ජනාධිපති මෛත්‍රිගේ විශ්‍රාම යෑම තීරණය කරන්නේ පොදු ජනතාවයි
Posted on May 11th, 2018

හර්ෂනී අර්සකුලරත්න උපුටාගැණීම  මව්බිම

රටේ පවතින ගැටලුවට විසඳුම් නොදෙමින්, ජනාධිපතිවරයා තමාට 2020දී විශ්‍රාම ගැනීමට කිසිදු අදහසක් නැතැයි පවසන බවත් එතුමා විශ්‍රාම ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ එතුමා නොව රටේ ජනතාව යැයි පොදුජන පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඔහු මේ අදහස් පැවැසුවේ පසුගියදා (8දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රම විහාරස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙහෙයවන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද රටේ පවතින්නේ අරාජික තත්ත්වයක්. දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරලා. විදුලි ඉන්ජිනේරුවන් අකුරට වැඩ. දැනුම් දීමකින් තොරව වෛද්‍යවරුන් වර්ජනයකට සූදානම් වෙනවා.

ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීම් ආණ්ඩුව පැත්තෙන් පේන්න නෑ.

2020 නෙවෙයි 2019 මැතිවරණයේදී සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂකයකු වෙනවා නම් ඔහු ලබන ඡන්ද අනුපාතය 5% මට්ටමට බැසීමේ විශාල අවදානමක් තියෙනවා. මේ පිළිබඳව ජනමතය උරගා බැලීමට අවංක චේතනාවක් තියෙනවා නම් එතුමා කළ යුත්තේ වෙන කිසිවක් නෙවෙයි, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට තමන් කැමැති ආණ්ඩුවක් පත් කර ගැනීමට අවස්ථාව ලබාදීම.

පසුගියදා පැවැති මැයි දින රැලියේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ආණ්ඩුවේ ආර්ථික ත්‍රස්තවාදයට විරුද්ධව නායකත්වය දීමට එතුමා සූදානම් බව. එහිදී දරාගන්න බැරි ජීවන වියදම, රටේ රැකීරක්ෂා ජීවනෝපාය ක්‍රම විනාශ කරන වෙළෙඳ ගිවිසුම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් අනුව සකස් කරන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරමින් යෝජනාවලියක් ඉදිරිපත් වුණා.

මේ පිළිබඳ ජනමතයක් ගොඩනඟා මේ ව්‍යාජ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ 2/3ක් ලබාගත යුතුයි.
මේ සඳහා ප්‍රථම පියවර ලෙස විපක්ෂයේ වෙනසක් වීම සිදුවිය යුතුයි. දමිළ සන්ධානයට සිටින්නේ මන්ත්‍රිවරු 16ක් පමණයි. ඔවුන් ආණ්ඩුවේ අය – වැය ලේඛන 3ටම සහාය දුන්නා. මෙය ලෝක වාර්තාවක්.

මේ නිසා ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා දැවැන්ත උද්ඝෝෂණයක් රට තුළ ඇති කරනවා.
මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන,

මේ ආණ්ඩුවට පරමායුෂ පවතින්නේ මාස 18ක් පමණක් බව සක්සුදත් සේ ඔවුන් දන්නවා. විශාල මැසිවිල්ලක් තියෙනවා එජාපයට තමන්ට අභිමත ආකාරයට සමෘද්ධි මුදල් බෙදා හරින්න ඉඩ ප්‍රස්තා වෙන් කරගන්න බැරි වීම. ඒ නිසා ලක්ෂ 14ක් පමණ වන සමෘද්ධිලාභීන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් තියෙනවද කියන ප්‍රශ්නෙන් පැන නඟිනවා.

මේ සමෘද්ධි බැංකුවල සල්ලි ආණ්ඩුවේ හෝ වෙනත් අමාත්‍යාංශයක හෝ සල්ලි නෙවෙයි. සමෘද්ධිලාභීන් සතෙන් සතේ ඉතිරි කරලා විවිධ ආකාරයෙන් ගොඩනඟා ගත් අරමුදල්වලිනුයි සමෘද්ධි බැංකු ව්‍යාපාරය ගොඩනඟා ඇත්තේ.

ලංකා ඉතිහාසයේ නිදහසට පෙර සිටම තිබුණා ණය දෙන සමිති. ණයගැතිකමේ ගැටලුවට විසඳුමක් ලෙස සමුපකාර ණය දෙන සමිති කියලම විශේෂ ණයදෙන සමිති තිබුණා ගම් මට්ටමෙන්. ඉතින් මේ සමෘද්ධි බැංකුව ගොඩනඟා ඇත්තේ රටේ දිළිඳු ජනතාවට සම්ප්‍රදායික නීති රීතිවලට අනුව මූල්‍යාධාරයක්, ණයක් ලබා ගැනීමට සුදුසුකම් නැති අයට ණය ලබාගැනීමට අවස්ථාවක් උදා කර දීමටයි.

දිළිඳු පවුල් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමෘද්ධි බැංකු ක්‍රමය හරහා විශාල ණය පහසුකමක් ලබා තිබෙන බව මෙයින් පැහැදිලියි.
දැනට මේ බැංකුවේ වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වන බව වාර්තා වෙනවා. අගමැතිවරයා සමෘද්ධි බැංකුවලට නඟන චෝදනාව ගැන විෂය භාරව සිටි ඇමැති එස්.බී. දිසානායකට දුරකථනයෙන් කතා කොට විමසුවා. ඔහු සඳහන් කළේ අගමැතිතුමාට ඔහු අභියෝගයක් කරනවා සමෘද්ධි බැංකු හරහා අගමැතිවරයා සඳහන් කළ පරිදි මුදල් අවභාවිතාවක් වී ඇත්නම් අඩුම තරමේ රුපියල් දහසක හෝ වංචාවක් වී ඇත්නම් එය වහාම පරීක්ෂා කොට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට මුහුණදීමට එතුමා සූදානම් කියලයි.

සමස්ත මුදල් ක්‍රමය, සමස්ත බැංකු ක්‍රමය, සමස්ත ණය ක්‍රමය, පාලනය කිරීම සඳහා පුළුල්ම බලතල සහිත ස්වාධීන මූල්‍ය අධිකාරිය වන මූල්‍ය ක්‍රමයේ මුදුන් මල්කඩ වන් ශ්‍රී ලංකා මහ බැංකුවට දැන් අකුණු ගහලා ඉවරයි.

රාජ්‍යයන් දෙකටම වාසිදායක නොවන කිසිදු නිදහස් වෙළෙඳ ගිවිසුමකට අස්සන් නොතබන ලෙසට කම්කරු දිනයේදී හිටපු ජනාධිපතිවරයා රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් අනාගතය වෙනුවෙන් ඉල්ලා සිටියා.

හර්ෂනී අර්සකුලරත්න
ඡායාරූප – තාරක බස්නායක

One Response to “ජනාධිපති මෛත්‍රිගේ විශ්‍රාම යෑම තීරණය කරන්නේ පොදු ජනතාවයි”

  1. Christie Says:

    සිරිසේනගෙ අනාගතය ඉන්දියාව සතුය.

    ඔහු පත්කලේ ඉන්දියාවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress