දී කිරට බළල්ලුත් සාක්කි !
Posted on February 27th, 2016

– තේජා ගොඩකන්දෙආරච්චි-

මේවන විට පලාත් පාලන ආයතන පිලිබඳ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යමින් පවතී. මේ සම්බන්ධව බලයේ සිටින පාර්ශවයත් , මහින්ද පාර්ශවයත් විවිධ අදහස් ප්‍රකාශ කරති. ඒ අතර නිල විපක්ෂයවූ ද්‍රවිඪ ජාතික සංධානය තමන්ගේම න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කටයුතු කරමින් සිටී. ඔවුන්ට මෙම මැතිවරණය තිබුනත් නැතත් එහි විශේෂයක් ඇති බවක් නොපෙනේ.  මහින්ද පාර්ශවය විසින් මැතිවරණය නියමිත පරිදි පවත්වනමෙන් බලපෑම් කරන අතර , රජය පාර්ශවයෙන් මෙම මැතිවරණය කල් දැමීමට හේතුව වශයෙන් දක්වන්නේ මැතිවරන කොට්ඨාශ සීමා නිර්ණය කර නොමැති බවයි. මේ සඳහා තව කොපමන කලක් ගනීවිද යන්න පිළිබඳව දන්නේ ඔවුන් පමනි.

නමුත් මේ කරුණට යටින් ඇති තවත් හේතු රාශියක් ඇත. මේවන විට දෙකට බෙදී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කරුණ මෙයින් ප්‍රධානය.

පසුගිය ජනවාරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා එක්සත් ජාතික පක්ෂයේ සහ වෙනත් පක්ෂ කීපයක ආශිර්වාදය ඇතිව ජනාධිපති තනතුරට පත්විය. ඉන්පසු පක්ෂ සභාපති තනතුරද අත්කර ගති. පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරු කිහිප දෙනෙක් මෙහි පෙරමුණ ගත්හ. ඒ වෙලාවේ අඩුම වශයෙන් රජයේ අවසාන භාගයේදීවත්  තමන් දැරූ තනතුරු වලින් ඉවත් වීමට තරම් කොන්දක් තිබුනේ චම්පික රනවක , රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක ඇතුලු සීමිත සංඛ්‍යාවකට පමණි. අනිත් සියලු දෙනාම පාහේ එදා මහින්ද රාජපක්ෂ සිය රාජ්‍යබලය යොදාගෙන දියත් කල මහා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය  තුල ප්‍රබල භූමිකාවක් ඉටුකරමින් හිටපු ජනාධිපතිට සහය පල කලහ. ජනවාරි 9 වනදා වන විට මෙෙත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහනයත් සමගම , ඔහු සමග එක් වීමට ඒ අය අතරින් පිරිසක් ඉදිරිපත් වූහ.

2015 අගෝස්තුවේදී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තුරු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටියේ 42ක් පමණි.ආසන 225 ක් සහිත පාර්ලිමේන්තුව ස්ථාවරව තබා ගැනීම සඳහා අගමැති රනිල්ට තව පිරිසක් අවශ්‍ය විය. එබැවින් ඇමති මණ්ඩලය 25ට සීමා කරන්නෙමැයි මොරදුන් ඡන්ද පොරොන්දුව ජනතාවගේ දෑස් ඉදිරිපිට සිඳබිඳ ලමින් දිනක් ගෙවී ඊලඟ දිනට හිරු උදාවන විට තව දෙතුන් දෙනෙක් ඇමති මණ්ඩලයට එකතු වුනාය යන ප්‍රවෘත්තිය ජනතා සවනට හුරු පුරුදු දෙයක් බවට වූ අතර අමාත්‍ය මණ්ඩලය, ඡන්ද සටනේදී විවේචනයට බඳුන්වූ පසුගිය රජයේ අමාත්‍ය මන්ඩලයට නොදෙවෙනිව උතුරා වාන් දමන්නට විය. මේ මිනිසුන් ඇමති කම් ගන්නට නිකම් ආවා නොවේ. ලක්ෂ්මන් කිරිඇල්ල මෑතකදී කියූ පරිදි දවල්ට කෑමට කැන්ටිමට ගියවිට ‘අනේ මමත් ආණ්ඩුවට එකතු වන්නදැයි’  යන ප්‍රශ්නය ඇසුවා වෙන්නට  බැරිය. දේශපාලන කසුකුසු ඕපාදූප තුලින් ‘ ඔන්න අහවලා අද හෙට ආණ්ඩුවට එකතුවෙන්න හදන්නේ’ යන පුවත ඇසූවිට ඊලඟ දිනයේ එය එය සැබෑවක් වෙයි. ඒ අනුව ඔවුන්ට දෙන්නට එකඟ වී යැයි කියන වරදාන කතාද බොරු විය නොහැක. නමුත් ඔවුන් තම හේතුව ලෙස ගත්තේ ව්‍යවස්ථා වෙනසකදී රජයට සහය පලකිරීමට අවශ්‍යය යන්නයි.

වත්මන් ජනපති, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ 2010 ජනාධිපතිවරයේදී මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා තරඟ කල හංසයා ලකුණෙනි. ඔහු වෙනුවෙන් කැපවූ චම්පික හා රාජිත යනු සන්ධානයේ සුලු පක්ෂ නියෝජනය කල අයයි. ඔහුට සහය දීම පිනිස එජාප ඇතුලු පක්ෂ රැසක් පෙල ගැසුනි. සැබැවින්ම එජාපය නම් පෙල ගැසුනා කීමට නොහැකිය. ඔවුන් මෙෙත්‍රීපාල සිරිසේන යන පුද්ගලයා ‘පාවිච්චි’ කලේ බලයට පැන ගැනීමටය. අද මෙෙත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂට ශ්‍රීලනිපය කඩාගෙන යන බවට නගන චෝදනාවේදී, ඊට ඔහුව පොලඹවනවා යැයි විමල් වීරවංශට හා උදය ගම්මන්පිලට චෝදනා කරයි. නමුත් 2015 ජනපතිවරණයේදී තමා පිළිබඳ කථා පුවතද එයම බවත්, මේ මුද්‍රණය වනුයේ එහිම පිටපතක් බවත් ඔහුට අමතක වීද? නැතිනම් වටහා ගන්නට තරම් බුද්ධියක් ඔහුට නොමැතිද? එසේම කලෙක මහින්ද රාජපක්ෂ සමයේ අරලියගහ මන්දිරයට ජනතාව අතර ‘පින්නවල ‘ යන විහිලු නම පටබැඳී තිබුනේ, ඇමති කමක් ගෙන රජයට එක්වීම සඳහා එජාප මන්ත්‍රී වරු නිතර දෙවේලේ එහි ගිය නිසාය. එදා මහින්දගේ ද චන්ද පොරොන්දුවක් වූ අමාත්‍ය මණ්ඩල සංඛ්‍යාවේ සීමාව පිළිබඳ ඉවුරු කැඩී බිඳී ඉතිරී ගියේද අද සිදුවන අයුරන්මය.

2015 අගෝස්තු මහමැතිවරණයේදී එජාපය , ශ්‍රීලනිපය ඇතුලු සියලුම පක්ෂ ජාතික ලැයිස්තු ඉදිරිපත් කර තිබිනි. කෙසේ හෝ මහමැතිවරණයෙන් පසුව ජනතාව විසින් ප්‍රතික්ශේපවූ එස්. බී. දිසානායක , මහින්ද සමරසිංහ , තිලංග සුමතිපාල වැනි පිරිස් ඒ හරහා යලි පාර්ලිමේන්තුවට ආවා පමණක් නොව නිලතලද ලබා ගත්හ.නමුත් මෙහිදී  මහින්ද රාජපක්ෂටද උතුර නැගනෙහිර අතහැර බැලූවිට ලක්ෂ 56 ක්වූ විශාල ජනවරමක් ලැබුනි. කලා යයි කියන වංචා දූෂණ වංචා කෙසේ වෙතත් , කොයිවේලේ කොතැන පිපිරෙන බෝම්බයකින් තම ජීවිතය කෙලවරවේදැයි නොදැන මරබියෙන් සිටි ජනතාවට නිදහසේ හුස්ම ටිකක් ගන්නට ඉඩ සැලසුන හේතුව නිසා වන්නට පුලුවන.

වර්තමාන රජය කෙතරම් මස්කටු දිගු කලත් හීලෑ කරගන්නට බැරිම පිරිසකුත් පාර්ලිමේන්තුව තුල ඉතිරිවූහ. මේ එක එක පුද්ගලයාට වෙන් වෙන්ව ලැබුනු මනාප සංඛ්‍යාව ඔස්සේ ගිය විට මේ පිරිස වටාද සැලකිය යුතු ජන බලයක් ගොඩ නැගීම නොවැලැක්විය හැක්කකි.

ඉතින් මේ ජන බලය හා වත්මන් රජයේ චන්ද පොරොන්දු ජනතා ඇස් ඉදිරියේ කැඩී බිඳී යන වාතාවරණය තුල ශ්‍රීලනිපය ද බෙදුන හොත් අර එජාප ගැත්තන් බවට පත්වූවනට යන එන මං නැති වේය යන බියක් ද ඇති බවට සැක නැත. මන්ද එජාපය කිසි විටක චන්ද සටනකදී තම පාක්ෂිකයින් වෙනුවෙන් විනා අර පුද්ගලයින් වෙනුවෙන් කථා නොකරන බව සක් සුදක් සේ පැහැදිලිය.

ඊලඟට පවතින රජය ඉඟුරු දී , ලබාගත් මිරිස් වැනි තත්වයට පත්වුයේද අගමැති ඇතුලු මන්ද බුද්ධික බව විදහාපාන මැති ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපයන් නිසාය. ජීවන වියදම තවමත් අඩු නැත.සෑම ක්ෂේත්‍රයකම ගැටලුය. අප ජාත්‍යයන්තරය ජය ගත්තායයි උදම් ඇනුවත්, ඔය කියන ඊනියා ජාත්‍යයන්තරය වත්මන් ශ්‍රීලංකා රජයට මෙතරම් ලීලය පෙන්වන්නේ ඇයිද යන්න ජනතාවට රහසක් නොවේ. ඔවුන් මානව හිමිකම් ලෙස දකින්නේ ද්‍රවිඩ ජනයාගේ මානව හිමිකම් පමනි. අප විද්වතුන් අද ‘සිංහල’ යන වචනය කියන්නටත් බියවෙති. ඒ ජාතිවාදී ලේබලය ඇලවේයයි බියෙනි.

පෘතුගීසීන් ශ්‍රීලංකාව යටත් කරගෙන වසර 500 ක් සපිරුනදා ඔවුන් සමග එක්ව කේක් කපා ශ්‍රීලාංකික අභිමානයේ කොඳු නාරටිය බිඳ දැමුම සැමරූ අගමැතිවරයකු වෙතින් , ජාත්‍යයන්තරයේ නූලට නැටවෙන රූකඩයකට  වැඩි යමක් අපේක්ෂා කල හැකිද?

ශ්‍රීලාංකික ජනතාව අලුත් ජනපතිවරයකු පත්කර ගත්තේ, අලුත් රජයක්  පත්කර ගත්තේ නව අපේක්ෂාවන් ඇතිවය. නමුත් අද අගමැතිගේ පාර්ලිමේන්තු කතා වරෙක හරියට රජ වාසල කවටයා මෙනි. අපහාසයෙන්, උපහාසයෙන් ප්‍රශ්න වලට මොනවා හරි පිලිතුරක් දී අන් අයගේ ඝෝෂා මැද ලිස්සා යයි. තවත් වරෙක හරියට තුම්මුල්ලේ පද්මේ වගේය. මාධ්‍යවලට, වෘත්තීය සමිතිවලට තර්ජනය කරයි. තවත් වරෙක වෙස්සන්තර මෙනි. රාජපක්ෂ රජයට ඤාති සංග්‍රහ ගැන වගපල කීවත් අද තම ඇමති මණ්ඩලය ඒ ප්‍රතිපත්තියම ඇදගෙන යද්දී නෑසු කන්ව , නොදුටු නෙත්ව සිටී.

ඊලඟට මැති ඇමතිවරුන්ගේ වාචාල කටවල්ය. විශේෂයෙන් සන්ධානයෙන් රජයට එක්වූ ඇමතිවරු පිරිස ගැන කතා කල යුතුමය. අද ජනාධිපතිගේ සිට නියෝජ්‍ය ඇමති දක්වා පසුගිය රජය පතුරු ගසයි. හිටපු ජනපති විදුලි පුටුවෙන් බේරුවා යයි කයිවාරු ගසන ජනපතිට , ඔය කියන මානව හිමිකම් කඩවූ දිනවල ආරක්ෂක ඇමතිකමේ වැඩ බැලුවේ තමා බවත්,  ඒ අනුව තමන්ද විදුලි පුටු පෝලිමේ සිටියේය යන බවත් අමතකව ඇත. එතැන් සිට මහින්ද සමරසිංහ, එස්. බී. දිසානායක , ලක්ෂ්මන් යාපා අබේවර්ධන , සරත් අමුනුගම , ෆයිසර් මුස්තාපා ඒ රජයේ වැරදි කියන විට ඔවුන්ට තමුනුත් ඒ කැබිනට්ටුවේ ප්‍රධාන භූමිකාවක් ඉටුකල බව අමතකව ගොස් ඇති බව පෙනේ.

මේ සියලු දෙනා දැන් සමාවට කාරණය ලෙස ගන්නේ ඒ කාලයේ තම අතපයබැඳ ඇතිසේ සිටි බව කියමිනි. එය එසේ නම් ආත්ම ගරුත්වයක් ඇති මහජන නියෝජිතයින් ලෙස  ඔවුන්ට එදා ඒ තනතුරු වලින් ඉවත් වීමට හැකිව තිබුනි. එසේ නොවුනේ ඇයි? වරප්‍රසාදවලට ඇති කෑදරකම නිසා බව පැහැදිලිය. ඔවුන් මේ රජයට එකතුවුනේ ඇයි? ඊට පිලිතුරත් පෙර කී දෙයමය. තම විෂය පිළිබඳව නියම හැදෑරීමක් සහිතව එහි වගකීම ඉටුකරන ඇමතිවරු අද නැත.

එදා තිබුනු රෙජීමයට බයේ කටවල් පියාගෙන සිටියා යැයි කියන ඔවුන් , හිටපු ජනපතිට ප්‍රශස්ති ගී ගැයූ ඔවුන් අද පවතින රජය යන මාර්ගය පෙනි පෙනීත් නොදුටු සේ සිටින්නේ , රජයේ කුනුසෝදමින් , පසුගිය රජයට මඩ ගසමින් සිටින්නේ නිකම් වෙන්නට පුලුවන්ද? අනිවාර්යෙන්ම අද පවතින රනිල්-මතෛ්‍රී රෙජීමයට බයේ බව ඉතාම පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය යනු එයයි. එහි ආගම බඩගෝස්තර වාදයයි.

2 Responses to “දී කිරට බළල්ලුත් සාක්කි !”

  1. Leela Says:

    ශ්‍රිලනි පක්‍ෂෙට චන්දෙ දෙන අය එස්බී වගේ උන්ට පසු ගිය චන්දෙදි පාඩමක් ඉගැන්නුවා. නමුත් බොරැ කියල පච කෙලල ජනාධිපති වෙච්ච සිරා පැරදිච්ච උන්ව මහින්ද දිනවල දීපු ලිස්ට් එකෙන් මංත්‍රි කලා පමනක් නෙවෙය් අැමතියලත් කලා. ඉතින් එහෙම අැමති වෙච්ච උන් සිරාට ප්‍රශක්ති කියන එක කියන්නත් දෙයක්ද? ඉදිරියෙදි උන්ට වෙන්නෙ මොකක්ද කියන එක පලාත් පාලන චන්දෙ තිබ්බොත් පෙනේවි.
    මොන කාරනේට හරි සිරා පලාත් පාලන චන්දෙ කල් දමන එකේ වාසිය එ්කාබද්ද විපක්‍ෂයටය්. මොකද රටේ අාර්තික සහ අනෙක් ප්‍රශ්ණ දවස ගානෙ උග්‍ර වෙනව මිසක් අඩු වෙන්නෙ නැති බව දැන් කාට කාටත් පැහැදිලිය්. රනිල/සිරා කැඳහැලි රෙජිමය විහින් පැන්න අාර්තික ප්‍රපාතයෙන් ගොඩ ගන්න අැමරිකාවට බැහැ. අැමරිකාවටය් IMF එකටය් පුලුවන් රනිල/සිරා රෙජිමය තව තවත් මහජනයට අප්‍රිය කරවන සැලැස්ම ඉදිරිපත් කරල ලනු දෙන එක පමනය්.

  2. Ancient Sinhalaya Says:

    To
    Yahapala Naya (cobra)
    Buddhism is andu kola!
    (nayata andu kola penawa wage).

    That’s the Yahapala Naya’s job for this 5 yrs. Destroying Buddhism!

    Be patient. Will hold the elections, plus all the work etc. etc. will be done after the next election.
    First thing first!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress