2003 වසරේ සිට ත්‍රිකුණාමලය චීන වල් රයා තෙටැංකි සංකීරණයේ නීති විරෝධී ලෙස රැදී සිටින ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන් ඉවත් නොකිරීම නිසා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට (CPC) එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරනලද FR 66/2017 දරණ නඩුව
Posted on March 30th, 2017

ඩී. ජේ. රාජකරුණා ලේකම්. ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය

මාධ්‍ය නිවේදනය

2003 වසරේ සිට ත්‍රිකුණාමලය චීන වල් රයා තෙටැංකි සංකීරණයේ නීති විරෝධී ලෙස රැදී සිටින ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන් ඉවත් නොකිරීම නිසා ලංකාවටත්, ජනතාවටත් සිදුවන මූල්‍ය පාඩුව නිසා ලාංකීය ජනතාවගේ මූලික අයිතීන් කඩවීමට විරුද්ධව ලංකා ඛනිජතෙල් පොදුසේවක සංගමය, එහි ලේඛම් ඩී.ජේ. රාජකරුණා සහ එහි සභාපති අසෝක රංවල යන පෙත්සම් කරුවන් විසින් කැබිනට් මණ්ඩලයට, LIOC, සමාගමට, හා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට (CPC) එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරනලද FR 66/2017 දරණ නඩුව 2017/03/31 දින විභාගයට ගැනීමට නියමිතය.

ඉල්ලා ඇති සහන

  1. LIOC සමාගමට චීන වරයා තෙල් ටැංකි සංකීරණයේ රැදී සිටීමට නීතිමය අයිතියක් නොමැති බව ප්‍රකාශකිරීම.
  2. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය ප්‍රකාරව පෙත්සම් කරුවන් ඇතුළු ශ්‍රී ලාකීය පුරවැසියන්ගේ මුලික අයිතීන් කඩවී ඇති බවට ප්‍රකාශ කිරීම.

3.චීන වරයා තෙල් ටැංකි සංකීරණයේ අයිතිය වහාම ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය වෙත පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කිරීම.

  1. LIOC සමාගම රජයට නීතිමය වශයෙන් ගෙවිය යුතු මුදලක් හෝ දඩයක් ඇත්නම් ගෙවීමට නියෝග කිරීම.

ඇතුළු  තවත් සහන සහ අධිකරණය තීරණය කරන වෙනත් සහන වේ.

මෙම සහන ලබාගැනීමට පෙත්සම් කරුවන් ඉදිරිපත්කරන නීතිමය සාක්ෂි

ත්‍රිකුණාමලයේ ලොව දෙවැනි ගැඹුරුම  ස්වභාවික වරායේ පිහිටි චීන වරාය තෙල් ටැංකි සංකීරණය දැනට ටැංකි 99 කින් සමන්විතය. මෙය 2003/02/07 දින LIOC සමාගමට වසර 35 කට ලබා දීමට ලංකා රජය අත්සන් කරන ලද ලියවිල්ලේ 1.2 කොන්දේසිය අනුව එදින සිට මාස 6 ක් ඇතුලත එලබිය යුතුව තිබූ විදිමත් නීතිමය බදු ගිවිසුමට මේ දක්වා එළඹී නොමැතිකමින් 2003/08/07 දින සිට LIOC සමාගම මෙහි රැදී සිටින්නේ නීති විරෝධීවය.

මෙය සනාථ කිරීමට ඇති කරුණු

  1. ඛනිජ තෙල් විෂය භාර ඇමති චන්දිම වීරක්කොඩි මහතා 2016/04/28 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල සංදේශයට 2016/05/24 දින කැබිනට් මණ්ඩලය ලබා දෙන ලද අනුමැතිය.

මෙම සංදේශයේ පසුබිමෙහි” අංක 04 යටතේ මෙම ටැංකි සංකීර්ණයට නීතිමය අයිතිය LIOC සමාගමට නොමැති බව ප්‍රකාශ කොට ඇති අතර එය කැබිනට් මණ්ඩලය අනුමත කරමින් එම ටැංකි සංකීරණයේ  ඉහල කොටසේ ටැංකි 16ක් අලුත්වැඩියා කොට තෙල් සංස්ථාවේ පරිහරණයට ගැනීමට අනුමැතිය දී ඇත. ඊට නිරීක්ෂණ වල දී මුදල් අමාත්‍ය, ඉඩම් අමාත්‍ය, ජාතික ප්‍රතිපත්ති හා ආරක්ෂක කටයුතු අමාත්‍ය හා වරයා හා  නාවික කටයුතු අමාත්‍ය, ආදී ඇමතිවරු ද මෙය ලබා දීමට නිර්දේශ කොට ඇත.

  1. උක්ත කැබිනට් තීරණය අහෝසි කොට මෙය LIOC යට ලබා දෙන ලෙස 2016/06/ 06 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනලදුව, 2016/07/15 අනුමත වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ 1 ඡේදයේ පැහැදිලිව සඳහන් වන්නේ LIOC ය සමග රජය අත්සන්කළ  2003/02/07 ලියවිල්ල ප්‍රකාර විධිමත් ගිවිසුමට මෙතෙක් අත්සන් කර නොමැති බවයි.
  1. නියඟය හේතුවෙන් ඇතිවී තිබෙන විදුලි බල අර්ර්බුධයට අඛණ්ඩව තෙල් සැපයුම සඳහා ගබඩා ප්‍රමාණවත් නොවීම නිසා චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි 16ක් ලබාගැනීමට විදුලි බල හා ඛනිජ තෙල් විෂය භාර ඇමතිවරු ඒකාබද්ධව ඉදිරිපත් කල සංදේශයට මගින් 2016/12/06 දින ලබාගත් කැබිනට් අනුමැතිය

උක්ත අමාත්‍ය මණ්ඩල පත්‍රිකා හරහා සමස්ථ කැබිනට් මණ්ඩලයම මෙම ටැංකි සඳහා LIOC සමාගමට නීතිමය අයිතියක් නොමැති බව පිළිගෙන ඇත. එනම් ඔවුන්ට මෙයට විරුධව නිතිය ඉදිරියේ කරුණු දැක්විය නොහැක.

  1. 2011/11/23 දින නීතිපතිවරයා විසින් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වෙත එවන ලද ලිපියට අනුව නීතිපතිවරයා මෙම ටැංකි සංකීර්ණයේ අයිතිය තවමත් ලක් රජය සතු බවට නිර්දේශ කොට ඇත. (එනම් තවදුරටත් නීතිපතිට මෙය ප්‍රතික්ෂේප කල නොහැක)

ආර්ථික පාඩුව

  1. චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය හරහා උතුර, උතුරු නැගෙනහිර හා නැගෙනහිර පළාත් වල CPC පිරවුම් හල වලට ඉන්ධන බෙදාහැරීමට අවකාශ ඇත්නම් ප්‍රවාහන වියදමෙන් පමණක් CPC යට වාර්ෂිකව ඉතිරි වන මුදල රු. මිලියන 600 කට අධික බවත් සැපයුම් ගාස්තු හා අනෙකුත් ඉතිරි කළ හැකි වියදම් සමග සැලකු විට වසරකට රු මිලියන 900 කට ආසන්න මුදලක් ඉතිරි කළ හැකි බවත් පෙන්වන ලදි . එනම් වසරකට රු මිලියන 900 පමණ අඛණ්ඩ පාඩුවක් රජයට සිදු කරයි.
  1. තවද යුධ සමයේ 2005 සිට 2009 දක්වා ත්‍රිකුණාමල තෙල් ටැංකි භාවිතා කොට උතුරට තෙල් යැවීම නිසා LIOC ය ඉල්ලා ඇති මෙහෙයුම් ගාස්තුව රු. මිලියන 692 ක් බවත් එම කාලයේ LIOC මෙම ටැංකි වෙනුවෙන් රජයට ගෙවා ඇති බදු කුලිය රු. මිලියන 50ක් පමණක් බවත් පෙන්වා ඇත.

මෙම කරුණු 02 අනුව පමණක් උවද ලාංකීය ජනතාවගේ මුලික අයිතීන් කඩවී ඇති බවත් අඛණ්ඩව සිදු වන පාඩුව හමුවේ තවදුරටත් කඩ වන බවත් ඔප්පු වනු ඇත. නමුත් තවත් සාධරණ කරුණු ඉදිරිපත්කර ඇත.

  1. තවද දැනට කොළඹ ගබඩා ප්‍රමාණවත් වන්නේ රටේ ඉල්ලුමෙන් සති 2 ක් සඳහා අවශ්‍ය සංචිත සඳහා පමණි. එනම් රටේ බලශක්ති සුරක්ෂිත භාවයට අවදානමක් පවතින අතර වහාම නව ටැංකි ඉදිකරයුතුව ඇත.

තවද ත්‍රිකුණාමලයේ ටැංකි 99 භාවිතා නොකර සිටිමින් නව ටැංකි කොළඹ තැනීම මහා අපරාධයක් බවත් පෙන්වා දී ඇත.

මේ අනුව ඉල්ලා සිටින සහන කිසිදු තර්කයකින් තොර ව ලබා දිය හැකි බව ඕනෑම අයකුට වැටහී යනු ඇත.

මේ සඳහා ඔබ ආයතනයේ මාධ්‍ය ආවරණය ලබා දීමට කටයුතු කරණ මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඩී. ජේ. රාජකරුණා

ලේකම්.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress