නූගත් භික්‍ෂූන් ගෙන් බණ අසන සිංහල බෞද්ධයා
Posted on February 21st, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මීට දශක කීපයකට පෙර සිංහල බෞද්ධයා බණ ඇසුවේ හේන්පිටගෙදර ඥානසීහ , නාරාවිල ධම්මරතන , පොල්වත්තේ බුද්ධදත්ත ,බඹරැන්දේ සිරි සීවලී ,රේරුකානේ චන්දවිමල, වල්පොළ රාහුල වැනි බහුශ්‍රත භික්‍ෂූන් ගෙනි. ධර්ම ඥාණය මෙන්ම බොහෝ ඇසූ පිරූ දැණුම තිබූ මේ යතිවරු  ධර්මය අසන්නා තුල බුද්ධි කළම්බනයක් ඇති කිරීමට සමත් වූහ​. එහෙත් අහේතුවකට මෙන් මේ ශික්‍ෂිත කාලපරිච්ඡේදය අවසන් වූ වහාම ධර්ම විනයක් නොමැති නූගත් භික්‍ෂූන් ගෙන් ලංකාවේ සඟ සසුන පිරී ගියේය​. 
සමාජ ආර්ථික ගැටළු නිසා මහණවූ  මෙකී නූගත් භික්‍ෂූන්ට බුද්ධි වර්ධනයක් හෝ සීල වර්ධනයක් අවශ්‍ය නොවීය​. ඔවුන් ගේ මූලික අභිප්‍රායන් වූයේ ගිහි ජීවිතයේදී සිහිනෙන්වත් පැතීමට නොහැකිවූ සුඛ විහරණයන් වැළඳීමටය​. මේ නිසා යන්තම් පන්සිල් ටිකක් දී ජාතක කතාවක් දෙකක් කියා මොකක් හෝ බණක් කීම මේ භික්‍ෂූන් විසින් කරන ලදි. තවත් සමහරෙක් මින් ඉදිරියටද ගොස් ලාභ ජනප්‍රියතාව උදෙසා වෛරී බණද දෙසන්නට වූහ​. සමහරු බුදුපියානන්  අත්හැරදමා දේශපාලකයන්  වන්දනාවේ ගියා පමණක් නොව මහජන මුදල් හොරකම් කල  චෞරයන්ට පිරිත් කීමට බන්ධනාගාර වලටද වැඩම කළහ​. 
බුදු දහම ගැඹුරින් නොදත් භික්‍ෂුව විද්‍යාවෙන් බණ කීමට ගොස් විද්‍යාව අවිද්‍යාව පටලවා ගනී. නැතහොත් බණ මඩුව විනෝද සමයක් කර ගනී. බහුශ්‍රත භාවයක් නොමැති ඇසූ පිරූ දැණුමක් නැති නූගත් භික්‍ෂූන්   සිංහල බෞද්ධයාට දෙසන්නේ අවිචාර බණ වෙති. මේ නිසා පොත පත කියවීමෙන් අන්තර්ජාලය ඇසුරු කිරීමෙන් දැණුමෙන් සන්නද්ධ වූ තරුණ පරපුර ඉදිරියේ අවිචාර බණ කියන මේ භික්‍ෂූන් නිරායාසයෙන්ම ප්‍රතික්‍ෂේප වූහ. එහෙත් එතරම් දැන උගත්කමක් නොමැති ග්‍රාමීය වැඩිහිටියන් මේ අවිචාර බණ වල ගොදුරු වෙති. උදාහරණයක් ලෙස ආහාර හා පෝෂණය  ගැන හරි හැටි දැණුමක් නොමැති වූවද මෙකී භික්‍ෂූන් වැඩිහිටියන්ට  ආහාර පිළිබඳවද​ උපදෙස් දෙති. එසේම වෛද්‍ය උපදෙස් ඇවසි තැන් වලට ආගමික උපදෙස් දෙති. මේ සාවද්‍ය උපදෙස් නිසා බොහෝ වැඩිහිටියන් පෝෂණ ඌණතා වලට මෙන්ම වෙනත් රෝගාබාධ වල​ට ගොදුරු වෙති  
සිවුරක් දා ගත් විට බුද්ධිය පහළ වන බව සිතන බොහෝ ලාමක භික්‍ෂූන් සමාජ ආර්ථික ගැටළු වලදී තම විශේෂඥ මතයන් පළ කිරීමට ගොස් සමාජය ඉදිරියේ හෑල්ලු වෙති.  සමහර විට මෙකී භික්‍ෂූන් ප්‍රසිද්ධියේ ජන මාධ්‍ය වලින් පවසන අවිචාර අතාර්කික කතා  අසන විට මොවුන් බුදු දහම පමණක් නොව මූලික මානව සාරාර්ථයන් පවා නොදන්නා බව පෙනී යයි. මේ නිසා බුද්ධියට ප්‍රමුඛතාව දුන් දර්ශනයක් වන බුදු දහමටද මේ භික්‍ෂූන් අවමන් කරති. 
මා දන්නා පරිදි බුදු දහම ගැඹුරින් හැදෑරීමට සිතැති විදෙස්ගත  ලාංකිකයන් බණ අසන්නේ ශ්‍රී ලාංකික භික්‍ෂූන් ගෙන් නොව යුරෝපීය හෝ උතුරු ඇමරිකානු සුදු භික්‍ෂූන් ගෙනි. ඊට එක් හේතුවක් නම් මේ සුදු භික්‍ෂූන් බුදු දහම විශ්ලේෂණාත්මකව හදාරා  තර්කාණුකූලව බණ දෙසීමයි. එසේම ඔවුන් අන්තවාදය තම ධර්ම දේශනා වලට මිශ්‍ර නොකර ගනිති. 
අතීතයේ නිර්මළ බුදු දහම ඉගෙන ගැනීමට විදේශිකයෝ ලංකාවට පැමිනියහ​. එහෙත් තව නොබෝ කලකින් නිර්මළ බුදු දහම ඉගෙන ගැනීමට සිංහල බෞද්ධයාට විදේශ ගත් වීමට සිදු වනු ඇත​. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress