ගැසට් නිවේදනය මහින්දගේ නමින් ප්‍රකාශට පත් කළේ මහ බැංකුවේ උපදෙස් මතයි
Posted on February 27th, 2017

උපුටාගැණීම අදදෙරණ

මතභේදයකට ලක්ව ඇති බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට් නිවේදනය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ප්‍රකාශට පත් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

අදාළ ගැසට් නිවේදනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම මුදල් අමාත්‍යවරයා වශයෙන් සඳහන්ව තිබීම පිළිබඳ නැවත විමසීමේදී එම නම සහිතව ගැසට් නිවේදනය මුද්‍රණය කරන ලෙස රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදුන් බව මුද්‍රණාලයාධිපතිනිය ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ මුද්‍රණාලයාධිපතිනියගෙන් සාක්ෂි  ලබා ගෙන තිබේ.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදු වූ බැඳුම්කර නිකුතුවට අදාළව ප්‍රකාශ කෙරෙනු 1895/19 යන ගැසට් නිවේදනය නිකුත් කළ දිනය පිළිබඳ කළ ප්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කර ඇත්තේ අදාළ ගැසට් නිවේදනය 2015 වසරේ ජනවාරි 01 වන බ්‍රහස්පතින්දා නිකුත් කර ඇති බවයි.

එම නිවේදනයට අදාළ අන්තර්ගතය සඳහා වන තොරතුරු 2016 වසරේ නොවැම්බර් 18 වනදා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එන්.ජී.වයි.සී. විරසිංහ නමැති නිලධාරියා විසින් ලිඛිතව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බව ද මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන්ව තිබීම පිළිබඳ  රහස් කියවීමේ අංශය මඟින් දනුම්දුන් පසු ඒ පිළිබඳ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කරන ලෙස අදාළ අංශයේ ඩබ්ලිව්.ආර්.ජේ. ද මෙල් නමැති නිලධාරියා වෙත දැනුම්දුන් බව මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ප්‍රකාශ කර ඇත.

අදාළ විමසීමේදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ගැසට් නිවේදනයේ දිනය 2015 ජනවාරි මස 01 වනදා ලෙස වෙන් කර ඇති බැවින් මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යොදන ලෙසයි.

සිද්ධිය පිළිබඳ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන්ද අද සාක්ෂි ලබා ගෙන ඇති අතර ඔහුගෙන් හෙට තවදුරටත් යළි සාක්ෂි ලබා ගැනීමට නියමිතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress