ආචාර්ය මර්වින් ප්රනාන්දු පියතුමා ගේ නික්ම යාම
Posted on December 25th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා නික්ම ගිය බව මට දැණුම් දුන්නේ  මිත්‍ර ශ්‍රී කරුණානායක විසිනි. ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා මගේ ගුරුවරයෙකු වූ අතර මම 2000 වසරේදී එතුමා යටතේ මනෝ විද්‍යා උපදේශනය හැදෑරුවෙමි. 

මම වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බව දැනගත් විගස එතුමා කිව්වේ ”  Doctors are bad counsellors  ” කියාය​. එය නම් සත්‍යකි. බොහෝ වෛද්‍යවරු උපදේශනය නොව සාමාන්‍යයෙන් රෝගීන්ට මූලික සවන් දීමවත් නොකරති. මේ නිසා  මර්වින් ප්‍රනාන්දු පියතුමා ගේ ප්‍රකාශය මට අවලාදයක්  නොව මාර්ගෝපදේශනයක් විය​. එබැවින් මම උපදේශනය විශය එතුමා යටතේ හොඳින් හැදෑරුවෙමි.  අද දිනයේ මම මනෝ චිකිත්සනය සම්බන්ධයෙන් ආචාර්‍ය උපාධිය හදාරන අතර මා මේ තත්වය දක්වා ගෙන ආ ගුරුවරු අතර ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමාද එක් අයෙකු බව කියන්නේ ගෞරව පූර්වකවය​. 

ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා බොහෝ දැන උගත් පුද්ගලයෙකු විය​. එතුමා ගේ දැණුම අතිශය විශාලය​. එසේම මර්වින් ප්‍රනාන්දු පියතුමා මානුෂික ගති ගුණ වලින් අනූන වූ අයෙකි විය​. කතෝලික පූජකයෙකු වූවද ආගම් අන්තවාදය එතුමා බැහැර කොට තිබුනේය​. මා බෞද්ධයෙකු  වූවද එතුමා මාව දුටුවේ තවත් මනුෂ්‍යයෙකු ලෙසටය​. මම එතුමාගෙන් බොහෝ දේවල් උගත්තෙමි.එසේම  පරාර්ථය එතුමාගේ ජීවිතයේ එක් අංගයක් විය. නිතරම අනුන්ට උපකාර කිරීමට එතුමා සූදානම්ව සිටියේය​. 

ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා ඉතා සරළ පුද්ගලයෙකු විය​. රාජ මාලිගා මෙන් පන්සල් අසපු සාදාගෙන  (හොරෙන් අල්ලාගත්) අලි ඇතුන් විළංගු දාගෙන බාහු භාණ්ඩිකව ජීවත් වන අපගේ සමහරක් මහා නායකලාට මර්වින් ප්‍රනාන්දු පියතුමා ගෙන්   අල්පේච්ඡතාව පිළිබඳ බොහෝ පාඩම් ඉගෙන ගැනීමට තිබුණි.

ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා ජීවත්ව සිටි කාලයේදී නිසි ගරු බුහුමණක් කිරීම සඳහා මට අවශ්‍යතාව තිබුණි. මේ නිසා 2005 වසරේදී මා විසින් ලියන ලද මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ ප්‍රතිකාරය යන ග්‍රන්ථය මා විසින් පුද කලේ හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමියන්ට සහ ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමාටය.  

ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා නික්ම යාම කිතුනුවන්ට  පමණක් නොව  මනුෂ්‍යත්වය අගයන සියළු දෙනාටම සංවේගය දනවන්නකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress