ජනාධිපති ප්‍රේමදාසගෙන් පසු විනිසුරුවරයෙකු පත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රී යයි අධිකරණ සේවා සංගමයේ ලිපියෙන් හෙලි වේ..නීතිඥ සංගමයේ ඉල්ලිම මත විනිසුරු පත්කලා-ජනාධිපති… කිසිඳු ඉල්ලීමක් කලේ නෑ-ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Posted on February 16th, 2017

ලංකා සී නිවුස්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමක් මෙන්ම එහි නිලධාරින් ජනාධිපතිවරයා මුණගැසී කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මඩකලපුව අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස සේවය කල රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහෙත් 2017.02.06 දින ලේකම්,අධිකරණ සේවා සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ (03) කරුණ ලෙස එම සංගමය පෙන්වා දී ඇත්තේ.”ශ්‍රී ලංකා නීතීඥ සංගමය රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කරන ලෙසට කිසිදු ඉල්ලීමක් ඔබතුමා වෙත හෝ ගරු අග්‍ර විනිශ්චයකාරතුමා වෙත සිදු කර නොමැති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයා විසින් දැනටමත් තහවුරු කර ඇති බැවින්, මෙම පත්වීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම මත සිදු කළේ යැයි යමෙකු ප්‍රකාශ කරයි නම්, එය අසත්‍ය වීම.” යන්නයි.

තවද එම ලිපියේ 2 කරුණ හැටියට එම සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ (02) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන පරිදි රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට යම් දේශපාලන පක්ෂයක් මගින් ඉල්ලීම් කර තිබුනේ නම්, එයින් ගම්‍ය වන්නේ, දේශපාලන අවශ්‍යතා මත මෙම පත්වීම සිදු කළ බවයි. ඒ අනුව, එවැනි දේශපාලන සම්බන්ධතාවයන් පවතින තැනැත්තෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වීම. යන්නයි.

පෙර පුවත 

මහේස්ත්‍රාත් විභාගයකට මුහුණ දී එයින් සමත්ව සම්මුඛ පරීක්ෂණයකින්ද සමත්ව මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබ, වසර 16 කට වඩා වැඩි කාලයක් මහේස්ත්‍රාත්වරයෙකු සහ දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලැබු ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් සිටියදී 1997 වර්ෂයේ නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන් දැනට අධිකරණ සේවයේ නියුතු විනිශ්චයකාරවරුන් සමඟ සසඳා බැලීමේදී ඔවුන්ට වඩා කණිෂ්ඨ නීතීඥවරයෙකු වන (ඩී.එල්.ඒ. මනාෆ් මහතා නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇත්තේ 1991 වර්ෂයේය) රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම දැනට පහළ අධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස සේවය කරනු ලබන සියළුම විනිශ්චයකාරවරුන් වෙත සිදු කරන ලද අසාධාරණයක් වීම.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කරන ලෙසට කිසිදු ඉල්ලීමක් ඔබතුමා වෙත හෝ ගරු අග්‍ර විනිශ්චයකාරතුමා වෙත සිදු කර නොමැති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයා විසින් දැනටමත් තහවුරු කර ඇති බැවින්, මෙම පත්වීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම මත සිදු කළේ යැයි යමෙකු ප්‍රකාශ කරයි නම්, එය අසත්‍ය වීම.

මෑත කාලයේ මහාධිකරණයට ඍජුවම නීතීඥවරුන් පත් කිරීමේ සම්ප්‍රදායක් නොපැවති තත්ත්වයක් යටතේ සහ එවැනි පත් කිරීම් කිසි විටෙකත් සිදු නොකරන බවට ඔබතුමා විසින් පැහැදිලි පොරොන්දුවක් ලබා දී තිබියදී කරනු ලැබු මෙම පත්වීම හේතුකොටගෙන සියළු විනිශ්චයකාරවරුන් විසින් ඔබතුමා කෙරෙහි තබා තිබු විශ්වාසය පලුදු විය හැකි වීම.” යයි ලේකම්, අධිකරණ සේවා සංගමය විසින් 2017.02.06 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් මගින් දන්වා සිටි බව එජාපයේ හිතවත් වෙබ් අඩවියක් වාර්තා කොට තිබුනි. උපුටා ගත් සම්පූර්ණ ලිපිය පහත පලවේ. [යොමුව මෙතනින්]

අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

2017.02.06 දින දී ය .

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

පෞද්ගලික නීතීඥ වෘත්තියේ යෙදී සිටි රාමනාදන් කන්නන් මහතා ඍජුව මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම.

2017.02.03 වන දින කොළඹ දිසා අධිකරණයේදී රැස් වු අධිකරණ සේවා සංගමයේ විධායක සභාවේ හදීසි විධායක සභා රැස්වීමේදී සම්මත කරගත් ඒකමතික තීරණය අනුව, ඔබතුමා වෙත මෙසේ දන්වා සිටිමු.

2017.01.31 වන දින අප හට දැන ගැනීමට ලැබුනේ, මඩකලපුව අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස සේවය කරන රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස ඔබතුමා විසින් පත්කර, 2017.02.01 වන දින දිවුරුම් දීමට නියමිත බවයි.

මෙම තොරතුර ලැබීමෙන් අප විශ්මයට පත් වු අතර, විශේෂයෙන්ම ඔබතුමා විසින් එම පත් කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් අප වඩාත් පුදුමයට පත් වුණෙමු. ඔබතුමා විසින් මෙවැනි පත්වීම් සිදු නොකරන බව අප හට ප්‍රකාශ කර තිබියදී එවැනි පත්වීමක් සිදු වුයේ කෙසේද යන්න අප විසින් සොයා බලන ලදී.

මෙම පත් කිරීම පිළිබඳව අප හට කිසිදු පෙර දැනීමක් නොතිබු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කරනු ලබන්නේ, නීතිපතිවරයාගේ විමසීමෙන් පසු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරනු ලැබු නිර්දේශයක් මත ජනාධිපතිතුමා විසින් වන බැවින්, අධිකරණ සේවා කොමිෂන් සභාව එවැනි නිර්දේශයක් සිදු කර තිබේද යන්න දැන ගැනීම සඳහා 2017.02.01 වන දින අප සංගමයේ නිලධාරීන් ගරු අගවිනිසුරුතුමා හමු වු අතර, එතුමා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ගරු නීතිපතිතුමාගේද අනුමැතිය ලබාගෙන මෙම පත් කිරීම සඳහා නිර්දේශය ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මෙවැනි ඉල්ලීමක් සිදු කළේද යන්න අප විසින් සොයා බැලු අතර, නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා විසින් අප හට තහවුරු කර සිටියේ, රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය මගින් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේදී එවැනි කිසිදු යෝජනාවක් සම්මත වී නොමැති බවත්ය.

තවදුරටත් මේ පිළිබඳව අප විසින් ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන්ද විමසීමක් කළ අතර, එතුමා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ, එවැනි පත්වීමක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි. තවද, එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ, මින් ටික කලකට ඉහතදී මෙම නීතීඥවරයා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කරන ලෙසට යම් දේශපාලන පක්ෂයක් මගින් ඉල්ලීමක් කර තිබු බවත්, එයට තමන් අනුමැතිය ලබා නොදුන් බවත්ය.

මේ අනුව, ඉතා පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෝ අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බවයි.

නමුත්, ගරු අග්‍ර විනිශ්චයකාරතුමා විසින් පැහැදිලිව අප හට ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම පරිදි සහ ඔබතුමාගේ ඉල්ලීම පරිදි මෙම නිර්දේශය ලබා දුන් බවයි. ඒ අනුව, යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ඔබතුමා සහ අගවිනිසුරුතුමා නොමඟ යවා ඇති බව පැහැදිලිව පෙනේ.

2017.02.01 වන දින රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන් බව අප හට දැන ගැනීමට ලැබී ඇත.

මෙම රාමනාදන් කන්නන් මහතා 1997 වර්ෂයේ නීතීඥවරයෙකු ලෙස පත්වීම් ලැබු තැනැත්තෙකු වන අතර, ඔහු 2004 වර්ෂයේ සහ ඉන්පසු අවස්ථාවක මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීමක් ඉල්ලා සම්මුඛ පරීක්ෂණයකටද පෙනී සිට ඇත. නමුත්, එයින් අසමත් වීම මත ඔහු මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්කර නැත. එම 2004 වර්ෂයේ මහේස්ත්‍රාත්වරුන් ලෙස පත්වීම් ලැබ, එහිදී ඉහළම ලකුණු ලබාගත් විනිශ්චයකාරවරයා දැනට සිටින්නේද විනිසුරුවරුන්ගේ ජ්‍යේෂ්ඨතා ලැයිස්තුවේ 40 වන ස්ථානයේය. ඒ අනුව, එම 2004 වර්ෂයේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබු විනිශ්චයකාරවරුන් අතරින් ජ්‍යේෂ්ඨතම විනිශ්චයකාරවරයාටත් ඉහළින් තවත් 39 දෙනෙකු මහාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස පත්වීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටියදී එම වර්ෂයේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීමට සුදුසුකම් නො ලැබු පුද්ගලයෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වීම කොරතම් සාධාරණදැයි ඔබතුමා විසින් සිතා බැලිය යුතුය.

තවදුරටත් උතුරු නැගෙනහිර සේවය කිරීම සඳහා දෙමළ භාෂාව කතා කළ හැකි මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීමේ අවශ්‍යතාවය මත මෙම පත්වීම සිදු කළා යැයි යමෙකුට තර්ක කළ හැකිය. එයද ඉතාම පුහු තර්කයක් වන්නේ, ගරු නීතිපතිවරයා සහ අග්‍ර විනිශ්චයකාරතුමා විසින් 2016 ඔක්තෝම්බර් මාසයේදී මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට නිර්දේශ කරනු ලැබු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් පිළිබඳව මනා පරිචයක් ඇති දැනට වවුනියාව දිසා විනිසුරුවරයා ලෙස සේවය කරන ඩී.එල්.ඒ. මනාෆ් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් නොකර සිටිමින් මෙම පත් කිරීම සිදු කිරීමයි.

මේ අනුව, ඉතා පැහැදිලි ලෙසම මෙම පත් කිරීම සදාචාරාත්මකවද, නීත්‍යානුකූලවද, පැවති සම්ප්‍රදායන්ට විරුද්ධවද සිදු කරනු ලැබු පත්වීමක් බව අධිකරණ සේවා සංගමයේ මතයයි. ඒ අනුව, පහත සඳහන් හේතු මත මෙම පත්වීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් එකඟ විය නොහැකි බව ඔබතුමා වෙත දන්වා සිටිමු.

(01) මහේස්ත්‍රාත් විභාගයකට මුහුණ දී එයින් සමත්ව සම්මුඛ පරීක්ෂණයකින්ද සමත්ව මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබ, වසර 16 කට වඩා වැඩි කාලයක් මහේස්ත්‍රාත්වරයෙකු සහ දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලැබු ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් සිටියදී 1997 වර්ෂයේ නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන් දැනට අධිකරණ සේවයේ නියුතු විනිශ්චයකාරවරුන් සමඟ සසඳා බැලීමේදී ඔවුන්ට වඩා කණිෂ්ඨ නීතීඥවරයෙකු වන (ඩී.එල්.ඒ. මනාෆ් මහතා නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇත්තේ 1991 වර්ෂයේය) රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම දැනට පහළ අධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස සේවය කරනු ලබන සියළුම විනිශ්චයකාරවරුන් වෙත සිදු කරන ලද අසාධාරණයක් වීම.

(02) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන පරිදි රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට යම් දේශපාලන පක්ෂයක් මගින් ඉල්ලීම් කර තිබුනේ නම්, එයින් ගම්‍ය වන්නේ, දේශපාලන අවශ්‍යතා මත මෙම පත්වීම සිදු කළ බවයි. ඒ අනුව, එවැනි දේශපාලන සම්බන්ධතාවයන් පවතින තැනැත්තෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වීම.

(03) ශ්‍රී ලංකා නීතීඥ සංගමය රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කරන ලෙසට කිසිදු ඉල්ලීමක් ඔබතුමා වෙත හෝ ගරු අග්‍ර විනිශ්චයකාරතුමා වෙත සිදු කර නොමැති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයා විසින් දැනටමත් තහවුරු කර ඇති බැවින්, මෙම පත්වීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම මත සිදු කළේ යැයි යමෙකු ප්‍රකාශ කරයි නම්, එය අසත්‍ය වීම.

(04) මෑත කාලයේ මහාධිකරණයට ඍජුවම නීතීඥවරුන් පත් කිරීමේ සම්ප්‍රදායක් නොපැවති තත්ත්වයක් යටතේ සහ එවැනි පත් කිරීම් කිසි විටෙකත් සිදු නොකරන බවට ඔබතුමා විසින් පැහැදිලි පොරොන්දුවක් ලබා දී තිබියදී කරනු ලැබු මෙම පත්වීම හේතුකොටගෙන සියළු විනිශ්චයකාරවරුන් විසින් ඔබතුමා කෙරෙහි තබා තිබු විශ්වාසය පලුදු විය හැකි වීම.

ඉහත සියළු කරුණු හේතුකොටගෙන කරනු ලැබු මෙම පත්වීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි, අධිකරණ ක්ෂේත්‍රයේ යහ පැවැත්මට සම්පුර්ණයෙන්ම අහිතකර සහ අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි ලෙස බලපෑම් කළ හැකි පත්වීමක් වන බැවින්, මෙම පත්වීම සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ඒ අනුව, පැහැදිලි ලෙසම මෙම තීරණය ආපසු හැරවිය හැකි තීරණයක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම තීරණය නිවැරදි කළ හැකි බවත් අප සංගමය ඔබතුමා වෙත පෙන්වා දීමට කැමැත්තෙමු.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගෙන රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාර ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

එම්.එම්.එම්.මිහාල්,
ලේකම්,අධිකරණ සේවා සංගමය.
මහේස්ත්‍රාත් – ගල්කිස්ස.

2 Responses to “ජනාධිපති ප්‍රේමදාසගෙන් පසු විනිසුරුවරයෙකු පත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රී යයි අධිකරණ සේවා සංගමයේ ලිපියෙන් හෙලි වේ..නීතිඥ සංගමයේ ඉල්ලිම මත විනිසුරු පත්කලා-ජනාධිපති… කිසිඳු ඉල්ලීමක් කලේ නෑ-ශ්‍රී ලංකා නීතිඥ සංගමය”

  1. Indrajith Says:

    වියත්මගට එන්නැයි ගෝඨා රට වැසියන්ට කියයි.
    =======================

    ලසිත දුමින්ද – Divaina – 18.02.2017.

    රටට ආදරය කරන සියලු දෙනාම ජාති, ආගම්, පක්‍ෂ භේද අත්හැර එක්‌විය යුතු කාලය එළැඹ ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    ‘වියත්මග’ සංවිධානය විසින් නාවල ප්‍රදේශයේ 15 වැනිදා සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක්‌ අමතා එසේ කී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කළේය.

    වියත්මග සංවිධානයට එකතු වීමට රට පුරා සිටින විද්වතුන්, වෘත්තිකයන් හා ව්‍යවසායකයන් දක්‌වන උනන්දුව ඉතා ප්‍රශංසනීයයි. රටට ආදරය කරන, එහි සංවර්ධනය අපේක්‍ෂ කරන ඒකීය රටක්‌ තුළ සියලු ශ්‍රී ලාංකිකයන් සතුටින් සාමයෙන් හා සහජීවනයෙන් විසිය යුතු බවට විශ්වාස කරන යම් කාර්යභාරයක්‌ ඉටු කරන සංවිධානයක්‌ තමයි වියත්මග සංවිධානය. එසේම එය විද්වතුන්, වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන්ගේ එකමුතුවක්‌ වශයෙන් හැඳින්විය හැකියි. එය දේශපාලන සංවිධානයක්‌ නොව රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගොඩනැඟෙන මහජන බලවේගයක්‌. එම නිස පක්‍ෂ, වාර්ගික හෝ ආගම් භේදයකින් තොරව රට ගැන සිතන්නට හා යමක්‌ කරන්නට කැමති පුරවැසියන්ට මෙම සංවිධානය හා එක්‌වන ලෙසට ආරාධනා කරනවා.

    රටට ආදරය කරන තම ගමේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ හෝ රැකියා ස්‌ථානයේ සම අදහස්‌ ඇති පිරිස්‌ සමග එක්‌වී වියත්මග ශාඛා පිහිටුවා ගැනීමට හැකියාව තිබෙනවා. එමගින් අනිකුත් වියත්මග ක්‍රියාකාරීන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ වටිනා අදහස්‌ හුවමාරු කර ගන්නා ලෙසට ආරාධනා කරනවා.

    පවතින රජය හෝ අනාගත රජයක්‌ නිවැරදි මගට ගැනීමට කළ යුත්තේ විවේචනය කිරීමම නොවේ. ඒ වෙනුවට කළ යුත්තේ රජයකට බලපෑම් කළ හැකි තමන්ට සුදුසු යෑයි හැඟෙන මහජන බලවේගයන් වටා එක්‌වීමයි. වියත්ගම ක්‍රියාකාරීකයන් සාම්ප්‍රදායික චින්තනයන්ට වහල් නොවී අනාගතය දෙස විවෘත මනසකින් බලමින්, තම අදහස්‌ නොබියව සංවාදයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ යුතුයි. පොදු එකඟතාවකට පැමිණි කරුණු ජාතික මට්‌ටමින් ඉටුකරවා ගැනීමට අවශ්‍ය දායකත්වය හැකි පමණින් ලබාදෙන්න පුළුවන්.

  2. Indrajith Says:

    සරත් වීරසේකර ජීනිවා යයි.
    =============

    කීර්ති වර්ණකුලසුරිය – Divaina – 18.02.2017

    කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ 340 කට අදාළ තොරතුරු ජිනීවාහි සිටින එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු නව තානාපතිනි නිකී හේලි සහ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කිරීමට හිටපු නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජිනීවා බලා යනු ඇත.

    ඔහුට මෙරට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් දෙදෙනකුද සම්බන්ධ වේ. ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ කොටි යුද අපරාධ හෙළි කරන මුල් අවස්‌ථාව මෙයයි.

    මෙයට පෙර කිසිදු රජයක්‌ කොටි යුද අපරාධ ගැන සවිස්‌තර තොරතුරු ඉදිරිපත් කර නැත.

    එහෙත් ඊළම් ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව පවසමින් මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය තොරතුරු යොමු කර තිබේ.

    ශ්‍රී ලංකා රජය ඉටු කළ යුතු කාර්යයක්‌ හිටපු ආරක්‍ෂක හමුදා නිලධාරියකු විසින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ යොමු කරන ප්‍රථම අවස්‌ථාව මෙයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress