නව දේශපාලන බලවේගයක් බිහිවෙනවා.. එය කිසිවෙකුට වළක්වන්න බෑ.. – මහින්ද
Posted on December 28th, 2015

BBC

එවැනි කණ්ඩායම් එකතු වී ශක්තිමත් විපක්ෂයක් බිහි කිරීම හැම දෙනාගේම වගකීමක් වී ඇති බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියි.

‘මේ යන රටාව අනුව අපට කියන්න බෑ අලුත් දේශපාලන පක්ෂ බිහි නොවේවි කියලා. පක්ෂවලින් මිනිස්සු එලෙව්වොත් ඒ මිනිස්සුන්ට යන්න තැනක් තියෙන්න ඕන. ශක්තිමත් විපක්ෂයක් හැදීමේ වගකීම හැමෝටම තියනවා’ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඌරුබොක්ක, හොරගස්මණ්ඩිය ප්‍රදේශයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එකතු වී ඇමතිකම් ගැනීමට ඇති සුදානමක් ගැන තමන් නොදන්නා බව කී හිටපු ජනාධිපතිවරයා දෙමළ සංධානය රජයට සහාය දෙනවාදැයි විමසිය යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් අය අද දේශපාලනයේ සිටියත් පක්ෂය පාවා නොදුන් එකම තැනැත්තා තමන් බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසයි.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ පක්ෂය. මම විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැත්තේ. පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දුන්නේ නැත්තේ මම විතරයි. දැන් දේශපාලනේ ඉන්න බොහෝ දෙනා පක්ෂය පාවා දුන්නා. මම පාවා දුන්නෙත් නෑ. පාවා දෙන්නෙත් නෑ’ හිටපු ජනාධිපතිවරයා කියා සිටියි.

දැන් විපක්ෂයත් එක්ක ආණ්ඩුව ගෙන යන බව කී හිටපු ජනාධිපතිවරයා ශක්තිමත් විපක්ෂයක් නැති වූ විට ආණ්ඩු අයාලේ යන බව පවසයි.

‘මේ ආණ්ඩුවට හරි මග පෙන්වන්න ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනෑ. ශක්තිමත් විපක්ෂයක් නැතුව රජයක් ගෙන ගියොත් ඒ රජය අයාලේ යනවා. ඒක තමයි මේ අයවැයෙන් පෙන්නුම් කෙරුණේ’ එබැවින් ශක්තිමත් විපක්ෂයක් හැදීමේ වගකීම හැමෝටම ඇති බව හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණයෙන් කියා සිටියේය.

පක්ෂ වලින් මන්ත්‍රීවරුන් පන්නා දැමුව හොත් ඔවුන් එකතු වී නව දේශපාලන පක්ෂයක් බිහි කිරීම කිසිවෙකුටත් වළක්වනු නොහැකි වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

One Response to “නව දේශපාලන බලවේගයක් බිහිවෙනවා.. එය කිසිවෙකුට වළක්වන්න බෑ.. – මහින්ද”

  1. Kumari Says:

    JR tried to rule the country promising Dharmishta Palanaya, what did he leave us with: a 30 year civil war and a ever so untrusting neighbour. Sirisena/Ranil promised a Yahapalanaya, what would we inherit from them: a divided country and a never ending war.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress