සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම බාරගෙන ඉදිරි නඩුකටයුතු සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයට නියෝග කරයි…!
Posted on March 27th, 2018

Sri Lankan News

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් විභාග කරනු ලබන නඩුවක් සාධාරණව සහ අපක්ෂාතීව විභාග නොකරන හෙයින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන යටතේ වෙනත් මහාධිකරණයකට නඩුව මාරුකර ගැනීම සදහා පෙත්සමක් 2018.03.05 දින අභියාචනාධිකරණයට ගොනුකර තිබුණි. එකී පෙත්සමේ කරුණු අභියාචනාධිකරණයේ දී 2018.03.08 දින කරුණු තහවුරු කිරීමට සූදානම් වූ අවස්ථාවේ සිංහල භාෂාවෙන් එකී පෙත්සම ඉදිරිපත් කර තිබූ හෙයින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවන ප්‍රීති පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න විනිසුරුවරු ඒ සදහා අවසර නොදී නඩුව 2018 ජූලි මාසයට කල් දමා ඇත.

සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ හෙයින් පෙත්සමේ කරුණු තහවුරු කිරීමට අවස්ථාව නොලැබීම සම්බන්ධව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් 2018.03.12 දින සළකා බැලූ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාර සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විසින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් විභාග කරනු ලබන එකී නඩුව 2018.03.26 දින දක්වා අත්හිටුවන ලදී.

නැවත එකී නඩුව 2018.03.26 දින ඊවා වනසුන්දර, එන්.ටී. බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැදවූ අවස්ථාවේ සිංහල භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කිරීම හේතුවෙන් අභියාචනාධිකරණය විසින් සිදුකර ඇති වෙනස්කම් සම්බන්ධව පෙත්සම්කරුගේ නීතීඥ අරුණ ලක්සිරි දීර්ඝ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය අමතමින් සිංහල භාෂාවෙන් පෙත්සම් සහ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබූ හෙයින් අභියාචනාධිකරණයේදී 2018.03.08දින කරුණු තහවුරු කිරීම සදහා අවස්ථාව නොලැබුණ බවත් සිංහල භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කළ හැකිද යන්න සළකා බැලීමට  මාස ගණනාවක් නඩුව කල් දැමීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2 ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් Coomaraswamy V. Shanmugaratna Iyar And Another නඩුවේ තීරණය නොසළකා සිටීමක් බවත් උපරිමාධිකරණවල අධිකරණ භාවිතය නොසළකා සිටීමක් බවත් පෙන්වා දෙන ලදී.

සිය සේවාදායකයා අභියාචනාධිකරණයේ සහන පතා පැමිණි කාරණය පසෙක තබා සහ ඒ සම්බන්ධව කරණු තහවුරු කිරීමට අවස්ථාව නොදී අභියාචනාධිකරණයට සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද? යන්න සම්බන්ධව කරුණු විමසා අදාල නියෝගය එනම් සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද? යන්න සම්බන්ධ තීරණය කිරීමට මාස ගණනාවක් පසුව එන ඉදිරි දිනයක් ලබා දෙන බව කියා නඩුව කල් දැමීමෙන් බලවත් අයුක්තියක් අභියාචනාධිකරණය විසින් සිය සේවාදායකයාට සිදු කර ඇති බවත් පෙන්වා දෙනු ලැබීය. තවද සිංහල භාෂාවෙන් අභියාචනාධිකරණයේ නඩු පැවරීමට පුරවැසියන්ට ඇති අයිතිය වැළක්වීමක් / අහිමිකිරිමක් මෙමගින් සිදු කර ඇති බවත් සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට බාධා කර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර ඇති භාෂා අයිතිවාසිකම් සීමා කිරීමක් සහ අහිමි කිරීමක් බවත් වැඩිදුරටත් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙන ලදී.

එකී කරුණුවලට සවන් දීමෙන් පසු මහාධිකරණ නඩුවේ සියලු නඩු කටයුතු ශේෂ්ඨාධිකරණ නඩුව අවසන් වන තෙක් අත්හිටවීමට සහ සිංහල භාෂාවෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අදාල නඩුකටයුතු ඉදිරියට පවත්වාගෙන යන ලෙස නියෝග කරමින් එකී නියෝග කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට සහ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දෙන ලෙසත්  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress