තනපටයේ කතා වස්තුව හා විරුවන් යනු කවුදැයි හැඳිනීම
Posted on January 9th, 2016

නුවන් උදය වික‍්‍රමසිංහ උපුටාගැණීම අදදෙරණ

එන්රික් ඉග්ලේෂියස්ගේ සංගීත ප‍්‍රසංගයේදී ඔහු වෙත වීසිකරන ලද තනපටයක් රටේ ප‍්‍රධාන පුරවැසියාගේ ඇඟේ හැපීමත් සමගම දැන් මහා සදාචාර සංවාදයක් අලූතින් ඇවිළෙමින් තිබේ. එය මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙන්ම ප‍්‍රකට අප‍්‍රකට සංවාද මණ්ඩප වල කැපී පෙනෙනා මාතෘකාවකි. රටේ ප‍්‍රධාන පුරවැසියා මීට මැදිහත් වූයේ අම්පාරෙනි. දැන් කතාව ඇත්තේ කෙතේ හේනේ වැවේ දාගැබේ පන්සලේ ආදී වශයෙන් හැමදාම තොරොම්බල් කෙරුණ සුපරිශුද්ධ ගැමි සිංහල සංස්කෘතියක ආලවට්ටම්ද සමගිනි. මේ මහා සංස්කෘතික විප්ලවය දකින විට මට සිහි වූයේ අපේ යෞවන සමයේ පැවති සංගීත සංදර්ශනයන් පිළිබඳවය. එකල මෙසේ විදෙස් ගායතයන් නොසිටියද ලංකාවේ ප‍්‍රකට ගායකයන්ගේ කමිස ගලවා ගැනීමට, ගායිකාවන්ගේ ලේන්සු අත්පත් කරගැනීමට උමතුවෙන් දැඟලූ පේ‍්‍රක්ෂකයන්ද සිටි බව අපට අමතක නැත.

පසුගිය සමයේ සුපර් ස්ටාර් තරඟවලදී අපේ රටේ තරුණියන් සුපිරි තරුවට අත්සන තැබීම සඳහා තම කලවය පෑ බව ප‍්‍රසිද්ධ පුවතකි. මෙය එකල කෙතරම් ප‍්‍රචලිතව පැවතියේද යත් රෝහණ පොතුලියද්ද කවියා ඒ ගැන කවියක් පවා රචනා කළේ ය. රටක සදාචාරය යන්න බරපතළ මාතෘකාවක් බව ප‍්‍රතික්ෂේප කළ නොහැකි වුවත් එය කෙසේවත් තමන් සහභාගීවන පොදු රැස්වීම්වල මඩුවලිග ඇද ගැනීමෙන් විසඳිය නොහැක්කක් බව රටේ ප‍්‍රධාන පුරවැසියා වටහා නොගැනීමද අප අද මුහුණ පා ඉන්නා ඛේදවාචකයකි. මේ අතර අනෙක් පසින් කලෙක මෙරටේ සංස්කෘතිය ගැන වගාඩම්බර දෙඩූ හිටපු ජනපති ඉන්නේ බන්ධනාගාර ගානේ දුවමින් අපරාධ චෝදනා ලැබ සිටිනා හමුදා සාමාජිකයන් රණවිරුවන් සේ අභිෂේක කරමිනි.

සදාචාරය යන්නට මූලධාර්මික නීති ඇතුළත් නොකළ යුතු වන්නා සේම පුද්ගල නිදහස යන්න සිතු සිතු දේ කිරීමේ ඉඩ නොවන බවද අප වටහා ගත යුතුය. මේ සම්බන්ධ සීමාවන් හෝ රාමු තීරණය විය යුත්තේ පුළුල් හා විවෘත සංවාද මගින් මිස අවස්ථානුකූලව ඇති වන ආවේගයන් හෝ දේශපාලන ජනප‍්‍රියත්වය මත නොවේ. කෙසේ වෙතත් මෙසේ සදාචාරය ගැන සංවාදයක් ඇති වීම එක් අතකින් යහපත් ප‍්‍රවණතාවකි. ඒ අපට මේ හරහා ඒ ගැන පුළුල් කතිකාවක් ගොඩනැගිය හෙයිනි.

රටේ සදාචාරය ගොඩ නැගීමේදී අත්‍යවශ්‍යම සාධකයක් වන්නේ දේශපාලන සංස්ථාවේ සදාචාරය ගොඩ නැඟීමයි. අපට නම් මේ තනපට හුටපටයට වඩා ජුගුප්සාජනක වී තිබෙන්නේ ම්මුතිකාමී යයි කියනා මේ ආණ්ඩුව ජනමතය නොතකා කරනා දේශපාලන යට ඇඳුම් ගැලවීමය. මෑතකදීම ඒ ජුගුප්සාජනක සංදර්ශනයට වත උනා දැම්මේ අන් කවරකුවත් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ගීතිකා ගැයූ හිරුණිකා මන්ත‍්‍රීවරියයි. මේ ලිපිය ලියනා මොහොතෙ වන විටත් ඇගේ ක‍්‍රියාව සම්බන්ධයෙන් දේශපාලන සංස්ථා දක්වන  නිහඬ වත කෙතරම් සදාචාර විරෝධි යයි දේශපාලකයන්ට නොපෙනේ. අදාළ ප‍්‍රසංගය සම්බන්ධයෙන් මේ වන විට හෙළිවෙමින් පවතින තොරතුරු අනුව කියවෙන්නේ සංවිධායකයන් අදාළ ආයතන වලට නිසි පරිදි බදු නොගෙවා ඇති සේම වැඩියෙන් ටිකට්පත් පවා මුද්‍රණය කර ඇති බවකි. මේ චෝදනා එල්ල වන්නේ එසේ මෙසේ අයට නොව රටේ ජාතික විරුවන් සේ සැලකෙන ප‍්‍රධාන ක‍්‍රිකට් ක‍්‍රීඩක දෙපලකට සහ ඔවුන් ගේ සමාගමටය. තරගයක් ගානේ පිරිත් නූල් මිටි ගණනින් බැඳ පිටියට යන මේ මහත්වරුන් රටේ සාමාන්‍ය නීතියට ගරු කර ඇති ආකාරය කෙතරම් සදාචාර සම්පන්නදැයි රටේ පුරවැසියන්ද කල්පනා කළ යුතුය. අප දැන් බලා ඉන්නේ මේ සියළු දෑ සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කෙරෙන්නේ ද යන්නයි.

මේ ජාතික සම්පත් අප රවටන වෙළඳ සමාගම් වල මුදලට යටවී පාරිභෝගිකයා අන්දවන ආකාරය අර තනපටට වඩා සදාචාර විරෝධි ය. අනෙක් අතින් එවන් අයට බි‍්‍රතාන්‍ය වැනි රාජ්‍යයන්හී මහ කොමසාරිස්කම භාර ගන්නැයි පිටියටම ගොස් ආරාධනා කරනා රටේ ප‍්‍රධාන පුරවැසියා අත ඇති මඩු වලිගය ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක නොවීම ගැන ඔහුද සතුටු විය යුතුය. පුරවැසි සංවිධානයන් හා ජනතාව අතරින් සැලකිය යුතු කොටසක් රාජපක්ෂ රෙජීමය හා ඒ අවසංස්කෘතිය පිටු දැකීම සඳහා තමන්ට විය හැකි පුද්ගලික අනතුරු නොතකා ඉදිරියට එමින් සිටි අවස්ථාවක වඩා ප‍්‍රබුද්ධ දේශපාලන ව්‍යාපාරයක් සඳහා තම ශක්‍යතා හා කැපවීම පල කරමින් රටේ අසීරුතම මොහොතක ඉදිරියට ආ ජනපතිවරයා දෛනික කථිකයකු වීමට වඩා එමෙන්ම ජනප‍්‍රිය කතන්දරකරුවකු වීමට වඩා දියුණු සමාජයක් ගොඩනැගීම පිණිස ක‍්‍රියාවෙන් මැදිහත්වනු දැකීමට අප සතුටුය. චාලි චැප්ලින් නම් අතිවිශිෂ්ට සිනමාකරුවාට වරෙක ලැබුණ එක් වැදගත් උපදේශයක් වූයේ අනවශ්‍ය ලෙස ජනයා ඉදිරියට යාමෙන් වැළකී සිටීම වඩා ප‍්‍රඥාගෝචර බවයි.

අපට අද දවසේ අවශ්‍යව ඇත්තේද රාජපක්ෂ පන්නයේ ගැලරි දේශන නොව අත්‍යවශ්‍ය මොහොතේ මුව විවර කරන, සැම විටම රටේ අනාගතය ගැන තත්පරව ඉන්නා දේශපාලකයන් පිරිසකි.
මේ සදාචාර කතා බහ අතරේ අපට අමතකව යන තවත් එක් වැදගත් පාර්ශවයක්ද තිබේ. ඒ අන් කිසිවක් නොව වීරත්වය පිළිබඳ සංකල්පයයි. ලංකාව තරම් වීරාභිවන්දනයේ යෙදෙන තවත් රටක් ලොව ඇති දැයි සිතෙන තරමටම ලංකාව වීරයන් බිහි කිරීමට සහ ඒ වීරයන් වන්දනා කිරීමට උනන්දුසහගතය. විශේෂයෙන්ම පසුගිය යුද සමය ලංකාවට වීරයා යන්න අවි දරනා හමුදා සෙබලාය යන න්‍යායය තහවුරු කිරීමට සේවය කළ ආකාරය අපට අමතක නැත. අදත් අපරාධ චෝදනාවන්ට ලක්වූවන් පසුපස විරුවා විරුවා කියමින් දුවනා හිටපු ජනපති සහ ඔහුගේ
ඇට්ටඹි රැළ උත්සාහ කරන්නේ ඔවුන්ගේ වාසියට හේතුවන මේ වීර තුරුම්පුවම ඇද ගැසීමටය.

එහෙත් මේ හමුදා විරුවන් ගැන කතාව අපට වෙනත් සංවාදයක් සඳහා අවස්ථාව විවර කරයි. ඒ විරුවා යනු කවරෙක්ද යන්නයි. මේ සඳහා අපට අවශ්‍ය ප‍්‍රවේශය සපයා ගැනීමට පසුගිය දෙසතියේ රාවය පුවත් පතේම ලිපි  කිහිපයක් උපයෝගී කරගත හැකිය. ඉන් පළමුවැන්න ප‍්‍රභාෂ්වර විසින් විල්බට් නම් ඉංග‍්‍රීසි ගුරුවරයා ගැන ලියන ලද ලිපියයි. දෙවැන්න කැලිපනාවේ තක්කාලි මහත්තයා ගැන පුවතයි. තෙවැන්න සපත්තු මහන සෙල්වම් ගැන පුවතයි. රටක අනාගතය ගැන කල්පනා කරන විට මේ තිදෙනාම සැලකිය යුත්තේ විරුවන් ලෙසටය. ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයම අවුලක්ව පවතින විට විකල්ප සොයමින් ස්වකීය වගකීමට උරදෙන ගුරුවරයාද, ස්වකීය වෘත්තීය  පරිචය රටේ යහපත වෙනුවෙන් යොදමින් නව දැනුමක් නිපදවන කෘෂිකාර්මික නිලධාරයාද තමන්ගේ වෘත්තිය පිළිබඳ අභිමානයෙන් යුතුව දැක්මක් සහිතව දිවියට මුහුණ දෙන සපතේරුවාද කෙසේවත් රණවිරුවාට දෙවෙනි වන  පුරවැසියෙකු නොවේ. රට පුරා ඉන්නා කළු බැටළුවන් අතරේ කිසි දිනෙක අවධානයට ලක් නොවී සිය වගකීම ඉටු කර නිහඬවම දිවි රඟමඩලෙන් බැස යන මෙවන් සැබෑ වෘත්තිකයෝ විවිධ ක්ෂේත‍්‍රවල බොහෝ වෙති. එහෙත් මේ
කිසිවකුත් ඊනියා දේශපාලකයන්ට විරුවන් සේ පෙනෙන්නේ නැති.
සත්‍යය වන්නේ රට අන්තම ප‍්‍රපාතයට නොවැටී මේ තත්වයෙන් හෝ පවතින්නේ ඊනියා දේශපාලූවන් නිසා නොව සැබෑ විරුවන් විය යුතු එහෙත් අප‍්‍රකටවම අමතකව යන මෙවන් මිනිසුන් නිසා බවයි. ඉගෙන ගත්තාම ලැජ්ජාව එනව යනුවෙන් මෙහි සෙල්වම් කරනා ප‍්‍රකශය රටේ සමස්ත අධ්‍යාපනය මෙන්ම ආකල්ප කෙරේද එල්ල කෙරෙනා තියුණු අතුල් පහරකි. ඉදින් රණ විරු වන්දනාවම සිය ජීවන මාර්ගය කරගත් තක්කඩියන් මෙන්ම අනවබෝධයෙන් හුරේ දමන්නන්ද මේ ගැන අද ගැඹුරින් කල්පනා කර බැලිය යුතුය. තනපටකට වඩා වැදගත් දේශපාලන මගකට අපට අවතීරණ විය හැක්කේ එවිටය.

2 Responses to “තනපටයේ කතා වස්තුව හා විරුවන් යනු කවුදැයි හැඳිනීම”

  1. NAK Says:

    Wonder if this is another nephew of that mutt RW. For him the shoe repairman is an equal hero as the one who faced and defied death to defeat and rid the country of terrorism.
    Also wonder whether these people eat the same rice we eat or they indulge in the menu that the four legged kind eat!

  2. Jag Says:

    Nuwan Udaya Wickremasinghe, first of all you better check the definition of ”hero” and ”war hero” before belittling the ones who gave their life and limb for our tomorrow.

    Your thoughts are simply disgusting.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress