පොලිසියට පෙර අධ්‍යාපන බලධාරීන් ගැටළු විසඳිය යුතුයි ! කුරිරු මර්ධනකාරී පොලිස් ප්‍රහාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය හෙළා දකියි
Posted on October 30th, 2015

– ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් 

ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අධ්‍යාපන බලධාරීන් විසින් විසඳිය යුතු ප්‍රශ්න පොලිසිය විසින් විසඳීමට ඉදිරිපත්වීම  බරපතල තත්වයක් බව ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. මේ හේතුවෙන්  නැවත වරක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටුම්කාරී සහ අස්ථාවර පරිසරයක් ගොඩනැගී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඊයේ (ඔක්තෝබර් 29) දින කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය විසින් එල්ල කළ  කුරිරු සහ මර්ධනකාරී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා  සඳහන් කරයි. උද්ඝෝෂණ පැවැත්වීමකින් තොරව තම ප්‍රශ්ණ කෙරෙහි අවධානය යොමුකරගත නොහැකි තත්වයකට පත්ව ඇති ක්ෂේත්‍ර අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මේ වනවිට ප්‍රමුඛ ස්ථානයකට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

policebrutality1

ඉතා දිගු කලක් දැඩි ලෙස නොතකා හරින ලද සහ සිසුන් සහ අදහස්  මර්ධනය ම පමණක් එකම විසඳුම ලෙස තෝරා ගැනීම හේතුවෙන් දශකයකට වැඩි කාලයක් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති තත්වයකට පත්ව ඇත. මේ සඳහා සියුම් සහ තිරසාර විසඳුම් ජාතික මට්ටමින් ලබාදිය යුතුව ඇති බව ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ වරයා අවධාරණය කරයි.

එවැනි ප්‍රවේශයක් ලබා නොගන්නා තෙක් පීඩනයට සහ දිගුකාලීන මර්ධනයට ලක්වු ශිෂ්‍ය කණ්ඩායම් හි විරෝධතා සහ උද්ඝෝෂණ නොවැලැක්විය හැකි වනු ඇත. පසුගිය රජය පැවති සමයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස , රැස්වීමේ නිදහස සහ සාමකාමී විරෝධතා දැක්වීමේ නිදහස තිරස්චීන ලෙස මර්ධනය කර  තිබු  අතර එම තත්වය  සමස්ත සමාජයේ පිළිකුළට සහ කෝපයට  හේතු වු බව අමතක නොකළ යුතුව ඇත.

එසේ තිබියදී දිගු කාලීන ඉල්ලීම් සහිත කණ්ඩායමක් පැවැත්වු උද්ඝෝෂණයකට උපරිම බලය යොදමින් පහරදීම හේතුවෙන් අද වනවිට ජාතික විශ්ව විද්‍යාල 6ක විරෝධතා ව්‍යාපාර පැවැත්වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කර සිටියි.මේ තුල සමස්ත විශ්ව විද්‍යාල  අධ්‍යයන ක්ෂේත්‍රයම කැළඹීමට පත්ව ඇත.මර්ධනයට ලක් නොවී සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ සිසුන්ගේ අයිතියට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ගරු කරන අතර එම අයිතිය රැක  ගැනීම සදහා පෙනී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.

බිම වැටී සිටි සිසුවියන්ට පවා බැටන් ප්‍රහාර එල්ල කිරීම ශිෂ්ට සමාජයකට  තරම් නොවන බවත් මෙම ප්‍රහාරය පිළිබඳව සෑම ක්ෂේත්‍රයකින්ම විරෝධය මතුවෙමින් ඇති බවත් අප අවබෝධකොට ගත යුතුව ඇත. නැවත වරක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කළඹන අර්බුදකාරී තතවයක් ඇති නොවිමට වග බලාගැනීම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ  සියලුම බලධාරීන්ගේද, ආරක්ෂක අංශවල ද දැඩි වගකීමක්  බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර සිටියි.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

 

2015 ඔක්තෝබර් 30

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress