රිමාන්ඩ් වූ ඥානසාර හිමියන් ඊට මොහොතකට පෙර කියූ කතාව
Posted on January 30th, 2016

සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මේ මොහොතේ බන්ධනාගාරගතව සිටින්නාහ. ඒ අධිකරණයට අපහාස කිරීම, අබියෝග කිරීම සහ රාජ්‍ය නිලධාරින්ට තර්ජනය කිරීම ආදී වශයෙන් වූ චෝදනා කිහිපයක්‌ යටතේය.

උන්වහන්සේව එසේ සිරගත කෙරුණේ ඉකුත් 26 වැනිදා ය. එය කෙරුණේ ද සුද්දන් විසින් අපට දුන් නීතිය යටතේමය. හරියට ඉතිහාසයේ එන කුඩහපොළ හිමියන්ගේ කතාව වගේමය. වෙනසකට ඇත්තේ ඥානසාර හිමියන්ට මරණය දඬුවමක්‌ ලෙස ලබා දීමට නොහැකිව තිබීම පමණි.

ඥානසාර හිමියනට මෙසේ සිරගත වීමට සිදු වූයේ කුමක්‌ නිසාද? ඒ නිධාන කතාව අපූරු එකකි. දිනය ඉකුත් විසිපස්‌වැනිදා විය. එදින මේ බිමේ විමුක්‌තිය උදෙසා එල්ටිටීඊ ත්‍රස්‌වාදීන්ට එරෙහිව පෙරට ගිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ විරෝදාර රණවිරුවන් හය දෙනකුට මිනිස්‌ ඝාතන චෝදනා එල්ල වී ඇති ප්‍රගීත් එක්‌නැලිගොඩ නඩුව හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් තිබිණ.

ඥානසාර හාමුදුරුවෝද මෙය දැක බලා ගැනීමට පැමිණ තවත් හිමිවරුන් කිහිප නමක්‌ සමඟ අධිකරණයේ සිටියහ. නඩු විභාගය ඇරඹිණි. බුද්ධි නිලධාරින්ට එරෙහිව සීඅයිඩීය ගොනු කළ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්‌වන්නට සිටියේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස්‌ මහතාය.

එදා මේ නඩුව ආරම්භයේදීම හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා පැමිණිල්ලේ නීතිඥ දිලීප පීරිස්‌ මහතාගෙන් මෙන්ම සීඅයිඩියෙන්ද එක්‌ වැදගත් ප්‍රශ්නයක්‌ අසනු ලැබීය.

ඒ බුද්ධි නිලධාරින්ට චෝදනා එල්ල කර ඇති නඩුවේ නිමිත්ත වූ ප්‍රගීත් එක්‌නැලිගොඩ මැරිලද?, මරලද? ඔහු මියගිය බවට කිසියම් හෝ සාක්‍ෂියක්‌ තිබේද? කියාය. මහෙස්‌ත්‍රාත්වරයාගේ මේ ප්‍රශ්නය ඉදිරියේ දිලීප පීරිස්‌ මහතාටවත් සිඅයිඩීයටවත් පැහැදිලිව දෙන්නට Rජු පිළිතුරක්‌ නොවීය.

එහිදී යළි ඔවුන් ඇමතූ මහෙස්‌ත්‍රාත්වරයා එසේ නම් දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය (සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය) යටතේ මේ රණවිරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ කුමක්‌ නිසාද සහ එම තත්ත්වය මත මේ නඩුව පවත්වාගෙන යන්නේ කෙසේදැයි සීඅයිඩීයෙන් සහ පැමිණිල්ලේ නීතිඥයන්ගෙන් විමසීය.

එයට දෙන්නට Rජු පිළිතුරක්‌ද සීඅයිඩීයට හෝ පැමිණිල්ලේ නීතිඥමහත්වරුන්ට නොවිණි. එහෙත් ඔවුන් පිළිතුරක්‌ දුන්නේය. එහි අවසානයට කීවේ ප්‍රගීත් එක්‌නැලිගොඩ මියගිය බව තමන්ටද නිශ්චිතව කිව නොහැකි යෑයි යන්නය.

අවසානයේ සැකකාර රණවිරුවන් යළි රක්‍ෂිත බන්ධනාගාරගත කළ මහේස්‌ත්‍රාත්වරයා එදින එම නඩු විභාගය අවසන් කළේය. ඒ සමගම රට බේරාගත් ඒ විරුවෝ විත්ති කූඩුවෙන් බැස පහත් කරගත් හිසෙන් යුතුව ඥානසාර හිමියන් ඉදිරියෙන් ගමන් කරන්නට වූහ. කතාව ආරම්භ වන්නේ එතැන් සිටය.

මේ රණවිරුවන් වේදනාවෙන් යුතුව තමන් ඉදිරියෙන් යන අයුරු මොහොතක්‌ බලා සිටි ඥානසාර හිමියෝ එක්‌වරම අධිකරණය තුළ නැගී සිටියහ.

එසේ නැගී සිටි උන්වහන්සේ දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය (සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය) යටතේ රට ජාතිය බේරාගත් මේ රණවිරුවන් අධිකරණයට ගෙන ඒමෙන් සිදු කර තිබෙන්නේ අසාධාරණයක්‌ බව ඔබතුමාට වැටහෙන්නේ නම් ඇයි ඔවුන්ව ඇපමත හෝ නිදහස්‌ නොකරන්නේයි මහෙස්‌ත්‍රාත් වරයාගෙන් විමසූහ.

එහිදී නීතිය අනුව තමන්ට එසේ කළ නොහැකි බව මහෙස්‌ත්‍රාත්වරයා ඥානසාර හිමියන්ට පැවසීය. ඒ සමඟම දැඩි ලෙස වේදනාවට පත් වූ උන්වහන්සේ සුද්දන්ගේ නීතිය වීසි කර දමා තමන් ඇතුළු මහ සඟරුවන බන්ධනාගාරගත කර මේ විරුවන් එළියට දමන්නැයි මහෙස්‌ත්‍රාත්වරයාට කීහ.

පසුව ඒ විරුවන් වෙනුවෙන් තවත් කරුණු දැක්‌වූ ඥානසාර හිමියෝ අධිකරණයෙන් පිටව ගියහ. මේ සමගම රජයේ ජ්‍යෙෂ්ඨ අධීනීතිඥ දිලීප පීරිස්‌ මහතා ඇතුළු අධිකරණයේ සිටි නීතිඥ මහත්වරුන් ඥානසාර හිමියන් සිදු කළේ අධිකරණයට බරපතළ අපහාසයක්‌ යෑයි පවසමින් මහෙස්‌ත්‍රාත්වරයාට කරුණු දක්‌වන්නට විය.

එහිදී හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා තීරණයක්‌ ගත්තේය. ඒ අනුව ඥානසාර හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයාට නියෝගයක්‌ නිකුත් කළේය.

හෝමාගම අධිකරණයේ නියෝග මත ඉකුත් 26 වැනිදා ඥානසාර හිමියන් බන්ධනාගාරගත කෙරෙන්නේ මේ අනුවය. එහෙත් එසේ බන්ධනාගාරගත කිරීමට පෙර උන්වහන්සේ සමඟ මේ පිළිබඳ වචන කිහිපයක්‌ කතා කරන්නට අපට අවස්‌ථාවක්‌ ලැබිණ. එහිදී උන්වහන්සේ එය මෙසේ වචන කරන්නට වූහ.

“දරුවෝ.. බුදු දහම කියන්නේ හේතු ඵල වාදය මත ගොඩනැගුණු දහමක්‌.. ඒත් අද බොහෝ දෙනා මම කරපු එකේ ඵලය දිහා විතරයි බලන්නේ.. කවුරුත් හේතුව දිහා බලන්නේ නැහැ..

මේ බුද්ධි අංශ රණවිරුවෝ කියන්නේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් අතිමහත් කැපකිරීම් කරපු පිරිසක්‌.. එදා ඔවුන් අධිකරණයේදී දැසේ කඳුළු පුරවගෙන විත්ති කූඩුවෙන් බැහැලා එනකොට මට ඒක ඉවසුම් නොදෙන්නක්‌ වුණා.. මෙතන තිබෙන ඵලය මගේ ක්‍රියාව වුණාට එකේ හේතුව වුණේ ඔවුන්ගේ ඇස්‌වල තිබුණු ඒ කඳුළු.

“ඒ කඳුළු දැක්‌කහම මට බලාගෙන ඉන්න බැරුව ගියා.. ඒකයි මම අධිකරණයේදී නැගිටලා මහෙස්‌ත්‍රාත්තුමාගෙන් අවසර අරගෙන ඔවුන් වෙනුවෙන් කතා කළේ.. මහෙත්ස්‌ත්‍රාත්තුමා මගේa ඒ කතාවට ඇහුම්කන් දුන්නා.. එතුමා ඒකට මුකුත් කීවේ නැහැ.. එතුමා කීවේ නීතියට අනුව තමන්ට කටයුතු කරන්න සිද්ධ වෙනවා කියන එක විතරයි.. එතුමා කිව්වේ හරි හෝ වැරදි වුණත් පැමිණිල්ල අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ 296 වගන්තිය යටතේ නිසා ඇප දිය නොහැකියි කියලයි..

“හැමදාම මේ රට වෙනුවෙන් ඉදිරියට ගිය මහා සංඝයාට පොරවපු බුද්ධ චීවරේ ඇඟේ තියාගෙන මම කොහොමද දරුවෝ එතනදී නිහඬ වෙන්නේ.. මේක අපේ රට.. රණවිරුවෝ කියන්නේ ඒ රට කොටින්ගෙන් බේරගත්තු පිරිස.. ඉතින් ඔවුන්ව අසාධාරණ විදිහට හිරකරනවා දකිනකොට මට නිහඬ වෙන්න බැරි වුණා..

“මොකක්‌ද මේ නීතිය.. අද සමහරු රටම බලාගෙන ඉන්නැද්දී බරපතළ වැරදි කරලා උසාවියෙන් ඇප අරගෙන ගෙදර යනවා.. උසාවියට ගල් ගහපු මිනිස්‌සුන්ටත් ඇප ලැබෙනවා.. ඒත් මේ රට වෙනුවෙන් ඇස්‌, හිස්‌, මස්‌, ලේ දන් දුන්නු රණවිරවෝ ඇප ගන්න බැරි වගන්ති යටතේ උසාවි ගෙනල්ලා අසාධාරණ විදිහට හිර කරනවා..

ඒ කතාව පිළිබඳ එසේ පැවසූ ඥානසාර හිමියෝ එතැන් සිට තවත් බොහෝ දෙදේ පවසන්නට වූ. ඒ මෙසේය.

“අද මේ රටේ සමහරු රට විනාශ කරමින් සිටින්නේ.. ඔවුන් මේ රට ජාත්‍යන්තරයට පාවා දෙන්න සියලු දේ කරනවා.. මේ රට බෙදා වෙන් කරන්න පිඹුරුපත් සකසනවා.. එතනදී සිදු විය හැකි මහා සංඝරත්නයේ නැගීසිටීම වලක්‌වන්න පාර්ලිමේන්තුවට පනත් ගේනවා.. සංඝ සමාජය බෙදා වෙන් කරන්න හදනවා..

මම කිසිම දේශපාලනයක්‌ තියන කෙනෙක්‌ නෙමෙයි.. මට මහින්දත් එකයි ගෝඨාභයත් එකයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් එකයි රනිලුත් එකයි.. කොයි දේශපාලනයෙන් හරි රට විනාශ කරනවා නම් මම ඒකට විරුද්ධයි.. මේ රටේ ජනතාව දෙන දානේ වේලෙනුයි බුද්ධ පුත්‍රයන් වන අපි ජීවත් වෙන්නේ.. ඒ ජනතාවයි අපිව රැකබලා ගන්නේ..

“ඒ නිසා ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් පෙනී සිටින්න හැමෝටම වඩා මහා සංඝරත්නයට අයිතියක්‌ තිබෙනවා.. ඒක නතර කරන්න කාටවත් බැහැ.. මම මේ රටේ සියලුම සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ එක දෙයයි..

“මේ උදාවෙලා තියෙන්නේ රට වෙනුවෙන් මහා සංඝරත්නය පෙනී සිටිය යුතු වෙලාවක්‌.. අපි අවිහිංසාවාදීව අද පාලකයන් රටට සිදු කරන විනාශයට එරෙහිව නැගී සිටිය යුතුයි.. මේ මහා සංඝරත්නය එකාවන්ව එකතු විය යුතු මොහොතක්‌.. එසේ නොවුණොත් මේ අය රට විනාශ කරනවා.. මේක කෑලිවලට කඩලා බෙදා වෙන්කරනවා..

“එතනදී සංඝයා වහන්සේට හිරේ යන්න සිද්ධ වෙයි.. සුද්දන්ගේ පදේට නටන පාලකයෝ මහා සංඝරත්නය හිරේ දායි.. තමන්ගේ පැවත්ම වෙනුවෙන් මොවුන් ඕනෑම දෙයක්‌ කරයි.. හිරබත් කන්න සිද්ධ වුණත් සංඝ සමාජය මේ රට වෙනුවෙන් පෙනී සිටිය යුතුමයි..

අද සමහරු බොදුබල සේනාව වගේ මහා සංඝයා වහන්සේ පෙරට එන ජාතික ව්‍යාපාරවලට පහර දෙනවා.. පසුගිය කාලයේ කොටි ත්‍රස්‌තවාදීන්ට කඩේ ගිය වෙබ් කාක්‌කන් තමයි ඒ තැන්වල පෙරමුණේ සිටින්නේ.. එවුන්ට ඕනෑ මේ රට බෙදී වෙන්වී විනාශ වී යනවා දකින්න..

එහෙත් කවුරු මොන දේ කළත් මොන ප්‍රචාර ගෙන ගියත් දහස්‌ වාරයක්‌ හිරේ යන්න සිද්ධ වුණත් කිසි දිනෙක මේ රට වෙනුවෙන් කතා කරන මහා සංඝරත්නයේ හඬ නතර කරන්න බැහැ කියන එකත් ඔවුන්ට දැනුම් දෙන්න ඕනේ..”

කෙරුණු කතාබහ අතරේ එසේ පැවසූ ඥානසාර හිමියෝ නිහඬ වූහ. බන්ධනාගාරගත කෙරුණු උන්වහන්සේ මහ සඟරුවන ඇතුළු දහසක්‌ දෙනාගේ විරෝධතා මැද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවේ ඉකුත් 26 වැනිදා සවසය.

එහිදී උන්වහස්‌සේට රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ගෙන් ලැබී තිබුණේද ඉමහත් ගෞරවයකි.

“හාමුදුරුවන් බන්ධනාගාරයට ගෙනාවට පස්‌සේ නිලධාරින් තුන්දෙනෙක්‌ උන්වහන්සේගේ ආරක්‍ෂාවට යෙදෙව්වා.. ඒත් අපිට කරන්න කිසිම දෙයක්‌ තිබුණේ නැහැ.. ඥානසාර හාමුදුරුවන්ව දැක්‌ක ගමන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය රැඳවියන් සාදු නාද පවත්වමින් දණ නමා උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා..

එතන ඉඳන් ඥානසාර හිමියන්ව බන්ධනාගාර රෝහලට ගෙන යනතුරුම උන් වහන්සේගේ සිවුරු රෙදි ආදිය සෝදා දුන්නේ.. අනිකුත් සියලුම ඕනැ එපාකම් කර දුන්නේ ඒ රැඳවියෝ.. ඔවුන් ඥානසාර හිමියන්ට දැක්‌වූයේ පුදුමාකර ගරුත්වයක්‌..”

එකී බන්ධනාගාරය තුළදී සිදුවූ සිදුවීම් පෙළ ඉකුත් සතියේ දිනක අපට එසේ පවසා සිටියේ සියල්ල දැන සිටි බන්ධනාගාර නිලධාරියෙකි. මේ අතරතුර ඥානසාර හිමියන්ට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක්‌ පසුගියදා ප්‍රතික්‍ෂේප විය.

උන්වහන්සේ හඬ නගනු ලැබුවේ මේ රට බේරාගත් විරුවන් වෙනුවෙන්ය.. එවන් දේ මේ රටේ ඉතිහාසයේද සිදුව ඇත.. එසේ නම් ඥානසාර හිමි වැනි සඟරුවනක්‌ තවත් බන්ධනාගාරගතව සිටිය යුතුද?

මේ මොහොතේ එය අපේ ප්‍රශ්නය වී තිබෙන්නේය. එයට පිළිතුරු දිය හැක්‌කේ කාටද?

සමන් ගමගේ

2 Responses to “රිමාන්ඩ් වූ ඥානසාර හිමියන් ඊට මොහොතකට පෙර කියූ කතාව”

  1. Christie Says:

    Cause is the Indian Empire and effect is the current government.

  2. ranjit Says:

    There is no pkace for the truth with this evil traitors who formed a Govt with the black money provided by evil Imperialists and the Indian parasites. We all salute this great buddhist monk who stood alone on behalf of our war heroes without fear. He should be protected same as Mahinda our great President who sent Prabakaran to hell. SINHALAYA get united forget the party poltics. This is the time to save our Motherland again from terrorist God Fathers America and India.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress