අසංග අබේසුන්දරයන් ගැන සටහනක්
Posted on December 19th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

මාගේ උසස් පෙළ සත්ව විද්‍යා ගුරුවරයෙකු වූ අසංග අබේසුන්දර මහතා අපට පන්ති පැවැත්වූයේ 1984 වසරේ දෙහිවල වෛද්‍ය පාරේ දේශන ශාලාවකය​. අධ්‍යාපන අමාත්‍යංශය ඕවර් හෙඩ් ප්‍රොජෙක්ටර් , රූපවාහිනි හා වීඩියෝ ඩෙක් අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීමට දශකයකටත් පෙර  අසංග අබේසුන්දර මහතා මේ උපකරණ භාවිතා කරමින් සිසුන්ට ඉගැන්වීය​.අසංග අබේසුන්දරයන් ගේ පන්ති වලදී අපට මුද්‍රණය කරන ලද රූප සටහන් ලැබුණි.  අප පාසලේදී ඒවා අන් සිසුන්ට පෙන්වූයෙමු. සමහරු මේ රූප සටහන් පිටපත් කර ගත්හ​. සමහරක් මේ රූප සටහන් දෙන විට අපටත් එකක් වැඩිපුර ගන්න යැයි කීවෝය​.

asanga2

උසස් පෙළ විභාගයට මාසයකට පෙර අබේසුන්දර මහතා සියළුම පන්ති වල සිසුන් එකතු කරගෙන සුගතදාස ගෘහස්ථ ස්ටේඩියමේ පන්ති දෙක තුනක් පවත්වයි  එවිට සුගතදාස ගෘහස්ථ ස්ටේඩියම උසස් පෙළ සිසු සිසුවියන් ගෙන් පිරී යයි. එය අපට කානිවල් සමය සිහි ගන්වයි. සමහර විට අපගේ පාසලේ වානිජ විශයන් කරන කොල්ලෝද මේ සැනකෙලිය බැලීම සඳහා හොරෙන් සුගතදාසයට ආහ​.

අසංග අබේසුන්දර මහතා මානව නම් මාසික පුවත් පතක් එළි දැක්වීය​. මමද එයට ලිපි කිහිපයක් ලිව්වෙමි. හේතුවාදය ගැන තර්ක කල අසංග අබේසුන්දර මහතා කවියෙකු බව බොහෝ දෙනා නොදනිති. එතුමාගේ තුංමන්සල හා පබාවතී යන කවි පොත් වල තිබූ කවි සමහරක් මට තාම මතකය​. එහි වූ එක් කවක් මෙසේය

විරාමය මත නැගී

බමණ ලොව දෙස බලමි

එහි තිතක වූ තිතක

තිතක් ලෙස ඔබ දකිමි.

එම කවි පොතේ කාන්තා හිංසනය ගැන ලියූ කවියක් මෙසේය.

අහස ඇඞුව අඳුරු රැයක​

කුරුළු කැලේ බංගලාවේ

මේට්ටෙක දුණු ඉකි ගහද්දි

යොවුන් බවෙන් සමු ගත්තෙමි.

දෙපිට කැපෙන කුණුහරප විහිළු පාසල් සිසු සිසුවියන් ඉදිරියේ නොකොට ඉගැන්වීමේ දක්‍ෂතාව මත ජනප්‍රිය ගුරුවරයෙකු වන අන්දම අසංග අබේසුන්දරයන් මේ දශක ගනනාව පුරා පෙන්වා දී ඇත​. වචනයේ පරිසමාප්තියෙන් අසංග අබේසුන්දර මහතා දක්‍ෂ ගුරුවරයෙකි. ඔහුගෙන් ඉගෙන ගත් වෛද්‍යවරු බොහෝ දෙනෙකු මට ලංකාවේද පිටරටවලද හමු වී තිබේ.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress