මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ කැණීම් තහනම් කරයි -සිංහල සංගේදම
Posted on March 1st, 2018

සිංහල සංගේදම

මේ වනාහී කලියුගයේ ආරම්භය නොවේ. කලියුගයම වන්නේය. මහාචාර්ය රාජ් සෝමදේව වනාහී ඊනියා බටහිර පුරාවිද්‍යා පර්යේෂණ සම්ප්‍රදායන් සමග ගොඩනැගුණු, එහෙත් ඉමක් කොනක් නොපෙනෙන අපේ මහා ඉතිහාසය පිරික්සන්නට නම් අපේම පර්යේෂණ ක්‍රමවේද අවශ්‍යයැයි සිතා ඒවා ප්‍රවේසමෙන් නිර්මාණය කරමින්, ඉතිහාසය සිසාරා ඇවිදින්නෙකි. හාල් හුණ්ඩුවෙන් සේරුවෙන් මැනිය යුතුමය. අපේම ක්‍රමවේදයක් නොමැතිව අපේ ඉතිහාසය පිරික්සීමෙන් ඊනියා බටහිර මිණුම් දඬු වල ආනුභවික සාමාන්‍යකරණයන්ට හසු නොවන බොහෝ ඉතිහාස කතා වැලලී යන්නට පුලුවන. 
අප මිත්‍ර මහාචාර්ය සෝමදේවයක් සිංහල සංගේදම සමග ඇති ශාස්ත්‍රීය ගණුදෙනුව බොහෝ පැරණිය. එනිසාම අප එතුමාගේ පර්යේෂණ හා වැදගත් අනාවරණ ගැන නිතර සෙවිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්නෙමු. වරෙක එතුමා බලංගොඩ ඉලුක්කුඹුරේ ගල්ලෙනක කැනීම් කරද්දී අපි එහි ගියෙමු. කුරගල සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වද්දීද අප බුද්ධි මණ්ඩල සභිකයන් සක්‍රිය ලෙස දායක වූහ. එහෙයින්ම මහාචාර්ය සෝමදේවයන් අසාධාරණයකට ලක්වෙද්දී ඒ පිළිබඳව අපේ විරෝධතාව දැක්වීම මිත්‍ර ධර්මයක් සේම ජාතික මෙහෙවරක්ද වන්නේය.

සෝමදේවයන් අභ්‍යුපගමනය කර ඇත්තේද, සොයා යන්නේද, සොයා ගන්නේද වසර දෙදහස් පන්සියයට ඉහත සිංහල ඉතිහාසයයි. එය සුළුපටු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ජාතියක ඉතිහාසය මෙපමණ යැයි කියා තිබියදී මහාචාර්ය සෝමදේවයන් උත්සහ කරන්නේ එය ඊට අඩුයැයි කියන්නට නොවේ. ජාතියේ ඉතිහාසය තවත් වසර තිස් හතලිස් දහසක් ඈතට දිවයන බව කියන්නටය. එය පුරාවිද්‍යාඥයකුට ජාතිය වෙනුවෙන් කළ හැකි මහා සේවයක් වන බව දේශප්‍රේමී සියල්ලෝ දනිති.

රාවණ යනු පුරාවිද්‍යාත්මක සාධක වලට වඩා ජනශ්‍රැති මූලික සාධක මත, ගම්‍ය වූවකි. එහෙත් දැන් ඒ සංකල්පය හුදු පුරාකතා මාත්‍රයක්, වීර කතාවක් වනු වෙනුවට හෙළ ඉතිහාසය පිළිබඳ දැවැන්ත පුරාවිද්‍යා ගවේෂණ සම්භාරයක් ඔස්සේ සත්‍යෙක්ෂණය වෙමින් පවතී. ඒ මහා ගවේෂණ වල මහා චාර්ය රාජ් සෝමදේව යනු පතාක යෝධයෙකි. රාජ් සෝමදේවයන්ගේ දියුණු ශාස්ත්‍ර ඥානය හා විද්‍යාත්මක ක්‍රමවේදී්‍ය භාවිතාව අපි හඳුනාගෙන ඇත්තෙමු. එහෙයින්ම අපි සෝමදේව දකින්නේ ජාතික වස්තුවක් ලෙසය. පියවරෙන් පියවර අපේ ජාතියේ ඉතිහාසය ගොනු කරමින් අප මහා ඓතිහාසික ජාතියක් බව සිංහලයන් හා ලෝකය අමතා කියන අපට සෝමදේවගේ පර්යේෂණ වල සොයාගැනීම් සපයන්නේ මහා වාරුවකි;රුකුළකි.

කුරගල වෙනුවෙන් සටන් කළ බොහෝ දෙනාට තිබුනේ ජාතික කැක්කුමකි. එහෙත් කුරගල සටනේ තීරණාත්මක ප්‍රහාරකයා මහාචාර්ය රාජ් සෝමදේව බව අපි වගකීමෙන් කියන්නෙමු. එතුමාගේ කුරගල වාර්තාව වනාහී වෙනත් කිසිදු පාර්ශවයකට ප්‍රතික්ෂේප කළ නොහැකි ශාස්ත්‍රීය වාර්තාවකි. එය හිතළුවක් නොවේ. මහා දැවැන්ත අධ්‍යයනයකින් පසුව ලියූවකි. හැගීම් වලින් පමණක් රට ජාතිය රකින්නට තනන සිංහලයාට සබුද්ධික ප්‍රාමාණික අරගලයක් සඳහා අවතීර්ණ වන්නට සෝමදේව වැනි අපේ කාලයේ ප්‍රාඥයින්ගෙන් ලැබෙන්නේ මනා මාර්ගෝපදේශනයකි.

රට නසන කාපාලුවන් ආරක්ෂක මුරකාවල් මැද වීථී දෙවනත් කරගෙන යද්දී, සාමාන්‍ය වෑන් රථයක ඔහේ ගමන් බිමන් යන රාජ් සෝමදේව ගැන අපිට විටෛක ඇත්තේ බියකි. ඒ ඔහුගෙන් ජාතියට ලැබෙන දායකත්වය නිසාම ඔහුට සතුරන් සිටින බව අප දන්නා නිසාය.

එහෙයින් අප කියන්නේ මහාචාර්ය සෝමදේවගේ ගමනට හරස් කපන්නේ ද්‍රෝහීන් බවය. සෝමදේවයන්ගේ වෘත්තීය ප්‍රගමණය හා ඔහුගේ ගවේෂණයන්ගෙන් ජාතියේ ඉතිහාසය හරිහැටි අර්ත දක්වන්නට ලැබෙන වාස්තවික තොරතුරු නුරුස්සන ගිහියන් මෙන්ම පැවිද්දන්ද යැපෙන්නේ කාගේ බුරියානි වටලප්පන් වලින්දැයි, ඩොලර් වලින්දැයි අපි දනිමු. මෑතකදී පුරාවිද්‍යාව අරක් ගෙන සිටින යහපාලන රජයේ වන්දිබට්ටයෙකුට මණ්ඩය පුරාවටම ඒවා ලැබෙන්නේ දැයි මේ සිද්දියෙන් කුකුසක් ඇතිවේ. ඒ මන්ද සෝමදේවයන් රස්තියාදු කරවමින් අවසර පත් නොදී සිටින්නට තරම් ඔහු ගේ කුහක වත හෙළි පෙහෙළි වූ නිසාය.

මහාචාර්ය රාජ් සෝමදේව යනු ජාතික වස්තුවකි. ප්‍රාඥයෙකි. ශාස්ත්‍රඥයෙකි. එවැන්නෙකුගේ ශාස්ත්‍රීය ගමනට අත නොතබනු. අප එසේ කියන්නේ සෝමදේව අපේ පෞද්ගලික හිතවතකු නිසා නොවේ. ඔහු ජාතියට අයත් නිසාය!!

සිංහල සංගේදම

 

2 Responses to “මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ කැණීම් තහනම් කරයි -සිංහල සංගේදම”

  1. Nanda Says:

    Gota went to Kuragala and settled everything.
    https://www.youtube.com/watch?v=mORT2qSd3l4

    However, unfortunately he did not have the control over Wahab Jassim City opened in 2014

    https://vigasapuwath.blogspot.com/2016/04/blog-post_426.html

  2. NAK Says:

    You must not be afraid to expose these rascals. The longer they have cover longer they prevail.
    Expose them and take action against them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress