දළ පූට්‌ටුවා සහ සිරිකොතේ අලියා
Posted on December 3rd, 2017

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

දළ පූට්‌ටුවා අවසන් ගමන් ගියේ ශෝකජනක ලෙස ය. ගල්ගමුවේ වන ගහනයක්‌ මැද මෙයට දශක කිහිපයකට පෙර උපන් දළ පූට්‌ටුවාගේ දිරාගිය මළ සිරුර පසුගියදා පල්ලෙකැලේදී හමුවිය. ලංකාවේ වනගහනවල ඉතිරිව සිටි සද්දන්ත කුලයට අයත් ඇතුන් කිහිපදෙනාගෙන් එකකු වූ මේ සතා පසුගිය අවුරුදු කිහිපය පුරාත් ජීවිතයට වඩා මරණයේ සෙවනැල්ල යට කල්ගත කළේය. මෙහිදී සද්දන්ත කුලයේ ඇතා යනු කවරෙක්‌ දැයි පාඨකයාට හඳුන්වා දිය යුතුය. සිංහල සහ දෙමළ මිනිසුන්ගේ කුලය තීරණය වන්නේ ඔවුන් අතීතයේදී කළ රැකියාවට අනුව වන්නේ යම් සේ ද, අලියාගේ කුලය තීරණය වන්නේ උගේ කටේ ඇති දත් සංඛ්‍යාවට සමරූපව ය. මේ අනුව සද්දන්ත කුලයේ අලියකුගේ කටේ දත් හතක්‌ ඇත. සංස්‌කෘත බසින් එය ෂඩ් දන්ත ලෙස හඳුන්වන ලදුව පසුව සද්දන්ත විය. සද්දන්ත යනු උස මහත ප්‍රාංශු දේහධාරී යනුවෙන් දුර් මතයක්‌ පැතිර තිබේ. එය අදහන්නෝ බස නොදත් හරක්‌ ය.

දළ පූට්‌ටුවාගේ අසාමාන්‍ය දළ ලබා ගැනීම පිණිස මෙයට පෙරද ඌට වෙඩි තබන ලදී. උණ්‌ඩය අසරණ සතාගේ ඇස පසාරු කළේයá ඒ නමුදු පණ ගැලවිණ. ඉන් කලකට පසු උගේ තවත් ඇසකට හානි විය. එතැන් සිට දළ පූට්‌ටුවා පූර්ණ අඳ භාවයට පත් විය. කැලේ ගස්‌වල හැපෙමින්, වළවල්වල වැටෙමින් මේ සතා මහත් ශෝකී ජීවිතයක්‌ ගත කළේ ය. මුළු රටම දළ පූට්‌ටුවාට අනුකම්පා කළේ ය. ඒ අතර, තුවක්‌කු කටක්‌ හිsමින් සීරුවේ ඌ සිටින තැන සොයන්නට විය. තුවක්‌කු කට පිටුපස පස්‌දෙනෙක්‌ වූහ. එකෙක්‌ ආණ්‌ඩුවේ නිලධාරියෙකි. එකෙක්‌ ග්‍රාම සේවකයෙකි. අනෙකා ඉංජිනේරුවෙකි. සිවුවැන්නා චීවරධාරියෙකි. පස්‌වැන්නා රියෑදුරෙකි. මෙතැන් සිට කතාව මතු යම් දවසකදී උසාවියේදී හෙළිදරව් වන බැවින් අපි ඒ ගැන දැනට කිසිවක්‌ නොකියමු. දළ පූට්‌ටුවා ඝාතනය කිරීම සතකු මැරීමක්‌ ලෙස නොව මිනී මැරුමක්‌ ලෙස සලකා කටයුතු කිරීමට අවශ්‍ය අතීතයටත් බලපාන නීති ඇති කරන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලමු.
 
  මේ රටේ වනගහනය හා වනසත්ත්ව ගහනය භාර ඇමැතිතුමා ගාමිණී ජයවික්‍රම පෙරේරා ය. ඔහු හිටපු ඇමැති වන විජිත් විජිතමුණි සොයිසා කළාට වැඩි යමක්‌ කරන්නට උත්සාහ කරන කෙනෙකි. එහෙත් ඔහු කරන බොහෝ දේවල් බැක්‌ ෆයර් වේ. මේ ආණ්‌ඩුව බලයට පත් වූ වහාම අලි අයිතිකාරයන් හිරේÊදමා ඔවුන් සතු අලිත්, පන්සල්වල සිටි අලිත්, පින්නවලට ගෙන ගොස්‌ දැමීය. අන්තිමේදී එම ක්‍රියාවට විරුද්ධව මහත්වූ මතවාදී බලවේගයන් ගොඩනැගුණේය. දේශපාලන චීවරධාරීන් නොවන සැබෑ භික්‍ෂුන් වහන්සේලා ඒ කාර්යය නිසා ආණ්‌ඩුව සමඟ අමනාප වුහ. ඒ අතර අලි ගම්වැදීම වැඩි විය. අලින් ගම් වදින විට ගම්වැසියෝ උන්ට වෙඩි තැබූහ. මේ නිසා අලි මරණ ක්‍රමයෙන් වැඩි විය. කෙසේ වුවද කිසිදු බලපත්‍රයක්‌ නැතිව නීති විරෝධී ලෙස තම ගෙවත්ත පිටුපස අලින් ගාල් කරගෙන සිටි ඉකුත් රජයේ ජාවාරම්කරුවන් ඇතුළට දැමීම ගැන අපගේ විරෝධයක්‌ නැත.
 
 දළ පූට්‌ටුවා මැරීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයකුට චෝදනා එල්ල වී ඇත. විශ්‍රාම ගිය නමුත් ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ යාළුකමට ආපසු රස්‌සාවට පැමිණ සිටින මේ තැනැත්තා දළ පූට්‌ටුවාගේ මළ සිරුර සෙවීමට කළ මෙහෙයුමේදී කිසිදු සහායක්‌ දී නැත. ගාමිණී ජයවික්‍රම පෙරේරා උදව් කර ඇත්තේ පාප මිත්‍රයකුටය. එය ඇමැතිවරයාට කැළලකි. කොහොම වුණත් මේ යන ගැම්මට අලි මැරුවොත් අන්තිමේදී ඉතිරිවනු ඇත්තේ සිරිකොතේ එල්ලා ඇති පින්තූරයේ සිටින අලියා පමණි. එක්‌සත් ජාතික පක්‍ෂයේ නිල ලාංඡනය ද අලියා බැවින් ඉනුත් සෑහෙන කලක්‌ යන තුරු අලියා පිළිබඳ මතකය මනුෂ්‍ය සිත්වලින් ඈත් නොවනවා ඇත. සිද්ධියට සම්බන්ධ චීවරධාරියා වැරදිකරුවකු වුවහොත් ඔහුට පහර දී එළවා දමා සාසනයේ ගෞරවය රැක ගත යුතු ය. ග්‍රාම සේවක, ඉංජිනේරුවා, රියෑදුරා, සහකාර අධ්‍යක්‍ෂ යනාදීන් රිමාන්ඩ් කළ විට ඔවුන් ගැන වග බලා ගැනීම රිමාන්ඩ් සිරකරුවන්ගේ ජාතික වගකීම ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress