වෛද්ය සන්දිරසේකරන්
Posted on January 6th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

වෛද්‍ය සන්දිරසේකරන් මට හමු වූයේ 2008 වසරේදීය​. ඒ කාලයේ ඔහු කල්පිටිය රෝහලේ ඩී.එම්.ඕ ලෙස සේවය කලේය​. මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධිකරණ නිලධාරී (Focal Point Mental Health) ලෙස සේවය  කලෙමි.

වරක් මුස්ලිම් අනාතයන් ජීවත් වන ආලන්කුඩා ප්‍රදේශයේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක් කල යුත් බව බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක  වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා මට දැණුම් දුන් හෙයින් එම වැඩසටහනේ  සාධ්‍යතාව සොයා බැලීමට මම ආලන්කුඩා වෙත ගියෙමි. ආලන්කුඩා ප්‍රදේශයේ අනාත කඳවුරු වල ජීවත් වූයේ එල්. ටී.ටී.ඊ සංවිධානය විසින් උතුරු ප්‍රදේශයෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාවය​. ඔවුන් ඉතා අසීරුකම් මැද ජීවත් වූවෝය​. ආලන්කුඩා වෙත යාමේදී දෙමල දන්නා භාෂා පරිවර්තකයෙකු මට අවශ්‍ය විය​. එම නිසා මම කල්පිටිය රෝහලට ගියේ දෙමල සහ සිංහල භාෂා දන්නා කම්කරුවෙකු  ආයතන භාර නිලධාරියාගෙන් ඉල්ලා ගැනීම සඳහාය​.

kalpitiya

මම කල්පිටිය රෝහලට යන විට රෝහලේ ඩී.එම්.ඕ වෛද්‍ය සන්දිරසේකරන් හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට  රැස්වීමක් පවත්වමින් සිටියේය​. එම නිසා මම ඔවුනට බාධා නොකර පසුපස අසුනක වාඩිවී සිටියෙමි. වෛද්‍ය සන්දිරසේකරන් රැස්වීම පැවැත්වූයේ තල් අත්තට බොරළු ගසන්නක් මෙනි. දෙමල උරුවට ඔහු සිංහල කථා කල අතර ඔහු තම කාර්‍ය මණ්ඩලයට බනිනවාද කියා මට වටහා ගැනීමට නොහැකි විය​. රැස්වීම අවසානයේදී මා ඔහු වෙත ගොස් මා කවරෙක් ද කියා හඳුන්වා මගේ අවශ්‍යතාවය ගැන කීවෙමි. වෛද්‍ය සන්දිරසේකරන් වහාම මගේ ඉල්ලීම ඉටු කරමින් ද්වී භාෂා හැකියාව ඇති කම්කරුවෙකු මගේ සහයට එවීය​. එය අපගේ පළමු හමු වීමයි. ඉන් පසු මා හා වෛද්‍ය සන්දිරසේකරන් අතර මිත්‍රත්වයක් වර්ධනය වූ අතර ඔහු මා විසින් සංවිධානය කරන ලද මානසික සෞඛ්‍ය වැඩසටහන් වලටද ආවේය​.

වෛද්‍ය සන්දිරසේකරන් බොහෝ පත පොත කියවන්නෙකි. රාජකාරී වෙලාවෙන්  පසු පුද්ගලික සේවයේ යෙදීම වෙනුවට  ඔහු බොහෝ විට කලේ පොත් පත්තර කියවීමයි. මධ්‍යම රාත්‍රිය වන තෙක් පොත් පත්තර කියවීම ඔහු නිති පතා කලේය​. එසේම ඒඩ්ස් රෝගය පිලිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු පොතක් ලියුවේය​. එම පොතෙන් එක් පිටපතක් වෛද්‍ය  සන්දිරසේකරන් මටද පරිත්‍යාග කලේය​.

බොහෝ පොතපත කියවන වෛද්‍ය සන්දිරසේකරන් පොත් මිලදී ගැනීම සඳහා බොහෝ මුදල් වැය කලේය​. එසේම වසරකට වරක් පරණ පොත් ඉවතලෑම ඔහු විසින් කරන ලදි.   වරක් ඔහු තම නිල නිවාසයෙන් ඉවතලන ලද පරණ පොත් තොගයක් කල්පිටිය රෝහලේ බෙහෙත් ශාලාවේ ඖෂධවේදියා ඉල්ලා ගත්තේය​. ඔහු එසේ පරණ පොත් ඉල්ලා ගත්තේ රෝගීන්ට බෙහෙත් දෙන කවර අවසන් වී තිබීම නිසා පරණ පොත් වලින් ඉරාගත් පිටු වලින් ඖෂධ ඔතා රෝගීන්ට දීමටය​.

දිනක් මෙසේ පරණ පොතකින් ඉරාගත් පිටුවක එතූ ඖෂධ ලබා ගත් රෝගියෙකු උරණ වී ඖෂධවේදියාට බැණ වැදුනේය​. පසුව බලන විට ඖෂධවේදියා ඖෂධ ඔතා තිබුනේ කුරානයෙන් කඩා ගන්නා ලද පිටුවකය​. පැය කීපයක් යන විට තත්වය තවත් නරක් විය​. ආගම්වාදී ගැටුමක් යන්නට තරමට තත්වය ආතතිජනක වූයේය​​. කුරානයට අපහාස කලා යන්න ඔවුන් ගේ චෝදනාව වූ අතර ගැටුම්කාරී පිරිස් කල්පිටිය රෝහල වට කොට ඖෂධවේදියා ඔවුගේ අතට පත් කරන ලෙසට බල කළහ​. තැතිගත් ඖෂධවේදියා ඩී.එම්.ඕ නිල නිවසේ සැඟවිනි. ​

තත්වය පාළනය කිරීම සඳහා පොලිසිය පැමිණි අතර යාබද නාවික කඳවුරේ නැවියන් රෝහල ආරක්‍ෂා කලහ​. ඒ අතරවාරයේ පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක  වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා සහ වෛද්‍ය සන්දිරසේකරන්  ප්‍රදේශවාසීන් හමුවී කරුණු පැහැදිලි කොට තත්වය සමනය කරන ලදි.

 

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress