්‍රාංගනී විජේවීර”

  1. Christie Says:

    විජේවීර නෝනට කොලඹ ඉන්දියානු පරපෝසිතයන්ගෙ සාප්පු හා කඩපැත්තෙ ගියොත් කීයක් හරි හොයාගන්න හරි ඉල්ලගන්න හරි බැරුව වගෙයි. මහත්තයනම් රුසියාවෙ ඉඳල ඇවිල්ල පේරාදෙනිය විශ්වවිද්යාලයෙ හෝල් එකක ඉන්නකොට වියදමට අතමාරු ඉල්ලග්තතෙ උන්ගෙන්. අනික නෝන අන්තිමට මිනිහ හැන්ඟිල හිටපු වත්ත පැත්තෙ ගියොත් මුට්ටි කාසි කීයක් හරි ඉල්ල ගන්න පුලුවනිනෙ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress