රට යන අත – ආණ්‌ඩුවට අභියෝග රැසක්‌
Posted on September 14th, 2017

ජනිත සෙනෙවිරත්න උපුටා ගැන්ම දිවයින

ආණ්‌ඩුව මේ වන විට විවිධ පාර්ශව ගණනාවක්‌ සමඟ ගැටලු නිර්මාණය කරගෙන ඇති අතර තවදුරටත් දිනෙන් දින එය වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන්ම මහා සංඝරත්නය ඉලක්‌ක කරගෙන මහා සංඝරත්නයට අපහාස කරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරන්නට ඇතැම් ඇමැතිවරු කටයුතු කිරීම රට තුළ මහත් ආන්දෝලනයට හේතුවී තිබේ.

මුලින්ම මහා සංඝරත්නය වෙත ආණ්‌ඩුවේ ප්‍රබලයකු වන සරත් ෙµdන්සේකා අපහාස කළේය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන්ට ඉතාම මෑතකදී පිස්‌සු චීවරධාරියා යෑයි බැණ වැදුණේය. ඇමැති සරත් ෙµdන්සේකා ඉන් අනතුරුව භික්‌ෂුන් වහන්සේලා ඉලක්‌ක කරමින් බරපතළ ප්‍රකාශයක්‌ සිදු කළේය. භික්‌ෂුන් වහන්සේලා දානේ වළඳනවාට වඩා මහින්දගේ බඩගෝස්‌තරවාදයෙන් යෑපුණ අය බවට ඔහු චෝදනා කළේය.

ඉන්පසුව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක විසින් භික්‌ෂුන් වහන්සේලාට දැඩි ලෙස අපහාස කරන ලදී.

රටේ ජනගහනයෙන් සියයට හැත්තෑපහක්‌ පමණ බෞද්ධයන් සිටින රටක මෙලෙස බෞද්ධ භික්‌ෂුන් වහන්සේලාට අපහාස කිරීම බරපතළ කාරණයක්‌ වුවද එක්‌සත් ජාතික පක්‌ෂය විසින් දේශපාලන පක්‌ෂයක්‌ ලෙස ඒ සම්බන්ධයෙන් කිසිවක්‌ සිදු නොකිරීම කැපී පෙනේ.

දඹුලු විහාරයේ ප්‍රශ්නය, කන්දෙ විහාරයේ පිංකැට ප්‍රශ්නය ආදී අතිශය සංවේදී ආගමික ස්‌ථානවලට වර්තමාන රජය යටතේ එල්ල වූ බලපෑම් මෙහිදී අමතක කළ නොහැක.

මේ සියලු කටයුතු සිදු වන්නේ රටටම හොරෙන් කෙටුම්පත් කරන ලද නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉක්‌මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සැරසෙන මොහොතකය.

නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවෙහි අවසන් වාර්තාව ඉදිරි සති තුන හතරක කාලය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින කිහිපයක්‌ ඇතුළත එය සම්මත කර ගැනීමට රජයේ උත්සාහය බව දැනගන්නට තිබේ.

ඉන් අනතුරුව අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පත සැකසීමටද අදහස්‌ කර සිටින අතර එයද පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමෙන් පසුව නොවැම්බර් මාසයේ දී ඒ සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීම රජයේ අරමුණයි.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයට පෙර ජනමත විචාරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්ය.

මේ නව ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කතාව කරළියට එන්නට පෙර අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා හදිසියේම තනතුරින් ඉවත් කිරීම සිදු වූයේ විදුලි වේගයෙනි. රටේ තීරණාත්මක අවස්‌ථාවල රටත්, ජාතියත්, ආගමත් වෙනුවෙන් සටනට එන මහා සංඝරත්නය මේ රට බෙදන ෙµඩරල් ව්‍යවස්‌ථාව ගෙන එන මොහොතේ නිහඬ කරවීම මේ ඇමැතිවරුන් ලවා මහා සංඝරත්නයට අපහාස කිරීමේ අරමුණ දැයි සිතෙන තරමට තත්ත්වය බරපතළය.

බෞද්ධාගම රට, ජාතිය ආරක්‌ෂා කරන බවට සපථ කළ ආණ්‌ඩුවේ හවුල්කාර පක්‌ෂයක්‌ වන ජාතික හෙළ උරුමය මෙවැනි තත්ත්වයන් හමුවේ මුනිවත රකී. එදා බෞද්ධ රාජ්‍යයක්‌ කරා යන බව කී ජාතික හෙළ උරුමයේ වර්තමානයේ සම සභාපති හා නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන අද කියන්නේ වනාන්තරවල සිටින වල් අලින් අල්ලා පිටරටට විකුණා දැමිය යුතු බවත්, ඌරන්, රිළවුන් ඝාතනයට අවසර දී ඇත්නම් ඔවුන්ගේ මස්‌ විකිණීමටද අවසර දිය යුතු බවයි. රාජ්‍ය බලය හමුවේ මේ අයට සියල්ල අමතකව තිබීම පුදුම සහගතය.

විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පළාත් සභාවල සම්මත කරගන්නා ආකාරය අනුව ඉදිරියේ දී නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවද සම්මත කරගන්නට බලහත්කාරය භාවිත වේදැයි සැක මතුවී තිබේ. මේ සියලු සංශෝධන ගෙන ඒමේදී රට, ජාතිය, ආගම ගැන සිතා හෘද සාක්‌ෂියට අනුව කටයුතු කරන්නට පාලකයන් කටයුතු කළ යුතුය.

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයෑදුම් කරමින් අභියාචනයක්‌ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂවරයාට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

මේ අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‌ෂ අනූෂ පැල්පිට මහත්වරුන් වෙනුවෙන් අධිකරණයෙන් නියම කළ වන්දිය ගෙවීමට මැදිහත්වීමට ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් වෙයි.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් රුපියල් ලක්‌ෂයක මුදලක්‌ද, ඒකාබද්ධ විපක්‌ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන් රුපියල් පනස්‌ දහසක්‌ද, පළාත් පාලන ආයතන සභිකයකුගෙන් රුපියල් 25,000 ක මුදලක්‌ද එකතු කිරීමට නියමිතය. පරිත්‍යාගශීලින්ගෙන්ද ඒ සඳහා මුදල් ලබා ගැනීමට අපේක්‍ෂා කෙරේ.

සිල් සමාදන් වන බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි ලබාදිය යුතු බවට ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ජයන්ති මහෝත්සවය සඳහා පත්කළ රාජ්‍ය කමිටුව නිර්දේශයක්‌ අනුව සිල් රෙදි ලබාදීම සිදුව ඇතැයි ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා එම නියෝගය දී ඇති බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රජය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාල රාමුවක්‌ සහ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරදී පසුගියදා ප්‍රකාශ කර තිබේ.

දැනට පවතින ත්‍රස්‌තවාදය පිටුදැකීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිති හා තත්ත්ව වලට අනුකූලව නව පනතක්‌ ගෙන එන්නැයි ශ්‍රී ලංකා රජයට නැවත වරක්‌ දැනුම් දෙන බවද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌වරයා පැවැසීය.

‘අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතුයි. එමෙන්ම හමුදාව යටතේ තිබෙන ඉඩම් මුදා හැරීම ඇතුළු විශ්වාසය ගොඩනැඟීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බවද ශ්‍රී ලංකා රජයට අවධාරණය කරනවා. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදය පිටුදැකීමේ පනත යටතේ තිබෙන නඩු කටයුතු ආදිය කඩිනමින් විසඳීමට කටයුතු කළ යුතු බව ද සිහිපත් කරනවා. එමෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්වලට අනුව දැනට තිබෙන පනත වෙනුවට නව පනතක්‌ ගෙන ආ යුතු බව නැවත වරක්‌ ශ්‍රී ලංකා රජයට සිහිපත් කළ යුතුයි. උතුරේ පීඩිතයන්ගේ විරෝධතාවලින් ප්‍රතිසංස්‌කරණ සිදුවන්නේ මන්දගාමීව බව පෙනී යනවා. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුයි’. එම නිර්දේශ සහ අනෙකුත් ක්‍රියාමාර්ග ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක්‌ සහ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයිද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් මානව හිමිකම් මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා පවසා තිබේ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකා එක්‌සත් ජනපදය හා යුරෝපා රටවල්වලට අනුව අපේ රට පලනය කරන්නට ඉඩ දෙනවාද යන්න පාලකයන් විසින් තීරණය කළ යුතුය. මේ ආකාරයට අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වන්නට මොවුන්ට ඉඩදිය යුතුද යන්න රටේ ජනතාව තීරණය කළ යුතුය. යුරෝපා සංගමය ජී.එස්‌.පී. ප්ලස්‌ පෙන්වමින් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිරීම, ජනාධිපතිවරයා සතු හදිසි අවස්‌ථා නියෝග, අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමේ බලය අහෝසි කිරීම, සමලිංගික විවාහ සිදු කිරීමට නීතිමය ඉඩකඩ හදාදීම, ෙµඩරල් ව්‍යවස්‌ථාව සැකසීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය වෙනස්‌ කිරීම සඳහා බලපෑම් කරමින් සිටී.

දක්‍ෂිණ හා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයන් විදෙස්‌ සමාගමකට බදු දීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. මෙම අධිවේගී මාර්ග වසර 15 කට හෝ 20 කට බදු දී මුදල් එකවර ලබා ගැනීමට නියමිතය.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව සතු ඉන්ධන පිරවුම්හල් චීනයට ලබාදීමට නියමිතය.

රජය යටතේ තබා ගනිමින් ලාභ ඉපයිය හැකි ව්‍යාපාර මේ ආකාරයට පිටරටට විකුණන්නේ කවර හේතුවකට දැයි අපට නම් නොතේරේ. වසර පහකට බලයට පැමිණි මේ ආණ්‌ඩුවට රටේ සම්පත් මේ ආකාරයට විකුණා දමන්නට කිසිදු සදාචාරාත්මක අයිතියක්‌ නොමැත. මේ ආකාරයට විකුණා දමන දේ අනාගතයේ බිහිවන වෙනත් රජයක්‌ යටතේ යළිත් ජනසතු කළ යුතු අතරම මෙලෙස ජනතාව සතු ජාතික දේපළ යළිත් විකුණා දමන්නට නොහැකි වන ආකාරයට නව නීති රීතිද ගෙන ආ යුතුය.

සයිටම් ප්‍රශ්නය යළිත් බරපතළ තැනකට පැමිණ තිබේ. යළිත් වරක්‌ වෛද්‍ය වර්ජන ආරම්භ වී තිබේ. එය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වනු ඇත. උග්‍ර ණය උගුලකට සිරවී සිටින නෙවිල් ප්‍රනාන්දු රෝහල රාජ්‍ය බැංකුවකට සින්න වීමට ආසන්න අවස්‌ථාවේ රජය මැදිහත් වී එම රෝහල බේරාගෙන ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයද පසුගියදා චෝදනා කළේය. මේවාට විරුද්ධව ජනතාව අධිකරණයට යා යුතුය.

මේ හේතුවෙන් සෑම මසකටම රුපියල් මිලියන 25 බැගින් වසර 10 ක කාලයක්‌ සඳහා රුපියල් මිලියන 3000 ක මුදලක්‌ ගෙවීමට රජයට සිදුව තිබේ. මේ පසුපස ඇති කතාව රටට හෙළිකළ යුතුව තිබේ. මේ ප්‍රශ්නය නිසා රජයේ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය උපාධි අපේක්‌ෂකයන් හයදහස්‌ පන්සියයක්‌ මාස හතක කාලයක්‌ තිස්‌සේ අධ්‍යාපනය අහිමිව සිටිති. ආණ්‌ඩුවේ හිතුවක්‌කාර ඇමැතිවරුන්ගේ වහසි බස්‌ නවතා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක්‌ ලබාදිය යුතුය.

ජීවන වියදම අහස උසට නැඟ තිබේ. සහල් කිලෝව රුපියල් 100 – 120 – 150 – 170 අතරය. පොල් ගෙඩිය රුපියල් 90 – 100 අතරය. අල හා බී ලූනු මිලද කිලෝව රුපියල් 160 – 180 අතරය. මෙලෙස ජීවන වියදම ඉහළ යැම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැක.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress