ඇමෙරිකාවේ එහෙමයි මෙහේ මෙහෙමයි……
Posted on November 13th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

දැන් ආපසු හැරී බලන විට ඇමරිකාවත් අපෙන් ඉගෙන ගත්තාදෝ සිතෙයි. එනම් අපේ රට කරවන ඇත්තන් තමන් ජාත්‍යන්තරය ජය ගත්තා යැයි කියා ඇත්තේ කට කසනවාට නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන වරට ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සඳහා චන්ද විමසීම පැවතුනේ නොවැම්බර්  8 වන දා ය. මේ වන විට රාජ්‍ය බලය දරන ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූයේ හිලරි ක්ලින්ටන්ය. ඈ 1993 – 2001 දක්වා ඇමරිකානු ජනාධිපති ලෙස කටයුතු කල බිල් ක්ලින්ටන්ගේ භාර්යාවයි. 2009 සිට 2013 දක්වා කාලයේදී ඇය එරට රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කලාය. ඇගේ දේශපාලන පසුබිම ගැන යටි සිතේ තිබුන නිසාදෝ ඇගේ ප්‍රතිවාදියා පිලිබඳව අපේ අගමැතිවරයා හැඳින්වූයේ ඔහු විශිෂ්ඨ ව්‍යාපාරික ඥානයකින් හෙබි අයෙකු වශයෙනි. නමුත් ඔහුද යම් ප්‍රමානයක දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙකු බව කියවෙන පුවත් කිහිපයක් තිබිනි. ඔහු ව්‍යාපාර කටයුතු කලේ දේශපාලන අරමුණක් ඇතිව බව පෙනේ. 2001 දී පවත්වන ජනාධිපතිවරණයේදී රිෆෝම් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට 1999 දී ඔහුට හිතක් පහල වී තිබුනි. මේ වකවානුවේදී ඔහුගේ පෙම්වතියව සිටියේ ඔහුගේ වත්මන් බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්ය. ඇගෙන් මාධ්‍යවේදියෙකු පැනයක් විමසා ඇත. ” ඔබට ජනාධිපති ආර්යාව ලෙස ධවල මන්දිරයට යන්නට ලැබුනොත් කොහොම වෙයිද?” 2000 වසරේදී කාටුන් ශිල්පිනියක විසින් ඔහුගේ අපේක්ෂකත්වය සටහන් කර තිබූ අයුරු මේ දිනවල සමාජ වෙබ් අඩවි තුල ප්‍රචලිතය. ට්‍රම්ප් පවුල දේශපාලනය හා ගෑවී සිටි බවට 1977 කාලයේ සිට සාක්ෂි තිබේ.

කෙසේ වුවද අවසානයේ ට්‍රම්ප් ජයග්‍රහණය කලේය. මැතිවරණ සමයේ ඔහු කල කී දේ විවාදයට ලක්වීය. නමුත් මෙම කාල වකවානුවේ ඇමරිකානු මාධ්‍යයන්හි හැසිරීම ඉතාම පක්ෂග්‍රාහීය. වෙනත් කිසිදු යුගයක ඇමරිකානු ජනාධිපතිවරයෙකු නොකල අයුරින් වත්මන් ජනාධිපති ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් තම පක්ෂයේ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ඉදිරිපත් වූහ. ට්‍රම්ප්ගේ චරිත ඝාතනයට හෝ චරිතය ප්‍රශ්න කිරීමට කාන්තාවෝ 14 දෙනෙකු පෙනී සිටියහ. ජනාධිපතිවරණයට පෙර පවත්වන විවාදයන්හිදී එකිනෙකාට පහර දෙනු ලැබුයේ පුද්ගල චරිත ඝාතන ඔස්සේය. නමුත් ට්‍රම්ප්ගේ ලිංගික අපචාර ක්‍රියා ගැන පවසද්දී තම සැමියා ජනාධිපතිව සිටියදීම එල්ල වූ ඒ හා සමාන චෝදනා හිලරිට අමකතව තිබිනි. ට්‍රම්ප් යනු ජාතිවාදී මානසිකත්වයෙන් යුතු වූවකු බවත්, ඔහු ඉස්ලාම්ෆෝබියාවෙන් පෙලෙන අයෙකු බවත් ඔහුට එල්ල වූ අනිකුත් බරපතලම චෝදනාවයි. ඔහු මෙක්සිකෝ ඇමරිකා දේශසීමාවේ තාප්පයක් ඉදි කරන බවද පැවසීය. මේ කතන්දර නම් ඕනෑම ජනාධිපති කෙනෙකුගේ යටි සිතේ තිබිය හැකි ප්‍රශ්න බව පැහැදිලිය. වෙනසකට තිබුනේ ට්‍රම්ප් මේවා එලිපිටම පැවසීමය. මෙවන් ලාභ මඩ ගැසීම් තුල ඔහුගේ ප්‍රතිපත්ති මාලාව තුල වූ අවධානය යොමු කල යුතු වූ සමහර කාරණා වැසී ගොස් ඇත. ඉන් වැදගත්ම කරුණක් නම් තමා ජනාධිපති පදවිය ලදහොත් හරිතාගාර වායු මුදා හැරීම නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සම්බන්ධව ඇති ලෝක සම්මුතියෙන් ඉවත් වන බවය. එය එසේ වෙයි නම් ගෝලීය උණුසුම පිලිබඳ අවදානමට කෙසේ බලපානු ඇතිද?

මට වැටහුන ආකාරයට නම් ඔහු කතාකලේ මුස්ලිම් අන්තවාදීන් පිලිබඳවය. ඒ කතාවල අන්තර්ගතය වූයේ මුස්ලිම් අන්තවාදය නිසා පීඩාවට පත්වන ඕනෑම රටක් බඳුව ඇමරිකාවද මුස්ලිම්වරයෙකු තම භූමියට ඇතුලු කර ගැනීමේදී ඔහුගේ පෞද්ගලික ඉතිහාසය සහ අභිලාෂයන් විමසා බලන්නට යම් ක්‍රමවේදයක් සකස් කල යුතුය යන්නයි. එසේ නැතිව මුස්ලිම්වරුන් එලවා දමන බවක් එහි නොකියැවුනි. අනික නීති විරෝධී සංක්‍රමනිකයන් පිලිබඳව ඕනෑම රටක් සැලකිලිමත් වේ. බ්‍රිතාන්‍යය අනුගමනය කරන්නේ ද එම පිලිවෙතමය. එක්සත් රාජධානියේ සිටිනවා නම් ඉංග්‍රීසි ඉගෙන ගත යුතු බවත් නැතිනම් තමන් පැමිනි දිහාවටම ආපසු යා හැකි බවත් හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ද වරෙක පැවසීය. ඒ ද ප්‍රතිලාභ මත යැපෙන සංක්‍රමනිකයන් අරභයාය. සංක්‍රමනික ප්‍රශ්නය පිලිබඳව බ්‍රිතාන්‍යයේ හිටපු ස්වදේශ කටයුතු පිලිබඳ ලේකම්වරිය වූ වත්මන් අගමැතිනියගේ ස්ථාවරය වඩාත් දැඩිය. ජාතියක් වශයෙන් මුස්ලිමුන් හෙලා දැකීම බෙහෙවින්  වැරදි වුනත්, අද සිදුවන දේට අනුව කවුරුන් ගැන සැක කරන්නද නොකරන්නද කියා සිතා ගැනීම අසීරු වී තිබේ. පුලුල්ව පැතිර යන සන්නිවේදන ජාලයන් ඔස්සේ මේ අන්තවාදීන් විසින් යෞවන යෞවනියන් බුද්ධි ශෝධනයට ලක් කරන නිසා තත්වය වඩාත් බරපතලව තිබේ. පසුගිය වකවානුවේ ජිහාඩි මනාලියන් ලෙස හෝ සටන්කරුවන් ලෙස බැඳීමට නිවෙස්වලින් පලාගිය යුරෝපීය රටවල, ඇමෙරිකාවේ හා ඔස්ට්‍රේලියාවේ ඉපදුන තරුණ තරුණියන් සිය ගණන් ගැන වාර්තා වී ඇත. සම්ප්‍රදායික මුස්ලිම් අය පමනක් නොව වෙනත් සම්භවයන් සහිත පිරිස් පවා මේ ප්‍රවාහයට අසුවී ඇත. මේ තත්වය පාලනය කර ගැන්මට අපොහොසත්වන රජය, පාලනය කරන්නට යන විටද බැනුම් අසයි. ඉතින් කුමක් කරන්නද? ට්‍රම්ප් එලිපිට කියා පෑවේ අනිත් හැමෝගේම යටි සිතේ තිබෙන දෙයයි.

මේ වන විට ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට එරෙහිව ජනතාව වීදි බැස තිබේ. ‘ඩිමොක්‍රටික්’ පාක්ෂිකයන් එහි අර්ථයට ගරු කරත් නම් චන්දයෙන් තේරී පත්වුන තැනැත්තා වෙනුවට පැරදුන තැනැත්තා ඉල්ලමින් විරෝධතා පවත්වනු ඇත්ද? මේ තත්වයට වඩාත්ම වගකිව යුතු ජනාධිපති ඔබාමාය. මාධ්‍යයන්ද හවුල් කරගෙන කිසි දිනක ඇමරිකාව වැනි රටක දැකගත නොහැකි ආකාරයේ මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන ගිය පාලක පක්ෂය නිසා කිසි දිනක දැක නැති ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී තීරණයකට එරෙහි ජන රැල්ලක් ගොඩනැගී ඇත.

පසුගිය දිනක මාධ්‍ය හමුවේ කතාකල ඩිලාන් පෙරේරා ඇමතිවරයා පැවසුවේ ඇමරිකාවද පවුල් වාදය ප්‍රතික්ෂේප කර ඇති බවයි. මේ ආකාරයට එලඹෙන තත්වය අනුව මොනවා හෝ කියන්නට උපන් හපන්කම් ඇති දේශපාලකයන්ගෙන් නම් අපට හිඟ පාඩුවක් නොමැත. එසේ නම් අද ඇමරිකාවේ වීදි බසින ජනතාව පවුල්වාදය යලි ඕනෑ බව කියනවාද? අද වන විට මහින්ද රාජපක්ෂ වටා ගොඩ නැගෙන ජන බලයද ඔවුන් මේ ආකාරයටම අර්ථ දක්වනු ඇත. එවිට ඒ සඳහා හේතු පාදක වන අනිකුත් කරුණුවලින් ලිස්සා යාමට ඔවුන්ට වඩාත් පහසු වේ. ඒ සඳහා කදිම උදාහරණයක්ද දැන් ඔවුන්ට ලැබී ඇත.

මේ දිනවල අපේ මාධ්‍ය තුලද වැඩියෙන්ම කතා බහට ලක්ව ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරණය ගැන තොරතුරුය. මේ ප්‍රතිඵලය විවිධ දේශපාලන කොටස්වලට කෙසේ බලපානු ඇත්දැයි ඒ ඒ කතාබහ තුල කැපී පෙනේ. වඩාත්ම අමාරුවේ වැටුනේ ද්‍රවිඪ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුය. ඇමරිකානු ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී නොවැම්බර් 2 දා ඔවුහු නල්ලූර් කෝවිල ඉදිරිපිට පොල් ගෙඩි 1008 ක් ගසා දේව පූජාවක් පවත්වා හිලරි ක්ලින්ටන්ට ජය පැතූහ. එමෙන්ම කතෝලික දෙවොලකදීද ඉටිපන්දම් 1008 ක් පත්තු කලේ එම ආගමට අධිපති දෙවියන්ගේ ආශීර්වාදයද හිලරිට ලබා ගැන්මටය. 2015 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේදීවත් ඔවුන්ට මෙතරම් උනන්දුවක් තිබුනේ නැත. නමුත් අවාසනාවකට මේ දෙවිවරු දෙදෙනාම අහක බැලූහ. ඒ, දෙවිවරුන් හිලරිට අකමැති නිසාද, නැති නම් ශිවාජිලිංගම් ඇතුලු පිරිසගේ අභිලාෂයන්ට අකමැති නිසාද එසේත් නැතිනම් දුප්පත් මිනිසෙකුට සම්බෝලයක් කන්නටවත් පොල් ගිණි ගණන් රටේ, පොල් අක්කර ගණන් විනාශ කරමින් ඉඩම් කට්ටිකර ජාවාරම් කරන රටේ කිසිදු පල ප්‍රයෝජනයකට නැතිව පොල් ගෙඩි 2016 ක් කුඩු පට්ටම් කර දැමීමේ අපරාධය හෙලාදුටු නිසාද කියා දන්නේ උන්වහන්සේලාම පමනි. හේතුව අන්තිම එක නම් පොල් ගසන සියල්ලෝම ප්‍රවේසම් විය යුතුය.

2009 සිට 2013 දක්වා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස සේවය කල හිලරි ක්ලින්ටන් 2010 දී අපේ හමුදාවන් යුද අපරාධ කල බව පවසන ප්‍රබලම වෙඩිමුරය පත්තු කලාය. ලොව ප්‍රබලම තනතුරක් හෙබවූ ඈ, මහින්ද රාජපක්ෂ රජය පිලිබඳව දැරූ මතය ලොව අනිකුත් රටවල, අප රට ගැන තිබූ ස්ථාවරයටද බලපෑවේය. නමුත් 2009 දී යුද්ධය නිල වශයෙන් අවසන්ව දින 5 ක ට පසු ශ්‍රී ලංකාවට පැමිනි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලබා දුන් වාර්තාව විමර්ෂනය කිරීමේදී එල්ටීටීඊ ය ද්‍රවිඪ ජනතාව මිනිස් පලිහක් සේ යොදාගත් බව ඔහුද පිලිගෙන ඇත. මේ ගැන මම කලින් ලිපියකද ලියා ඇත්තෙමි. නමුත් එම වාර්තාවේ අඩංගු වූ තවත් වැදගත් කරුණක් මට මගේ එම ලිපිය තුල මග හැරුනි. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු, නීතීඥයෙකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කලකට පෙර ඉටුකල භූමිකාව ඔස්සේ පශ්චාත් යුදමය ක්‍රියාදාමයද ඉටු කරනු ඇති බවට එදා බැන් කි මූන් මහතා විශ්වාසය පල කලේය.

87 – 90 සමයේ අප රටේ දකුණේ ඇවිලී ගිය සිවිල් යුද්ධයේ බලපෑම්වලට ඍජුවම හසු වූ අපි මේ කතාව හොඳින් දනිමු. මාතර අප පදිංචිව සිටි නිවස ඉදිරිපිට නිවසේ ජීවත් වූ මංගල සමරවීර (එවකට අතුරුදහන් වූ දූ දරු මාපිය සංවිධානයේ සම ලේකම්වරයා) හමු වීමට පැමිනෙන මහින්ද රාජපක්ෂ නම් එවක විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ කටයුතුවලට සහභාගි වූයේ කෙසේද යන්න පිලිබඳ සාක්ෂි දැරුවේ එවකට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත මන්ත්‍රීවරයෙකු වූ මංගලමය. අද ඔහු අනිත් තැනැත්තා ගැන මොනවා කීවත් එදා සිදු වූ සිද්ධීන් හා කතා බහ පිලිබඳ අප මතකයේද තවමත් පැහැදිලිව රැඳී තිබේ. මේ දේශපාලකයන්ගේ විකසනය දෙස හැරී බැලීමේදී යමක් තක්සේරු කල හැකි තරම් වූ දිග කාලයක් අපි පසුකර පැමින ඇත. අවාසනාව නම් අපට මතක අති දේ මංගලලාට අමතක වීමයි.

කෙසේ වුවද හිලරි හා ට්‍රම්ප් යන දෙදෙනාගෙන් කෙනෙකු තෝරා ගැනීම ගැන විකිලික්ස් වෙබ් අඩවියේ කතෘ වන ජුලියන් අසාන්ග් පවසා තිබුනේ, එය හරියට කොලරාව හෝ ගොනෝරියාව යන අසනීප දෙකෙන් එකක් තෝරා ගැනීම බඳු වන බවය. එයද සැලකිය යුතු කතාවකි.

ජනාධිපතිවරණ ප්‍රතිඵල පිටවූ පසු මාධ්‍යවලට අදහස් පලකල ජනාධිපති, අගමැති සහ අනෙකුත් මැති ඇමතිවරු ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතා ප්‍රකාශ නිකුත් කලහ. මෙය අසා සිටි මගේ හිතවතෙකු පැවසූයේ බැරිවෙලා හරි මොවුන්ව මෝහනය කර, ට්‍රම්ප් වෙනුවට හිලරි දිනුවාය යන සංඥාව මොළයට ලබා දී ඒ ගැන අදහස් විමසීමක් කලහොත් එම ප්‍රකාශයම නම පමනක් වෙනස්ව පිටතට එනු ඇති බවයි. අප රටේ දේශපාලන ප්‍රතිපත්ති දෙස බලන කල්හි එය සැබෑවකි.

අපගේ පාර්ලිමේන්තු විවාද වලදී රාජිත සේනාරත්න වැනි කට වාචාල ඇමතිලා විපක්ෂය නඟන ප්‍රශ්න වලට පිලිතුරු දෙන අයුරු දුටු විට, ක්‍රිකට් ක්‍රීඩාවේදී භාවිතා වන කියමනක් මතක් වෙයි. ඒ, පන්දුවට මිස පන්දු යවන්නාට පහර දෙන්න එපා යන්නයි. මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී ද පැවැත්වූ විවාදයන් පුරා දක්නට තිබුනේ පන්දු යවන්නාට පහර දෙන ස්භාවයයි. අපට නම් ඉතින් ඕවා අමුතු දේවල් නොවේ.

ලොව පුරා වත්මන් දේශපාලනය හිමි හිමින් ගමන් කරන දිශාව දකින විට මේවායේ ගොදුරු බවට පත් වන්නේ හුදී අපමය යන්න මේ කතාබහ තුල යලි යලිත් පසක් වෙයි.

3 Responses to “ඇමෙරිකාවේ එහෙමයි මෙහේ මෙහෙමයි……”

  1. S.Gonsal Says:

    No. MR is not going to USA to see Trump. He is going to China. None of current Horus going to see him, but TNA will use LTTE contacts while our great patriots like Anda-USA have discussions with not Trump but MR.
    Why can’t Anda-USA go and see Trump rather than writing useless letters here ? He is a citizen, he has the right.

    “ට්‍රම්ප් සමඟ එක්වී අයිතිවාසිකම් දිනාගන්නවා“

    2016 නොවැම්බර් මස 13 17:57:12 | . , සිරාජ් හසීම්

    ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉස්මතු වූ බවත් ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමගින් එක්වී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සදහා කටයුතු කරන බවත් විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පවසයි.

    ඇමරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්‍ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කිරීම ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.

    “ලෝව බලවත්ම රාජ්‍යය ලෙස සැලකෙන ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් එරට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණය එම ජනතාව සිය ඡන්දයෙන් ප‍්‍රකාශ කළා.ඒ අනුව නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් තේරී පත්වුනා.එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණය ට‍්‍රම්ගේ ප‍්‍රතිවාදී අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන්ද පිළිගෙන තිබුණා.ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයන් වලදී සාමාජික රටවල් වලද සහායෙන් ඇමරිකාව විසින් යෝජනාවන් සම්මත කර ගත්තා.දැන් එම යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ තත්වයකයි තියෙන්නේ.ඇමෙරිකාව විසින් ගෙන ආ මෙම යෝජනා අතරින් 2015 වසරේදී සම්මත කර ගත් යෝජනාව ශ‍්‍රී ලංකා රජයද පිළිගෙන තිබියදී මෙම යෝජනාව ක‍්‍රියාත්මක වීම අනිවාර්යයි.එහි කිසිදු වෙනසක් සිදුවිය යුතු නැහැ“යැයි ඔහු පැවසීය

  2. Christie Says:

    ඇමෙරිකාවේත් අපේ රටේත් ඉන්න ඉන්දියානුවන් අතර කිසිම වෙනසක් නැහැ. යුදෙව්වන් ලඟට ඉන්දියානු පරපෝසිතයො තමයි අමෙරිකාවේ ඩිමොක්‍රැට්ස්ලට වියදම් කරන්නෙ පන්දම අල්ලන්නෙ. හිලරි පරාද උනාට පලමු වරට ඉන්දියානු පරපෝසිතයො පස්දෙනෙක්වත් කොන්ග්‍රෙස් එකට තේරිලා. මුන් තමයි අපිට කෙලින්නෙ. අතුල් කෙශාප් කියන්නෙ ඒවගේ එකෙක්. මෙය කියවා බලන්න.

    ‘Desi’ wave hits US: Record 5 Indian-Americans set to be elected to …

  3. Christie Says:

    Here is the connection.

    http://www.hindustantimes.com/world-news/desi-wave-hits-us-record-5-indian-americans-set-to-be-elected-to-us-congress/story-yX2YZ66FxMJMBaAqufEOEM.html

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress