සිංහල ජාතිය නිවන් දැක්කවීම
Posted on July 31st, 2017

නලින් ද සිල්වා

මේ රටේ දැන් මාර්ගඵල ලාභීන් රාශියක් සිටින බව ආරංචියි. එයින් ඇතැමුන් රහතන් වහන්සේ බව කියනවා. රහතන් වහන්සේ නමක හඳුනාගැනීමට නිර්ණායක නැහැ. බුදු හාමුදුුරුවන් හඳුනා ගැනීමත් එකල බොහෝ දෙනාට ප්‍රශ්නයක් ව තිබූ බව පැහැදිලියි. මා කියන්නේ නැහැ දැන් මෙරට මාර්ගඵල ලාභීන් නැහැ කියා. මෙකල බුදුන් වහන්සේ දෙසූ ධර්මය තියෙනවා. පාරමී දම් පිරූ තැනැත්තන් සමාජයේ ඉන්න පුළුවන්. කිසිවකුට මාර්ගඵල ලාභියකු රහතන් වහන්සේ නමක වීමට බාධාවක් ඇතැයි මා සිතන්නේ නැහැ.

මෙකල ඊනියා සිංහල බෞද්ධ උගතුන් අතරමං වූ දෙබිඩ්ඩන් බවට පත් වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැමුන් සිංහල බෞද්ධකම නැති කර ගෙන ඕල්කට් බෞද්ධයන් වෙලා. ඒ අතරමං වීම දහනවවැනි සියවසේ ඉඳන් ම තියෙන එකක්. අපට, විශේෂයෙන් ම ඊනියා උගතුන්ට සංගත සංස්කෘතියක් නැහැ. කිසිම සංස්කෘතියක් නිර්මල පිරිසිදු එකක් නො වෙයි. සංස්කෘතීන් මිශ්‍රයි. විවිධ කාලවල විවිධ අංග ආභ්‍යන්තරිකවත් බාහිරවත් සංස්කෘතියකට ඇතුල් වෙනවා. සංගත සංස්කෘතියක් යනුවෙන් මා හඳුන් වන්නේ අමිශ්‍ර සංස්කෘතියක් නො වෙයි.

අපේ සංස්කෘතියේ සාරය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. අපට නැත්තේ සංගත සාරයක්. සංගත සාරයක් ඇති සංස්කෘතියකට විවිධ අංග මතුපිටින් එකතු වන්න පුළුවන්. ඒ සමහරක් ටික කලක් තිබී හැලී යන්න පුළුවන්. අද ප්‍රශ්නය අපේ සංස්කෘතියේ සාරය සංගත නොවීමයි. අප එක් පැත්තකින් බෞද්ධයන්, තවත් පැත්තකින් ක්‍රිස්තියානීන්. ඒ ආගමික වශයෙන් නොව සංස්කෘතික වශයෙන්.

ඉස්සරත් අපේ සංස්කෘතියේ විවිධ අංග තිබුණා. අප සැමදාමත් බෞද්ධයන් ව සිටි අය නො වෙයි. සිදුහත් කුමරු නේපාලයේ උපන්නත්, කාලිංගයේ උපන්නත්, ලංකාවේ උපන්නත් එතුමා බුදුවීමට කලින් බුදුදහමක් මෙරට තබා කොහේවත් තිබුණේ නැහැ. මෙරට විසූ හෙළයන්ට, යක්‍ෂ නාග දේව ආදී ජනතාවට තම තමන්ගේ සංස්කෘතීන් තිබෙන්න ඇති. ඒ අය විවිධ නම්වලින් හැඳින්වෙන්නේ ම ඔවුන්ට විවිධ සංස්කෘතීන් තිබූණු නිසා. යක්‍ෂ ජනතාවක් ගැන කී විගස ඇතැමුන්ට යකා වැහෙනවා. ඔවුන් සිතන්නේ යක්‍ෂ ජනතාව යනු අමනුෂ්‍යයන් කියා. යක්‍ෂ ජනතාව අමනුෂ්‍යයන් ලෙස හැඳින්වීමට බ්‍රාහ්මණයන්ට හා වෛදිකයන්ට වුවමනාවක් තිබූ බව ඉතිහාසයෙන් පැහැදිලීියි. අද චීනුන්ටත් ඒ අවශ්‍යතාව තියෙනවා. මේ කිසිවකු නාග ජනතාව බඩගා යන සර්පයන් ලෙස හඳුන්වන්නේ නැහැ. නාගයන් මනුෂ්‍යයන් වීමටත් යක්‍ෂයන් අමනුෂ්‍යයන් වීමටත් හේතුව මහාවංසයේ එසේ ලියා තැබීම ද? එහෙත් අදත් තමන්ගේ යක්‍ෂ උරුමය ගැන කියන ජනතාවක් ලංකාවේ විසිරී සිටිනවා.

මේ කාරණය තව දුරටත් පසුව සාකච්ඡා කළ යුතුයි. ඒ අපේ සිංහල බෞද්ධකම තේරුම් ගැනීමටයි. වෙනත් ථෙරවාද රටවල තියෙන්නෙ චීන සංස්කෘතිය මත ආරෝපනය වූ බෞද්ධ සංස්කෘතියක්. අද චීනුන්ට අපේ සංස්කෘතියත් එවැන්නක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. එය පහසු නැහැ. ඒත් චීනුන් ඒ සඳහා උත්සාහයක් දරනවා. අපට මතුපිටින් පෙනෙන්නේ හම්බන්තොට වරාය හා පෝට් සිටි යයි පමණයි. අපේ සංස්කෘතියේ සාරය අශෝක සංස්කෘතිය බවට, ක්‍රිස්තියානි සංස්කෘතිය බවට පත්කිරීමට ගත් උත්සාහයන් තිබුණා, තිබෙනවා. චීන කතාවත් එවැනි ම දෙයක්.

අශෝක රජුට හා අශෝක බුද්ධාගමට අපේ සංස්කෘතියේ සාරය වෙනස් කිරීමට නොහැකි වුණා. එහෙත් රජවාසළ හා එහි යන එන්නන් අතර නම් යම් යම් දේ  වෙනස් කළා. ගැමුණු රජු මේ වෙනසට මුහුණ දුන් තැනැත්තෙක්. විහාර මහා දේවිය ගැමුණු රජුගේ මතයට පැමිණියා. එහෙත් රජවාසළ වෙනස් කිරීමට ඔවුන්ට නොහැකි වුණා. සාලිය කුමරුට රජකම හිමි වුණේ නැහැ. එළාර සටනින් පස්සෙ විහාර මහා දේවියට වෙච්ච දේකුත් නැහැ. විහාර මහා දේවිය මිය ගියා ද? ඒ කවදා ද? ගැමුණු රජුගේ යක්‍ෂ මෙහෙසියට සිද්ධ වෙච්ච දේකුත් නැහැ. රජවාසළ යම් යම් වෙනස්කම් සිදු කිරීමට අශෝක රජුට පුළුවන් වුණත් ජනතාවට ඉන් විශාල බලපෑමක් වුණෙ නැහැ.

එහෙත් අද තත්වය එහෙම නො වෙයි. අප කලකට පෙර සිංහල බෞද්ධයන්. පෘතුගීසින්ගෙ කාලයේ සිට අප ක්‍රිස්තියානි කිරීමට උත්සාහයක් දැරුවා. ඒ උත්සාහය ඉංගිරිසින් ඉතා සූක්‍ෂම ව සැලසුම් සහගත ව ගෙන ගියා. උගතුන් සිංහල බෞද්ධ කමෙන් ඉවත් කෙරුණා. ඕල්කට්තුමාගෙන් ඒ සඳහා දායකත්වයක් ලැබුණා. සිංහලකම නැති කරගත් ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් හෙවත් ඕල්කට් බෞද්ධයන් මෙරට ඇති වුණා. ඕල්කට්තුමාගේ බුද්ධාගම ගණනාථ ඔබේසේකර කියන ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් නො වෙයි. එය ජාත්‍යන්තර බුද්ධාගමක්.

අද බිහිවෙලා ඉන්න මාර්ගඵලධාරීන් යැයි කියන අය අනුගමනය කෙරෙන්නේ සිංහල බෞද්ධකම නැතිකරගත් ඊනියා උගතුන් පිරිසක් විසින්. ඔවුන් තනිව ම නිවන් දකින්නන හදනවා. නිවන් අවබෝධය සාමුහික ක්‍රියාවක් නොවන බව පැහැදිලියි. ඒ ගැන අටුවා ටීකා ප්‍රතිචාර අවශ්‍ය නැහැ. මේ අනුගාමිකයන් බොහෝ දෙනා දෙමළ ජාතිවාදය ගැන එට්කා ගිවිසුම ගැන හම්බන්තොට වරාය චීනුන්ට දීම ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය තමන් අනුගමනය කරන මාර්ගඵලධාරීන් අනුව යැයි කියමින් හැකි ඉක්මණින් නිවන් අවබෝධ කිරීම. ඔවුන් නොදන්නා කරුණක් නම් බෝධිසත්වයන් වහන්සේලා අනුන්ගේ නිවන වෙනුවෙන් තම නිවන කල් දැමූ අය බව. සුමේධ තවුසාණන්ට දිපංකර බුදු රජුන් දවස නිවන් අවබෝධ කර ගැනීමේ ශක්තිය තිබුණා. එහෙත් එතුමා තම නිවන කල් දැම්මා.

 

අද ඉන්නා මාර්ගඵලධාරීන් එක මාර්ගයක යන බවක් පෙනෙන්නේ නැහැ. කවුරු හරි සිරීපාදෙ  විවිධ මාර්ගවලින් යන්න පුළුවන් වගේ නිවනත් විවිධ මාර්ගවලින් අවබෝධ කර ගැනීමට හැකි යැයි කියන්න පුළුවන්. මගේ ප්‍රශ්නය සිරීපාදෙ යන්න විවිධ පාරවල් තිබුණත් ආර්යාෂ්ඨාංගික මාර්ග එකකට වඩා තියෙනව ද කියන එකත් විවිධ සිරීපාද තියෙනවා ද කියන එකත්. මේ මාර්ගඵලධාරීන් තම අනුගාමිකයන් සිංහල බෞද්ධ කමෙන් ඈත් කරනවා මදිවට ඔවුනොවුන් අතරිනුත් ඈත් වෙන බවක් පේනවා. මාර්ගඵලධාරීන් එකම මණ්ඩපයක එකතු වන්නේ නැත්තේ ඇයි? 

අපට දකින්ට  ඇත්තේ තම තමන්ගේ අනුගාමිකයන් වැඩි කර ගැනීමට විවිධ වෙළෙඳ ප්‍රචාරක කටයුතු (ඇඩ්වටයිසින්) කරන පිරිසක්. ඔවුන් ජනමාධ්‍ය තම තමන් ගැන ප්‍රචාරය කිරීම වැන්නක් කරනවා. ඒ සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඒ මොකක් වුණත් විශේෂයෙන් ම බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා තම සංස්කෘතික සාරය වෙනස් කරගත් පිරිසක් සිංහල බෞද්ධකමෙන් ඈත් වී නිවන් අවබෝධයකට ඉක්මන් ගමනක් යන බවක් පේන්න තියෙනවා. මෙවැනි පිරිසක් බටහිරට ඉන්දියාවට මෙන් ම චීනයටත් අවශ්‍යයි. ඒ සිංහල ජාතිය නිවන්” දැක්කවීමට.

 

නලින් ද සිල්වා

2017 ජූලි 31

2 Responses to “සිංහල ජාතිය නිවන් දැක්කවීම”

  1. NeelaMahaYoda Says:

    අයියෝ නලින්ද සිල්වා මහත්මයෝ මොනවද මේ කියන්නේ.

    බලන්න චන්ද්‍රසිරි විජයවික්‍රම ලියපු අස්ගිරි විප්ලවය. සමහර කරුනු ගැන මම සම්පුර්නයෙන්ම එකඟ නොවූවත් විජයවික්‍රම මහත්මයා කියන එකේ යම්කිසි ඇත්තක් තියනවානේද?

    දැන් ඔය ඔබ කියන ඕල්කොට් බෞද්දාගම කියන්නේ මොක්කද?
    ඕල්කොට් තුමා කිසිම තැනක බෞද්දාගම වෙනස්කිරීමට තැත්කලායයි පොතේ පතේ සඳහන්ව නැත.

    ඇරත් නිර්මල බෞදාගම චතුරාර්‍ය‍ය සත්‍යය, ආර්යාෂ්ඨාංගික මාර්ග සහ සතර සතිපඨ්ඨානය මත ගොඩනැගී ඇතිනිසා කිසිවකුට එය වෙනස්කල නොහැකිය
    නිවන් මග නමි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒකායන මග්ග , විසුද්ධි මග්ග, මඡ්ඣිමා පටිපදා, බෝධි , සමිබෝධි ආදි වශයෙන් ද මෙ මග බුදුරජාණන් වහන්සේ විසින් හදුන්වා ඇත.

    සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටු තුනක් තියෙනබව ඔබ දන්නේ නැත්බවයි පෙනෙන්නේ.

    1. අනිමිත්ත විමොක්ඛමුඛ Contemplation of the sign-less and අනිමිත්ත විමොක්ඛ The sign-less emancipation,

    අනිත්ය දර්ශන ඤානයෙන් කෙලෙසුන්ගේ උත්පත්තියට හේතුවන සංස්කාර නිමිත්ත බිඳලීම් වශයෙන් බැහැරකිරීම් වශයෙන් ලෝකෝත්තර මාර්ගයාගේ උත්පත්තිය සිදු කරවන බැවින් අනිමිත්තනුපස්සනා නම්වූ විමෝක්ෂ මුඛය වන්නේය. ඒ අනිමිත්තනුපස්සනාව නිසා එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගයද අනිමිත්ත විමොක්ෂය නම් වේ.

    2. අප්රණීහිත විමොක්ඛ මුඛ Contemplation of the desire-less and අප්පණිහිත විමොක්ඛ The desire-less emancipation

    දුඃඛානුපස්සනා ඤානයෙන් සංස්කාරයන් පිලිබද ඇල්ම (ප්රණිධිය ) බිඳලීම් වශයෙන් ලෝකෝත්තර මාර්ගෞත්පත්තිය සිදු කරවන බැවින් ඒ දුඃඛානුපස්සනාව අප්රණිහිතානුපස්සනා නම්වූ විමෝක්ෂ මුඛය වන්නේය. meya palamuvAtni kramayayi. ඒ අප්රණිහිතානුපස්සනා නිසා එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගයද අප්රණිහිත විමොක්ෂය නම් වේ.

    3. සූඤ්ඤත විමොක්ඛ මුඛ Contemplation of the void and සුඤ්ඤත විමෙක්ඛ, The Void emancipation

    බලවත්වූ අනාත්ම දර්ශන ඤානයෙන් සංස්කාරයන්ගේ ආත්ම ශුන්යත්වය දැක කෙලෙසුන් නසා ලෝකෝත්තර මාර්ගයට පමුණුවන බැවින් සුඤ්ඤතානු පස්සනා නම්වූ විමෝක්ෂමුඛය වේ. ඒ හේතුකොට එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගය ශුන්යතා විමෝක්ෂ නම් වේ.

  2. AnuD Says:

    Gananath obesekara, HL senevirathne are all in the same boat. Failed post independance education. It was traning christians.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress