නැටුම් සර්ලාගේ විත්ති
Posted on December 22nd, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

නාලන්දේ නැටුම් සර්ලා දෙදෙනෙකු වූහ​. වෙළබඩගේ සර් සහ දයානන්ද සර් ය​. මේ සර්ලා දෙන්නාගෙන්ම ගුටි කෑමේ විරළ භාග්‍ය ලැබීමට මට හැකි විය​.

අප හයේ පන්තියේ සිටියදී දයානන්ද සර් පැමිණ නැටුම් ඉගැන්වීය​. හනුමා වන්නම අපට ඉගැන්වූ ඔහු අපටද වන්නම කියමින් නැටීමට නියම කලේය​. හනුමා වන්නම මට තාම මතකය​. එය පටන් ගන්නේ මෙසේය​.  …ගිරින් ගිරට පැන ලැගුම් සොයාගෙන ……. යනාදී වශයෙනි.

මේ වන්නම කියමින් දයානන්ද සර් ඉදිරියෙන් නටයි. අප පසු පසට වී දයානන්ද සර් නටන අයුරු බලමින් එසේ නැටීමට තැත් කලෙමු. මේ අතර සර් ගේ පසු පස සිටි දීපාල් අත් දෙක කොළපුවක් සේ සදාගෙන සර් ගේ පිටුපසට ගොම්පස් ඇල්ලීය​. මේ විකාරය දුටු මට සිනහව නවතා ගත නොහැකි විය​. වන්නම කිය කියා නටන විට සිනාසුනු කෙනා කවරෙක්දැයි කියා ඇසූ ගුරුතුමා මගේ කනෙන් ඇද්දේය​.

natum

නැටුම් සර් ගේ උදව්වට සංගීත සර් ද විය​. ඔහුගේ නම පතිරණ සර් විය​. පතිරණ සර් වයලීනය වැයුවේය​. වරක් ඔහු සුවඳ රෝස මල් නෙලා යන ගීතය ස සරි දාම පාද සා කියමින් වයන විට පසුපස සිටි මමත් ප්‍රසාද් රන්උළුත් ඒ සංගීතයට සාමගාමීව කටෙන් ගිටර් හඞක් වැයුවෙමු. පතිරණ සර්ට  අසු වූයේ එක ගිටාර්කාරයෙකි. අනෙක් ගිටාර් වාදක ප්‍රසාද් රන්උළු බේරුණි. වර්තමානයේ ප්‍රසාද් රන්උළු නාරි හා ප්‍රසව විශේසඥ වෛද්‍යවරයෙකි.

පසු කාලයක පතිරණ සර්ගේ සහයට තවත් සංගීත ගුරුවරයෙක් ආවේය​. ඔහු නමින් එඩ්වඩ් ජයකොඩි නම් විය​. පසු කාලයක මේ ගුරුවරයා ලංකාවම දන්නා ගායකයෙකු විය​. එහෙත් එඩ්වඩ් ජයකොඩි සර් ගෙන් මා ගුටිකා නැත​.

1976 වසරේ දී වෙළබඩගේ සර් බාලදක්‍ෂ කන්ඩායමට නැටුමක් පුරුදු කිරීමට ආවේය​. ඒකාලයේ පෝතක බාලදක්‍ෂයෙකු වූ මා ඇතුළු බොහෝ  බාලදක්‍ෂයන් වරද්දන වරද්දන නැටුම් පියවරක් පාසා වෙළබඩගේ සර් ගෙන් කෑවෙමු. වෙළබඩගේ සර් වේවැල වෙනුවට අත තබාගෙන සිටියේ ලී කෙළි පොල්ලකි.

1979 වසරේදී පාසලේ නව විද්‍යාගාරය ජනාධිපති ජේ . ආර් ජයවර්ධන මහතා අතින් විවෘත කෙරුණි. ජනාධිපති ජේ . ආර් ජයවර්ධන පිළිගැනීමේ ගීතය සහ නැටුම  සංවිධානය කරන ලද්දේ වෙළබඩගේ සර් විසිනි.  එම ගීතයේ කොටසක් මට තවමත් මතකය​. එය ආරම්භ වන්නේ මෙසේය. රාෂ්ඨ ප්‍රජාපතී… ජයවර්ධන ……..මෙම ගීතය ගායනා කලේ අලයා ( මේ සිසුවාගේ නම මතක නැත​) ප්‍රමුඛ ගීත ගායනාවට දක්‍ෂ ළමුන් පිරිසකි.

දොලහේ පන්තියේ සිටියදී අප නාට්‍යක් සංවිධානය කලෙමු. මේ නාටකය සඳහා යක් බෙරයක් අවශ්‍ය විය​. අප එය වෙළබඩගේ සර්ගෙන් ඉල්ලා ගත්තෙමු. නාට්‍ය රඟ දැක්වීමෙන් පසුත් මේ යක් බෙරය පන්තියේ තිබූ අතර සමහර සිසුන් දේයි දේයි ගාමින් යක් බෙරයට ගැසූහ​. තවත් සිසුවෙක් ලී කෙළි වලට ගන්නා ලී කොට දෙකකින් යක් බෙරයට ගසා යක් බෙරයේ එක් මුහුණතක් පැළුවේය​. මේ අතර වහාම යක් බෙරය නැටුම් කාමරය වෙත ගෙන එන ලෙස වෙළබඩගේ සර්ගෙන් විධානයක් ලැබුණි.

මේ නියෝගයෙන් ගත සීතලවූ අප බේරීම සඳහා එක්සත්ව ක්‍රියා කලෙමු. සුදු  කඩදාසියක් ගෙන යක් බෙරයේ  පැලී ගිය මුහුණත මත ඇලවූයෙමු. ඉන් පසු කළු කඩදාසියක් ගෙන එය රවුමට කපා සුදු  කඩදාසිය මධ්‍යයේ ඇලවූයෙමු. ඉන්පසු යක් බෙරය ප්‍රවේසමෙන් ගෙන නැටුම් කාමරයට ගියෙමු.

නැටුම් කාමරයේ වෙළබඩගේ සර් සිටියේය​. අපේ නඩයේ එක් කොල්ලෙක් සර් මෙන්න යක් බෙරය ගෙනාවා කියා බෙරයේ පැළුනු මුහුනත බිමට සිටිනසේ යක් බෙරය නැටුම් කාමරයේ බෙර තිබූ තැනින් තිබ්බේය . අප  වහ වහා පිටවී ගියෙමු. යක් බෙරය කොල්ලන් පලා තිබෙන බව නැටුම් සර් දැන ගත්තේ දොමි කිත කිත තා…. කියා යක් බෙරය ගැසීමට ගිය අවස්ථාවක බව අපට පසුව දැනගන්නට ලැබුණි. නමුත් යක් බෙරය පැලුවේ කව්දැයි සොයා ගැනීමට නැටුම් සර් අපොහොසත් වූයෙන් අපට හුස්ම වැටුණි.

පසු කාලයක මම උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ සේවය කරන විට ශල්‍යකර්මයක් කර ගැනීමට වෙළබඩගේ සර් පැමිණියේය​. මම සර්ව විශේසඥ ශල්‍ය වෛද්‍ය සරත් කොල්ලූරේ මහතා වෙත යොමු කිරීමට සහාය වූයෙමි.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress