පොදු න්‍යාය පත්‍ර නොමැති සභාග ආණ්ඩු
Posted on February 28th, 2017

මතුගම සෙනෙවිරුවන්

නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු බලය විවිධ පක්ෂ වල මූලිකත්වයෙන් හෙබවිණි.එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වරින් වර ආණ්ඩු බලය සිය මූලිකත්වයෙන් ගෙන ගියහ. නමුත් පණහේ දශකයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් එ.ජා.පයෙන් කැඩී වෙන් වී ගිය බලවේගය නිසා තනි ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා සභාග සෑදීමට ප්‍රධාන පක්ෂවලට සිදු විය.1956 මෙන්ම 1960වර්ෂයේද  එලෙසම 1965 හත් හවුල් ආණ්ඩුව මෙන්ම 1970 සමගි පෙරමුණද පසුව අනූව දශකයේ මෙන්ම 2000 න් අනතුරුව ඇතිවූ  හවුල් ආණ්ඩු වලින් සනාථ වූයේ සිංහල ජනතාව බෙදීමේ ප්‍රති විපාකයයි. මුල් කාලයේදී ප්‍රධාන පක්ෂයට එකතු වූ ප්‍රධාන පිළ වූයේ සමසමාජ පක්ෂයයි. නමුත් 1965 සිට එය ක්‍රමයෙන් වෙනස් විය. සමසමාජ පක්ෂය ක්‍රමයෙන් දුර්වල වන විට එම තැන ගත්තේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ තොන්ඩමන් ගේ වතු කම්කරු කොන්ග්‍රසය හෝ මුස්ලිම් කොන්ග්‍රසයයි.

         සභාගයන් පිහිටුවන්නේ ප්‍රජාතන්තුවාදී පිළිවෙතට ආණ්ඩු පිහිටුවන්නටයි. වැඩි බලයක් ප්‍රදර්ශනය කොට ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අනුව අණ පණත් සම්මත කර ගන්නටයි. ඛේදවාචකයට කරුණ නම් නිදහසින් පසු ආණේඩුක්‍රමය ගත් කිසිම පක්ෂයකට ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි. ඔවුහු කාලීනව රටේ තත්ත්වයද ජාත්‍යන්තර තත්ත්වයද සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්ති එහා මෙහා දෝලනය කළහ.සැබෑවටම ජාතික ප්‍රතපත්තියක් ශක්තිමත්ම ඇති කොට ගෙන ස්ථාවර ජාතික රජයයක් පිහුටුවීමට තිබූ අවස්ථා කීපයක් අපෙන් ගිලීහි ගොස් ඇත. එකක් නම් 1956 වසරයි. අනෙක නම් 1977 වසරයි. පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ යුධ ජයග්‍රහණයත් සමගම නැවත එම ස්ථාවර භාවය උදාවිය. එහෙත් සිදු නොවූ එකම දේ නම් ජාතික ප්‍රතිපත්තියකට පැමිණීමට නොහැකි වීමයි.

         1970 බිහිකර ගත් සමගි පෙරමුණ රජය ද සභාගයකි. සමසමාජය සමග ඇති කරගත් සභාගයකි.1965 -70 අතර කාලයේදී එක්සත් ජාතික පක්ෂය ගෙනගිය දුරදාන්ත පාලනයෙන් කෝප ගැන්වුණු ජනතාව එ.ජා.ප.යඅන්ත පරාජයකට පත් කළහ.නමුත් 1975 දී ආචාර්ය එන්.එම්. සතු මුදල් අමාත්‍යංශය පවරා ගැනීමත් සමග එම සභාගය බිඳි වැටුණි.සිරිමා මැති ණියත් එන්.එම්. මුදල් ඇමතිවරයාද අවසානයේ එකිනෙකාට අවලාද කර ගැනීමේ තත්ත්වයකට ඇද වැටුණි. මෙයට හේතුව කුමක්ද.

         1970 සමගි පෙරමුණ රජය පත්වූ පසු එහි මුදල් අමාත්‍ය ධූරය ලබා ගත්තේ කලින් වූ එකඟතාවයකට අනුවය. ඇමතිකම්  අටක්ම ඉල්වා සිටියද  සම සමාජයට ලැබුණේ තුනක් පමණකි.මේ වන විට 1965 ආණ්ඩුව විසින් ජගත් මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගනිමින් හැත්තෑකෝටි තිසිහතර ලක්ෂයක් ණය ලබා ගෙන තිබුණි. මුදල් ඇමතිවරයාගේ ප්‍රමුඛ අරමුණ වූයේ භාණ්ඩාගාරය ශකිතිමත් කිරීමයි. ඔහුගේ ප්‍රථම අයවැය කතාවේදී මේ ගැන ඔහු සඳහන් කලදේ මෙහි බලහාලීම උචිතයයි සිතමි.

      එහිලා අප කළ යුතු පළමු කටයුත්ත අඩු ගණනේ පුනරාවර්තන වියදම් සම්බන්ධයෙන්වත් අය වැය පරතරය අහෝසි කිරීමට ක්‍රියා කිරීමයි. එදිනෙදා පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය මුදල් බදු මාර්ගයෙන් සොයා ගැනීම අප සතු දෙයක්. එසේම මූලික ප්‍රාග් ධන වියදම් සඳහා සහ අතිරේක ආදායමක් ද ලබා ගැනීමට අප ක්‍රියා කරන්නට ඔනෑ. හිඟ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමත් උද්ධමනය ඇතිවී ඒ හා සමානව ඇති වන අනෙක් ස්වභාවික අන්තරාවන්ට මුහුණ පාන්නට වන බව අමුතුවෙන් කියන්න ඔනෑ නෑ.අප සතු දෙවන කාර්යය නම් අයවැයේ ඇති උද්ධමනය පාලනය කිරීමයි.එය කළ හැක්කේ සැම පොදු ජන කොටසක්ම ඇති තරම් මුදල් ඉතිරි කිරීමෙනි.

          ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා 1970 ඔක්තෝබර් 27 සිට නොවැම්බර් මද 03 දින දක්වා පරිවර්තන කාලයක් ලබා දෙමින්  රුපියල් පණහේ සහ 100 නෝට්ටු අවලංගු කලේය.මේ නිසා රාජ්‍ය බැංකු වලට ලැබුණු මුදල් ලක්ෂ ගණනකි. නිවෙස් වල එකතු කළ මුදල් මෙන්ම කළු සල්ලි ද බැංකු වට ඇදී එන්නට විය. මෙම ක්‍රමය මුදල් මගින් කරන ලද සූදුවකි. එයින් රජයට අවශ්‍ය මුදල් සංචිතයක් ලැබුණද ජනතාවගේ සිත් පෑරිණ.සමගි පෙරමුණ රජය හිතාමතා කළකිරවීමට ගත් උත්සාහයක් යැයි ඇතෙමෙක් සැක කළහ.මැතිණිය 1975 අගොස්තු මස 14 දින දී එන්.එම්ට එවන ලද ලියුමක මෙසේ සඳහන් විය.

        1970 මැතිවරණ ප්‍රකශනය සකස් කරන ලද අවස්ථාවේදී බැංකු ජනසතුව ඊට ඇතැලත් විය යුතුයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද බවද බැංකු අන්ක්‍රම වලින් පාලනය කළ හැකි නිසා එම විෂය ඇතුලත් කිරීම අනවශ්‍ය බව ඔබ සිතූ වගද එහෙත් පසුව අපගේ බලවත් ඉල්ලීම නිසා එය මැතිවරණ ප්‍රකාශනයට ඇතුලත් කිරීම ගැන ඔබ විරුද්ධ නොවුණ බවද මට පැහැදිලිව මතකය.එන්.එම් එයට දුන් පිළිතර මෙසේය.

       කෙසේ වෙතත් විදේශීය බැංකු ජනසතු කිරීමේ ප්‍රශ්ණය තරමක් පැහැදිලි කළ යුතුව තිබේ. සම්පූර්ණයෙන් රජය සතු බැංකු ක්‍රමයක් තිබීම අනිවාර්යයෙන්ම අවශ්‍ය යන්න ගැන මා තුළ කිසිවිටෙක කිසිම සැකයක් නොතිබූ බව පැහැදිලිවම කිව යුත්තකි. එහෙත් මා අදහස් කලේ වන්දි ගෙවීමක් නැතිව මෙය ඉටු කරන්නට පුළුවන් බවයි. විදේශීය බැංකු මගින් ප්‍රධාන වශයෙන් කරන්නේ මේ රටේ විදේශ වෙළෙදාමටත් වැවිලිකරයටත් මුදල් සැපයීමයි.අපේ ආර්ථිකයේ මේ අංශ දෙකම ජනසතු කිරීමෙන් විදේශීය බැංකු වල ගණු දෙනු වලින් වැඩි කොටස ඉබේම අපේ රාජ්‍ය බැංකු වලට මාරුවනු ඇත. එවිට වන්දි ගෙවීමේ ප්‍රශ්ණයයක් මතු නොවේ. තවද මෑතදී සම්මත කර ඇති නීති අනුව ශ්‍රී ලංකාව තුළ ගණු දෙනු කරන්නටත් දේපොළ අයිති කර ගන්නටත් අවසර ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ කරන  ලද සමාගම් වලට පමණි. බැංකුවලට පමණක් විශේෂයක් කොට ඒවාට නීතිය බලනොපාන පරිදි ගෙනෙන යොජනා වලට මං දැඩි විරුද්ධත්වය පෑ බව ඔබ දන්නෙහිය.( මැතිනියනි මෙන්න ඇත්ත)

           පක්ෂ දෙකක නායකයන් දෙදෙනෙක් එකම විෂයයක් ගැන දැරූ අදහසින් ගම්‍ය වන්නේ කුමක්ද .ජාතික ප්‍රතිපත්තියකට අනුව ඔවුන් වැඩ නොකළ බවයි.වර්තමාන බැංකු බැඳුම්කර සිද්දියට සමාන නොවුවද 1969 දී ඇති වූ පී.එල්. 480 ප්‍රශ්ණය ගැනද මෙහිදී සඳහන් කළ යුතුය. 1969 පෙබරවාරි 17 දින මධ්‍යම බැංකුව විසින් භාණ්ඩාගාරයට බැර කළ 151 68 149 ශත 96 ක මුදලක් ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් එදිනම හිටිහැටියේ වියදම් කිරීම ගැන එන්.එම්. මතු කළ ප්‍රශණය මගින් පැහැදිලි වූයේ එක්සත් ජාතික පක්ෂය දිනවීමට  සී.අයි.ඒ.කුමන්ත්‍රණයක් සිදු වූ බවයි.එන්.එම් එහිදී මෙසේද පවසා ඇත. මම පී.එල්. 480 ගැන අනතුරු ඇඟවීමක් කළාම පුදුම තත්ත්වයක් ඇතිවුණේ. මම තමයි (Complainant ) හෙවත් පැමිණිලිකරු අන්තිමේදී මැතිණිය මාව තමයි (accused) හෙවත් විත්තිකරු කලේ.ඇයි. ඇමෙරිකානු තානාපති මැතිණිය හමුවන්න ආවා.ඔහු කිව්ව ඔක්කොම දේ පිළිගත්තා.ඊට පසු මට කියනවා උඹ ළඟ තියෙන ලියකියවිලි එහෙම තියනවානම් එවාපන්.කියා.එහෙමද කරන්න තිබුණේ. වෑන් හොලන් ආවා නම් මාවත් ගෙන්නල සැකයක් තියෙනව නම් ඔහු ඉදිරිපිට එය තබන්න කියන එක නේද යුතුකම.

    සැබවින්ම එම ප්‍රශ්ණය දඩමීමා කරගෙන පක්ෂ දෙක අතර අවලාද අඩ ගැසීම් සිදු වුවද ඇමරිකානු මැදිහත් වීම මත කළ කුමන්ත්‍රණය හෙළිදරව් වූයේ නැත.එහිදී ජාතික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කලේ නම් පක්ෂ මතය කෙසේ වෙතත් රටට එරෙහි බලවේගයන්ට විරුද්ධව පියවර ගැනීමට තිබුණි. වත්මන් බැඳුම්කර සිද්දිය පිටිපසද හුදෙක් මුද්ල වංචාවක් පමණක් විය නොහැකිය.මහ බැංකු අධිපති පත් කිරීම. ඔහු අගමැති විසින් සෑම තැනකම ආරක්ෂා කිරීම ආදිය තීක්ෂණව විමර්ශනය කළහොත් පිටිපස සිටින්නේ ඔත්තුසේවාවන් බව පැහැදිලි වේ.ජාතික ආණ්ඩුවකැයි කියා ගන්නා වත්මන් සභාගයටද නැති එකම දේ ජාතික ප්‍රතිපත්තිය බැවින් ඔවුන් නැටවෙන්නේ විදෙස් ඔත්තුසේවාවල පදයට බව තේරුම් ගත හැකිය.සැබවින්ම.අතීතයේ සිදු වූ දේ නැවත නැවත සිදු වන්නේ රටේ මහත් අවාසනාවන්ත තත්ත්වයක් උඩය. අප එයටද පිළියම් යෙදිය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

One Response to “පොදු න්‍යාය පත්‍ර නොමැති සභාග ආණ්ඩු”

  1. Christie Says:

    ඔය කියන සමසමාජයට මුදල් දුන්නෙ හැන්ඩිලා කැප්ටන්ලා එහෙමයි. සින්හලයට කෙලියෙ මුන්. 50හෙ 100යෙ නෝට්ටු වලින් කෙලියෙ දුප්පත් සින්හලයන්ටය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress