‘බදු ගෙවන ඔබට ස්තුතියි..’ ටොං පච කියන්න ජනතා බදු මුදල් අවභාවිතා කිරීම මෙන්න..
Posted on May 21st, 2018

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනතාවට බොරු කීමට බදු ගෙවන්නාගේ මුදල් භාවිතා කිරීම

2014 වසරේදී ලෝක බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 60ක් වූ බවත්, ඒ කාලයේදී ලංකාවේ පෙට්‍රල් මිල ලීටරයට රුපියල් 157ක් වූ බවත්, 2018 දී බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 78 ක් වන අතර පෙට්‍රල් ලීටරය රුපියල් 137 ක් වැනි අඩු මුදලකට යහපාලන ආණ්ඩුව විසින් ජනතාවට ලබාදෙන බව කියමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මැතක සිට පලකරන දැන්වීම් කවුරුත් දැක ඇත. නවතම මහබැංකු වාර්තාව කියවන ඕනෑම කෙනෙකුට පෙනෙනු ඇත්තේ 2014 වසර පුරා පැවති සාමාන්‍ය බොරතෙල් මිල වූයේ ඇ.ඩො. 60 නොව, ඇ.ඩො. 104 බවය. 2014 වසරේ අවසාන මාස තුනේ දී බොරතෙල් මිල පහත වැටීමට පටන් ගත් අතර ඊට කළින් මාසවල පැවති අධික මිල නිසා 2014 වසරේදී බොරතෙල් වල සාමාන්‍ය මිල ඇ.ඩො.104 ටත් වඩා වැඩි විය.

මහ බැංකු වාර්තා වලින් පෙන්වා දෙන පරිදි රාජපක්‍ෂ ආණ්ඩුවේ අවසන් වසර හතරේ දී එනම් 2011, 2012, 2013 හා 2014 වසර වලදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇ.ඩො.109 ක් විය. නමුත් වත්මන් ආණ්ඩුව 2015 ජනවාරියේදී බලය ගන්නා විට බොරතෙල් මිල ඇ.ඩො. 51 දක්වා අඩුවී තිබුණු අතර පසුගිය වසර තුන ඇතුලත එය තවත් අඩුවීය. බොරතෙල් මිල නැවත වැඩි වීමට පටන් ගත්තේ 2017 ඔක්තෝබර් මාසයේදී පමණ සිටය. 2014 වසරේදී බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 60ක් වූවා යැයි කීමෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසන්නේ සම්පූර්ණ මුසාවකි. යහපාලන ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් භාවිතා කොට දේශපාලන බොරු ප්‍රචාර ගෙන යන බව මේ අවස්ථාවේදී කවුරුත් නීරීක්‍ෂණය කල යුතුය.

‘බදු ගෙවන ඔබට ස්තුතියි..’ ටොං පච කියන්න ජනතා බදු මුදල් අවභාවිතා කිරීම මෙන්න..

රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉන්ධන මත අයකරන බද්ද නැතිකරන බවට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශනයේ සටහන්ව තිබුණත් යහපාලන ආන්ඩුව ඉන්ධන මත පනවා ඇති බදු කිසිදාක ඉවත් කලේවත් අඩු කලේවත් නැත.  2015 දී ඔවුන් ඉන්ධන මිල අඩු කලේ එවක ලෝක වෙළඳපලේ සිදුවී තිබුණු බොරතෙල් මිල පහත වැටීම ප්‍රයෝජනයට ගෙනය. අද බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.70 ක් පමණ වේ. මහ බැංකු වාර්තා වලට අනුව රාජපක්‍ෂ සමයේදී එවැනි මිලකට එනම් ඇ.ඩො.80කට බොරතෙල් අපට ලැබුණේ 2010 දීය. නමුත් 2010දී ලංකාවේ පෙට්‍රල් මිල රු.115 කි. ඩීසල් රු. 73 කි. භූමිතෙල් රු.51 කි. ඒ අනුව වත්මන් බොරතෙල් මිලට අනුව සාධාරණීකරනය කල හැකි ගණනකට වඩා බෙහෙවින්ම වැඩි මුදලකට වත්මන් ආණ්ඩුව  ඉන්ධන අලෙවි කරන බවට කාටත් පැහැදිලි වනු ඇත.

මෑතකදී ඉන්දියනු තෙල් සමාගම පෙට්‍රල් මිල රුපියල් 9 කින් ඉහල දමන විට ආණ්ඩුව ඉන් දෙගුණයකටත් වඩා වැඩි මුදලකින් පෙට්‍රල් මිල ඉහල දමනු  ලැබුවේය. යහපාලන ආණ්ඩුව ඉන්ධනවලින් බදු මුදල් ලබා ගන්නවා පමණක් නොව ලෝක බොරතෙල් මිලත් ලංකාවේ ඉන්ධන මිලත් අතර ඇති වෙනසින් වෙනම ලාබයක් ලබා ගන්නා බවද මෙයින් ජනතාවට පැහැදිලි වනු ඇත. යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනතාවගෙන් මුදල් ලබා ගන්නේ ඒ ආකාරයටය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ
මාධ්‍ය ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress