ඇමැති ලේකම්ගේ රස්‌සාව කුඩු
Posted on August 7th, 2017

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

කන්ටේනර පිටින් කුඩු මෙරටට ගෙන එන මුත් ගෙන්වන මිනිහෙක්‌ හොයාගන්නට නැත. කුඩු තොග ගණනින් අත්අඩංගුවට ගන්නා නමුත් ඒවාට වෙන දෙයක්‌ නැත. ආණ්‌ඩුවට විසඳන්නට (විස¹ ගන්නට) ඇති බොහෝ ප්‍රශ්න තිබෙන නිසා මෙවැනි සිල්ලර ගණයේ ප්‍රශ්න පසුවට කල් තබා තිබෙනවා වන්නට පුළුවන. එහෙත් සෙස්‌ස පස්‌සට තැබීමේ විපාකය රටම “කුඩු” වීම වන්නට බැරි නැත. එය අප අවවාදයක්‌ ලෙස නොව පූර්ව සූදානමක්‌ ලෙස සිහිපත් කර සිටිමු.

මේ රටේ නමගිය කුඩු කප්පිත්තන් හිරේය. එහෙත් රට පුරාම විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම ත්‍රිපෝෂ බෙදනවාටත් වඩා පහසුවෙන් සිදු වන බව පෙනේ. එසේ කරන්නට “හයියක්‌” වුවමනාය. එසේ මෙසේ හයියක්‌ නොව දේශපාලන හයියක්‌ය. ඒ බව තහවුරු කරන ප්‍රවෘත්තියක්‌ ඊයේ (07 දා) “දිවයින” මුල් පිටුවේ සඳහන්ව තිබිණි. එම ප්‍රවෘත්තියට අනුව “ප්‍රබල ඇමැතිවරයකුගේ” පෞද්ගලික ලේකම්වරයකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරද්දී කොටුවී තිබේ. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සිදු වීම තහවුරු කර ඇති නිසා ඒ ගැන සැකයක්‌ නැත. නැතිනම් මේවා අදහාගන්නටත් බැරි තරමේ “නිවුස්‌” ය. අපට හිතෙන්නේ කොතැනක හෝ වරදක්‌ සිදුව ඇති බවය. කෙසේ හෝ මේ “ලේකම්තුමා” එසේ මෙසේ වැඩකාරයකු නොව සුපිරි වැඩකාරයෙකි. කාට අසු වුණත් වැඩේ ගොඩින් බේරා ගැනීම සඳහා හෝ සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ රාජකාරි හැඳුනුම්පතද තිබී ඇත්තේ මේ පුද්ගලයා ළඟය. සමහරවිට ඒ අහිංසකයා මේ කිසිවක්‌ නොදන්නවා වන්නට පුළුවන. කරුමෙට මෙන් මේ පොලිස්‌ හාදයාගේ “බැංකු කාඩ්පත්” වාහනයක රක්‍ෂණ සහතිකයද තිබී ඇත්තේ “ලේකම්තුමා” ළඟය. “එතුමා” බිස්‌නස්‌ එක සාරේට කර ඇති බව පැහැදිලි වන්නේ අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය “කැටගරිය” ගැන බලන විටය. ඒ මෙසේය. ඩාන්සින් ටැබ්ලට්‌ 10 ක්‌, ගංජාවලින් තැනූ තවත් මත්ද්‍රව්‍ය වර්ගයක්‌ මිලි ග්‍රෑම් 9420 ක්‌, කොකේන් මිලිග්‍රෑම් 3000 ක්‌ සහ මදි පාඩුවට “ලේකම් මහතාගේ” නිවසේ අල්මාරියේ සඟවා තිබූ හෂීස්‌ මිලිග්‍රෑම් 97440 ක්‌, තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ බවට සැක කරන විදේශීය මත්පැන් බෝතල් 10 ක්‌ සහ තියුණු ආයුධ දෙකකි.

අප මෙතැනදී මෙවැනි “අහිංසක ලේකම්වරුන්ට” දොස්‌ පවරන්නට ඉක්‌මන් වන්නේ නැත. අප සෘජුවම චෝදනා කරන්නේ අදාළ ප්‍රබල ඇමැතිවරයාටය. මේ මිනිහාට තමන්ගේ ලේකම්වරයා ගොඩ දමන්නට ඕනෑතරම් දේවල් කරන්නට තිබියදී මෙවැනි නසරාණී වැඩ පැවරීම හොඳ නැත. කුමක්‌ හෝ ආණ්‌ඩුවේ “කොන්ත්‍රාත්” වැඩක්‌ පැවරීම මාසයෙන් දෙකෙන් ගොඩ යා හැකි කොමිස්‌ කුට්‌ටියක්‌ කඩා ගැනීමට හැකි ආකාරයේ ව්‍යාපෘතියක්‌ පැවරීම අදාළ අමාත්‍යාංශයේ රියෑදුරු, පියන් තනතුරු සඳහා රැකියා අවස්‌ථා ලබාදී කීයක්‌ හෝ සොයා ගන්නට අවස්‌ථාව සලසා දීම ආදී මෙවැනි තවත් “රාජකාරි” කොපමණ තිබේද? එසේ තිබියදී ලේකම්වරයා අමාරුවේ දමන්නට කටයුතු කළ ඇමැතිවරයා වහා අත්අඩංගුවට ගත යුතු බව අපේ විශ්වාසයයි. නැතිනම් හවුල් ආණ්‌ඩුවේ පක්‍ෂ දෙකම එකතුවී මේ ප්‍රබල ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක්‌ ගෙන ආ යුතුය. අනෙක්‌ ඇමැතිවරු (දේශපාලනඥයන්) මේ වගේ තුප්පහි වැඩවලට කිසිසේත්ම අනුබල නොදෙන නිසා එය එතරම් අසීරු කාරණයක්‌ නො වන බව අපේ හැඟීමය.

One Response to “ඇමැති ලේකම්ගේ රස්‌සාව කුඩු”

  1. Lorenzo Says:

    amathi ke job ekath KUDU thama. eyake photo eka balannako. kudu gaala wage ne. 420.

    Poor man. He was carrying MINISTER’S recreational drugs. Minister is under SEVERE STRESS because of the BOND MONEY SCAM that happened in his ministry. To relieve stress he is taking recreational drugs. This man was carrying them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress