එලොවින් ආ ජීවකයාට අභියෝග කලෙමි.
Posted on January 12th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

2008 වසරේ පමණ ඉරිදා ලංකාදීප පුවත් පතේ ඕනෑම ලෙඩක් සුව කරන එලොවින් ආ ජීවකයෙකු ගැන වාර්තා පළ විය​. මෙම ලිපි මාලාව ලියන ලද්දේ නන්දසේන සූරියආරච්චි නම් පුවත්පත් කලාවේදියෙකි. මෙම එලොවින් ආ ජීවකයා ලංකාවේ පමණක් නොව ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා වෙදකම් මගින් සුවපත් කොට ඇති බව සඳහන් විය​. එසේම විවිධ ඡායාරූපද පළ විය​. එක් ලිපියක දැක්වූ පරිදි ඔහු හිටපු ජර්මානු චාන්සලර් හෙල්මුට් කෝල්ටද ප්‍රතිකාර කර තිබුණි.

පුවත්පත් කලාවේදියා සමග එක්ව එලොවින් ආ ජීවකයා විසින් කරන ව්‍යාජ රඟපෑම මුලින්ම ප්‍රශ්න කරන ලද්දේ ගාමිනී වියන්ගොඩ මහතා විසිනි.  එලොවින් ආ ජීවකයා ගැන පළ කරන ලද ඡායාරූප වල ඇති බොරුවද ගාමිනී වියන්ගොඩ මහතාගේ ප්‍රශ්න  කිරීම් වලට හසු විය​. ඒ සම්බන්ධයෙන් ලිපියක් රාවය පුවත් පතේ පළ විය​.

jeevaka

කෙසේ වෙතත් මුලාවූ ජනයා පෝලිම් ගැසී ප්‍රතිකාර සඳහා මේ ඊනියා ජීවකයා වෙත ගියහ​. ඒ අතර ප්‍රසිද්ධ චරිත පවා වූහ​. මේ බොරුව ගැන රටට හෙලිදරව් කල යුතු බව මම අපගේ ජේෂ්ඨ වෛද්‍යවරු  අමතා කීවෙමි. නමුත් මෙම කටයුත්තේදී බොහෝ දෙනෙකු පෙරමුණ ගැනීමට බිය වූහ​. අවසානයේදී ලක්බිම පුවත්පතේ සහයෙන් මම ප්‍රසිද්ධියේ එලොවින් ආ ජීවකයාට අභියෝග කලෙමි.

මාගේ අභියෝගය වූයේ සුව කල නොහැකි බවට වෛද්‍යවරුන් විසින් සනාත කරන ලද රෝගීන් 10 දෙනෙකු අතරින් එක් රෝගියෙකු හෝ සුව කොට පෙන්වන ලෙසටයි.  මෙම අභියෝගය ලක්බිම පුවත්පතේ පළ වීමත් සමගම එලොවින් ආ ජීවකයා පසු බැස ගියේය​. ලංකාදීප පුවත්පතේ පළවූ නන්දසේන සූරියආරච්චිගේ ලිපිද නැවතුනි.

ඉන් මාස කීපයකට පසුව මට ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ධර්මපාල සහ තාරක වරාපිටිය යන මහතුන් හමු විය​. මිත්‍යාව සහ වංචාව මගින් සමාජය රැවටීමට තැත් කල වංචනිකයන් දෙදෙනෙකුට කෙලින්ම අභියෝග කිරීම පිළිබඳව ඔවුහු මට ස්තූති කලහ​.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress