සිංහල සංස්කෘතියේ් සොප්‍රානෝ තලයේ සංඛට නැති කිෂානිට ඇති වැදගත්කම
Posted on February 17th, 2016

නලින් ද සිල්වා 

සංඛ අමර්ජිත්ගේ වැඩ තහනම් කිරීමට දෙරණ ආයතනය තීරණය කර ඇත්තේ කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන් ගීතය ගැයීම ගැන කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙනි. එය බලපෑමක් යටතේ සිදුවිණි ද නැද්ද යන්න ගැන මම නො දනිමි. එහෙත් එය රනිල් වික්‍රමසිංහ බදුල්ලේ දී කරන ලද තවත් විශේෂ ප්‍රකාශයකට පසුව සිදු වී ඇත. දෙරණ මාධ්‍යවේදීන්ගෙන් මා තරමක් දන්නේ චතුර අල්විස් පමණ ය. සංඛ ඇතුලු අනෙක් ඇතැමුන් සමග මා වචන කිහිපයක් හුවමාරු කරගෙන ඇති මුත් දැන ඇඳුනුම් කමක් නැත. මේ වචන හුවමාරු ඇතැම් විට බහින් බස් වීම් බවට ද පත් වී ඇත. දෙරණ ආයතනය මට වඩා වැදගත්කමක් ජාතික ව්‍යාපාරයේ අනෙක් අයට ලබා දෙයි. මා සහ දෙරණ අතර විශේෂ සම්බන්ධයක් නැත. දෙරණ ද මා ප්‍රතික්‍ෂෙප කරයි!

එහෙත් සංඛගේ වැඩ තහනම ගැන මට ඇත්තේ විරෝධයකි. එය සදාචාරාත්මක කඩතුරාවකින් වසා දැමීමට බොහෝ ජනමාධ්‍යවේදීන් කටයුතු කිරීම මෙරට ඇති ඊනියා මාධ්‍ය නිදහස පිළිබිඹු කිරීමක් ද? රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට ගෙම්බා රීරියකා ආදී නම්බු නාම පටබඳීයි. ඔහු බදුල්ලේ දී මාධ්‍යවේදීන්ට බලු ගෞරවය පිදී ය. කලකට පෙර ගෝඨාභය රාජපක්‍ෂ ඩේලි මිරර් පුවත්පතේ කතෘවරිය වූ චම්පිකා ලියනාඅරච්චිට දුන් දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු සටනට වැදුනහ. එහෙත් සංඛ වෙනුවෙන් කතාකිරීමට මාධ්‍යවේදීන් ඉදිරිපත් නොවන්නේ ඔවුන් තමන්ට දී ඇති ගෞරව නාම පිළිගන්නා බැවින් ද?

කෙසේ වෙතත් සංඛ චම්පිකා මෙන් ජනමාධ්‍යයේ සොප්‍රානෝ තලයේ නැත. ඔහු ඇත්තේ ජන ගී තලයේ විය හැකි ය. මාධ්‍යවේදීහු ද විවිධ තලවල වෙති. සොප්‍රානෝ යන්න සිංහල උගතුන් අතර වඩාත් භාවිතාවන්නේ සැමරීමට නිදහසක් නැති දිනයේ කිෂානි දන්නෝ බුදුන්ගේ ගීතය ගැයීමෙන් පසුව ය. ඒ දිනයට නම් අපේ යටත්විජිතබව ප්‍රකාශ කිරීම සඳහා ඒ උචිත ගායනයක් විය.  සොප්‍රානෝ යනු ඉතාම තීව්‍ර ස්වරයේ සම්භාව්‍ය ගායිකා කටහඬකි. එය බටහිර සංගීතයට අනුව මිඩ්ල් සී හා හයි ඒ අතර හෝ සොප්‍රානෝ සී හි හෝ පිහිටන්නේ යැයි කියැවෙයි. ඉහළ තලවලට සොප්‍රානෝ තල යැයි කීම උචිත යැයි සිතමි. කිෂානි සොප්ර්නෝ කටහඬකින් ඔපෙරා ශෛලියේ ගායනා ඉදිරිපත් කරයි. ඇය පසුගිය දා දන්නෝ බුදුන්ගේ ගීතය එසේ ඉදිරිපත් කර ඇත. අනුරූප ගායකයෝ සොප්‍රානිස්ට් ලෙස හැඳින්වෙති. එහෙත් අපි අදාළ තලය සොප්‍රානෝ නමින් ම හඳුන්වමු.

මම සංගීතඥයෙක් නො වෙමි. කිසිම ක්‍ෂෙත්‍රයක සොප්‍රානෝ තලයකට ද අයත් නො වෙමි. එහෙත් මම විවිධ සොප්‍රානෝවරුන් ඇසුරු කර ඇත්තෙමි. ඒ මා කුඩා කල සිට ලැබූ භාග්‍යයක් විය හැකි ය. ඔවුන්ගේ දුර්වලකම් දනිමි. මගේ තලය ජන ගී තලය ද නො වේ. මා කියන්නේ බයිලා යැයි ඇතැම්හු කියති. ඒ කුමක් වුවත් පසුගිය දා මා රනිල්, කිෂාන් හා සංඛ ගැන ලියු ලිපියකින් කොටසක් උපුටා දක්වමි. සංඛගේ නික්ම යෑමට හේතුව නිදහසක් නැති දිනයක කිශානි ජයසිංහ නම් ගායිකාවක දන්නෝ  බුදුන්ගේ  ගීතය ගැයීම පිළිබඳ ව සංඛ කළ විචාරයක් බව පැහැදිලි ය. මම එදින ද සුපුරුදු පරිදි දෙරණ අරුණ නැරඹීමි. සංඛ කියා සිටියේ දන්නෝ බුදුන්ගේ එකී ගායනය ඇසුණු ගැමියකු බැළලියක් කෑ ගසන්නේ යැයි සිතා ගඩොල් බාගයකින් දමා ගැසිය හැකි  බව ය. වචන කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයේ අරුත වූයේ එය ය.” ඉන්පසු ඒ ලිපියෙහි මා සඳහන් කළ තවත් කොටසක් මෙසේ ය. සීයාගේ (ජෝන් ද සිල්වා) ගීතය ද ඔපෙරා ශෛලියෙන් ගැයූ බව කියැවෙයි. එහෙත් සීියාට ඔපෙරා ශෛලිය සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමේ හැකියාව තිබී ඇත. සිංහල සංස්කෘතියට ඉතා තීව්‍ර ව ස්වර ගැයීමක් නො ගැලපෙයි. එවැනි ගැයුම් බැළලියන්ගේ කෑගැසීම් ලෙස සිංහල ගැමියන්ට  හැඟී යන්නේ නම් එහි වරද සංඛ අත නො වේ. ඔහු කර ඇත්තේ සිංහල සංස්කෘතියේ සිදුවිය හැකි යමක් ප්‍රකාශ කිරීම පමණ ය. අප බාහිර සංස්කෘතියකින් යමක් අවශෝෂණය කරගෙන ඒ අපේ දෙයක් බවට පත්කර ගැනීමේ වරදක් නැත. සීයා කර ඇත්තේ එයයි. මිණිබිරිය හුදු අනුකරණයක යෙදී ඇත. සිංහල සංස්කෘතිය විසින් ඇගේ ගායනය බැළලියකගේ කෑගැසීමකට සම කෙරෙයි. මිණිබිරිය සිංහල සංස්කෘතියේ ප්‍රතික්‍ෂෙප වෙයි. මිණිබිරිය දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිර සංස්කෘතික ආධිපත්‍යය අප වෙත පැටවීමට උත්සාහ දරා ඇත.”

ඇතැමුනට සංස්කෘතියට අවශෝෂණය කෙරෙයි යන්න තේරී නැත. ඇතැම් සොප්‍රානෝලාට ජන ගී නො තේරේ. ඇතැමුනට සිංහල සංස්කෘතිය විසින් ඇගේ ගායනය බැළලියකගේ කෑ ගැසීමට සම කෙරෙයි යැයි මා කී දේ දිරවා ගත නොහැකි වී ඇත. එහෙත් මේ කිසිවකු රනිල්ගේ ගෞරවනීය වචන ගැන කතාකර නැත. සංඛ කිෂාණිට බැළලියක් යැයි කීවේ නැත. එහෙත් රනිල් නම් ඇතැම් ජනමාධ්‍යවේදීන් සුනඛ වර්ගයට ඇද දැමී ය. රනිල්ට ඒ නිදහස තිබිය යුතු යැයි ජනමාධ්‍යවේදීහු සිතත් ද? සුදු වෑන් නැති මෙකල ජනමාධ්‍යවේදීන් එසේ සිතනවා විය හැකි ය. මාර්තු මාසයෙන් පසු ඉන්දියාව සමග අත්සන් කිරීමට යන ගිවිසුම ආදියට විරෝධය පාන්නවුන්ට විරුද්ධව ජනතාව පාරට බසිනු ඇතැයි අගමැති කියයි. (මේ වචන කෙසේ වෙතත්  එහි අර්ථය එය යැයි සිතමි). රනිල් වික්‍රමසිංහ එයින් අදහස් කරන්නේ කුමක් ද?

අපි සංස්කෘතියට අවශෝෂණය කිරීම ගැන තරමක් දීර්ඝ ව කතා කරමු. ඔපෙරා ඉතාලියේ පිරෙන්ට්සි නගරයේ දහසය වැනි සියවස අග බිහි වී යැයි කියනු ලැබේ. මේ නගරයට සුද්දන් කියන්නේ ෆ්ලොරන්ස් කියා ය. ඒ අපේ කෑගල්ලට ඔවුන් තම සංස්කෘතියට අවශෝෂණය කර කේගෝල් යැයි කියන්නාක් මෙනි. මෙහි එන ඕ ශබ්දය සිංහල භාෂාවේ නැත. එය ජන ගී තලයේ නොව සොප්‍රානෝ තලයේ ශබ්දයකි. සාමාන්‍ය සිංහලයන්ට කේගෝල්, බෝයි (පිරිමි ළමයා) ආදී වචන සුද්දන් කියන ආකාරයට ම උච්චාරණය කළ නො හැකි ය. ඇතැම් සිංහලයෝ කෝළම යන්න කියන්නාක් මෙන් බෝයි යන්නෙහි ඕ ශබ්දය ජන ගී තලයේ හසුරවතිි. එවිට සොප්‍රානෝ තලයේ ඇත්තෝ සිනහසෙති.

පිරෙන්ට්සි නගරය යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නිජබිම යැයි මම සිතමි. එහි ඇති ඩේවිඩ්ගේ (දාවිද්?) පිළිමය යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දාවිත් කතෝලික චින්තනයේ ගෝලියාත් පරදවා ලැබූ ජයග්‍රහණය සිහිගන්වයි. එසේ වුවත් ඉතාලියෙහි කතෝලික චින්තනය මුළුමනින් අවසන් නොවී ය. කතෝලික චින්තනය මුළුමනින් ම පරාජය කෙරුණේ එංගලන්තයෙහි ය. ඔපෙරා බිහි වී ඇත්තේ කතෝලික චින්තනයෙහි ය. එහෙත් ඒ මට ය. වෙනත් අයට සමහරවිට ඒ නූතනත්වයේ සංකේතය විය හැකි ය. එක් එක් අය ලෝකය බලන්නේ (සංස්කරණය කරන්නේ) එක් එක් ආකාරයට ය.

ඔපෙරා යන ඉතාලි වචනයෙන් වැඩකට වැය වන ශ්‍රමය මෙන් ම වැඩය නිමවීමෙන් පසු ලැබෙන කෘතිය ද හැඳින්වේ යැයි කියැවෙයි. එය ලතින් ඔපෙරා යන්නෙන් බිඳී ඇත. අවුරුදු හැටකට පමණ පෙර ඉගෙන ගත් ලතින් බොහෝමයක් මට අමතක ය. නාම හා ක්‍රියා වරනැගීම, බහුවචන ආදිය පිළිබඳ ඉතාමත් මූලික දැනුමක් පමණක් තවමත් ඉතිරි වී ඇත. කොහොමටත් ලංකාවේ දී ලතින් සොප්‍රානෝ තලයට අයත් වෙයි. (පාලි අයත්වන්නේ ජන ගී තලයට ය. පාසලේ දී මම පාලි ද හැදෑරුවෙමි.) ඔපෙරා යන්න ඒකවචනයෙහි මෙන් ම ඔපුස් යන්නෙහි බහුවචනයෙහි ද යෙදෙන්නේ යැයි කියැවෙයි. යමකුගේ විශිෂ්ට කෘතිය හැඳින්වීමේ දී මග්නුම් ඔපුස් යන්න යොදා ගැනෙන බව ඇතැම්හු දනිති. සුද්දෝ එය තම සංස්කෘතියට අවශෝෂණය කර වෙනත් අයුරකින් උච්චාරණය කරති. මග්නුම් ඔපුස් යන්න බහුවචනයෙහි මග්නා ඔපෙරා වෙයි.  ඔපෙරා යන්න පසුව ඉතාලි බසින් කාව්‍යය, නෘත්‍යය, සංගීතය ආදිය එකතු කර ලැබෙන කලාකෘතිවලට යොදා ගෙන ඇත.

අද ලංකාවේ සිංහල උගතුන් ද අසන ප්‍රශ්නයක් වී ඇත්තේ ඔබ පොතක් කරන්නේ ද යන්න ය. මම දැන් පොත් කිරීමක් තබා ලිවීමක්වත් නොකරමි. ඒ මගේ පොත් නොවිකෙණෙන බැවිනි. එහෙත් පොතක් කරනවා යන්නෙහි තේරුම කුමක් ද? ගැමියකු පොතක් කරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? ඒ කෘතියක් (ඔපුස්) කිරීම ද? ඒ ශරීර කෘතියෙන් වෙනස්වන්නේ ද? මෙවැනි දේ ලිවීම ගැන සොප්‍රානෝලා මා සමග උදහස් වෙති.  එහෙත් මට එයින් ප්‍රශ්නයක් නැත. ඇතැම් සිංහල උගතුන්ගේ අනුකාරකත්වය පමණක් එයින් හෙළිවෙයි. මට ඔවුන්ගෙන් තර්ජනයක් හෝ අභියෝගයක් හෝ නැත. ඔවුහු පුස්සෝ වෙති. අධ්‍යාපනය නොලබා ඒ හදාරන වත්මන් උගතුන්ට පොත් කිරීම ප්‍රශ්නයක් නොවේ යැයි සිතමි. අධ්‍යාපනය හැදෑරීම යනු කුමක් දැයි මට නම් නො තේරෙයි.

දන්නෝ බුදුන්ගේ ගීතය සිරිසඟබෝ නූර්තියෙහි ගැයීමට පෙර ඇතැම් වචන වෙනසක් සහිත ව ගායනා කර ඇතැයි කියැවෙයි. ඒ මුල් ම ගීතයෙහි ඇතැම් වචන වෙනස්කර දන්නෝ බුදුන්ගේ ගීතය රචනා කෙරී ඇත. ඒ ගීතයට සංගිතය නිර්මාණය කෙරී ඇත්තේ විශ්වනාත් ලෞජි නම් ඉන්දීය සංගීතඥයකු බවත් ඔහු සුප්‍රසිද්ධ ජර්මන් ඔපෙරා සංගීතඥයකු වූ වැග්නර්ගේ නිර්මාණයක් ආභාසය කර ගත් බවත් දන්නෝ බුදුන්ගේ ගීත පුරාණයෙහි සඳහන් ය. ඉතාලි හා ජර්මන් ඔපෙරා සංගීතඥයෝ කතෝලික චින්තනයෙන් මුලුමනින් කැඩුණු ඉංගිරිසින්ට වඩා ද’ක්‍ෂයෝ වෙතැයි කියැවේ. ඉතාලියේ හා ජර්මනියේ තවමත් කතෝලික චින්තනයේ නෂ්ටාවශේ’ෂ වෙයි. අද තරුණයන් ද’’ක්‍ෂයන්ට වැඩ්ඩන් යැයි කියනු මා අසා ඇත. ඔවුන් ඇතැම් විට ජෝන් ද සිල්වා වැඩ්ඩකු යැයි කියනු ඇත. කිෂානි ද දක්‍ෂ බව පැහැදිලි ය. ඇය එලිසබෙත් ඉදිරියේ ලන්ඩනයේ හදවතේ පිහිටි රෝයල් ඔපෙරා හවුස් හි ගායනය කර ඇත. මට සංගිතය ගැන දැනුමක් නැතත් ඇය එසේ ගී ගැයීම ඇගේ දක්‍ෂකමට සාක්‍ෂියක් යැයි කිව හැකි ය. ඇය එලිසබෙත්ට අත්වැසුම් නොමැතිව අතට අත දුන්නේ දැයි සඳහන් වී නැත.

කිෂානි  ඔපෙරා ගායනයෙහි යම් මට්ටමකට පැමිණ ඇත. ඇය ඔපෙරා සංගිත නිර්මාණ කර ඇත්දැයි මම නො දනිමි. එසේ කළත් ඇය විග්නර්ගේ හෝ වර්ඩිගේ හෝ මට්ටමට පැමිණ ඇතැයි නො සිතමි. ඇය අවුරුදු ගණනාවක් විදේශගතව සිට (එංගලන්තයේ?) ආපසු ලංකාවට පැමිණ ඇත. එ සම්බන්ධයෙන් (ආපසු පැමිණීම) අප ඇයට ගරු කළ යුතු ය. එහෙත් අවාසනාවකට ඇයට නිර්මාණ ශක්තියක් ඇතැයි කිව නො හැකි ය. ඇය ඉංගිරිසි ඔපෙරාව අනුකරණය කරයි. මම දන්නෝ බුදුන්ගේ හා දොයි දොයි දොයි ඇතුලු ඇය ගායනා කර ඇති ගීත කිහිපයක් යූ ටියුබ් මගින් ශ්‍රවණය කෙළෙමි. ඒ ඇගේ ගීත බව මම දැන සිටියෙමි. එහෙත් ඇගේ දෘශ්‍ය පටය නොමැතිව ශ්‍රව්‍ය පටයට පමණක් සවන් දුන්නේ නම් සංඛ කී ගඩොල් බාගය මා අතට නාවත් මට එය කන්දොස්කිරියාවක් වීමට ඉඩ තිබිණි. ඇගේ ගීතය ඇසීමෙන් මට අනුරාධ නගරය නො පෙනිණි.

මට බටහිර සම්භාව්‍ය සංගීතය ගැන දැනුමක් නැත. එහෙත් බටහිර සම්භාව්‍ය සංගීතය රස විඳින්නේ යැයි කියන ඇතැම් සිංහලයන් ඒ සංගීත ප්‍රසංගවලට ගොස් සංගිතය අවසන් නොවන තැන්වලදීත් සංගීතය අවසන් යැයි සිතා අත්පොළොසන් දෙනු මා අසා ඇත. සංගීතය රස විඳීම සඳහා හොඳ කණක් මෙන් ම අධ්‍යාපනයක් ද ලබා තිබිය යුතු ය. කණ  සංසාරයෙන් ලැබෙන්නක් විය හැකි ය. එහෙත් අධ්‍යාපනය සංස්කෘතියෙන් ලැබෙන්නකි.

අප එකිනෙකාගේ සංස්කෘතීන් වෙනස් ය. ඇඳුම් පැලඳුම් ආහාර පාන ගෙවල් දොරවල් වාහන ආදිය පමණක් නොව ආකල්ප, රසාස්වාදනය, භාෂා උච්චාරණය, වියුක්තව සිතීම ආදී මානසිකාර ද පුද්ගලයකුගේ සංස්කෘතියට අයත් ය. ජනසමාජයක, ජනවර්ගයක, ජාතියක සංස්කෘතිය යනු එයට අයත් පුද්ගලයන්ගේ සංස්කෘතීවල මහා පොදු සාධකය වෙයි. එවැනි ජන සංගයක සංස්කෘතිය සමජාතීය නොවන බව පැහැදිලි ය. එකිනෙකාගේ සංස්කෘති වෙනස් ය. එහෙත් ජන සංගයට සංස්කෘතික මහා පොදු සාධකයක් ඇත. ඇතැම් සංස්කෘතිකාංග ජනසංගයක බොහෝ දෙනකු අතරට යයි. අද සිංහල සංස්කෘතියෙහි දෙරණෙහි පේෂලගේ වැඩ සටහන සිංහල ජනසංගය පුරා ම මෙන් විහි දී ඇත. එහෙත් කිෂානිගේ සංගීතය ගායනය එසේ පැතිර නො යයි. එය රස වින්දත් නැතත් සොප්‍රානෝලාට පමණක් සීමා වෙයි. ඇතැම් සොප්‍රානෝලා තමන්ට ඒ රස විඳිය නොහැකි වුවත් එසේ කිරීමට හැකි බව අඟවති!

සිංහල සමාජයෙහි සොප්‍රානෝලාගේ සංස්කෘතිය ජන ගී තලයේ අයගේ සංස්කෘතියෙන් වෙනස් ය. ඒ ඒ අයගේ සංස්කෘතිය දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන්, පංසලෙන් ආදියෙන් ලැබෙයි. මා සිංහල සංස්කෘතිය යැයි කියන්නේ සිංහල සමාජයෙහි සංස්කෘතික මහා පොදු සාධකයට ය. ඒ කුමක් දැයි දැනගැනීමට මා ඊනියා විද්‍යාත්මක සමීක්‍ෂණයක් කර නැත. එහෙත් මා කුඩා කල සිට විවිධ පුද්ගලයන් ඇසුරු කර ඇත. මා පාසල් ගියේ දුම්රියෙනි. එහි දී මට හමු වූයේ කම්කරුවන් හා ලිපිකරුවන් ආදීන් ය. පාසලේ දී සොප්‍රානෝ තලයේ සිසුන් ද ඇසුරු කිරීමට ලැබිණි. විශ්වවිද්‍යාලයේ දී නොයෙකුත් තලවල, දේශපාලන පක්‍ෂවල සිසුන් හැඳින ගත්තෙමි. මාක්ස්වාදී දේශපාලන ක්‍රියාකරුවකු ලෙස වනාතමුල්ලේ සිට කුරුඳුවත්ත දක්වාත් සරසවි ඇදුරකු ලෙස පේරාදෙණියේ සිටි කාලයේ වතුවලත් ඉන් ඔබ්බෙහිත් සැරිසැරුවෙමි. ජාතික ව්‍යාපාරයෙහි දී උතුරේ හා මඩකලපුවේ හැරෙන්නට රට වටේ ම සංචාරය කිරීමට මට හැකි විය. මගේ සිසුන්ගෙන් ද මම සංස්කෘතිය දැන ගැත්තෙමි.

සිංහල සංස්කෘතිය ගැන මට යම් වැටහීමක් ඇත. එමෙන් ම පොතපත ඇසුරෙන් ද ක්‍රියාකාරීවීමෙන් ද ඉංගිරිසි සංස්කෘතිය ගැන හැඟීමක් ඇත. පාසලේ මගේ වසරේ දී ඉංගිරිසි ඉතිහාසය පිළිබඳ ත්‍යාගය ලැබුණේ මට ය. මම එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙහි ලේබර් කණ්ඩායමෙහි සාමාජිකයෙක් වීමි. (එය මෙහෙයවනු ලැබුයේ ට්‍රොට්ස්කිවාදී ටෙඩ් ග්‍රාන්ට්ගේ අනුගාමිකයන් විසිනි. පසු කලෙක නව සමසමාජ පක්‍ෂය ජාත්‍යන්තර වශයෙන් ටෙඩ් ග්‍රාන්ට්ගේ පක්‍ෂය සමග සම්බන්ධකම් පැවැත්වූ අතර වරක් නව සමසමාජ පක්‍ෂයේ සම්මේලනයකට ටෙඩ් ග්‍රාන්ට් පැමිණියේ ය. එවකට මා පක්‍ෂයෙන් අස් වී සිටි නමුත් ටෙඩ් ග්‍රාන්ට්ට වීසා ප්‍රශ්නයක් වූ බව මට අමතක නො වේ.) විශ්වවිද්‍යාලයෙහි ලේබර් කණ්ඩායමෙහි අනෙක් සාමාජිකයන් සමග බ්‍රයිට්න් ඡන්ද කොට්ඨාශයෙහි කම්කරු පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණෙමි. මා නිසා දකුණු එංගලන්තයේ සුදු ඡන්දදායකයන් කම්කරු පක්‍ෂයට ඡන්දය නොදී සිටින්නට ද ඇත! රෝයල් ඔපෙරා හවුස් නැරඹීමට වඩා දෙයක් මා අතින් සිදු වී නැත. එහෙත් ලන්ඩනයේ රාජකීය සංගමය (රෝයල් සොසයිටි) නම් ප්‍රධාන විද්‍යා සංගමයේ සම්මන්ත්‍රණවලට පමණක් නොව මගේ ගුරුවරයාගේ ආරාධනයෙන් එහි රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගි වී ඇත්තෙමි. එදා එලිසබෙත් නම් පැමිණ නොසිටියා ය. මා මේ සියල්ල කියන්නේ ඉංගිරිසි සංස්කෘතිය ගැන මා ඉගෙන ගත් ආකාරය පැහැදිලි කිරීම සඳහා ය.

එහෙත් ඒ සියල්ලට ම වඩා ගණිතය හා භෞතික විද්‍යාව ඉගෙනීමෙන් ඉංගිරිසි සංස්කෘතිය මෙන් ම සිංහල සංස්කෘතිය ද දැනගැනීමට හැකි විය. වඩා වැදගත් ලෙස ඒ දෙකෙහි වෙනස එමගින් දැනගත්තෙමි. ලංකා විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් ලබා  ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය ද දිනා තාරකාභෞතිකය හැදෑරීමට එංගලන්තයට යෑමෙන් පසු මට  භෞතික විද්‍යාඥයකු වීමට බැරි බව දැනගත්තෙමි. අවුරුදු ගණනාවකට පසු ඒ සංස්කෘතික වෙනසක ප්‍රතිඵලයක් බව මට අවබෝධ විය. සිංහල සංස්කෘතියෙහි කිනම් චින්තනයක් මත පදනම් ව වුවද කෙරෙන ප්‍රවාද ගෙතීම ප්‍රතික්‍ෂෙප කෙරෙයි. අවුරුදු තිහක කාලයක් සිංහල බෞද්ධ චින්තනයෙහි සිංහල සංස්කෘතියට සාපේක්‍ෂව ප්‍රවාද ගොතා ඒ ප්‍රචලිත කිරීමට මට අවශ්‍ය විය. එහෙත් මා අසාර්ථක වී ඇත. එයට හේතුව මා කලින් ලිපියහි සඳහන් කළ පරිදි ම සිංහල සංස්කෘතියෙහි ප්‍රවාද ගෙතීමක් නොමැති වීම ය. පැරුන්නෝ පංඩිතායට ඒදණ්ඩේ යෑමට නොහැකි ය කියා ප්‍රවාද කරුවන් ප්‍රතික්‍ෂෙප  කළහ. වර්තමානයෙහි තියරි කාරයා යැයි කියා ප්‍රවාද ගෙතීමට තැත්කරන්නෝ ප්‍රතික්‍ෂෙප කෙරෙති. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියැවෙන්නේ ඊනියා පර්යේෂණ කිරීමක් නොව ප්‍රවාද ප්‍රතික්‍ෂෙප කිරීමක් ය. සිංහල සමාජයෙහි ප්‍රවාදවලට හා ප්‍රවාද ගොතන්නන්ට පිළිගැනීමක් නැත. මම ද සිංහල සමාජයෙන් ප්‍රතික්‍ෂෙප කෙරී ඇත්තෙමි. සිංහලයන්ට දෙමළ ජාතිවාදය තේරුම් ගැනීමට නොහැකි වී ඇත්තේත් සිංහලයන් ජාතිවාදී යැයි කීමට අනෙක් අයට හැකි වී ඇත්තේත් ප්‍රවාද නොමැති කමින් ය.

සිංහල සංස්කෘතියෙහි වියුක්ත ව සිතීමට පුහුණු නො කෙරෙයි. බටහිර ගණිතය හා ෙසෙද්ධාන්තික (ප්‍රවාදාත්මක) භෞතික විද්‍යාව ඉතා වියුක්ත ය. එබැවින් මෙරට සිංහල සිසුන්ට ඒ විෂය හොඳින් නො තේරෙයි. උසස් පෙළ ඒ සාමාර්ථ ලබාගැනීම නිසා ඒ ඒ විෂය හොඳින් අවබෝධ කරගෙන ඇතැයි නොසිතිය යුතු ය. මට ද බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි  මගේ වියුක්ත චින්තනය එතරම් ප්‍රශස්ත මට්ටමක නොවූ නිසා බව මට පසුව අවබෝධ විය. මෙරටින් රාජකීය සංගමය විසින් පිළිගැනෙන ප්‍රවාදාත්මක විද්‍යාඥයකු මෙතෙක් බිහි වී නැත. ඒ මෙරට අවුරුදු එකසිය පනහක් පමණ බටහිර විද්‍යාව ඉගැන්වීමෙන් පසුව ය.

සිංහල සමාජයෙහි බටහිර විද්‍යාව උගන්නේ බොහෝ විට රැකියාවක් බලාපොරොත්තුවෙන් මිස බටහිර විද්‍යාත්මක යැයි කියන චින්තනයක් දැනගැනීමට නො වේ. බටහිර විද්‍යාව ඉගෙන ගත්තත්, කාලෝ ෆොන්සේකා ගිනි පෑගීම ගැන කුමක් කීවත් සිංහලයෝ ගිනි පාගති. පොල් ගසති. කේන්දර බලති. ගංගොඩවිල සෝම හාමුදූරුවන් දේව රූප විසිකරන ලෙස ඉල්ලා සිටියත් තවමත් පංසල්වල දේවරූප වෙයි. දේශපාලන වශයෙන් කුමක් කළත් සෝම හාමුදුරුවන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුද්ධාගම අවබෝධ වී නැත. සුද්දන්ට තේරුණු සිංහල බුද්ධාගම ඇතැම් සිංහල පඬිවරුන්ට නො තේරෙයි. සුද්දෝ 1815 ගිවිසුමෙන් බුද්ධාගම හා දේවාගම, එනම් දෙවියන් සහිත බුද්ධාගම, එනම් සිංහල බුද්ධාගම රැකීමට පොරොන්දු වුහ. ඒ අතර එය විනාශ කරන්නේ කෙසේ දැයි සොයා බැලුහ!

ගැමුණු කුමරු එළාර සමග යුද්ධයට යැමට පෙර කතරගම මහසෙන් දේවාලයට ගියේ ය. මහාසෙන් හෙවත් මහාසේන දේවත්වයට පත් යක්‍ෂ ගෝත්‍රික නායකයෙකි. ගැමුණු රජු සිංහල බුද්ධාගමට නව අර්ථකථනයක් ලබාදුන්නේ ය. පසුව ඒ පිළිබඳ විස්තර කළ යුතු ය. එහෙත් ඒ ප්‍රවාදයක කොටසක් වනු ඇත. එබැවින් ඒ සිංහල සමාජයෙන් ප්‍රතික්‍ෂෙප වීමට බෙහෙවින් ඉඩ ඇත. කෙසේ වෙතත් අද කතරගමට ඉන්දියාවේ ප්‍රචාරයක් ලබා දීමට උත්සාහ කෙරෙනු පෙනෙයි. වැඩිකල් යෑමට පෙර සිංහලයන්ට කතරගම අහිමිවීමේ ලක්‍ෂණ පහළ වී ඇත.

ඊනියා සිංහල විද්‍යාඥයන් කරන පර්යේෂණ බළලුන්ගේ පහුරු ගෑමකට වඩා දෙයක් නො වේ. ඔවුන්ට වියුක්ත චින්තනය නුහුරු බැවින් ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය නො ලැබෙයි. මේ කියමන ගැන විද්‍යා සොප්‍රානෝලා කිපෙනු ඇත. එහෙත් සිංහල සංස්කෘතියෙහි ඊනියා විද්‍යාත්මක චින්තනය නැත. එලෙස විද්‍යාත්මක චින්තනයක් නොවීම පේෂලගේ වැඩ සටහනටත් වඩා සිංහල සමාජයෙහි පැතිරී ගොස් ඇත. එහෙත් ඊනියා සිංහල බෞද්ධ විද්‍යාඥයන් කියන්නේ බටහිර විද්‍යාව හා බුදුදහම සමීප බව ය. එසේ නම් සිංහල බෞද්ධයන් අතරින් නොබෙල් ත්‍යාග ලාභීන් කෙසේ වෙතත් අඩුම තරමෙන් රාජකීය සංගමයේ අධිසාමාජිකයන්වත් බිහිවිය යුතු ය.

ඊනියා සිංහල විද්‍යාඥයන්ගේ පර්යේෂණ බළලුන්ගේ පහුරු ගෑමකට වැඩි දෙයක් නොවේ යැයි කියන්නේ මා ය. සිංහල ගැමියන්ට ඒ සම්බන්ධ මතයක් ප්‍රකාශ කිරීමට නොහැක්කේ ඔවුන්ට මේ ඊනියා පර්යේෂණ ගැන අවබෝධයක් නොමැතිකම නිසා ය. එහෙත් ගැමියන්ට කිෂානිගේ ගීතයක් ඇගේ රූපය නොමැතිව අසන්නට සැලැස්වුවහොත් ගැමියන් සංඛ කී ආකාරයට ගඩොල් බාගයක් ගැනීමට ඉඩ ඇත. ඔවුන්ට කිෂානිගේ ගායනය බැළලියකගේ කෑගැසීමට වැඩි දෙයක් නො වේ. එබැවින් මම සිංහල සංස්කෘතිය විසින් ඇගේ ගායනය බැළලියකගේ කෑගැසීමකට සම කෙරෙයි යනුවෙන් කීවෙමි. දැනුදු කියමි. මා මෙහි දී සිංහල සංස්කෘතිය ලෙස සලකන්නේ කලින් කී මහා පොදු සාධකය මිස බටහිර සම්භාව්‍ය සංගීතය ඇත්තට හෝ බොරුවට හෝ රස විඳින බව කියන සිංහල සොපර්නෝලාගෙ සංස්කෘතිය නො වේ. මගේ කියමනෙන් සිංහල සංස්කෘතියට අපහාසයක් වන්නේ යැයි කියන්නේ ව්‍යාජ විද්‍යාඥයකු හෝ වෙනත් එවැන්නකු ය. සිංහල සංස්කෘතියට ඉන් වන අපහාසයක් නැත. ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් මුදා සිංහල සංස්කෘතියට හිමි තැන ලබාදීම මගේ ප්‍රධාන අරමුණ වෙයි. එහෙත් සිංහල සංස්කෘතිය විසින් මගේ ප්‍රවාද ගෙතීම ප්‍රතික්‍ෂෙප කෙරී ඇත. ප්‍රවාද නොමැතිව සිංහලයන්ට දෙමළ ජාතිවාදයත් බටහිර දැනුම් ආධිපත්‍යයත් පරාජය කළ නො හැකි ය. එහි දී කිෂානි වැන්නන් හා පුහු විද්‍යාඥයන් නොදැනුවත් ව හෝ දැනුවත් ව හෝ ගෙන එන බටහිර ආධිපත්‍යය පරාජය කළ යුතු ය. ඒ පට්ටපල් බොරු වූ බටහිර විද්‍යා ආධිපත්‍යය පරාජය කරන අතර ය.

බටහිර සංගීත ක්‍ෂෙත්‍රයෙහි කිෂානිට හිමි තැන මම නො දනිමි. ඇය ලන්ඩනයේ රාජකීය සංගමයට අනුරූප සංගමයක අධිසාමාජිකාවක් ද? ඇයට උපාධි කීයක් තිබේ ද යන්න අධිසාමාජිකාවක් වීමේ දී නිර්ණායකයක් වන්නේ නො වේ.  ඒ කෙසේ වෙතත් ඇයට ඔපෙරාව සිංහල සංස්කෘතියට අවශෝෂණය කිරීමට නොහැකි වී ඇත. සිංහල සමාජයෙහි ගීත ඇතුලු සංගිතය පැතිර යන්නේ ඒ සිංහල නාද රටාවලට කෙතරම් සමීප ද යන්න පදනම් කරගනිමිනි. ජෝන් ද සිල්වාගේ දන්නෝ බුදුන්ගේ ගීතය කවුරු ගායනය කළත් ඒ ඔපෙරා ශෛලියෙන් නිර්මාණය වුවත් ඒ සොප්‍රානෝ තලයට නො ගියේ ය. එය සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට ගැමියෝ සමත් වුහ. ගැමියන්ගේ ගීතයෙහි වැග්නර නො වී ය. පසු කලෙක අමරදේව හා නන්දා මාලිනී ගායනා කෙළේ ගැමියන් (ගැමි උගතුන් – බටහිර අධ්‍යාපනයෙන් බිහි වූ උගතුන් නො වේ) අතින් සිංහල සංස්කෘතියට අවශෝෂණය කෙරුණු ගීතය ය.

සිංහලයන් දෙමළ ගීත ද සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ඇත. නූර්ති පමණක් නොව පසුව නාඩගම් ද අපට ලැබුනේ ඉන්දියාවෙන් ය. අම්බලන්ගොඩ දී නාඩගම් සිංහල විය. ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයේ තනුව අනුව දෙමළෙන් ගැයෙන ගීයක් මා අසා ඇත.  එය අවුරුදු එකසිය පනහකට පමණ පෙර කතෝලික පල්ලිවල ගායනය කරන ලද්දක් යැයි කියැවෙයි. එහෙත් එය සිංහල නාද රටාවලට සමීප ව ගායනය වෙයි. විවිධ ශෛලිවලින් ගායනා කළ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව ආදීන්ගේ පමණක් නොව කේමදාසගේ ද සංගිතය සිංහල ජනසමාජය (අඩු තරමෙන් මධ්‍යම පංතිකයන්) විසින් වැළඳ ගනු ලැබුයේ ඒ සිංහල නාද රටා සමග සමීප වූ විට ය. අනෙක් අවස්ථාවල ඒ සමාජයෙන් ප්‍රතික්‍ෂෙප විය. සරචචන්ද්‍රගේ ද මනමේ සිංහබාහු ජනප්‍රිය වූ නමුත් අමරදේච සංගීතය සැපයූ ශෛලිගත නාට්‍යය ප්‍රතික්‍ෂෙප විය. කේමදාසගේ මානසවිල බොහෝ කලකට පෙර ම ඉතිහාසයට එක් විය. මානසවිල ගැන කොළඹ විශ්වවිද්‍යාලයෙහි පැවති මා ද කතාකළ සම්මන්ත්‍රණයක් අතර කේමදාස බැණ බැණ පිට වී ගියේ ය. අප සංගීතය හදාරා නැත. එහෙත් සිංහල සංස්කෘතියෙහි ප්‍රතික්‍ෂෙප වන්නේ කුමක් දැයි අපට කිව හැකි ය. මෙයින් කියන්නේ අප සිංහල සංස්කෘතියෙහි භාරකරුවන් හෝ උරුමක්කාරයන් හෝ බව නො වේ. එහෙත් සොපර්නෝලාට වඩා අප සිංහල සංස්කෘතියට සමීප ය. සිංහල සංස්කෘතියෙන් අප ප්‍රතික්‍ෂෙප වන්නේ ප්‍රවද ගෙතීම සම්බන්ධයෙනි.

කිෂානි ට හැකිනම් ඔපෙරා  අනුකරණය නොකර සිංහල සංස්කෘතියට අවශෝෂණය කළ යුතු ය. එ කෙතෙක් දුරට කළ හැකි දැයි මම නො දනිමි. ඇය එසේ කරන්නේ නම් මම ඇයට සුබ පතමි. නැතහොත් ඇයගේ ගායනය සිංහල සංස්කෘතියෙහි (මහා පොදු සාධකයෙහි) බැළළියකගේ කෑ ගැසීමට සමවෙයි. ඊනියා බටහිර විද්‍යාඥයන්ගේ බළල් පහුරුගෑම් ගැමියන්ට නොතේරීම එකී විද්‍යාඥයන්ගේ වාසනාවකි.

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 17

12 Responses to “සිංහල සංස්කෘතියේ් සොප්‍රානෝ තලයේ සංඛට නැති කිෂානිට ඇති වැදගත්කම”

  1. Senevirath Says:

    විශිස්ටය්

  2. Leela Says:

    නලින්ගෙ නවතම රචනා පමනක් නොව ශය්ලයද අති විශිෂ්ඨය්.

  3. Dilrook Says:

    Nalin has brought up a very important matter about Kataragama. Mahasena (not to be confused with Mahasen) was a Yakka king who was immortalised as a god whose shrine is in Kataragama. God Kataragama was a Sinhala man with normal body features. He is one of many pre-Buddhist gods of Lanka (all of them men of extraordinary service to the Sinhala society).

    God Kataragama has nothing to do with Hindu and African gods of Skanda or Murugan/Murunku. Unfortunately, Tamils have laid their ugly claims to Kataragama as well. Tamil writing at the entrance to the shrine is unwanted and was not there until recently. Sinhalese must realise Buddhism is just one religion of the Sinhalese and their pre-Buddhist beliefs are as important and must be preserved as Sinhala shrines. Ancient kings tried their best to marry Buddhism with pre-Buddhist local gods (ancestors). Sinhala ancestor worship (Kataragama, Saman, Natha, etc.) must be preserved. Tamils are trying to grab Sinhalas’ ancestors too.

    Trincomalee Koneswaram kovil used to be a Buddhist shrine as per Portuguese records. Madu shrine used to be a Sinhala Pattini Shrine before Tamil Christians claimed it (ancient remains of the Pattini shrine is still visible). That unfortunate fate must not befall Kataragama. It is a matter of cultural significance. Disgusting and torturous practices found in Africa and South India that are practiced in Kataragama by Tamils must be banned and unrelated shrines in the vicinity must be removed.

  4. Dham Says:

    Agree with Senevirath and Leela on the style of writing – excellent !.

    “මගේ කියමනෙන් …………. සිංහල සංස්කෘතියට ඉන් වන අපහාසයක් නැත.”

    Nalin appears to be claiming ownership of “Sinhala Culture” or he has become the sole administrator of it.
    There are millions of Sinhala people who like opera style, same with Baila style and they don’t compare opera to “sound of a cat”. How about male opera voice then ? Sound of Elephants ?
    By applying his and his friend’s made up comparisons to whole Sinhala Culture he is certainly doing a great harm. He has no right to do so.

    Try rejecting everything from the west and India. Don’t drive. Don’t touch a guitar , a Sitar or an Esraj

    No wonder he has been rejected ( as he himself claims).

  5. Christie Says:

    Christie Says:
    February 17th, 2016 at 6:03 pm
    “කෙසේ හෝ වේවා සංඛ ටත් ටිකක් වැරදුණේය ..පෙබරවාරි 4 නිදහස් උත්සවය යනු අර්ධ නිදහස් දිනයය් ඉංග්රීසි රැජිනට අඩක් බලය ඇති නිදහස් දින උත්සවයේදී ඉංග්රීසි ක්රමයට බුදුගුණ ගයුවාම මොකෝ සංඛ ,”

    සතික ඇත්ත දර්මෙ, සන්කට වැරදුනා. ගඩොල් බාගෙ සුදියේ මොරදෙන සතුන්ට විසිකරන එක බටහිරින් ආ ඉන්ග්රිසි කියමනක්. (throw half a brick at screaming cats) ගම්වල ගඩොල් බාග තබා ගඩොල් වත් මම දන්නා කාලයේ තිබුනේ නැත. මැටි බිත්ති, බිම හා පොල් අතු වහල මිස.

    ගම්මු සත්තු සුදියේ මොරදෙන අතර තමනුත් සුදියේ සැප වින්ඳේය. සත්ටු පැටවු ගහලා මාසකීපයකින් ගමේද පැටව් වැඩිවිය.

    ඔපෙරාව ඉන්ග්රිසි බජව්වක් නොව ඉතාලියෙන් පටන්ගත් පටන්ගත් දෙයකි.

    අමරදෙයියන්ගෙත් නද්දක්කගෙත් වැන්ඳඹු ගායන ඉන්දියානු ජඩවාදයේ කොටසකි.

    ඔපෙරා ලෝකයේ ඉහලම තැනක සිටින සින්හල කෙල්ලක් ගැන මම ඉතාම ආඩම්බර වෙමි. ඇය සින්හලෙන් ඔපෙරා ගැයීම ගැන වඩාත් ආඩම්බර වෙමි.

    අමර දේවයෝ තමයි ඔය ඉන්දියානු වැන්දඹු ගායනය ගෙනාවේ. අපිට දැන් ඉන් එහාට; වෙනත් අපේම හෝ අනෙකුන්ගේ ගායනය අරහන්.

    Christie Says:
    February 17th, 2016 at 6:21 pm
    ““කෙසේ හෝ වේවා සංඛ ටත් ටිකක් වැරදුණේය ..පෙබරවාරි 4 නිදහස් උත්සවය යනු අර්ධ නිදහස් දිනයය් ඉංග්රීසි රැජිනට අඩක් බලය ඇති නිදහස් දින උත්සවයේදී ඉංග්රීසි ක්රමයට බුදුගුණ ගයුවාම මොකෝ සංඛ ,”

    Dharme are you referring to Governor of the day Madam Chandrika Bandaranayake-Kumaranatunga as the English Queen of Sri Lanka?

    Sanka made a great mistake when he talked about villagers throwing half a brick at a screaming cat. This is an English saying. There were no bricks or half bricks in the villages I knew. They all had mud houses with thatched roofs.

    Villagers did not disturb animals screaming while having sex. They themselves enjoyed sex while the animals did and there were more babies in the village after a few months of the little animals.

    Opera is Italian.

    Amaradhewa’s and Nandhaa’s so called Sinhala songs are in fact Indian veiling songs. A part of the Indian hegemony.

    I am proud of our Opera girls and I salute her for singing in Sinhala.

    Leave a Reply
    Logged in as Christie. Log out »

  6. Christie Says:

    නලින් මේ ඔය සංස්කෘති කියල කියන්නෙ හැදියාවටද?

    මදෑ සින්හලට ගිහිල්ල තියෙන කල. සින්හල භාෂාව රාජ්ය භාෂාව උනාට පස්සෙ.

    paලි සඟිස්කෘත තමයි සින්හල කියල කියන්නෙ

  7. Leela Says:

    බීටල්ස්ලගෙ කාලෙ බිරිතානියෙ ඉගන ගන්න ගිය මම වසර විස්සක් පමන එහෙ ජීවත් උනත් ඔපෙරාවක් බලල තියෙන්නෙ එක් වරක් පමනය්. ඉතින් ක්‍රිෂානි ඔපෙරාවට දක්‍ෂයෙක්ද නැද්ද කියන්න තරම් ඔපෙරා ගැන දැනුමක් හෝ රසස්වාදයක් මට නැහැ. ලංකාවට අැවිත් ටික කාලයකින් මම නැවතත් ගැමියෙක් උනා. එනිසා වෙන්නැති ‘දන්නො බුදුන්ගෙ’ ගීතය ඔපෙර ක්‍රමයට කියනව අැහෙනකොටම මටත් සංඛ කියපු දේම හිතුනෙ.

    ඔපෙරා ක්‍රමයට මේ ගීතයෙ කියන්නෙ මොනවද කියලවත් ඔපෙරා ක්‍රමයට අාවඩන අය දන්නවද කියන එක මට නම් සැකය්. එ් අස්සෙ සම හරක් කියනව ‘දන්නො බුදුන්ගෙ’ ගීයෙ තනුව අාර්. වැග්නර්ගෙලු පදමාලාව බෞද්ධයෙක්ගෙ නෙවෙය්ලු එනිසා, බෞද්ධ ගීතයක් නෙවෙයිලු. නලීන් කියනව වගෙ මගෙ අදහසත් අපේ සංස්කෘතියට ගැලපෙන විදියට පිටරටින් එන අවශ්‍ය දේ අවශොෂනය කරගන්නව නම් කවුද කිව්වෙ ලිව්වෙ කියන එක අපට ප්‍රශ්ණයක් නෙවෙය්. එ්ක අපේ මහාවිහාර සම්ප්‍රදායක්. අදට ඔබින සේවයක් කරන ක්‍රිස්ටි වගෙ අය සිංහල ගැන දැන ගන්න විසුද්ධිමග වගෙ පොතක හඳුන්වා දීමවත් කියවිය යුත්ය් කියලය් මට හිතෙන්නෙ.

    පල්ලියත් ඔපෙරාවත් දෙකම පටන් ගත්තෙ ඉතාලියෙන්නෙ. එනිසා පල්ලියෙ ඔරසන් ඔපෙරාවට ගැලපෙන බව කියන්න සාධක අවශ්‍ය නැහැ. නමුත් බුදු දහම ක්‍රිස්තියානියට වෙනස්. එනිසා බුදු දහම සහ අනුරාධනගරයෙ වටපිටාව ගැන කියන ‘දන්නො බුදුන්ගෙ’ ගීතය ඔපෙර ක්‍රමයට උච්ච ස්වරයෙන් ගැයිම මට නම් දැනුනෙ හරියටම අගමැති රනිල් අප්පුඩි ගගහ තුන්සරනෙ කිව්ව වගෙමය්.

    මගෙ අදහස නම් කිෂානි වගේ දක්‍ෂ උගත් අය තැනේ හැටියටයි අැනේ ගහන්න ඔනෙ. එ් කියන්නෙ ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය නැතුව ඔරසන් හරි පල්ලි ගීතයක් හරි උච්ච ස්වරයෙන් මදි නම් ඔින ලතෝනියකින් ඔන මගුලක් නැටුවට ගමේ අපට ප්‍රශ්ණයක් නැහැ.

  8. Christie Says:

    “විසුද්ධිමග”
    A book for the monks but not for the villagers like me.

  9. Dham Says:

    Leela,
    “දන්නො බුදුන්ගෙ’ ගීතය ඔපෙර ක්‍රමයට කියනව අැහෙනකොටම මටත් සංඛ කියපු දේම හිතුනෙ.”

    Ok. Now we have three Sinhala people who felt like throwing a brick at the singer ( the cat) but Nalin says it is “Sinhlaa Culture”!
    So, Sinhala cultural tradition is throwing a brick at the “female cats” if they make noises like that.
    I strongly disagree with that.
    From young , our parents raised us up stressing importance of never harming animals. That is the correct Sinhala Buddhist tradition.

  10. Asanga Says:

    Dear Dham,
    “Ok. Now we have three Sinhala people who felt like throwing a brick at the singer ( the cat) but Nalin says it is “Sinhlaa Culture”!
    So, Sinhala cultural tradition is throwing a brick at the “female cats” if they make noises like that.
    I strongly disagree with that.”

    With respect, I think you are taking what Nalin said in a literal sense.

    Musical enjoyment is a very personal thing. What some people find to be hard on the ears is uplifting, soothing or even motivating to someone else.

    And who are we to judge each one’s musical preference and say that just because Opera is considered to be a refined art by many, any one who opposes it is an uneducated or unrefined person?

    We would be fooling ourselves if we believe only some Sinhala Buddhists found that performance not up to their tastes. There might have been scores of Tamils, Muslims and yes even Christian Sinhalese and Tamils who might have felt that way. And would certainly have agreed with Sanka’s opinion.

    Personally, I did not think Kishani’s singing was dissonant or was like a cat wailing. At the same time it did not move me. But that is my opinion.I hold nothing against those who did not like it, and at the same time I hold nothing against those who thought it was heavenly.

    My father hates rock and roll music, but that was my forte while I had a part-time job as a vocalist in a small band in Sri Lanka. But I certainly do not hold it against him. That is his opinion; Rock and Roll, blues and soul moves me, and I like to sing it out (And I actually had to wail like a cat quite often!).

    I am 100% sure Kishani is like that as well; even though she is a professional highly trained singer-light years ahead of people like myself in skill and ability- she was probably moved by singing Danno Budunge in an operatic style and wanted to share it with all. You cannot fault her for that, I agree.

    What I am really surprised is that the many distinguished posters of Lankaweb here have not touched on a very crucial point:Dhanno Budunge in operatic style came right after the singing of the national anthem in Tamil.

    To me this was a deliberate provocation.

    Kishani sings Dhanno Budunge in an operatic style, right after the controversial singing of the National Anthem in tamil, when it should have been really obvious to the ruling powers that such an act would bring about emotions from a group of people they were desperately trying to prove as racist, backward thinking and unrefined.

    In the 15 second attention span world of facebook this tactic actually worked quite well. There we are, us uneducated frog-in-the-well babarians, typical Sinhala Buddhist gamarala attitude etc etc ad nauseam.

    And poor Kishani was the cat’s paw.

  11. Dham Says:

    Dear Asanga,
    You said ,”I think you are taking what Nalin said in a literal sense”.
    No. I took it very seriously. He too is serious.
    I respect his feelings. He may have been hurt by hearing it ( take it in the context of current crisis).

    But so far we have only hear 3 Sinhala people Nalin, Sankha and Leela who declare, in Sinhala Culture Opera singing is not irritating. Not only that they feel like throwing a brick at cats and they claim it is our Sinhala cultural tradition, which is obviously wrong.
    Our culture is not that cruel. We have not been raised that way. Our parents never used such words when hearing a style you dislike. We were taught of tolerance, compassion and patience.
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මහමෙර උසුලනා මිහි කතටත් වැඩිය our parents taught us. But this Sanka fellows behaviour of publically insulting the singer is a cowardly act. Not a Sinhala Buddhist act.

    I too agree with you that it could be a deliberate provocation knowing who is in power- no doubt. But then he should bravely (like a Sinhaya) should insult Ranil and Sira. He is simply a gutless coward. Period.
    I cannot approve his cowardly behaviour simply because he is on our side.

  12. Asanga Says:

    Thank you for your reply Dham. I might not agree with you on all counts, but i can see your point about Sanka’s reaction, however emotional the event in question might have been for him.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress