සෝවියට් යුදෙව්වෝ
Posted on January 24th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග
විනිට්සා වෛද්‍ය පීඨයේ සිසුවියක වන තත්‍යානා චායිකා රූමත් ය. එහෙත් ඇයගේ කොණ්ඩයේ පැහැය කළුය. හිස්ටොලොජි හෙවත් පටකවේදය දේශන වලදී ඇය මා අසලින්ම වාඩිවී සිටියාය. තත්‍යානා චායිකා මා සමග සාමීචීයේ යෙදුනේ ඉංග්‍රීසි බසිනි. අනෙක් සෝවියට් සිසු සිසුවියන්ට සාපේක්‍ෂව ඇයගේ ඉංග්‍රීසි දැණුම ඉහලය. ඉංග්‍රීසි දැණුම ලබා ගැනීම පිණිස තමා රාදියෝ සබෝදා ඉංග්‍රීසි සේවයට සවන් දෙන බව ඇය මට වරක් රහසින් කීවාය. රාදියෝ සබෝදා ගුවන් විදුළි සේවයට සවන් දීම තහනම් ය. එය ප්‍රචාරණය කරන්නේ බටහිර ලෝකයේ සිටය. ඇය එවැනි රහසක් මට කීවේ මා කෙරෙහි ඇති විශ්වාසය නිසා බව මට සිතුණි.
” මේ සෙනසුරාදා හොඳ ජීඩීආර් (නැගෙනහිර ජර්මානු) චිත්‍රපටයක් තියෙනවා බලන්න යමුද ? ඇය ඇසුවාය. නැගෙනහිර ජර්මානු චිත්‍රපටය මට රුචි නැත. එහෙත් ආරාධනාව එකවර ප්‍රතික්ශේප කිරීම සුදුසු නැති නිසා එදින මම ඔලෙග් ගේ නිවසට යන බව කීවෙමි. ඔලෙග් වෛද්‍ය පීඨයේ එක් දෙපාර්තමේන්තුවක සේවය කල තරුණයෙකි. ඔහු රොක් සංගීත ලෝලයෙකි. කැසට් ඉල්ලා ගැනීම පිණිස නිතරම මා හමු වීමට එයි. ඔලෙග් මගේ මිතුරෙකු බව ඇය දන්නීය.
විරාමයේදී අප දෙදෙනා කැන්ටිමට ගියෙමු. එතැන දිගු පෝලිමකි. කෙසේ හෝ මම තේ කෝප්ප දෙකක් සහ කුඩා ප්‍රමාණයේ පිත්සා දෙකක් මිලට ගත්තෙමි. අප දෙදෙනා කැන්ටිමේ වාඩිවී තේ බොමින් සිටින අයුරු ලූදා බලා සිටියාය.
දේශනයෙන් පසු තත්‍යානා තම මව හමු වීම පිණිස මයික්‍රෝ බයලොජි දෙපාර්තමෙන්තුවට ගියාය. ඇයගේ මව එම දෙපාර්තමෙන්තුවේ කථිකාචාර්‍යවරියකි. මම නේවාසිකාගාරය බලා ගියෙමි. මා පසුපස ලූදා පැමිණියාය.
” ඔයා දන්නවාද තාන්‍යා ශිද් කෙනෙක් කියලා? ඇය මගෙන් විමසුවාය. ශිද් යනු යුදෙව් ජාතිකයන් හඳුන්වන අපහාසාත්මක වදනකි. එය සක්කිලියා යන අරුත ගෙන එයි.
” මට එයාගේ ජාතිකත්වය අදාල නැහැ “මම රළු ලෙස පිළිතුරු දුන්නෙමි.
” නැහැ මම කිව්වේ ඒක ඔයා දන්නේ නැත්නම් දැනගන්න කියලා ” ලූදා පසුබසින ස්වරයකින් කීවාය.
යුදෙව්වනට සෝවියට් දේශයේ පවා වර්ගවාදීව සලකනු ලැබීම මා පුදුමයට පත් කලේය. අපගේ මහාචාර්‍යවරු බොහොමයක් යුදෙව්වෝ වෙති. කායික රෝග මහාචාර්‍ය ශ්ක්ලෙයාර් නැගෙනහිර ලෝකයේ පමණක් නොව බටහිර ලෝකයේද පිළිගැනීමක් ඇති උගතෙකි. ඔහුගේ පියාද මහාචාර්‍ය කෙනෙකි. එසේම මහාචාර්‍ය මිකුනිස් , මහාචාර්‍ය සෙලීන්ස්කි යුදෙව් ජාතියට අයත් වන බව මා දැන සිටියෙමි. මොවුන් උගතුන් ගෙත් උගත්තුය.
මහාචාර්‍ය මිකුනිස් පසු කාලයක සෝවියට් දේශය හැර දමා ඊශ්‍රායෙලයට ගියාය. ඒ වන විට ඇය ඇවිදීමට පවා නොහැකි මහළු වියේ වූවාය. එහෙත් පොරොන්දුවූ දේශයට තම මරණයට පෙර යාම ඇයගේ අභිලාශය බව පලස්තීන ජාතික සිසුවෙකු වූරයීෆ් මට කීවේය.
රයීෆ් යුදෙව්වන් පිළිකුල් කරති. “උන් ඔක්කොම යුදෙව්වෝ” ඔහු අපගේ යුදා ජාතික ආචාර්‍යවරුන් වෙත පොදුවේ වෙන් කරමින් පවසයි. රයීෆ් ගේ යුදෙව් විරෝධය මට තේරුම් ගත හැකිය. පලස්තීන අනාතයෙකු ලෙසට ජෝර්ධානයේ ඊශ්‍රායෙල මිලිටරි බලය සියැසින් දකිමින් කරදඞු උස් මහත් වූ ඔහුගේ යුදෙව් විරෝධය ලේ මස් වලටම කා වැදී තිබේ. වරක් ඈතින් එන මහාචාර්‍ය මිකුනිස්ට ” ෂැලොම් ෂැලොම් ” කියා ඔහු සමච්චලයට සමාචාර කලේය. හොඳ වේලාවට මහාචාර්‍ය මිකුනිස්ට එය ඇසුනේ නැත.
මගේ කොන්ඩය කපන කරණවෑමී වෝවා යුදෙව්වෙකි. ඔහු මා හැඳින්වූයේ ශ්‍රී ලාංකික මස්සිනා කියාය.
” ශ්‍රී ලාංකික මස්සිනා උඹලගේ රටේ යුද හමුදාවක් ඉන්නවද ? ඔහු අසයි. මම හිස් සලමි.
උඹලගේ රටේ හමුදාවෙ රොකට් අවි , සබ්මැරීන් , පරමාණු බෝම්බ තියනවද ? ඔහු මගේ හිසකෙස් කපමින් අසයි.
මගේ ප්‍රතිචාරය අසන ඔහු මෙසේ කියයි.
අපොයි සබ්මැරීන් එකක්වත් නැති හමුදාව , ඒක හමුදාවක් ද පාණ්ඩුවක්ද ? වෝවා මිත්‍රශීලී ලෙස මට සමච්චල් කරයි.
හිසකෙස් කැපීමෙන් පසු මගේ හිසේ ඕඩිකොලොන් ගල්වන ඔහු එය පැරීසියේ නිශ්පාදනයක් කියයි. එහෙත් එය සෝවියට් දේශයේ නිෂ්පාදිත බාල වර්ගයේ එකකි. එසේම මිලෙන් ද අඩුය.
” මගේ අදහස කවදා හරි ඊශ්‍රායලයට යන එක වෝවා කියයි. මුන් ( සෝවියට් බලධාරීන්) මාව මෙහෙන් යවන එකක් නැහැ.
ඒ කාලයේ සෝවියට් යුදෙව්වන්ට ඊශ්‍රායලයට යාම අපහසු විය. එය ඉතා දීර්ගකාලීන වෙහෙසකර ක්‍රියාවක් විය. නිලධාරිවාදය විසින් එය තව තවත් දුෂ්කර කොට තිබුණි. ඊශ්‍රායලයට ගිය සෝවියට් යුදෙව්වන් බොහෝ දෙනෙකු එතැනින් ඇමරිකාවට හෝ කැනඩාවට ගියහ. නීති රීති ලිහිල් වීමෙන් පසු රුසියන් ජාතිකයන් සමහරක් ද බොරුවට යුදෙව් සම්භවයන් පෙන්වා ඊශ්‍රායලයට ගියෝය.
යුදෙව් ජාතික ෂාම් රායි ඔවුන් ගේ යුදෙව් සම්භවය ගැන උදන් අනයි. ” නුඹ දන්නවාද සයිමන් සහ ගාෆන්කල් එමෙන්ම බොබ් ඩිලන් යුදෙව්වන් කියා ? ඔහු මගෙන් අසයි.
” මම දන්නා පරිදි බාබරා ස්ට් රයිසෑන්ඩ් , බිලී ජොඑල් , ජීන් සිමොන්ස් පවා යුදෙව් ” මම ඔහුට පවසමි .
ෂාම් රායි ආඩම්බරයෙන් හිස වනයි. ” ඔව් අපේ මිනිස්සු තමයි සෝවියට් දේශයේ න්‍යෂ්ටික බෝම්බ පවා තැනුවේ. සෝවියට් දේශය ආරක්‍ෂා කලේ අපි ඒත් රුසියන්වරු අපි කොහේ ගියත් අපිව කොන් කරනවා.
ෂාම් රායි තරුණ වෛද්‍යවරයෙකි. ඔහු සෝවියට් ක්‍රමයට අකමැතිය. ඔහුගේ අභිලාශය කවදා හෝ ඇමරිකාවට යාමටය. ලීවයිස් ඩෙනිම් ජීන්ස් අඳින මල්බරෝ සිගරට් පානය කරන ෂාම් රායි සිතෙන් බටහිරයෙකි. ඔහු සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයට සිනාසේ.
“ඒකේ ඉන්නේ හොරු රංචුවක් . උන් අපිට කවදාවත් ඊශ්‍රායලයට යන්න දෙන එකක් නැහැ. අපි ගියොත් සෝවියට් ක්‍රමය කඩා වැටෙනවා”
මට න්‍යෂ්ටික විද්‍යාඥ අන්ද්‍රේ සහාරොෆ් සිහිපත් වේ. ඔහුට සෝවියට් දේශයෙන් පිට යාමට බලධාරීන් ඉඩ නොදෙති. එසේම සෝවියට් දේශය ආරම්භක ලෙනින් සමග උරෙන් උර වැඩ කල ලියොන් ටේරොස්කිද යුදෙව්වෙකි. අවසානයේදී ස්ටාලින් ගේ නියෝග මත මෙක්සිකෝවේදී ඔහුගේ හිසට පොරෝ පහරක් දෙනු ලැබීය.
අපෙගේ නේවාසිකාගාරයේ වක්තියෝර්කා හෙවත් මුරකාරිය – සීදරොව්නා නූගත් ගැමි අර්ධ රුසියානු , යූක්‍ර්‍රයීන කාන්තාවකි. ඇය ප්‍රසිද්ධියේම යුදෙව්ව්න්ට පරිභව කරන්නීය.
“අපොව් යුදෙව්වෝ ශිද් පහාරයෝ උන්ට අපේ පලාතේ කියන්නේ මලාන්සි කියලා. (මලාන්සි යනු යුදෙව් ජාතිකයන්ට කියන අපහාසාත්මක වදනකි) උන් හරිම අපිරිසිදුයි. එක සැරයක් යුදෙව් ගෙදෙරකින් සුප් බීලා මට තුන් සැරයක් වමනේ ගියා”
එහෙත් මම දන්නා තත්‍යානා චායිකා ඇතුළු අනෙකුත් යුදෙව්වන් පිරිසිදුය. උගත් ය. ප්‍රිය මනාප හැසිරීමෙන් යුක්තය.
” මම ලබන වාරයෙන් පසු නැවත වෛද්‍ය පීඨයට එන්නේ නැහැ ” දෙවන වසර අවසානයේදී තත්‍යානා චායිකා මට කීවාය. ” මමයි අම්මයි ඊශ්‍රායලයට යනවා”
” එතකොට ඔයාගේ වෛද්‍ය අධ්‍යාපනය? මම ඇසුවෙමි.
“මම ටෙල් අවිව් වල වෛද්‍ය පීඨයකට යන්න අදහස් කරනවා ” ඇය සංවාදය නිම කළාය. මම ඇයට සුභ පැතුවෙමි.
තෙවන වසර අරඹන විට තත්‍යානා චායිකා අප අතර නොවූවාය. සෝවියට් දේශයෙන් ගිය පසු ඇයගෙන් කිසිම ලිපියක් මට ලැබුනේ නැත. එහෙත් මේ කළු කෙස් සහිත යුදෙව් කෙල්ල මට අමතක නොවේ. මේ වන විට ඇය වෛද්‍යවරියකව ඊශ්‍රායලයේ රෝහලක සේවය කරනවා නිසැකය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග