මුහුදේ මාළු ඇඟේ නැටීම (උතුරු මුහුදු සීමාව කොල්ලකන ඉන්දීය ධීවරයන්)
Posted on July 19th, 2016

කතුවැකිය උපුටා ගැන්ම දිවයින

ව්‍යාපාරිකයන්ට කරදරය, වී ගොවියාට – එළවළු වෙළෙන්දාට කරදරය, ධීවරයාට කරදරය. ඒ සියලු දෙනාටම අර්බුද මතුවන විට රටේ ජනතාවට කරදරය. ඒවාට විසඳුම් ලබාදිය යුතු ජනතාව විසින්ම පත්කරනු ලැබූ ජනතා නියෝජිතයාට කිසිදු කරදරයක්‌ නැත. මේ ප්‍රශ්න ගැන වගේ වගක්‌ නැත. අර්බුදයක්‌ පැන නැගුණු විට යන්තම් එතැනට කරපොවා මුහුණත් තහඩුව පත්තරවල, රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය කරවා ගැනීම හැර ඒ කිසිවකුටත් ඊට හරි විසඳුමක්‌ ලබාදීමේ වුවමනාවක්‌ නැත. එවැනි විසඳුම් නැති සමහර ප්‍රශ්න දශක දෙක, තුන පැරැණිය. එන යන හැම ආණ්‌ඩුවක්‌ම ඒවා තොරොම්බල් කරනවා විනා විසඳුම් දීමට හිතන්නේවත් නැති බව පෙනේ. අදාළ කතාව කියන්නට එතරම් දිගු පූර්විකාවක්‌ ලිවිය යුතුමය. අදාළ කතාව උතුරු පළාතේ ධීවර ප්‍රශ්නයය. මාධ්‍ය මඟින් මෙය එතරම් “හයිලයිට්‌” නොකරන ප්‍රශ්නයක්‌ වුව එය තරමක්‌ බරපතළ ප්‍රශ්නයකි. මාළු ගිනි ගණන් වුව ආණ්‌ඩුවට බැණ වදිමින් ඒවා මිලදී ගෙන බුක්‌ති විඳිනවා විනා මේ ප්‍රශ්නය ගැන රටේ ජනතාවට තේරෙන්නේද නැත. පසුගිය සතියේද උතුරු පළාත් ධීවරයෝ තම ධීවර අයිතිය ආරක්‌ෂා කර දෙන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත වූහ.

අප සඳහන් කළ පරිදිම මීට පෙර දක්‌වා ඇති පරිදිම, නීති විරෝධීව ලංකා මුහුදු තීරයට ඇතුළු වන (ශ්‍රී ලංකා මුහුදු සීමාව පනින) ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකාගෙන යැම බොහෝ “පරණ” ප්‍රශ්නයකි. මේ කොල්ලකෑම “µqල් ෙµaස්‌” හෙල්මට්‌ පැළඳ රන්බඩු සාප්පු කොල්ලකෑම තරම් පහසු නැත. එහෙත් ඉන්දීය ධීවරයන්ට එය එතරම්ම පහසු වැඩකි. කාගෙත් දැනගැනීමට එය ලිවිය යුතුය. ඒ මෙසේය.

ඉන්දීය ධීවරයන් මේ කැත කොල්ලකෑමට භාජන කරන්නේ පරිසර විනාශකාරී “බොටම් ට්‍රොaලර්” ක්‍රමයයි. මේ ක්‍රමයේ දී විශාල යකඩ තහඩු දෙකක්‌ දැල සමඟ මුහුදු පතුලට වැදී නැවත ඉහළට එසැවෙන්නේ මුහුදු පතුල සම්පූර්ණයෙන්ම සූරා ගනිමිනි. මේ සූරාගැනීමේ හානිය කොතරම්ද යත් මුහුද පත්ලේ ඇති ශාක, කොරල්පර, ඒ ආශ්‍රිතව ඇති මුහුදු මාළු බිත්තර, විවිධ මුහුදු ජීවීන් සියල්ල විනාශව යන බව කියති. නිවැරැදිව කීවොත් මේ සිදුවන්නේ මුහුදු පත්ල ඩෝසර් කිරීමකි. එවිට සිදුවන්නේ මාළු ටික පමණක්‌ නොව ඉන් එහාට මුහුදු ජීවීන් බෝවීමට ඉඩකඩ ඇති පරිසර සාධකද ඉන්දියාවේ තමිල්නාඩු උදරයට පුරවා ගැනීමය.

කාරණය පැහැදිලිය, උතුරේ ධීවරයාගේ උද්ඝෝෂණය සාධාරණය. ඒ උදවිය මේ සටන් කරන්නේ මාළු ටික පමණක්‌ නොව උතුරු මුහුදු සීමාවම ආරක්‌ෂා කරන්නටය. නැතිනම් තවත් ටික කාලයකින් අපට සිදුවන්නේ රට වටේටම මුහුද තිබුණද ගිනි ගණනට පිටරටින් මාළුද ආනයනය කරන්නටය. (දැනටද රට වටේ මුහුද තිබුණත් මාළු ගිනි ගණන් වීම වෙනමම කතාවකි.) මේවා ගැන හිතෙන විට මුහුදේ නැටිය යුතු මාළු ඇඟේ නටන එක අහන්නත් දෙයක්‌ නොවේ. ඉන්දියාවට බොහෝ දේ දෙන්නට පොරොන්දුව තිබියදී “ඔය මාළු ටිකක්‌ ගෙනිච්චට මක්‌ වෙනවාදැයි” මෙය සාධාරණීකරණය කර ඇඟ බේරාගන්නට හදන වගකිවයුත්තන්ගේ කටින් පිටවුණද එය පුදුම වන්නට කාරණයක්‌ නොවේ.

ඉන්දීය ධීවරයන් නීති විරෝධීව මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කර මෙරට මුහුදු සීමාවට කළ හානිය වෙනුවෙන් ඉන්දියාවෙන් වන්දි ඉල්ලන බව 2015 අවුරුද්දේ ඔක්‌තෝබර් මාසයේ දවසක ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර කී බව අපට මතකය. ඉන්දීය ධීවරයන් උතුරු මුහුදු සීමාව හාරන ආකාරයෙන් ඒ කතාව හාරා අවුස්‌සා ඇමැතිවරයා ලැඡ්ජාවට පත්කරන්නට අප උත්සාහ දරන්නේ නැත. ඉන්දියාව සමඟ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලදී මේ ප්‍රශ්නයට විසඳුම් දෙන බවක්‌ ප්‍රකාශ කර තිබුණු බවද මතකය. එහෙත් ඒ ගැනද අප හාරා අවුස්‌සන්නේ නැත. ප්‍රශ්න ගොඩක පැටලී සිටින ආණ්‌ඩුව අපහසුතාවට පත් කරන්නටද අපට වුවමනාවක්‌ නැත. එහෙත් තවත් කල් නොයවාම අපිට විසඳන්නට ප්‍රශ්නයක්‌ ඉතිරිව තිබෙන බව පමණක්‌ නැවත සිහිපත් කරමු.

One Response to “මුහුදේ මාළු ඇඟේ නැටීම (උතුරු මුහුදු සීමාව කොල්ලකන ඉන්දීය ධීවරයන්)”

  1. Christie Says:

    සින්හලයින්ගේ රට අද මුලුමනින්ම ඉන්දියානු යටත් විජිතයකි. මෙය වටහා ගන්නා තුරු සින්හලයාට ගැලවීමක් නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress