මාධ්‍ය දැලේ සිදුරු තලින් රිංගා යන දේශපාලන වටුවෝ
Posted on October 9th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

මීට මාස කිහිපයකට පෙර 2016 මාර්තු මාසයේ සිට ශ්‍රී ලාංකික ජනතාව එකාවන්ව නැගී සිටියේ මහරගම පිලිකා රෝහලේ බලවත් අඩුපාඩුවක්ව තිබූ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම පිනිස අවශ්‍ය රු. කෝටි 20 ක මුදල එක්රැස් කිරීමටය. එම සද්කාර්යය සඳහා පෙරමුණ ගත්තේ දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ වැඩ සටහන විසිනි. 2016 ජුනි මස 13 වන දින එම මුදල සම්පූර්ණ වූ බව ඔවුහු ඉතා සතුටින් හා ආඩම්බරයෙන් ජනතාවට නිවේදනය කලහ. ඒ සඳහා ගත වූයේ යන්තම් මාස 3 ක් වැනි කෙටි කාලයකි. මේ අත්‍යවශ්‍ය කාර්යය සඳහා වන වියදම දැරීමට රජය පාර්ශ්වයෙන් මග හැරිය නමුදු ඒ කාලය තුලම, මැයි මස තුල රටේ සිදු වූ බරපතල ආපදාවන් නිසා ජනතාව ලක්ෂ ගණන් අනාථව සිටිත්දීම ඇමතිවරුන් සඳහා කිසිසේත් අත්‍යවශ්‍ය නොවූ සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමට රු. කෝටි 118 ක් වැය කිරීම සම්බන්ධව අතට යටින් ගෙන ගිය වැඩ පිලිවෙල ජනතාවට රහසක් නොවීය. තමන්ට පැවරී තිබෙන රාජකාරිවලට අමතරව වෙනත් සමාජ කටයුතුවල බරපතලකම මෙන්ම, තම මැතිවරණ බල ප්‍රදේශයන්හි මං මාවත්වල තත්වය ඉතා නරක බැවින්ද තමන්ට මේ සුඛෝපභෝගී වාහන අවශ්‍ය වන බව  සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, එම දුෂ්කර කාල පරිච්ඡේදයේදී පවා මාධ්‍ය හමුවේ සාධාරණීකරනය කරන්නට කටයුතු කලේය.

කෙසේ හෝ ජනතාවගේ අධිශ්ඨානශීලී වූද, සහානුකම්පී වූද, අවංක වූද අපේක්ෂාවේ ප්‍රතිඵලයක් ලෙස ලබාදුන් පරිත්‍යාගයන් ඔස්සේ 2016 ජුනි මස 13 වන දා වන විට පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා එක් රැස් වූ මුදල එම ඉලක්කය වූ රු. මිලියන 200 ඉක්මවා ගිය බව ඊට මූලිකවම දායකත්වය සැපයූ දෙරණ මාධ්‍ය ජාලය විසින් ප්‍ර්‍රකාශ කරන ලදී. ජුනි 14 වන දා මාධ්‍යයට කතාකල රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවට හා මාධ්‍යයන්ට ස්තුති කරමින් මෙම පෙට් ස්කෑන් යන්ත්‍රය ‘ඉතාම ඉක්මනින්’ මිලදී ගන්නා බව පැවසීය. ජුනි මස 15 වන දා රජය පාර්ශ්වයෙන් පැවත්වූ මාධ්‍ය හමුවේදී මෙම පෙට් ස්කෑන් යන්ත්‍ර්‍රය සම්බන්ධව, මාධ්‍යවේදීහු සෞඛ්‍ය ඇමති මෙන්ම සම කැබිනට් ප්‍රකාශක ද වන රාජිත සේනාරත්න වෙතින් විමසූහ. (රාජිත සේනාරත්න පෙට් ස්කෑන් ගැන කියයි යනුවෙන් මෙම වීඩියෝව You-Tube හි ඇත.) ඔහු එදා කීවේ කුමක්ද? ” ඔය ගොල්ලො මේ තාම  සල්ලි එකතු කරනව. අපි ගෙන්නන එක දැන් මග එනව. ලබන මාසෙ වෙනකොට ඒක ඇවිල්ල. දැනට ආසිරි රෝහලේ පෙට් ස්කෑනර් එකක් තියනව. අපි ගෙන්නන එක මහ රෝහලට දෙනව”  ඊලඟට ඔහු කතා කලේ ජනතාව දායක වූ එම සද්කාර්යය සැහැල්ලු වන පරිද්දෙනි. ”ඕක මේ පෙට් ස්කෑනර් එකක් විතරයිනෙ. අපි ලබන 4 වෙනිද රෝහලක්ම විවෘත කරනව. මමයි, ජනාධිපති තුමයි. හක්මන. එල්. එච්. පියසේන මහත්තය හදපු.” ඒ හැර ඔහු තමා විසින් සිදුකල මිලියන්, බිලියන් ගණන් වටිනා මිලදී ගැනීම් කිහිපයක් පිලිබඳවත් තොරතුරු පැවසීය. මේ කියන දේ වලින් පල ලැබුවෝ කවුරුන්දැයි දන්නේ උඩ ඉන්න දෙවියන් පමනි. ඉතා කුඩා පාරකට තාර ඇබින්දක් ඇතිරුවත්, වැඳ පුදා ගන්න පන්සලකට ගොඩ වුනත් මාධ්‍ය කැඳවා ඒ ගැන රටට කියන්නට නොපැකිලෙන මේ දේශපාලකයන් ඔය කියන විදියට සිදුකල බිලියන ගණන් වටිනා සේවයක් මේ අහන තුරු මාධ්‍යයන්ට නොකියා සිටිනු ඇතැයි සිතන්නට නම් අමාරුය.

පිලිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැති කමින් එම සේවාව අවශ්‍ය රෝගීන්ට ඒ සඳහා රු. 150,000 ක් පුද්ගලිික රෝහලට ගෙවීමට සිදුවෙයි. ඉතින් එවන් යන්ත්‍රයක අඩුව සහ හක්මන රෝහලක් සෑදීම එක ගොන්නට දමා සසඳන්නට නොහැකි බව වත් මේ මුග්ධ සෞඛ්‍ය ඇමතිවරයාට නොවැටහේ.

2005 වසරේදී ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 100,000 ට 68 ක් පිලිකා රෝගයට ගොදුරු වෙමින් තිබිනි. (සෞඛ්‍ය අමාත්‍යංශයේ දායකත්වය ඔස්සේ අවසන් වතාවට අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් සකසා ඇත්තේ ඒ වසරේය.) 2006 දී එම සංඛ්‍යාව 79 දක්වා වැඩිවී ඇති බව  2013 පෙබරවාරි 10 වන දින සන්ඩේ ටයිම්ස් පුවත් පතේ පල වූ ලිපියක සඳහන්ව ඇත. අන්තර් ජාලයේ සොයා ගත හැකි එපමනකි. 2013 දී එම ලිපිය ලියූ තැනැත්තාට පවා 2006 න් මෙපිට යාවත්කාලීන වූ තොරතුරක් සොයා ගැන්මට නොහැකි වී ඇත. 1985 දී එම අගය 31.5 ක් වූ බව සටහන් වේ. දැන් 2016 වසරයි. අර අවසන් වාර්තාවෙන් පසු වසර 11 ක් ගතව ඇත. මේ ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා අධ්‍යයන අංශයේ සැබෑ තත්වයයි. ජනතාව පිලිකා රෝගීන් බවට පත්වීමේ අවදානම ගෙන දෙන කාරකයන් එනම් රසායනික පොහොර භාවිතය, කෘතිම රසකාරක සහිත ආහාර, වායු දූෂණය වැනි දේ පාලනය කල නොහැකි මට්ටමට මුල් බැසගෙන ඇති කල, මෙවන් අධ්‍යයනයන්හි අඩුව තදින්ම බලපායි. ඉතින් රටේ ව්‍යාප්ත වන රෝගී තත්වයන් ගැන හැඟීමක් නැති කල අදාල යන්ත්‍ර උපකරණ ගැන කුමට කතා කරමුද? මේ  වසර 11 ක කාලය ඇතුලත වත්මන් ජනාධිපතිවරයාද සෞඛ්‍ය ඇමති පදවිය දැරීය. ඔහුගෙන් මේ ප්‍රශ්න ඇසුවොත් නම් හිටපු ජනාධිපතිවරයා තමන්ට කිසි දෙයක් කරන්නට ඉඩ හැරියේ නැති බව පවසනු ඇත. දැන් ඉන්නේ තමාගේත්, තම බිරිඳගේත් දොස්තරකම ගැන කයිවාරු ගසන රාජිත සේනාරත්නය. 2016 මාර්තු 31 දින මාධ්‍යයට කතා කල ඔහු, තමා රෝගී තත්වයෙන් නේවාසිකව පසු වූ කාලය තුල සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී එහි තත්වය තමා නිරීක්ෂණයට භාජනය කල බවද, එවැනි රෝහල් 3 ක් ශ්‍රී ලංකාවේ ඉදි කිරීමට මේ වන විට සියලු කටයුුතු සූදානම් බවද පැවසීය. හෘද රෝගයකට සැත් කමක් කර ගන්නට සිංගප්පූරු ගිය සෞඛ්‍ය ඇමතිවරයා එතරම් අසීරුතා මධ්‍යයේ රෝහල නිරීක්ෂණය කර තම ජනතාවටත් එවන් සැප පහසුව ලබා දෙනුවස් කටයුතු  කර තිබේ ! පුදුමය එයයි.

නමුත් සත්‍යය නම් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ජුනි 15 වන දා සඳහන් කල පෙට් ස්කෑන් යන්ත්‍රය තබා මහජනතාව රැස්කල මුදලින් මිලදී ගන්නට අපේක්ෂා කල පෙට් ස්කෑන් යන්ත්‍රය වත් තවම ලංකාවට පැමින නැති බවය. එමෙන්ම එදා සාකච්ඡාවට අනුව ජුලි 4 වන දා විවෘත කරන බව කියූ හක්මන රෝහල කෝ? ජුලි 4 වන දා මාතරදී ජනපති අතින් සුරාබදු කාර්යාලය නම් විවෘත කෙරුනි. එතැනදී ඔහු මැති ඇමතිලා කිහිප දෙනෙකු විහිලුවට කූඩුවට දමා අගුලු දැමූ නිසා ඒ සිද්ධිය ඔබට මතක තිබෙනු ඇත. එල්. එච්. පියසේන කොම්පැනියේ වෙබ් අඩවිය පිරික්සූ විට ඔය කියන හක්මන රෝහලේ සැලැස්මක චිත්‍රයක් නම් තිබෙනු පෙනෙයි. අනිත් රෝහල් තුන පිලිබඳව නම් දැන් රාජිතටත් අමතකව ඇති බව සිකුරුය.

රාජිත සේනාරත්න යනු වත්මන් රජය බලයට ගෙන ඒමට ප්‍රබල භූමිකාවක් ඉටුකල අයෙකි. ඔහු රජයේ සම කැබිනට් ප්‍රකාශකයාය. ඔහු මෙසේ වගකීමෙන් තොරව ජනතාව වෙත කතා කරන්නේ කෙසේද? තව මසක් ඇතුලත රජය විසින් ඇනවුම් කල පෙට් ස්කෑන් යන්ත්‍රය ලංකාවට එන බව ඔහු ජුනි 15 වන දා පැවසීය. නමුත් මාර්තුවේදී මෙම යන්ත්‍රයේ අවශ්‍යතාවය මතුව, පිලිකා රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් ඒ සඳහා මහජනතාවගේ අාධාර පැතූ මොහොතේ එවන් යන්ත්‍රයක් තමන් ඇනවුම් කර ඇති බවක් සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේ නැත. නමුත් මේ ඉතා මෑතකදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එවන් උපකරණයක් ආවට ගියාට ගෙන්විය නොහැකි බවත්, ඊට අදාල ටෙන්ඩර් කැඳවීම ඇතුලු ක්‍රියා පටිපාටියක් තිබෙන බවත් ඒ සඳහා අඩු තරමින් මාස 9 ක් වත් ගතවනු ඇති බවත්ය. එසේ නම් ඔහු ජුනි 15 වනදා කීවේ කුමක්ද? එදා ඔහු රජය මගින්ද පෙට් ස්කෑන් යන්ත්‍රයක් ඇනවුම් කර දැන් මග එන බවට අතේ පැලවෙන බොරුවක් කිසිම වග විභාගයක් නැතිව මාධ්‍ය හමුවේ කියා දැමූ අතර ජනතාව දායක වූ එම කටයුත්ත අශෝභන ලෙස හෑල්ලු වන ස්වරයකින් කතා කලේය. ඔහු මේ මාස 9 ක්‍රියා පටිපාටිය ගැන කතාකල දා මේ ගැන විමසන්නට සමත් වූ කිසිම මාධ්‍යවේදියෙකු එතැන සිටියේ නැත.

ඔක්තෝබර් 7 වන දා මුදල් ගෙවීමෙන් තොරව යෙදුනු ගුවන් ගමන් සම්බන්ධ කතාවේදීද මාධ්‍යයන්ගේ වගකීම් විරහිත වාර්තාකරණය ගැන පවසමින් පලමුවෙන්ම මාධ්‍ය වලට වරද පටවන්නට උත්සුක වූයේද රාජිත සේනාරත්නයි. එක අතකට එය සැබෑය. අද ඔහු රෙද්දක් ඇඳගෙන ලොකු කම් කියවන්නේ මාධ්‍යයන්හි නොසැලකිලිමත් බව නිසාය

ඇත්ත වශයෙන්ම වත්මන් දේශපාකයන් බහුතරයකගේ ස්ථිර ප්‍රතිපත්ත්යක් නැති වූද, පහත් හා අශීලාචාර වූද ක්‍රියාකාරකම් වලට තවත් අත්වැලක් වී ඇත්තේ මාධ්‍ය මගින් තම වගකීම හරි හැටි ඉටු නොකිරීමයි. මාධ්‍ය රැස්වීමකදී “අසවලා මෙහෙම කිව්ව. ඒ ගැන ඔබ තුමා මොකද කියන්නෙ?” වැනි වැදගැම්මකට නැති ප්‍රශ්න අසනවාට වඩා මෙම පාලකයින් සතු වගකීම් ප්‍රශ්න කරමින්, ඔවුන්ගේ ප්‍රකාශ හා ක්‍රියාකාරකම් පිලිබඳ අවධානය යොදමින් කටයුතු කරත් නම් මේ දේශපාලකයන්ට මෙසේ තමන්ගේ වගකීම් වලින් ජනතාවට කොකා පෙන්වමින් ලිස්සා යන්නට නොහැකි වනු අතර, මාධ්‍යයන් සමග මීට වඩා ප්‍රවේසමෙන් කටයුතු කරන්නට ඔවුන් ඉගෙන ගනු ඇත.

ඔක්තෝබර් 7 වන දා පාර්ලිමේන්තුවේදී උණුසුම් වූ හෙලිකොප්ටර් සවාරි කතාවේදී මාධ්‍යවේදීන් ගැන  කතා කල අගමැති රනිල් වික්‍රමසිංහ ”ඔය කවුරුත් අරලියගහ මන්දිරෙන් කාපු අය” කියා කීවේ මාධ්‍යවේදීන් එසේ තම වගකීම හරි හැටි ඉටු නොකල නිසාමය. දැන් අරලියගහ මන්දිරයේ සිටින්නේ ඔහුය. ඔහු මේ බව හොඳ හැටි දන්නේ ඔහු ද එම ක්‍රමවේදය යොදන නිසාද? මොන ලැජ්ජා නැති කතාවක්ද? අරලියගහ මන්දිරයේ ජීවත් වන රනිල්ට ඒ කෑම සාමාන්‍ය දෙයකි. නමුත් මාධ්‍යවේදීන්ට එහි කෑම වේලක් මහා විශාල දෙයක් යයි රනිල් සිතන බව පෙනේ. ඔහුට අනුව මාධ්‍යවේදීන් කෑම වේලකට තම ආත්ම ගරුත්වය පාවා දෙන්නවුන්ය. ඔහු සැම විටම මාධ්‍ය ආයතනවලට තර්ජනය කලේ බලපත්‍ර අහෝසි කරන බව පවසමිනි. දැන් දැන් දෙරණ මාධ්‍ය ජාලය හැසිරෙන පිලිවෙල දුටු විට එම තර්ජන යම් තරමකට පල දරා ඇතිදෝ’යි සැකයක් ඇතිවේ. 

මාධ්‍යවේදීන්ට මෙසේ අපහාස කරන්නේත්, තර්ජනය කරන්නේත් මාධ්‍යයන් කටයුතු කරන සීමාව රජය විසින් හොඳින්ම දන්නා හෙයිනි. එම සීමාව තමන් විසින්ම පනවා ගත්තක්ද, නැති නම් රජය විසින් පනවන ලද්දක්ද දන්නේ මාධ්‍යවේදීන්ම පමනි. තමන්ම සීමාවන් පනවා ගත්තා නම් ඊට ද හේතු තිබෙනු ඇත. අද සුදු වෑන් ගැන පමනක් පැවසුවත් තම රජය සමයේදී රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෝ චරිත ලංකාපුර, කාංචන අබේපාල වැනි මානව හිමිකම් ක්‍රියාකරීන් සිය ගණන් වල පල්ලට යවන්නට දායක වූයේ කවුරුන්ද යන්න වත්මන් අගමැතිගේ මතකය යහපත් නම් එය සාක්ෂි දරනු ඇත. එමෙන්ම පසුගියදා සිදු කල නවසීලන්ත සංචාරයේදී හරියට තම ගෙදර වැඩ ගුරුවරයාට පෙන්වන ශිෂ්‍යයෙකු මෙන් ”අපි තාජුඩීන්ගෙ මල සිරුර ගොඩ ගත්තා,ලසන්ත වික්‍රමතුංගගෙ මල සිරුර ගොඩ ගත්තා” අදී වශයෙන් ඒ රටේ නායකයන්ඉදිරියේ රපෝර්තු කරන විට, මේ සියලු කියුම් කෙරුම් සිදු වන්නේ කාගේ න්‍යාය පත්‍රයට අනුවදැයි පැහැදිලිය. කෙසේ වුවද

ජනතාව අදත් මාධ්‍ය කෙරෙහි විශ්වාසයෙන් යුතුව මේ සියල්ල ඉවසා සිටිති.

ඉතින් මේ සීමාවන් තුල රජයේ ඇමතිවරුන් ගෙන යන විශාල බොරුව හා වංචාව ප්‍රශ්න කරන්නට මාධ්‍යවේදීන් හට ඉඩක් හෝ ඕනෑ කමක් නැති නම්, ඊට ඉදිරිපත් වන විට එල්ල වන අපහාස උපහාස දරා සිටින්නට ඔවුනට සිදු වී ඇත්නම් රජය විසින් ලබා දුන්නා යයි කියන මාධ්‍ය නිදහස ඇත්තේ කොහිදැයි අසන්නේ බලවත් සිත් වේදනාවෙනි. 

One Response to “මාධ්‍ය දැලේ සිදුරු තලින් රිංගා යන දේශපාලන වටුවෝ”

  1. Hiranthe Says:

    it creates sickness by listening to stories of these cunning politicians..

    These liars and cunning cheaters will suffer many thousands of years in the hell and then will be born as scavengers like hyenas.. they will not get a human births for many life times.

    Telling lies and misleading the innocent people is a grave sin.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress