අන්තරේ 18වන කැඳවුම්කරු විරාජ් පෙරේරා ජීවන මගෙන් සමුගනී.
Posted on April 25th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ(අන්තරේ) 1992 මැයි සිට 1993 පෙබරවාරි දක්වා කැඳවුම්කරු වශයෙන් කටයුතු කල කැලණි සරසවියේ සමාජ විද්‍යා පීඨයේ සිසු ඩබ්ලිව් එම්. විරාජ් මර්වින් පෙරේරා(47) ඉකුත් 2016 අප්‍රේල් 23 වැනිදා ජිවිතයෙන් සමුගත්තේය. අභාවප්ප්‍රාප්ත වනවිට රාජ්‍ය පරිපාලන සේවයට අනුබද්ධ අනුරාධපුර සහකාර ගොවිජන සේවා කොමසාරිස් ලෙස කටයුතු කල විරාජ්ගේ අවසාන කටයුතු අනුරාධපුරයේදී අප්‍රේල් 25වැනිදා සිදුකෙරිණි. දෙදරු පියෙකුවූ ඔහු මියගියේ හෘදයාබාධයකිනි.

dharman25041601අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 18වන කැඳවුම්කරු දිවියෙන් සමුගත් විරාජ් පෙරේරා.

වසර 1986 සිට 1990 දක්වා ජවිපෙ 2වැනි කැරැල්ලේදී රාජ්‍ය මර්ධනය හේතුවෙන් සරසවි සිසුන් 396ක් ඝාතනයට පත්වූ අතර 226ක් අතුරුදහන් විය. එම සරසවි සිසුන්ගේ තොරතුරු එක්රැස් කිරීමට සහ විරු සමරු ප්‍රදර්ශන 3ක් 1992/93දී පැවැත්වීමට මුල් වූයේ අන්තරේ වෙනුවෙන් එහි කැඳවුම්කරු විරාජ් පෙරේරාය. ජවිපෙ 2වැනි කැරැල්ල පරාජය වූවද සෑම සරසවියකම පාවාදෙන්නන් සහ ඔත්තුකරුවන් සිටි බැවින්ද සරසවි පාලකයින් දැඩි මර්ධනයක් ගෙන ගිය බැවින්ද එය අතිශය දුෂ්කර වකවානුවක් විය.

 

රැඳවුම් කඳවුරුවල සිටින සරසවි සිසුන් නිදහස් කරන ලෙසටද උද්ඝෝෂණයක් එකල දියත්වු අතර සිසු-ජන සහයෝගිතා ව්‍යාපාරය ගොඩනගමින් 1993 ජනවාරි 26වැනිදා නුගේගොඩදී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමටද අන්තරයට හැකිවූයේ විරාජ්ගේ නායකත්වය යටතේය.

dharman25041605Aජයවර්ධනපුර සරසවියේදී 1992 ජුලි 15වැනිදා සිට 17 දක්වා පැවති විරු සිසු සමරු ප්‍රදර්ශනයේදී එය නැරඹීමට ආ මවක් මියගිය සිය සරසවි පුතුගේ ඡායාරූපය සහ සටහනින් කම්පිතව සිහිවිසඥව ඇද වැටුණු අයුරු සහ ඇය ඔසවන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්වන රුහුණු සරසවියේ වසන්ත රත්නායක(උනන්දුවා) සහ අජිත් ප්‍රේමවංශ.

විරු සිසු ප්‍රදර්ශනයක් සහ සමරු උළෙලක් ජයවර්ධනපුර සරසවියේදී 1992 ජුලි 15 සිට 17 දක්වා පැවැත්වීමටද, කොළඹ වෛද්‍ය පීඨයේ 1992 ඔක්තෝබර් 23වැනිදා පැවැත්වීමටද පේරාදෙණිය සරසවියේදී 1993 පෙබරවාරි 25වැනිදා සහ ජුනි 20 පැවැත්වීමටද මුල්වූයේද විරාජ් පෙරේරාය. ජවිපෙ යළි ගොඩනැගීමේදී 1992/93 ක්‍රියාත්මකවු ‘ගුලිය’ සංවිධානයේ පුරෝගාමීන්වූ පානදුර නන්දන ගලප්පත්ති නොහොත්සහකාර ගොවිජන කොමසාරිස්  සුමේධ, සේනාධීර ගුණතිලක, කළුතර කමල් දේශප්‍රිය නොහොත් සෙනවි, කෑගල්ලේ ප්‍රේමකුමාර් ගුණරත්නම්, කළුතර ඥාණසිරි සිල්වා නොහොත් මංජු ඇතුළු පිරිසටද විරාජ්ගේ නොමද සහාය හිමිවිය.

dharman25041602පේරාදෙණිය සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මගින් 1989 ජුනි 20 ජාතික ශිෂ්‍ය වීර දිනය නිමිත්තෙන් දිවිදුන් සිසු විරුවන් සැමරීමේ පෝස්ටරයක්.

පේරාදෙණිය සරසවියේදී 1969 ජුනි 18 වැනිදා ආරම්භවූ අන්තරේ 18වන කැඳවුම්කරු වූයේ විරාජ් පෙරේරාය. ඔහුට පෙර අන්තරේ කැඳවුම්කරු වශයෙන් කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ සුදත් අලහකෝන්(1991 පෙබරවාරි සිට 1992 අප්‍රේල් දක්වා) කටයුතු කල අතර විරාජ්ගෙන් පසුව අන්තරේ කැදවුම්කරු වශයෙන්(1993 මාර්තු සිට 1994 දක්වා) පත්වූයේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසු රෝහිත තිලකරත්නය.

dharman25041603පොඩිබණ්ඩා ඇතුළු පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඝාතනයට ලක්වූ සිසුන් 24 දෙනාගෙන් 16 දෙනෙකුගේ ඡායාරූප වෛද්‍ය පීඨ ආපන ශාලාවේදී 1993 පෙබරවාරි 25වැනිදා නිරාවරණය කල අයුරු.

ආරම්භයේ සිට මේ දක්වා අන්තරේ කැඳවුම්කරුවන් වශයෙන් 30 දෙනෙකු කටයුතු කල අතර ඉන් 12 දෙනෙකු ඝාතනයට පත්වූයේ 1989 සහ 1990 වසරයන්හිදී ජවිපෙ 2වැනි කැරල්ලේ අවසාන භාගයේදිය. විරාජ් සමඟ ස්භාවිකව මරණයට පත්වූ අන්තරේ කැඳවුම්කරුවන් සංඛ්‍යාව 2කි.

dharman25041604මියගිය සරසවි සිසුන් වෙනුවෙන් මොරටු සරසවියේදී 1993 පෙබරවාරි 25වැනිදා පැවති සමරු උළෙලක පෝස්ටරයක්.

අන්තරේ හිටපු කැඳවුම්කරුවන් 8 දෙනෙකු පූර්ණකාලීනව වර්තමානයේද දේශපාලනයේ නිරත වෙති. ඉන් 6ක්  පෙරටුගාමි සමාජවාදී පක්ෂයේද එක් අයෙකු ජනතා විමුක්ති පෙරමුණේද තවත් අයෙකු ශ්‍රිලනිප(නෛතික පාර්ශවය)ද නියෝජනය කරනු ලබයි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress