සිංහලයෙනි අවදිවව්! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව්!
Posted on October 22nd, 2017

විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි-

මාගේ මේ ආමන්ත්‍රණය සියළු ලංකා වාසීන් වෙත යොමු කළ යුතු වූවක් වුව ද මේ අවස්ථාවේදී මෙය වඩාත් ම තදින් බලපාන්නේ ද, ව්‍යවස්ථා සංශෝධනයකට විරුද්ධව ප්‍රබල මැදිහත් වීමක් සඳහා එකතු විය හැක්කේ ද සිංහලයන්ට ම වන බැවින් ද, සිංහලයන් මෙසේ අමතනු ලැබීම සඳහා සුදුසු තෝරා ගැනීමක් වනු ඇති බව මගේ විශ්වාසයයි.

සිංහලයෙනි, හොඳින් සිතා බලන්න. පැවති රජය පරාජය කිරීමට අවශ්‍ය වූයේ කාටද? ඒ සඳහා මැදිහත් වූයේ කවුරුන්ද? ඒ සඳහා යොදා ගනු ලැබූවේ කවුරුන්ද? එයට නන් අයුරින් ආධාර දුන්නේ කවුරුන් ද? බුද්ධිමත් වූ ඔබට මෙය තව දුරටත් රහසක් විය නොහැක. දූෂණයෙන් තොර යහපාලනයක් අප සියළු දෙනාගේම ප්‍රාර්ථනය බව ඇත්ත ය. එහෙත් එය නව ලිබරල්වාදී ආර්ථිකයක් හා බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන රටක කිසි දින යථාර්ථයක් නොවන බව සමහර විට ඔබ එදා තේරුම් ගෙන නොසිටින්නට ඇත. නමුත් අද වන විට ඔබ එම සත්‍යය අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඇතුවා නිසැක ය. නව ලිබරල්වාදයේ යූටෝපියාව කාල් මාර්ක්ස්ගේ යූටෝපියාවට ද වඩා හිස් සිහිනයක් ය යන්න අද අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගන්නට සිදු වී තිබේ.

ඒ නිසා පවතින රජයෙන් යහපාලනයක්, සමාජ සාධාරණයක්, ඉටු වෙතැයි යන සිහිනයෙන් අප අවදි විය යුතු ය. ඔබ ඒ සිහිනයෙන් අවදි වී නම් එවිට ඔබ දකින යථාර්ථය කොතරම් බිහිසුණු දැ යි මඳකට සිතා බලන්න. 

එවිට මා මුලින් මතු කළ ප්‍රශ්නය වෙතම ඔබගේ අවධානය යොමු කරන්න.
‘සිංහලයෙනි, හොඳින් සිතා බලන්න. පැවති රජය පරාජය කිරීමට අවශ්‍ය වූයේ කාටද? ඒ සඳහා මැදිහත් වූයේ කවුරුන්ද? ඒ සඳහා යොදා ගනු ලැබූවේ කවුරුන්ද? එයට නන් අයුරින් ආධාර දුන්නේ කවුරුන් ද?’
එසේ අවශ්‍ය වූයේ රට ජාති වශයෙන්, ආගම් වශයෙන්, වර්ග වශයෙන් බෙදා වෙන් කිරීමට නිරන්තරයෙන් ම පෙනී සිටින උදවියට ම නොවේ ද? ඊනිය සහජීවනය, සංහිඳියාව ගැන කතා කරන උදවියටම නොවේද?

මොවුන් පෙනී සිටින්නේ යහපාලය වෙනුවෙන් නම් ඒ සඳහා අවශ්‍ය වෙතැයි සිතන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන (මම එසේ නොසිතමි ) 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් නීතිගත කරගෙන ඇත.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්ථාව සැලකිල්ලෙන් කියවා බලන්න. මෙය හුදු ලියවිල්ලක් පමණක් ය, එහි ඇති දෙයක් නැතැයි රාජ්‍ය නායකයෝ පුන පුනා ප්‍රකාශ කරති. ඔවුන් මෙසේ පුන පුනා පැවසීම පමණක් ම වුව ද මෙම සංශෝධන ගැන සැක පහළ කර ගැනීමට ප්‍රමාණාත්මක සාධකයක් නොවෙත් ද?

මෙම අතුරු වාර්ථා ලියවිල්ල මුල සිට අගට කියවා බැලුවත්, අග සිට මුලට කියවා බැලුවත් මෙහි ඇත්තේ එකම දෙයකි. මහ මුහුදේ කොතනින් ජලය ගෙන බැලුවත් එහි ඇත්තේ ලුනු රසම සේ මෙහිද ඇත්තේ මධ්‍ය රාජ්‍ය දුර්වල කරණ රට බෙදා වෙන් කර ගැනීමට අනාගතයේදී යොදා ගත හැකි යෝජනා ය.
මේ තීරණාත්මක මොහොතේදී අප විසි නොකළ යුතු දෙයක් ඇත්නම් ඒ එයම ය. මන්ද මේ ත්‍රස්තවාදීන ට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ දෙය රිදී බන්දේසියක තබා පිළිගැන්වීමක් ම විය හැකි බැවිනි.

‘සිංහලයෙනි, හොඳින් සිතා බලන්න. පැවති රජය පරාජය කිරීමට අවශ්‍ය වූයේ කාටද? ඒ සඳහා මැදිහත් වූයේ කවුරුන්ද? ඒ සඳහා යොදා ගනු ලැබූවේ කවුරුන්ද? එයට නන් අයුරින් ආධාර දුන්නේ කවුරුන් ද?’
මා මේ ආමන්ත්‍රණය සඳහා සිංහලයන් ම තෝරා ගත්තේ ඔවුනට මේ අවදානම් අවස්ථාවේ දී යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධව තනිවහෝ නැගී සිටීමට තරම් ශක්තියක් ඇති බැවිනි. මේ සඳහා ඔවුනට සංඝයා වහන්සේගේ පූර්ණ ආශීර්වාදය ද මේ වන විට ලැබී ඇත.

අපගේ දෙමළ හා මුස්ලිම් සහෝදරයින් මෙහි ඇති භයානක කම තේරුම් ගැනීමට සුදුසු මානසික තත්වයක සිටින බවක් නොපෙනේ. ඔවුන් මෙය තේරුම් ගන්නා විට සියල්ල නැති වී ගොස් තිබෙනු ඇත. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ද අප සතු යුතුකමක් ඇත. මෙරට සිටින ඊනියා නිර්ජාතික, නිර්-ආගමික සිංහලයන්ට ද මා කියන කරුණු අවිෂය විය හැක. ඒ නිසා ය සිංහලයන්ව, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් හා කිතුනුවන් මේ ආමන්ත්‍රණය සඳහා තෝරා ගත්තේ.

සිංහලයෙනි අවදිවව්! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව්!

වසන්ත දේවසිරි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress