පෝල් මැක්ග්‍රෝරි, පේරාදෙනියේ වළ සහ සංස්කෘතික පසුගාමීත්වය
Posted on October 15th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

පෝල් මැක්ග්‍රෝරි මගේ මිතුරෙකි. ඔහු උපත ලැබුවේ ස්කොට්ලන්තයේය. අප දෙදෙනාම එකම වසරේ ලෝක ගෝලයේ ස්ථාන දෙකක උපත ලැබීම විශේෂ දෙයක් ලෙස අප සලකන්නෙමු. පෝල් අවුරුදු විසි පහේදී කැනඩාවට සංක්‍රමණය වෙයි. 

මගේත් පෝල් ගේත් ළමා සහ ගැටවර කාලයන් ගත වෙන්නේ අප උපන් දේශ වලය. නිරන්තරයෙන්ම අප දෙදෙනා අපගේ ළමා සහ ගැටවර කාලයන් ගැන කතා කරන්නෙමු. එහිදී අප අතර තිබූ සමානතා අසමානතා අපගේ සාකච්ඡාවට ලක්වේ. 

නව යොවුන් සමයේදී පෝල් සවන් දුන් සියළුම පොප් ගීත වලට එම කාලයේදීම මාද සවන් දී තිබේ. උදාහරණයක් ලෙස පෝල් දොලොස් හැවිරිදිව සිටියදී ඔහු ඉයන් සදලෑන්ඩ් ගේ  (Sutherland Brothers and Quiver – Arms of Mary) ගීතයට ප්‍රිය කරයි. මමද දොලොස් හැවිරිදිව සිටියදී එම ගීතය ප්‍රිය කලෙමි. එසේම ඒ කාලයේ පැතිරී ගිය බීට්ලස් , ඇබා , බීජීස් , ඩෝනා සමර්, රොඩ් ස්ටුවර්ට් , පින්ක් ෆ්ලොයිඩ් , සන්ටානා යනාදීන් ගේ පොප් රොක් රැල්ල අප දෙදෙනාම ග්‍රහනය කර ගන්නේ සමකාලික ලෙසටය. එහෙත් ස්ථාන දෙක වෙනස් ය. පෝල් දියුණු රටක් වූ මහා බි‍්‍රතාන්‍යයයේ සිටද මම තුන්වන ලෝකයේ රටක් වූ ලංකාවේ සිටද මෙම රැල්ල වින්ඳෙමි. 

 

ruwan14101601

ඔහු පාසල් දරුවෙකු ලෙස ක්‍රේසි බෝයිස් චිත්‍රපට බලන විට මමද පාසල් ළමයෙකු ලෙස ඒ චිත්‍රපට බලා තිබේ. එසේම ජේම්ස් බෝන්ඩ් චිත්‍රපට , ක්‍රිස්ටෆර් ලී ගේ  Dracula චිත්‍රපට අප එකම කාල පරාසයන් තුල නරඹා තිබේ. 

මා සමග එකී කාලයන් ගැන කතා කිරීමේදී පෝල් බොහෝ විට විමතියට පත් වේ. මුල් කාලයේ ඔහුගේ අදහස වූයේ ශ්‍රී ලංකා සමාජය වූ කලී ඉතා ප්‍රාථමික නූගත් පසුගාමී සමාජයක් කියාය. එහෙත් මා සමග සංවාදයෙන් පසු පෝල් මෙසේ කීවේය. 

” රුවන් සංස්කෘතිකව ග්ලාස්ගෝ වල ජීවත් වූ මමත් කොලඹ ජීවත් වූ නුඹත් අතර එතරම් වෙනසක් තිබී නැත. ග්ලාස්ගෝ වල තිබූ පොප් සංස්කෘතිය කිසිම අඩුවක් නොමැතිව නුඹලාද විඳ තිබේ. සංගීතය මෙන්ම සිනමාවද මීට අයත් වේ. මා දැක තිබූ චිත්‍රපට සියල්ලම පාහේ නුඹද බලා තිබේ. මේ අනුව ස්කොට්ලන්තය මෙන්ම ලංකාවේද  සංස්කෘතික  වශයෙන් දියුණු පොකට්ස් තිබී ඇති බව මට පෙනී යයි. 

බටහිර සංගීතය සමග බැඳුණු පොප් රැල්ල ලාංකිකයන්ට ලබා දීමේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවය කරන ලද මෙහෙය තවමත් කිසිවෙකුගේ අවධානයට ලක්වී නැත. මෙම ඉංග්‍රීසි සේවයේ නිවේදකවරුන් වූ වර්නන් කොරයා ,රාජන් වෛරවනාදන් , ජිමී බරුචා, නෙරන්ජන් අබේසුන්දර , රවි ජෝන් , ෆයිසාල් බොන්සෝ , චන්න පෙරේරා  යනාදීන්   ලංකාව පොප් ලෝකය සමග සම්බන්ධ කළහ. 

වරක් කැනේඩියානු කාන්තාවක් වූ තෙරේසා ෆොස්ටර් මම ඈන් මරේගේ ගීත අසා තිබේද කියා ඇසුවාය. මම ඇයට කීවේ මම ඈන් මරේගේ ගීත අසා තිබෙනවා පමණක් නොව 1978 වසරේ පාසල් සිසුවෙකුව සිටියදී මට ඈන් මරේගේ ගීත ඇල්බමයක් සහිත කැසට් එකක් තිබූ බවයි. මේ පිලිතුරෙන් තෙරේසා ෆොස්ටර් මහත් විමතියට පත් වූවාය. තුන්වැනි ලෝකයේ නොදියුණු රටක් වූ ලංකාවේ මිනිසුන් කැනේඩියානු ගායිකාවක වූ ඈන් මරේගේ ගීත අසා තිබෙනවා යන්න ඇයට අදහා ගැනීමටත් නොහැකි වූවාය. එය අපට හරියට බින්තැන්නේ වැද්දන් මෝසාට් ගේ Symphony No. 40 in G minor, KV. 550 ට සවන් දෙනවායි ඇසූ විට අපෙගේ දෙනෙත් උඩ යන ප්‍රතිචාරයම එදා තෙරේසා ෆොස්ටර් මට දුන්නාය. 

මෑත කාලයේදී කැළනිය විශ්ව විද්‍යාලයේ දිග කලිසම් තහනම මෙන්ම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වලේ හෙවත් සරච්චන්ඳ්‍ර එලිමහන් රංග පීඨයේ කිස් එකකට දැක්වූ විරෝධය මෙන්ම නාට්‍යකරුවන්ට බිත්තර ප්‍රහාර එල්ලවීම මගේ අවධානයට ලක් විය.  මෙවැනි ක්‍රියා   අනාගතයේ ලංකා සමාජය ගමන් කරන සංස්කෘතික වශයෙන් පසුගාමී තලෙබාන් මාර්ගය පෙන්වන්නකි. ලිං මැඩියන් බඳු මෙවැනි ක්‍රියා ප්‍රවර්ධනය කරන  පුද්ගලයන් අපගේ සමාජය ඇදගෙන යාමට උත්සහ දරන්නේ තෙරේසා ෆොස්ටර්ලා අප ජීවත් වනවා යැයි සිතන නූගත් පසුගාමී අසංකෘතික රටකටය. 

වරක් ඉරාන ජාතික සිසුවියක් වන සාහර් මට මෙසේ කීවාය. ” ෂා රජුගේ කාලයේ මිනිසුන් එල්විස් ප්‍රෙස්ලිගේ ගීත වලට සවන් දීම අයතොල්ලාගේ අනුගාමිකයන් රිස්සුවේ නෑ. එම නිසා අයතොල්ලාගේ ආගමනයත් එක්ක බටහිර සංගීතය තහනම් උනා. ඒ එක්කම ඉරාන පොප් ගීතත් තහනම් උනා. ඔවුන් මිනිස්සුන්ට දුන්නේ විලාප වැනි ආගමික ගීත. මේ නිසා බොහෝ දෙනෙක් සංගීතයට සවන් දීම අත් හැර දමා යාන්ත්‍රික මිනිසුන් බවට පත් උනා” 

සාහර් මේ කියන්නේ බටහිර අනුකාරකයන් කියමින් බටහිරට බැන බැන ස්වකීය ගං කබරයන් ඉහලට ගෙනා සමාජයකට අත් වූ ඉරණමයි. අපද ගමන් කරන්නේ දේශීය ගං කබරයන් ප්‍රවර්ධනය කරන ආස්ථානයකටය. 

කැළනිය විශ්ව විද්‍යාලයේ දිග කලිසම්  ගලවන්නට හැදූ , පේරාදෙනිය වලේදී හාද්දක් දැක එරියස් පෙන්වූ මෙන්ම නාට්‍යකරුවන්ට බිත්තර ගැසූ බාලයන් වහාම පුනරුත්ථාපනය කිරීම අපගේ සමාජයේම වගකීමකි. නැතහොත් මොවුන් මේ සංස්කෘතික පසුගාමීත්වය ලාංකීය සමාජය පුරා පතුරවනු ඇත. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress