කුඩ්ඩෝ සහ හොරු සමග ආණ්ඩුව හෙළුවෙන් -ව්‍යවස්ථාව සීරුවෙන්
Posted on August 15th, 2017

මතුගම සෙනෙවිරුවන්

යහපාලන නායකයන් වැඩ්ඩන්ය.ජගත් නායකයන්ගේ ගජ මිතුරන්ය. සාම පරෙවියන්ය. 2015 ජනාධිපතිවරණ චන්දය තබන විට මෙරට ජනතාවගෙන් කොටසක් සිතුවේ එහෙමය.කෝට්ටේ සෝලිස් ශාලාවට රොක්වූ මේ නායකයන්ගිය රජයේ ආලාපාළුවන් ගැන කතා කරද්දී රොද බැඳ ගෙන පස්සෙන් ගිය ජනතාව අද විස්සෝපයෙන්ය. තමන්ගේ මඩිස්සලයට පසුම්බියට තට්ටු වීම ඉවසන්නට හැකිය. බැංකු පිටින් ගිලින හොරු යහපාලනයේ එල්ලී උන්චිලි පදී.රිෂාඩ් බද්යුදීන් ලා ඇමති ලේකම්ලා කුඩු නීති ගත කරන විට කාකිකෝට් බෑයේ තරු විසිවී වැටේ.

          යහ පාලනයේ කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ කතා නායක වරයා වී අවසන්ය. රවි කරණානායක විදේශ ඇමතිට ගෙනා විශ්වාස භංගය භාරනොගත් ඔහු සිය නායකයා වන රනිල් වික්‍රමසිංහ විසින් අණ නිකුත් කරන තෙක් නීති ප්‍රශ්ණයක් මතු කරමින්  කල් මැරීය. පසුගිය වසර දෙක තුළ මේ කතා නායක වරයා අපක්ෂපාතී නොවන ගැත්තෙක් බවට ඔප්පු කර අවසන්ය. ලංකා පාර්ලිමේන්තුවේ කීර්තිමත් අපක්ෂපාතී කතානායකවරුන්ව සිටි බොහෝ මන්ත්‍රීවරු වූහ.වි.ජ.මු ලොකු බණ්ඩාර අනුර බණ්ඩානායක වැනි මෑත කාලීන කතානායක වරුන් දුන් විශේෂ ආදර්ශයන් තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවත්වගෙන යෑමට මහත් පිටුබලයක් ලැබුණි.   අපක්ෂපාතී විනයගරුක තනතුරු ගරුත්වය කරු ජයසූරිය මහතා විනාශ කර අවසන්ය. වරක් ඔහු මහින්ද රාජපක්ෂ රජය සමග එක් විය. එක්සත් ජාතික පක්ෂ නායකයා ඔහු ගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට එම පිම්ම උපයෝගී කර ගත්තේය. දැන් ඔහු ඒ උගුලේ හිරවූ මීයෙකු වැනිය.

        අවතැන් කඳවුරක සිටියා යයි පවසන අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සිය දේශපාලන අන්තේවාසිකයන් සඳහා විල්පත්තුව අවට කල්ලාරු වනාන්තරය හෙළි පෙහෙළි කළේය. මේ සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ පූර්ණ අනුග්‍රහය හිමි විය. පුත්තලම කල්පිටිය සිලාවතුර හරහා කුඩා පරිමාණයෙන් ඇරඹි මත්ද්‍රව්‍ය ප්‍රවානය අමාත්‍ය තනතුරු සමග බෙහෙවින් ව්‍යාප්ත විය. මරිච්චකට්ටුව  සිට සිලාවතුර දක්වා පරණ මන්නාරම් මාර්ගයේ  අරාබි කොළණියක් සමග අද කුඩු තිප්පලක් බවට පත් ව තිබේ. නාවික හමුදාව විසින් මේ මුහුදු මර්මස්ථාන වටලා කීප වරක් මත්ද්‍රව්‍ය ප්‍රවහකයන් අල්වා ගත් බව පුවත් පත් වාර්තා කළහ.ඉන්පසුව එයට වඩා සූක්ෂම වූ මත් ද්‍රව්‍ය ප්‍රවාහනයකට අමාත්‍ය තනතුරේ වරප්‍රසාද භාවිතා කරමින් ස.තො.ස යොදා ගත්හ.  කොකේන් වැනි මත්ද්‍රව්‍යයන් පවා ප්‍රතිඅපනයනයට.රාජ්‍ය අයතනයන් යොදා ගත් හැටි එයින් හෙළි විය.එහෙත් මේ අමාත්‍යවරයාට නඩු නැත. කැලෑ අපරාධ වලට දඬුවම් නැත. ඔහු ජනාධිපතාවරයාගේ සිට පසුපෙළ මන්ත්‍රී වරුන් දක්වා සියලුම දෙනා ගේ හුරතලයකු බවට පත් වී තිබේ. මෙසේ වූයේ කෙලෙසකද.

        වත්මන් රජය පත්වූයේ යහපාලනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහාය.මහින්ද රාජපක්ෂ රජය පරාජය කිරීම ප්‍රමුඛ අරමුණක් වූ බැවින් සමාජය වෙත මෙම මාතෘකාව ඉදිරිපත් කරන්නට ඇත. ස්වාධීන කොමිෂන් සභා විධායකය අහෝසි කිරීම තොරතුරු දැන ගැනීමේ පණත වැනි ආකර්ෂණිය මාතෘකා මගින් කළකිරී සිටි  මධ්‍යම පන්තික ජනතාව මහින්ද විරෝධී රැල්ලට අද්දවා ගත හැකිවුණි. ඒකාබද්ධ විපක්ෂය කියන පරිදි මහින්ද පරාජයට පත් වන ලද්දේ මුස්ලිම් දෙමළ චන්ද නොලැබී යෑමෙන් නොවේ.  පැහැදිලිවම මධ්‍යම පන්තික විශාල පිරිසක් දූෂණයට එරෙහිව චන්දය භාවිතා කිරීමෙනි. නමුත් පත්වූ නව රජයට යහපාලනය වැනි බර මාතෘකාවක් ඔරොත්තු දී නැත. ජනාධිපතිවරනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පත් වූ පසු බහුතර පාර්ලිමේන්තු බලයක් නොමැති  රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වරයා වශයෙන් පත් කිරීම ප්‍රථම උදාහරණයයි. දෙවනිව බැඳුම්කර වංචාව ගැන ඩිව් ගුණසේකර පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවෙන් හෙළිදරව් වෙමින් තිබියදී ජනධිපතිවරයා සිය බලතල යොදා ගෙන පාලිමේන්තුව විසුරුවා හරින ලදී.එදා එම වාර්තාව නිකුත් කරලීමට ඉඩ දුන්නේ නම් රජයේ හොඳ නම් බේරා ගෙන යහපාලනය  වෙත සැබෑ ලෙසටම අවතීර්ණ වන්නට ඉඩ තිබුණි. නමුත් ජාතික ආණ්ඩුව කඩා වැටේ යැයි බියෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියේය.

         මෙලෙස ජාතික ආණ්ඩුව කඩා වැටේ යැයි  ජනධිපතිවරයා බිය පළ කරන්නේ ඇයි. එයට ප්‍රබල හේතුවක් තිබේ. එනම් 2015 ජනවාරි අට වනදා මහින්ද රාජපක්ෂ මහතා  පරාජයට පත් කරන ව්‍යාපාරයේ දී ජාත්‍යන්තරයට දුන් පොරොන්දු සමූහයයි. ඇතැම් විට මේ චන්ද ව්‍යාපාරයට ජාත්‍යන්තරයෙන් විශේෂයෙන් දෙමළ ගෝලීය සංසදයෙන් ලැබුණු මුදල් නිසා එසේ වන්නට ඇත. මේ පොරොන්දුව නම් උතුර සහ නැගෙනහිර වෙන්කර ෆෙඩරල් පාලනයක් ලබා දීමේ පොරොන්දුවයි. මේ පොරොන්දුව ඉටු කරලීම පිණිස වත්මන් යහපාලන රජය පත් වූ අළුතම ප්‍රවිෂ්ට වූ හැටි අපට මතක් වෙයි. මුලු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කිරිම අගමැති විසින් මහජන අදහස් විමසීම පිණිස කමිටුවක් පත් කිරීම සංහිඳියාව පිණිස ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායක් පිහිටුවීම ආදී කරුණු වලින් එය සනාථ වෙයි.මෙ පියවරයන් ගැනීමට හේතුව නම් ජිනීවා මානව හිමිකම් සමුලුවේදී රටට එල්ල කර ඇති යුධ අපරාධ චෝදනාවන්ට මංගල සමරවීර හිටපු විදේශ ඇමතිවරයා සම අනුගහය දැක්වීමෙනි.මහින්ද රාජපක්ෂ යුගයේ සිට ජිනීවා තත්ත්වයට රජය  සෘජු පැහැදිලි ඉදිරිපත් වීමක් කර නොතිබුණු නමුත් මංගල සමරවීර ගේ එකඟතාවය මගින් රජය අද පොරොන්දු ඉටු කරලීමේ ජාත්‍යන්තර උගුලට  අසු වී තිබේ. ව්‍යවස්ථාව සීරුවෙන් තබා ඇත්තේ එහෙයිනි.

          බැඳුම් කර කොමිසම හමු වේ නිරුත්තර වූ රවි කරුණානායක මහතා මෙන්ම මෙම ගනුදෙනුවලට සෘජුවම සම්බන්ධ යයි කියන අනෙක් ඇමති වරුන් බේරා ගැනීමේ පියවරක් වශයෙන් ඉල්ලා අස්වීම සිදු වුණත් රජයට එල්ල වී තිබෙන චෝදනා වලින් ගැලවිය නොහැකිය. චෝදනා ඔප්පු නොකරම පසුගිය කාලයේ දී රණ විරුවන් රාශියක් ඇප නැතිවම බන්ධනාගාර ගත කරන ලදී. ඒ කොටි පරාජය කිරීමට දායකත්ය දීම නිසාවෙනි. ජාත්‍යයන්තරය සතුටු කරවන්නට එම තීරණ ගත්තද රවි කරුණායක හෝ වෙනත් දූෂිතයන් සහ කුඩු ගෙන්වන ඇමතිවරුන් වෙනුවෙන් එවැනි පියවරක් ගැනීමට ආණ්ඩුව ඉදිරිපත් වේයැයි සැක සහිතය. එම නිසා බටහිර සංකල්පයක් වන යහපාලනය යනු සුන්දර සිහිනයක් පමණක් යයි සිතිය හැකිය.

              වර්තමානය වන විට රටේ විශාල දේශගුණික විපර්යාසයන් සහ වසංගත තත්ත්වයන් ඇතිව තිබේ.මෙයට කලින්ද මෙවැනි තත්ත්වයන් වරින් වර ඇතිව තිබේ. එහෙත් දැන් කලක පටන් මෙවැනි විපර්යාසයන් දිගින් දිගටම ඇති වෙයි. රටේ වී ගෙවිතැන හරි අඩකින් කඩාකප්පල් ව තිබෙන්නේ කලට වැසි නොමැති බැවිනි.  මෙය විග්‍රහ කල හැක්කේ යහපාලන සංකල්පයෙන් නොව පැරණි දශරාජ ධර්මයන් විග්‍රහ කරලීමෙනි . රජවරුන්ට කරන ලද අවවාද ඇතුලත් දේශනා කීපයක් ජාතක කතා පොතේ දක්නට ඇත.ඒවා හඳුන්වා දී ඇත්තේ රාජෝවාද කතා යනුවෙනි. රජවරු ද තමන්ගේ පාලනය කෙරෙහි ජනතාව සතුටු දැයි බැලීමට නොයෙකුත් නිරික්ෂණයන් කළහ. ඇතැම් විට වෙස්වලා ගෙන වීථි සැරි සැරූහ. ජාතකට්ඨකථාවෙහි චතුක්ක නිපාතයෙහි දක්වා ඇති රාජෝවාද ජාතකයෙහි මේ පිළිබඳව අපූරු පුවතක් ඇත. එහිදී බරණැස් නුවර  බ්‍රහ්ම දත්ත රජු තමන්ගේ නුගුණ කියන්නන් සොයා වීථි සංචාරය කල හැටි දැක්වෙයි. එසේ නුගුණ කියන්නන් ඇතුලු නුවර නොදැක පිටි නුවර ද සොයා නොදැක මහා හිමයට ගොස් තාපසයෙකුගේ අසපුවක් දැක එයට පිවිසියේය. මේ තාපස තෙම රජුට අසල ගසකින් නුග පත් කඩා පිළිගන්වා  බීමට පැන් ද ලබා දුන්නේය. මේ නුග පත්‍ර මිහිරි රසයෙන් යුක්තය. මෙයට හේතුව කුමක්දැයි රජු තාපසයාගෙන් විමසා සිටියේය. රජවරුන් ධර්මිෂ්ඨව රාජ්‍යපාලනයේ යෙදෙන බැවින්  එලෙස නුගපත් මිහිරි රසින් යුක්ත වන බව පිළිතුර විය. එසේ නම් අධර්මිෂ්ඨ වූ විට තිත්ත රස වන්නේ දැයි රජුගේ පැණයක් විය. එය එසේ වන්නේ යයි තාපසයාගේ පිළීතුර විය.

           රජතෙම වක්ව නොව සෘජුවම යායුත්තේය. ගඟින් එතෙර වන්නට සැරසෙන ගව රැළක් මේ කරුණ පහදා දීමට උපමා කර ඇත.යම් සේ ගඟට බැස යන්නා වූ ගවයින් අතරින් ප්‍රධාන ගවයා ඇදව යේ ද ඔහු ඇදව යන කල්හි ඔහු පස්සේ තොලු තබා පීනන සියල්ලෝද ඇදව යෙයි.එපරිද්දෙන්ම මිනිසුන් අතරින් යමෙක් ශ්‍රේෂ්ඨව සම්මත වේද සතර අගතියෙන් යුතුව අධර්මයෙහි හැසිරේද අවශේෂ සත්වයෝද අධර්මයෙහි හැසිරෙන්නාහ. දූෂණයෙන් හා අපරාධ වලින් වෙලී ඇති පාලක පන්තියක් සහිත වත්මන් ශ්‍රී ලංකාවට මේ නිදර්ශණය තෙරම් අගේට ගැලපෙන්නේද. ඉහළ පාලක ස්ථරය වැරදි මග යන්නට යන්නට පාලිතයින්ද ලැජ්ජා බිය අතහැර දුෂ්චරිතයේ යෙදෙන ආකාරය දඬුවම් මගින් පවා වළක්වා ගත නොහැකිය.

        පාලකයා රට වැසියා පෙළා අය බදු නොගත යුතුය. එය මිහිරි ඵලබර අඹ ගසකින් නොපැසුණූ ගෙඩි කඩන්නා සේය. එසේ යම් පාලකයෙක් අමු ගෙඩි කැඩූවේද ඔහු කිසිදාක ඉදුණු අඹ ගෙඩියේ රස නොහඳුන්නේය. එසේම නොමේරූ අඹ ඇටයද නොමැස්පෙන හෙයින් පැල නොවී විනාශ වීයයි. මේ හා සමානව සමෘද්ධිමත් රටකට යමෙක් අධර්මයෙන් අනුශාසනා කරන්නේද ඒ අධර්මානුශාසනා කරන රජ තෙම රටෙහි රස සංඛ්‍යාත ඕජස හෙවත් රසයයි දන්නා ලද දැහැමින් උපදනා අය පඬුරු සම්පත්ති නොදන්නේය.එසේ නොදැන ක්‍රියා කළ කල්හි මිනිස්සු ගම් නියම් ගම් අතහැර ප්‍රත්‍යන්ත රටවලට යන්නාහ. පර්වත විෂම ස්ථාන හෝ භජනය කරන්නාහ. එසේ වූ කල්හි රටේ සියලු අය මුඛ සිඳී යන්නේය.වර්තමානයේ දී රටට සිදුව ඇති විපත්තිය එයයි. මෙය නුවණින් වටහා ගෙන කළ යුත්ත කිරීම උගත් ප්‍රඥාවත් ජනතාව ගේ යුතුකම විය යුත්තේය.එනම් රටට සැබෑ ලෙසම වග කිව හැකි ප්‍රඥාවත් සිංහල බෞද්ධ නායකත්වයක් බිහි කිරීම අවශ්‍ය බවයි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress