අලින්ට ඇති දුක අශ්වයන්ට නැත්තේ ඇයි
Posted on July 19th, 2016

අනගාරික ධර්මසේකර උපුටා ගැන්ම දිවයින

ශ්‍රී දළදා පෙරහැර අනුව යමින් රට පුරා නොයෙක්‌ ප්‍රදේශවල පැවැත්වෙන සම්ප්‍රදායික බෞද්ධ පෙරහැරවල ගෙන යන අලි ඇතුන්ගේ පාදවලට යදම් යොදා තිබීම ගැන ඉමහත් වේදනාවෙන් මෙන් කතා කරන සත්ව අහිංසාවාදීන් යෑයි කියාගන්නා අය අශ්වයන්ට කටකලියා දමා අශ්ව කුරවලට ලාඩම් ගසා අසුන් පිට යන අසරුවන්ගේ පාවහන්වලට සවි කළ සන්කුට වලින් කරන රිදවීම් ගැන කථා නොකරන්නේ ඇයි? සැබෑ අහිංසාවාදීන් අලියා, ඇතින්න හෝ ඔටුවා, ගවයා කියා වෙනසක්‌ දකින්නේ නැත. පිරිසිදු අහිංසාවාදීන් වන්නවුන් මස්‌ මාළු ආහාරයට ගැනීමෙන් පවා වැලකිය යුතුය.

මිනිසුන් වූ අපට විවිධ රෝග බෝකරන මදුරුවනුත් අපට කිසිම ලෙඩක්‌ බෝ නොකරන කුහුඹුවනුත් අතර මවුපියන් වශයෙන් ඇත්තේ සුවිශාල වෙනසකි. වතු=ර රැස්‌වන තැන්වල බිත්තර දමන මදුරුවෝ බිත්තර ගැනවත් මදුරු කීටයන් ගැනවත් සොයා බලන්නේ නැත. එහෙත් පැටවුන්ට කවා පොවා පෝෂණය කරන කුහුඹුවෝ විපත් අවස්‌ථාවල අලුත උපන් පැටවුන් හා බිත්තර කරගසාගෙන යන්නේ මිනිස්‌ දෙමවුපියන් තම දරුවන් වඩාගෙන යනවාටත් වඩා වෙහෙස විඳ දරා ගනිමිනි. කුඩාම සතුන් වූ කුහුඹුවන්ගේ ජීවන චර්යාවන් කෙරේ ද සංවේදීව හැඟීම් සහගතව සානුකම්පිතව කටයුතු කරන මම කුඩාම කුහුඹුවට පවා විපතක්‌ නොවන සේ කටයුතු කරන්නට ප්‍රවේශම් සහගත වෙමි. එසේවූ මා පෙරහැරේ ගෙනයන අලි ඇතුන්ගේ පාද වලට යදම් යෙදමීම අනුමත නොකරතත් මම එහිදී අපේ ඓතිහාසික සංස්‌කෘතික සම්ප්‍රදායක්‌වූ පෙරහැරේ අලි ඇතුන් ගෙනයාම ගැන විරුද්ධ නොවෙමි. කළ යුත්තේ, පෙරහැරට එක්‌වන කලාකරුවන්ගේත් පෙරහැර නරඹන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේත් පෙරහැර සඳහා යොදාගන්නා අලි ඇතුන්ගේත් ආරක්‍ෂාවට හා යහපතට හේතුවන අයුරින් කටයුතු සැලසුම් කිරීමයි.

මහනුවර දළදා පෙරහැරේ නැතත් රට පුරා නොයෙක්‌ පෙදෙස්‌වල කෙරෙන පෙරහැර බලන්නට එක්‌රැස්‌වන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව අතර වන ඇතැම් පිරිස්‌ පෙරහැරේ යන අලි ඇතුන්ට කෙසෙල්, කොමඩු ආදී පලතුරු දෙති. උත්සවවලට අශ්වයින් ගෙන යන නිලධාරීන් අශ්වයින්ට කටකලියා දමා ඇතත් පෙරහැරේ ගෙන යන අලි ඇතුන්ගේ මුවට හෝ හොඬට කිසිදු බාධකයක්‌ යොදා නැති බැවින් ඒ දැවැන්තයෝ හොඬ දික්‌කර පලතුරු ගෙන මුවෙහි දමා රස විඳිමින් යති. පෙරහැරේ ගෙනයන අලි පැටව් තමන්ට ඉදිරියෙන් යන නැට්‌ටුවන්ගේ නැටුම් බලමින් බෙර තාලයට පාද තබා නටමින් යන බවද පෙරහැර බලන බොහෝ දෙනෙකු දැක ඇති බවට සැකයක්‌ නැත. දිනපතාම පාහේ ගංගා, පොකුණු, විල් ආදියට ගෙන ගොස්‌ නාවනු ලබන අලි ඇතුන්ට දැන් අතීතයේ මෙන් ගල් පෙරළන්නට කඳන් අදින්නට සිදුනොවේ. මේවන විට අලි ඇතුන් යොදා ගැනෙන්නේ සංචාරක සමයේදී විදේශීය සංචාරකයන් පිටඋඩ තබාගෙන යැම වැනි සැහැල්ලු කටයුතු වලට වූවත් පෙරහැර නරඹන මිනිසුන්ට මෙන්ම පෙරහැරේ යන අලි ඇතුන්ටද ඓතිහාසික බෞද්ධ සංස්‌කෘතික සම්ප්‍රදායක්‌ වූ පෙරහැර පැවැත්වීමෙන් ලැබෙන්නේ සහනයකි, සතුටකි, ශාන්තියකි. ඊට හොඳම උදාහරණය නම් දළදා මාලිගාවේ කරඬුව වැඩමවන ඇතුන්ගෙන් වැඩිදෙනකු ඉතා හොඳින් දිගු කලක්‌ ජීවත් වීමයි. වනයේ ජීවත්වන කිසිම ඇතෙකුට නොලැබෙන තරම් සත්කාර හා සාත්තු සප්පායම් මාළිගාවේ රාජාට ලැබී ඇති බව රහසක්‌ නොවේ.

අලි ඇතුන් පෙරහැරේ ගෙනයාමත් අශ්වයින් අධිරාජ්‍යවාදී හා ධනවාදී උත්සව අලංකාර කිරීම හා රේස්‌ සඳහා යොදා ගැනීමත් අතර බොහෝ වෙනස්‌කම් තිබේ. ඇත අතීතයේ පටන් ආසියා රටවල් බොහොමක ජනතාව වැව් අමුණු බැඳීමේදීත් ලොකු ගොඩනැඟිලිවල අත්තිවාරම් සැකසීමේදීත් බරගල් කුට්‌ටි ගෙනයාම ආදී බරවැඩ සඳහා අලි ඇත්තු යොදාගත් බවද සත්‍යයකි. ලංකාවේද මහවැව් තැනීමේදීත් දාගැබ්වල අත්තිවාරම් සැකසීමේදීත් අලි ඇතුන් යොදාගත් බව ඉතිහාසගත වී තිබේ. අත්තිවාරම්වලට ගල්කුට්‌ටි දමා ගල් කුට්‌ටි අතරට කැටගල් හා බොරළු දමා සියුම් වෙඬරු මැටි යොදා තද කිරීම සඳහා අතීතයේ යොදාගත් ක්‍රමය වූයේ වඩා ලොකු බර ශරීර ඇති ඇතුන් යොදා ගැනීමයි. ගල්කුට්‌ටි හා ගල්කැට දමා පාගා තද කිරීමේදී ඒ සඳහා යොදා ගන්නා අලි ඇතුන්ගේ පාදවලට හානි නොවන සේ ඇත් පතුල් පාද සුරක්‍ෂිත වන සේ මීහරක්‌ හම් තට්‌ටු කීපයක්‌ බැඳ අලි ඇතුන්ගේ පාද අදාළ කාර්යයට උචිත සකස්‌ කළ ආකාරය මහාවංශ, ථූපවංශ ආදී ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වේ. එසේ වූවත් අශ්වයින් බිම පෙරලගෙන කකුල් බැඳ අශ්ව කුරුවලට ලාඩම් ගසන්නාක්‌ මෙන් අලි ඇතුන්ට ලාඩම් නොගසන බව ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් පවා දන්නා බවට සැකයක්‌ නැත. තම සේවයට යොදා ගන්නා අලි අතුන් ආරක්‍ෂා කිරීම සඳහා ඒ සඳහා වූ පරම්පරාගත වෛද්‍යවරුන්ගේද සේවය ලබාගන්නා බව නොදන්නා ලක්‌වැසියෙක්‌ නැත. එසේ වූවත් යුරෝපා රටවල රේස්‌ සඳහා යොදාගන්නා අශ්වයකුට අනතුරක්‌වී පාදයක්‌ බිඳුනොත් ලැබෙන ප්‍රතිකාරය වන්නේ වෙඩිතබා මරා දැමීමයි. යන්ත්‍ර සූත්‍ර බහුල වර්තමානයේ වැව් කණ්‌ඩි සැකසීම සඳහා හෝ දාගැබ්වල අත්තිවාරම් සැකසීම සඳහා හෝ අලි ඇතුන් යොදා ගන්නේ නැත. කෙසේ වූවත් අතීතයේ මින්නේරිය, කලාවැව, කවුඩුළුවැව, මහකනදරාව, පදවිවැව, කන්තලේ වැව හා පරාක්‍රම සමුද්‍රය වැනි ලෝකප්‍රකට මහවැව් තැනීම සඳහා අලි ඇතුන්ගේ ශක්‌තියද යොදාගැනීම වසර දහස්‌ ගණක්‌ තිස්‌සේ කෝටි සංඛ්‍යාත මිනිසුන්ටත්, ගවයින්ටත්, මුව ගෝන ආදීන්ටත් සිය දහස්‌ ගණනන් අලි ඇතුන්ටත් යහපතක්‌ වූ බව නොපිළිගන්නේ බටහිර අනුකාරක ඊනියා සත්ව අහිංසාවාදීන් පමණි.

අප මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ලංකාවේ බෞද්ධ සංස්‌කෘතික පෙරහැරවල් සඳහා යොදාගන්නා අලි ඇත් සතුන්ට වන අමාරුකම් ගැන සිත් වේදනාවෙන් මෙන් කථා කරන බටහිර අනුකාරක මාංශ භක්‍ෂක අහිංසාවාදීන් අශ්වයින්ට අනුකම්පා නොකරන්නේ ලැබුණොත් අශ්ව මස්‌ වූවද ආහාරයට ගන්නට ඔවුන් පසුබට නොවන නිසා විය යුතුය. කෙසේවූවත් අශ්වයින්ට හිංසා පීඩාගෙන දෙන්නේත් ඒ සතුන් උත්සව හා රේස්‌ සඳහා යොදාගන්නේත් යුරෝපයේ හා අමෙරිකාවේ පමණක්‌ නොවේ. අපේ අසල්වැසි රටවූ ඉන්දියාවේ පවා අශ්වයින්ට පීඩාගෙන දෙන අයුරින් කටයුතු කරන බව රහසක්‌ නොවේ. ඉන්දියාවට එන සංචාරකයන්ගේ ගමන් සඳහා අශ්ව කරත්ත යොදාගන්නේ එයින් අශ්වයින්ට දුක්‌පීඩා හෝ වේදනා ගෙන දෙන බව නොදැන නොවේ.

අරාබිකරයේ කාන්තාරවල මහා මාර්ග තනා ඇති වර්තමානයේ පවා ඔටුවන් භාණ්‌ඩ ප්‍රවාහනය සඳහාත් කාන්තාර පරිසරයන්හි ගමන් සඳහාත් යොදා ගැනේ. ඔටුවන් රේස්‌ සූදුව සඳහාද යොදාගන්නේ ඒ සතුන්ට කොතෙකුත් වේදනා ගෙන දෙමිනි. ට්‍රැක්‌ටර් බහුල වර්තමානයේ වගුරුබිම් ආශ්‍රිත මඩකුඹුරු මැඩවීම සඳහා මීගවයින් තුන්දෙනා බැගින් ඈදා යොදාගන්නේ කෙවිටි පහර එල්ල කරමිනි. කඳුකරයේ ලියදි ගොවිතැන් සීසෑම සඳහා එලගවයන් නගුලට බඳින්නේ කරත්තවලට යොදාගන්නේත් නාස්‌විද නාස්‌ ලණු දමා ගනිමිනි. කෙසේ වූවත් අමෙරිකානු රටවලත් යුරෝපයේත් තරුණ ගවයින් මසට දිනපතා මැරෙන්නේ ලක්‍ෂ ගණනකි. එහෙත් සත්කෝරලයේ ගමක කුඹුරු වැඩට යොදාගන්නා ගවයකු අකාලයේ මියගියහොත් ඒ අසරණ සතා වෙනුවෙන් පන්සලට දාන දී මියගිය ගවයාට පිං දෙන බව මේ ලියන මා හොඳින් දන්නේ එවැනි දානවලට භික්‍ෂූන් වහන්සේලා සමඟ මමද සහභාගිවී ඇති හෙයිනි. ගෙදර ඇති කළ එළදෙන අකාලයේ මියගිය විට හඬා වැටෙන ලක්‌වැසි ගැමියන් පෙරහැර බලන්නට එනවිට පෙරහැරේ යන අලිඇතුනට කෙසෙල් ඇවරියක්‌ හෝ කොමඩුගෙඩියක්‌ දෙන්නේ පයේලා ඇති යදම්වලට වන්දි ගෙවීමක්‌ ලෙස නොවේ. දවසට කෝටි දහයක්‌ පමණ කුකුළන්, තාරාවුන්, එළුවන්, ඌරන් මරණ මාංස භක්‍ෂක කෑදර ලොවක පෙරහැරේ පලතුරු කමින් බෙරතාලයට පා තබමින් නැටුම් බලමින් යන අලි ඇතුන්ගේ පාදවලට යොදා ඇති යදම් ගැන කතා කරන්නේ අලි කුලප්පුවක්‌ සිදුවී හෝ සිංහළේ මහා සංස්‌කෘතියේ සජීවී අංගයක්‌වූ නැටුම් කලාවේ හා වාදනයේ මහා සංදර්ශනයක්‌වූ පෙරහැර අවසන් වේ යයි ප්‍රාර්ථනා කරන බටහිර අනුකාරක ආධානග්‍රාහී ඊනියා අහිංසාවාදීන් පමණි.

4 Responses to “අලින්ට ඇති දුක අශ්වයන්ට නැත්තේ ඇයි”

  1. Senevirath Says:

    yes I really wanted u to publish this in the web thanks

  2. S.Gonsal Says:

    ” අලින්ට ඇති දුක අශ්වයන්ට නැත්තේ ඇයි” We should have compassion to both horses and elephants. Not only that for all creatures including dengue mosquitos.
    In western cultures, killing is considered OK if killed “humanely”. This is a ridiculous idea based on pure ignorance and indiffernece.
    All creatures do not want to die ( except Jihadists). All creatures are scared of death. Even if one endures pain one prefers to live than to die.
    However, we should stop donating elephants to Australia, New Zealnd , Canada, USA, Japan, China and Europe where they undergo suffering much more than in Sri Lanka.

  3. Wetta Says:

    ඔය ඊනියා සත්ව අවිහිංසාවාදීන් හෙවත් නියම රැකියාවක් සොයාගැනීමට නොහැකිකම නිසා බටහිර මුදල් හිඟාකමින් යැපෙන වහළුන් ලංකාවේ ඔය කරන බොරුව අතේ පත්තුවන ලිපියක් ප්‍රසිද්ධ කිරීම ගැන සතුටුවෙමි.

    බටහිරයන්ගේ ඊනියා සත්ව අවිහිංසාව උන්ගේ වාසියටම හදාගත් එකක් මිස සතුන්ගේ වාසියට හදාගත්තක් නොවේ. උදාහරණයක් ලෙස ඔය තවමත් සතුන් මරා කුණු මස් බුදින මනසින් නොදියුණු බටහිර මස් වැද්දන් ගේ මස් කෑම ගැන වරක් මම බටහිර මස් වැද්දෙකුගෙන් විමසු කල ඔහුගේ පිළිතුර වුයේ ඔවුන් කෑම සඳහා මරණ සතුන් මරන්නේ යන්ත්‍ර භාවිතයෙන්, වේදනාවක් ඒ සතාට නොදැනෙන්නට නොලැබෙන තරම් ඉතාම වේගයෙන් නිසා එය “humane killing ” හෙවත් මානුෂීය ලෙස මරණ ක්‍රමයක් බවත් ඒ නිසා එහි වරදක් නැති බවත්ය. මම ඒ සුද්දාගෙන් මේ ප්‍රශ්න ටික ඇසුවෙමි.

    1. මැරෙන විට බයක් වේදනාවක් නොදැනෙන බව ඒ සතාගෙන් අසා සක් සුදක් සේ සහතික කොට දැනගත්තාද?
    2. එසේ වේදනාව නොදැනෙන නිසා ඒ සතා මරණයට මුහුණ දීමට කැමති වුනාද?
    3. ඔය ක්‍රමය වේදනා විරහිත ඉතාම මානුෂීය ක්‍රමයක් නිසා නුඹේ පුතා හෝ දුවත් එම මානුෂීය කටයුත්තට ඉදිරිපත් කිරීමට ඔබ මැලි නොවිය යුතුයි නේද?

    ඒ සුද්දා හීන් සීරුවේ එතනින් ලිස්සා ගියේ පුදුම වේගයකිනි.

    “හරක්” මස් කති යන යෙදුම මට එවිට මතක් විය.

    ඔය කියන ඊනියා සත්ව අවිහිසාවාදියොත් වැඩ කරන්නේ එලෙසය, උන් බඩපුරා මස් කමින් සත්ව අවිහින්සාවක් කතා කරති, ඩොලර් ගලා එති. උන් ඇත්තෙන්ම විශාල ව්‍යාපෘතියක ඉතා කුඩා කොටසක් පමණක් බව , එනම්, උන් හරහා රටේ අලුත් ප්‍රශ්න ඇතිකිරීමෙන් මිනිසුන් අතර අසමගි කම් ඇතිකර ඒ හරහා රටේ ජනතාව බෙදා රට දුර්වල කිරීමේ විශාල ව්‍යාපෘතියේ උන් ඉතාම පුංචි ඉත්තන් පමණක් බව ඔවුන්වත් දන්නේ නැත. එවැනි දහස් ගණන් වෙනස් වෙනස් ක්‍රමවල පුංචි ඉත්තන් කණ්ඩායම් රටවල් තුල ඇතිකරන්නේ NGO හරහායි. චීනය, රුසියාව වැනි රටවල් තුලට එසේ පහසුවෙන් NGO රිංගවීම කල නොහැකියි, නමුත් ඔවුන් උත්සාහය ඇත නොහරී. ඉතාම සුක්ෂම ලෙස සහ සක නොසිතෙන ලෙස මේ NGO බිහිවේ. එහි වැදගත්ම කරුණනම්, රට තුලට පෙනෙන NGO එක ඉතාම පිරිසිදු අරමුනින් ක්‍රියාත්මක වන අතර, උන්ගේ ප්‍රගතිය නිර්ණය කිරීමට බටහිර මස් වැද්දන් වරින් වර පැමිණේ, ඉන්පසු ටිකෙන් ටිකේ මුට්ටිය දමා බලමින් උන්ගේ වහලුන් බවට එකා දෙනා පත් කර ගනී, උන්ට බටහිර රටකට ශිෂ්‍යත්ව පවා දෙමින් සුරංගනා ලෝක ඇත්තටම මවා දේ. ඒවාට උන්ට යන්නේ උන්ගේ ගෙවල් වල ඇතිකරන බල්ලෙකුට දවසකට යන වියදමටත් වඩා අඩු මුදලක් බව අපේ ඇත්තෝ නොදනිති, මන්ද එම මුදල රුපියල් වලින් විශාල මුදලක් වන බැවිනි. උදාහරණයක් ලෙස ළඟදී අපේ රටේ (සිංහලේ රාජ්‍යයේ) ස්වාභාවික විපතකදී ඇමරිකාවෙන් ඩොලර් 50,000ක අධාරයක් රජයට ලැබුණි. එම පුවත දුටු මට ලැජ්ජාවේ පන ගියේ එය බටහිර මහ උන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට යන මුදලෙනුත් හතරෙන් එකක් පමණ වන සුළු මුදලක් බැවිනි. එනමුත් අපි උන්ගේ තානාපතිව මල් මාලා දමා පෙරහැරෙන් වඩම්මාගෙන එන්නේ උන්ට උන්ගේ ඊළඟ රාත්‍රී භෝජන සංග්‍රහයේදී පදමට මත්වී කතා කරමින් අපේ රටේ “සිංහලේ” මිනිසුන් මොන තරම් මෝඩ දැයි සිනාසෙන්නට මාත්රුකාවකුත් සපයිමිනි.

  4. Christie Says:

    සින්හලයින්ගේ රට අද මුලුමනින්ම ඉන්දියානු යටත් විජිතයකි. මෙය වටහා ගන්නා තුරු සින්හලයාට ගැලවීමක් නැත.

    Let me comment on this article as a Sinhalese Buddhist.

    Sinhalese have been eating meat and fish for the last 100,000 years. Buddhism does not forbid consuming flesh.

    We have been living with animals and used them as beasts of burden.

    By the way Indian Union is the largest exporter of beef in the world.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress