හිට්ලර්ට පොල්පොට්ට වඩා පාඨලී චම්පික භයානකයි
Posted on June 22nd, 2018

ප්‍රගීත් සම්පත් කරුණාතිලක උපුටාගැණීම  මව්බිම

අද වන විට දේශපාලන පක්‍ෂ රටේ ප්‍රශ්න කතා කරනවා වෙනුවට තම තම පක්‍ෂවල අර්බුද ගැන විතරයි කතා කරන්නේ. ආණ්ඩුවත් තම ප්‍රශ්න ගැන කතා කරනවා. රටේ ප්‍රශ්න මඟහරිනවා. ඇත්තටම මොකක්ද මේ දේශපාලන කුණාටුව?

පොහොට්ටුවේ කිසිම අර්බුදයක් නැහැ. අර්බුද දැන් තියෙන්නේ ආණ්ඩුවේ. ආණ්ඩුව ඇතුළේ නිශ්චිත වශයෙන් තීන්දු ගන්න බැහැ. ජනාධිපති එක පැත්තකට අදිනවා. අගමැති තව පැත්තකට අදිනවා. සම්පන්දන් තව පැත්තකට අදිනවා. ෆොන්සේකලා, රාජිතලා, චම්පිකලා වෙනම ආණ්ඩු පවත්වාගෙන යනවා. ඒ නිසා ආණ්ඩුව ඇතුළේ ක්‍රීඩාවේ දැඩි අර්බුදයක් තියෙනවා. ඒ නිසා රට එක තැන පල් වෙලා. රට ආපස්සට යන්නේ. ඒ වගේම පොහොට්ටුවේ තියෙන්නේ හරවත් දේශපාලන සංවාදයක්.

ඔබතුමන්ලාගේ හරවත් සංවාදය ගැන ආණ්ඩුව දකින්නේ ප්‍රශ්න විදියට?

ඒක ඒ අයගේ ප්‍රශ්නයක්. අපි විධායක ජනාධිපති ක්‍රමය ගැන 20 වැනි සංශෝධනයට සහාය දෙනවාද නැද්ද කියලා සංවාද ඇති වුණා. ආණ්ඩුව ජ.වි.පෙ. කෙළ බේරගෙන බලාගෙන හිටියා. අපි දෙකට තුනට කැඩෙයි කියා. නමුත් අපි හරවත් සංවාදයක් කරලා හැම විකල්පයේම හොඳ නරක හඳුනාගෙන අපි ඒකමතික තීන්දුවකට ආවා. ඒක තමයි ආණ්ඩුවයි අපියි අතර වෙනස වන්නේ.

ඔය හරවත් සංවාදය 16 දෙනා ගැන නැත්තේ ඇයි?

අපි ඒ අය ගැනත් හරවත් සංවාද කරනවා. ඒ අය ගැන අපට විකල්ප මත තියෙනවා. ඒ ගැන විවාද කරනවා. හැබැයි අවසානයේ තීන්දුවක් ගත්තම 54 දෙනාම ඉන්නේ ඒ තීන්දුවේ. අපි විශ්වාසභංගයට එකම තීරණයේ හිටියා. නමුත් එ.ජා.ප.යේ සමහර අය විශ්වාස භංගයට ඡන්දය දුන්නා. සමහරු දුන්නේ නැහැ. මේකෙන් අපි පෙන්නුවා තීන්දු තීරණ ගැනීමට පෙර අපි හරවත් සංවාද කරනවා. තීන්දු ගත්තට පස්සේ අපි සියලු දෙනාම ඉන්නේ එක මතයේ. 16 දෙනා ගැනත් එහෙමයි. ඒ ගැන හරවත් සංවාදයක් තියෙනවා. ඒක පිල් බෙදීමක් නෙවෙයි. මගේ මිත්‍ර ප්‍රසන්න රණතුංග මහතා 16 ගැන ඉන්නේ එක මතයක. මම තව මතයක හැබැයි අපි පිල් දෙකක නෙවෙයි. අපි ඉන්නේ එකම මතයේ. තීන්දුව ගත්තට පස්සේ ඒ මතය එකයි.

ඉදිරි ජනාධිපතිවරණය ගැන අදහස් මතුවෙනවා. පොහොට්ටුවේ අපේක්‍ෂකයෝ 4ක් ගැන කියැවෙනවා. නමුත් එ.ජා.ප.ය ඉන්නේ එකම නායකයා මත. මේක ඔබලාට අවාසියක් නෙවෙයිද?

ඊළඟ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා කියනවා. ඒකෙන්ම එ.ජා.ප.යේ බංකොලොත්භාවය පේනවා. වසර 20ක් යනකම්ම එ.ජා.ප.යට ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. අපේ පැත්තේ නම් 4ක් යෝජනා වෙලා තියෙනවා. ඒ ගැන හරවත් සංවාදයක් තියෙනවා. වාසුදේව මහත්තයා චමල් රාජපක්‍ෂ මහතාගේ නම යෝජනා කරනවා. මම ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම යෝජනා කරනවා. තව අය බැසිල් රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම යෝජනා කරනවා. තව මාස 16ක් තියෙනවා. අපි නම් 4ක් යෝජනා කළා. නමුත් මේ මොහොතේ හොඳයි කියන අපේක්‍ෂකයා නෙවෙයි, ඡන්ද කිව්වට වෙනස් වෙන්නත් පුළුවන්. පවතින දේශපාලන වටපිටාව අනුවයි තීන්දුව ගත යුත්තේ. එනිසා දීර්ඝ කාලයක් තිස්සේ හරවත් සංවාදයක යෙදිලා රටට හො¼ද අපේක්‍ෂකයා ඉදිරිපත් කරනවා.

ජනාධිපති කවුරු වුණත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කියලනෙ කියන්නේ. 16 දෙනාගේ කණ්ඩායමත් ඒක කියනවා. මේ තරම් සහායක් දෙන්න ඒ අය එනකොට එළවන්නේ ඇයි? ආණ්ඩුවෙන් විපක්‍ෂයට එනකොට හුරේ දා පිළිගන්නවා වෙනුවට ගහන එකයි කරන්නේ. ඒ ඇයි.?

අපි මුලින්ම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මොකද මීළඟ ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 9ට කලින් පැවැත්වීමට කිසිම හැකියාවක් නැහැ. ඒ වගේම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය 2020 මාර්තු 03ට කලින් පැවැත්වීමට හැකියාවක් නැහැ. ඊට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 150ක් අත ඔසවා කැමැත්ත පළ කළ යුතුයි. ඒකාබද්ධයේ ඉන්න මන්ත්‍රිවරු 54 කැමැතියි. ඡන්දයකට යන්න. ඒ අය සැවොම දිනනවා. ගිය පාරට වඩා මනාප ගන්නවා. හැබැයි තවත් අපට 96ක් අඩුයි. පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න එ.ජා.ප.ය කැමැති නැහැ. මොකද ඒ අය 107 මන්ත්‍රි ධුර ගණන 65ට අඩු කර ගන්න කැමැති නැහැ. ඒ 65 කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඒ අය අවදානම ගන්නේ නැහැ. ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරුන් වෙනම ඉල්ලුවොත් හද්ද අසරණ වෙනවා. දෙමළ සන්ධානයේ මන්ත්‍රි ධුර ගණන 10ට අඩු වෙනවා. ජ.වි.පෙ. අඩු වැඩි වශයෙන් මේ මන්ත්‍රි ධුර ගණන ර¼දවා ගනියි. හැබැයි රුපියල් කෝටි ගාණක් වියදම් කරලා ජ.වි.පෙ. මන්ත්‍රි ධුර ගණන අඩු වැඩි කර ගන්න කැමැති වෙයිද? ඒ අනුව මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 54 ඉක්මවා යා යුතු ප්‍රායෝගික පසුබිමක් අපට නැහැ.

ඒකාබද්ධයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වාසිය ගන්න පුළුවන් කියලනේ කියන්නේ.?

පාර්ලිමේන්තු මැතිවරණයක් කියන එක දේශපාලනික වශයෙන් ප්‍රායෝගිකත්වයෙන් තොර හිතළුවක් පමණයි. ඒ නිසා ඉදිරි මාස 16ට අපට ආණ්ඩු බලය ලබා ගැනීමට වෙන ක්‍රමයකට යා යුතුයි. මොකද බහුතරය පෙන්නලා ආණ්ඩුව විසුරුවලා මැතිවරණයකින් ඒක කර ගන්න බැරි නිසා. ඒක නිසා අපි හිතන්නේ මේ ආණ්ඩුව තවත් මාස 16ක් තියෙනවද කියලා. එහෙම වුණොත් රට ඉවරයි. අගමැති ජනාධිපති ඊළඟ ඡන්දයක් ඉල්ලන්නේ නැහැ. යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ රටේ ආර්ථිකය විනාශ කරලා රට ණය උගුලක හිර කරලා, රටේ සම්පත් විකුණලා මේ ආණ්ඩුව ගෙදර යයි. එතකොට අපට භාර ගන්න වෙන්නේ අතිශයින්ම කාලකණ්ණි වූ රටක්, කඩා වැටුණු රටක්. ඒක නිසා ඉදිරි මාස 16 ඇතුළත පාර්ලිමේන්තුව ඇතුළත බල පෙරළියක් කළ යුතුයි. ඉන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා රටේ අගමැති ධුරයට ගෙන ආ යුතුයි.

ඡන්දයකට යන්න ආණ්ඩුව විසුරුවන්න බලයක් නැතිව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරලා මේ දේ කරන්න පුළුවන් කියලා හිතනවද? ඒකට ජනාධිපති ආශීර්වාදයත් තිබිය යුතුයි?
ජනාධිපති ආශීර්වාදය තිබුණා නම් හොඳයි. හැබැයි 1994දී ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා චන්ද්‍රිකා මැතිනියට අගමැතිකම දුන්නේ කැමැත්තෙන් නෙවෙයි. ඇයට පාර්ලිමේන්තු බලය තිබුණු නිසයි. 2001දී චන්ද්‍රිකා මැතිනිය රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කළේ කැමැත්තෙන් නෙවෙයි. එතුමා පාර්ලිමේන්තු බහුතරය පෙන්නපු නිසා අගමැති කරන්න සිදුවුණා. ජනාධිපතිගේ ආශීර්වාදයත් එක්ක 113 පෙන්නුවා නම් හොඳයි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ මේ පාර්ලිමේන්තුවේ 113 හදලා රට බේරාගන්න තියෙන මඟ.

පොහොට්ටුවේ 54-113 දක්වා වැඩිකර ගත හැකිවේද?

ඒක දැවැන්ත ගමනක්. ඒ ගමනේදී අපට ලැබුණු යෝධ ශක්තිය තමයි 16 දෙනාගේ කණ්ඩායම. ඒ අය මහින්ද මහත්තයා අගමැති කරන සටනට එකතු වෙයි. මේ 16 දෙනා නිසා 54 70 වෙලා අපට එකතු කරගන්න තිබුණු ගණන අඩු වුණා. මෙහෙම වුණොත් තමයි කුඩා පක්‍ෂවලට විශ්වාසයක් ඇති වන්නේ. අපිත් පොහොට්ටුවට එකතු වුණොත් ආණ්ඩුව පෙරළන්න පුළුවන් කියලා කුඩා පක්‍ෂ ගණනාවක් දැන් අපිත් එක්ක එකතු වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

ඔබ ඔහොම කීවට 16 දෙනා දැන් අතරමං වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

16 දෙනා නැතිව මහින්ද මහත්තයා අගමැති කළ හැකියි කියලා කවුරු හරි කියනවා නම් ඒ අය ඔවුන්ගේ වැඩපිළිවෙළ කිව යුතුයි. ඒ 16 දෙනා අතහැර 113 හදන විදිය කියන්න ඕන. එහෙම නැති නම් ඔවුන් වක්‍රව කියන්නේ රනිල් වික්‍රමසිංහ තව මාස 16ක් රට කෑවට කමක් නැහැ කියලයි.

16 දෙනාට විරුද්ධ පොහොට්ටුවේ අය. එතකොට ඔබ පොහොට්ටුවේ අය විවේචනය කරනවද?

විවේචනයක් නෙවෙයි. කවුරුහරි 16 දෙනා නැතිව මහින්ද මහත්තයා අගමැති කරනවා නම් 113 හදන විදිය කියන්න ඕන. එහෙම පෙන්වන්න බැරි නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මාස 16ක් රට කෑමට ඉඩ දෙනවා කියන එකයි ඒ අය කරන්නේ. ඒ නිසා ඒකාබද්ධයේ කිසිම මන්ත්‍රිවරයෙක් එවැනි තැනක නැහැ. මොකද පුංචි ඡන්දයේදී ඒ අයට ප්‍රායෝගික ප්‍රශ්න ආවා ප්‍රාදේශීය දේශපාලකයන් සමඟ. මේ අය සමඟ ගැටුම් පවා ඇති වුණා. ඒ නිසා මේ අය එක්ක කතා කරලා ප්‍රශ්නය විසඳන්න ඕන. මොකද ඒ අයට පෙනෙන්නේ ප්‍රාදේශීය මට්ටමෙන් විතරයි. නමුත් රට ජාතිය ගැන හිතා වැඩ කළොත් ඔය ප්‍රශ්නය නැහැ.

බැරි වෙලා හරි මහින්ද මහත්තයා අගමැති කරන වැඩේ කරගන්න බැරි වුණොත් මාස 18ක් බලන් ඉන්න එපැයි.?

ඒක හරි. නමුත් මහින්ද මහත්තයා අගමැති කරන්න බැරි වුණොත් ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කරනවා. එතකොට අඩුම වශයෙන් රටට හානියක් වන ව්‍යවස්ථාව ගෙන එන්නේ නැහැ. අපේ පළමු ඉලක්කය මහින්ද මහත්තයා අගමැති කිරීම. ඒක බැරි වුණොත් ආණ්ඩුවෙන් වන හානිය අවම කර ගන්නවා. ආණ්ඩුවේ විෂ දළ තමයි පාර්ලිමේන්තුවේ 2/3 බලය. ඒක නිසා ෆෙඩරල් ව්‍යවස්ථාව ගේනවා. රට පාවා දෙන ජාත්‍යන්තර ගිවිසුම් ගහනවා. පාර්ලිමේන්තුවේ 2/3 බලය නැති වුණොත් ආණ්ඩුව කියන නාගයාගේ විෂ දළ කඩා ගැර¾ඩියෙක් බවට පත් කළා වගේ වෙනවා. ඒක කරන්න ලේසියි. අපිට 54යි හිටියේ. 16ත් එක්ක 70යි. තව 5ක් අපට එකතු වුණු ගමන් ආණ්ඩුවේ 2/3 ඉවරයි. ඒ පස්දෙනා අපට එන්නේ මේ 16 දෙනාට අපි සලකන විදිය බලලයි. අපි 16 දෙනාට කොනිත්තුවොත් රිදෙව්වොත් අර පස් දෙනා එන්නෙත් නැහැ. මේ 16න් කොටසක් ආණ්ඩුවට යන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙලා ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් රට කෑලි 9කට කැඩුණොත් ඒ වගකීම භාර ගන්න වෙන්නේ අපටයි.

අද වන විට ආණ්ඩු විරෝධී මත, රට ජාතිය වෙනුවෙන් කතා කරන මත ඉදිරිපත් කරන අයගේ කට වහන්න ආණ්ඩුව කටයුතු කරනවා යැයි ඔබතුමන්ලා චෝදනා කරනවා. ආණ්ඩුව කියන්නේ අද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන නිසා ඕන කෙනකුට ඕන මතයක් කියන්න පුළුවන් කියායි. මේ ගැන මොකද කියන්නේ?

අද ප්‍රජාතන්ත්‍රවාදයක් ඉටු වෙන එක සැකයි. මොකද අද අපි ඉන්නේ නීතිය නමන පොලිස්පතිවරයෙක් සහ නීතිය කොත්තු දමන නීතිපතිවරයෙක් එක්ක. මේ දෙදෙනා සුදුසුකම් අය සිටියදී දේශපාලන හිතවත්කම් මත තනතුරුවලට ආපු දෙන්නෙක්. මේ දෙදෙනා එයාලගේ අයව රැක ගන්න නීතිය නමනවා. මේ නිසා බැඳුම්කර වංචාව, ගල් අඟුරු වංචාව, ටොප් ටෙන් වංචාව කිසිවකට නඩු නැහැ. නමුත් තර්ජනය කළාය, බිය වැද්දුවාය කියා ඥානසාර හාමුදුරුවන්ට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් ලබා දෙනවා. ඥානසාර හාමුදුරුවෝ තර්ජනයක් කළාද කියන එක ප්‍රශ්නයක්. නීතිපතිවරයාගේ අධි චෝදනාවත් මට ප්‍රශ්නයක්. මොකද තර්ජනයක් කිරීමේදී කොන්දේසි දෙකක් ඉටු විය යුතුයි. එක තමයි කළ යුත්තක් හෝ නොකළ යුත්තක් කියන කාරණාව. ඉන් පසු කළ දේ ප්‍රතිඵලයක් ඇතිවිය යුතුයි. නමුත් ඥානසාර හිමියන් කළා යැයි කියන ප්‍රකාශය හරහා තර්ජනයක් ඇති වෙලා නැහැ. එහෙම බලන කොට මේ ආණ්ඩුව තමන්ගේ කුණු වහගන්න ආණ්ඩු විරෝධී මත නිහඬ කිරීමේ උත්සාහයක නිරත වෙනවා.

එ.ජා.ප. ජනාධිපතිවරණයට එක එක අය දැන් සිහින මවනවා. ළඟදී පක්‍ෂයට එක් වූ අය පොදු අපේක්‍ෂකයා වෙන්න හදනවා. මේ හරහා පොහොට්ටුවට යම් බලපෑමක් එල්ල වෙයිද?

ඔය සිහිනයේ ඉන්නේ පාඨලී චම්පික රණවක ඇමැතිතුමා. එතුමාගේ හීනය නිසා පොහොට්ටුවට බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. පාඨලී චම්පික කියන්නේ තමන්ගේ දේශපාලන ඉතිහාසයේ ජයග්‍රහණය කරලා තියෙන්නේ මැතිවරණ දෙකයි. ඒ 2010 පාර්ලිමේන්තු මැතිවරණය සහ 2015 පාර්ලිමේන්තු මැතිවරණය. අනෙකුත් සියලු මැතිවරණවලින් අන්ත පරාජයට පත් වුණා. දෙවනුව එතුමා වෙළෙඳ දැන්වීම්වලට පමණක් රුපියල් මිලියන 140ක් වැය කරලා මනාප ලක්‍ෂයක් ලබා ගත්තේ. එ.ජා.ප. මනාප ලැයිස්තුවේ පස් වැනියා. එහෙම බලද්දී එතුමාට වඩා සුජීව සේනසිංහ, හර්ෂද සිල්වා, රවි කරුණානායක රටේ ජනාධිපති ධුරයට සුදුසුයි. එම නිසා පාඨලී චම්පික රණවක දකින්නේ හීනයක්. මහින්ද මහත්තයා ජනාධිපතිවරණයට ඒමට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමුවැනියා. චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිවරණයට ඒමට පෙර ගම්පහ පළමුවැනියා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉල්ලපු හැම ඡන්දයකම පොළොන්නරුවේ පළමුවැනියා. රටේ පළමුවැනියා වෙන්න ඉස්සර දිස්ත්‍රික්කයේ පළමුවැනියා වීම අනිවාර්ය සුදුසුකමක්. දිස්ත්‍රික්කයේ පස්වැනියා වුණ කෙනෙක් රටේ පළමුවැනියා වෙන්න උත්සාහ කරනවා නම් ඒ පාඨලී චම්පික රණවක මැතිතුමා පමණයි. මම එතුමාට අරාධනා කරනවා. රටේ එක වෙන්න කලින් දිස්ත්‍රික්කයේ එක වෙන්න කියා. එතකන් රටේ ජනතාව එතුමාට රටේ එක වෙන්න ඉඩ දෙන්නේ නැහැ.

රුපියල් මිලියන 140ක් ඡන්දයට වියදම් කිරීම ගැන එතුමාට චෝදනා තිබුණා. ඒවට ගත් ක්‍රියාමාර්ගයක් නෑ නේද?

ඔව්. ඒ වගේම පාඨලී චම්පික ඇමැතිතුමා ගැන තව දෙයක් කිව යුතුයි. එතුමා ජනාධිපතිවරණයට එනවා කීව නිසා මේක කිව යුතුයි. ලබන පාර ඡන්දයට ඉදිරිපත් වෙන්නේ ඇඩලොප් හිට්ලර් සහ පාඨලී යැයි සිතමු. හැබැයි මම ඇඩලොප් හිට්ලර් පෞද්ගලිකව ආශ්‍රය කරලා නැහැ. නමුත් පාඨලී චම්පික පෞද්ගලිකව වසර 15ක් අතිශය පෞද්ගලිකව ආශ්‍රය කළා. ඒක රටම දන්න කාරණයක්. හිට්ලර් සහ චම්පිකයි ඡන්දය ඉල්ලුවොත් එහෙම නැත්නම් පොල්පොට් සහ චම්පික ඡන්දය ඉල්ලුවොත් මගේ ඡන්දය හිට්ලර් සහ පොල්පොට්ට. හේතුව හිට්ලර් සහ පොල්පොට් හොඳ නිසා නොවෙයි. නමුත් චම්පික ඊටත් වඩා නරක නිසා. අඩුම තරමේ හිට්ලර් තමන්ගේ පෙම්වතී ඊවාට, තමන්ගේ බැල්ලියට සහ රටට ආදරේ කළා. නමුත් චම්පික ආදරේ කරන්නේ තමන්ට සහ තමන්ටම පමණයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සෙක් විය යුතුයි. ඔහුට චෝදනා තියෙන්න බැහැ. හැබැයි චම්පික රණවකට බරපතළ චෝදනා තියෙනවා. ඔහු ජනාධිපතිවරණයට තියා දේශපාලනයේවත් ඉන්න සුදුසු අයෙක්ද?

මම දුටුවා මෑතකදී ඔහු ප්‍රකාශ කරනවා ගෝඨාභය රජපක්‍ෂ මැතිතුමාට ඇවන්ගාඩ්, මිග් යානා ගනුදෙනුව සහ ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාරය ගැන නඩු තියෙනවා. ඒ නඩුවලට කිසිවක් වෙන්නේ නැහැ බලපෑම් නිසා කියලා. නමුත් එතුමාට නීතිය ගැන අවබෝධයක් නැහැ. මේ නඩු සියල්ලම නවතා තිබෙන්නේ ඉහළ අධිකරණ නියෝගයකින්. ඉහළ අධිකරණයකින් එම නියෝග දුන්නේ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඉතා පක්‍ෂග්‍රාහීව බී වාර්තා සහ අධි චෝදනා කිරීමට කටයුතු කළ නිසායි. හැබැයි පාඨලී චම්පික රණවකට එරෙහිව නඩු තියෙනවා.

පැමිණිලි තියෙනවා. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළේ පාඨලී චම්පික රණවක ලෙස වාර්තා කළාට ඔහු ‘මව්බිම’ පුවත්පතින් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩුවක් දැම්මා. නඩුව මැදදී මේ අය හිතුවේ ‘මව්බිම’ පුවත්පත සමථයකට එයි කියලා. නමුත් ‘මව්බිම’ පුවත්පත නඩුව සමථයකට පත් නොකර දිගටම අරගෙන ගියා. ඉතා හොඳ සාක්කිකරුවන් දැම්මා. හැබැයි පාඨලී චම්පිකගේ ඉල්ලීමකට ඔහුගේ නීතිඥ එම්.සී. ජයරත්න මහතා නඩුව සමථයකට පත් කර ගන්න කතා කළා. ඒ ‘මව්බිම’ පුවත්පතේ නීතිඥ සුගත් කල්දේරාට. ‘මව්බිම’ ඊට විරුද්ධ වුණා නඩුව දිගටම කරගෙන යන්න ඕන කියලා. එහෙම තිබියදී පාඨලී චම්පික නඩුව ඉවත් කර ගත්තා. නඩුව දාලා තිබ්බේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළේ මා බවට ‘මව්බිම’ පුවත්පතේ පළ වීමෙන් මා මිනීමරුවකු බවට සමාජය තුළ මතයක් ගොඩනැඟීමෙන් මගේ කීර්ති නාමයට හානියක් සිදුවී ඇතැයි කියායි. සිදුවූ හානිය මිලියන 500ට තක්සේරු කොට කීර්ති නාමයට වූ හානියට එම මුදල ඉල්ලුවා.

දැන් නඩුව ඉවත් කරගෙන. දැන් මොකද කියන්නේ. මා එක්නැලිගොඩ අතුරුදන් කළ මිනීමරුවා ලෙස රට සිතුවාට කම් නැත කියායි. එහෙම හිතන්න පුළුවන් කාටද? සැබැවින්ම එක්නැලිගොඩව අතුරුදන් කළ පුද්ගලයාටයි. ඒ අනුව පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ඒ චෝදනාව භාර අරගෙන තියෙනවා. මොකද එක්නැලිගොඩ අතුරුදන් වීමට කියැවුණේ චම්පික රණවක ඇමැතිතුමාගේ නම. මම පෞද්ගලිකව දන්නවා එක්නැලිගොඩගේ ලිපිය කියවලා චම්පික ඇමැතිතුමා කම්පාවට පත් වුණ ආකාරය. ලිව්වේ කවුද කියා සොයා බැලුව ආකාරය. ලිව්වේ ප්‍රගීත් එක්නැලිගොඩ කියා සොයාගත් ආකාරය. ඒ ලිපිය ලියූ තැන සොයාගෙන ඒ හිමිකරුට ‍ෙදාස් පැවැරූ ආකාරය. මේ සියල්ල සිදුවුණේ මගේ ඇස් ඉදිරිපිට. ඊට පස්සේ එක්නැලිගොඩ අතුරුදන් වෙනවා. හැබැයි ඒ ගැන ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කළේ නැහැ. මෙවැනි පිළිගැනීමක් තිබියදීත් පොලිසිය ප්‍රශ්න කරන්නේ නැත්තේ පක්‍ෂග්‍රාහීකම මිස වෙන කිසිවක් නිසා නොවේ.

ගල් අඟුරු වංචාව ගැනත් එතුමාට චෝදනා තිබුණා. ඒ ගැන අද වෙනකම් සොයා බලා නැහැ. ඇයි මෙහෙම වෙන්නේ?

මව්බිම පුවත්පතේ ගිය පුවතකට චම්පික ඇමැතිතුමා තවත් රුපියල් මිලියන 1000ක් ඉල්ලුවා. ඒ ගල් අඟුරු වංචාව සිදුකළේ චම්පික ඇමැතිතුමා යැයි සඳහන් කරමින් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශය පළ කිරීම නිසා.

ඒ නඩුවත් චම්පික ඉවත් කර ගත්තා. නඩුවෙන් කියලා තිබුණේ ගල් අඟුරු වංචාවේ මහා මොළකරු ලෙස තමාව පුවත්පතින් හුවා දැක්වීම තුළ මා හොරෙකුයි යන ප්‍රතිරූපය සමාජයේ ඇති වීමෙන් මාගේ කීර්ති නාමයට හානි වූවා යැයි කියාය. නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් අදහස් වෙන්නේ මොකක්ද? මේ රටේ ජනතාව මා හොරෙකු යැයි සිතුවාට කම් නැත කියායි. මා හොරකු යැයි සිතන්නේ කවුද? ඒ හොරු හැර වෙන කවුරුත් නොවේ. එනිසා මේ නඩු දෙක ඉවත් කර ගැනීම නිසා තමා මිනීමරුවකු මෙන්ම හොරකු බව ඇමැතිතුමාම පිළිගෙන තිබෙනවා.

මේවා ඔප්පු වී නම් ඇයි එතුමාට විරුද්ධව නඩු නොදමන්නේ?

ඒක තමයි ප්‍රශ්නය. මේ කිසිදු චෝදනාවකට නඩු දාලා නැහැ. මීට අමතරව 2015 ජනවාරි 03 ‘සිරස’ සටන වැඩසටහනින් එතුමා කිව්වේ අවි බලයෙන්, මැර බලයෙන් වර්තමාන ආණ්ඩුව පෙරළන්න එක්වන්න යැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිව්වා. ඒ කෙළින්ම රාජ්‍ය කුමන්ත්‍රණයකට ජනතාව පෙලඹවීමක්. ඒ ප්‍රකාශයට අද වන තුරු නඩු නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඡයාරූපයකට කේ.පී.ගේ ඡායාරූපයක් බද්ධ කරලා කූට ලේඛනයක් හදලා ජනමාධ්‍ය හමුවේ පෙන්නුවා. පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් සමාව ගත්තා. නමුත් කූට ලේඛන හැදීමේ වරදට නඩු නැහැ. ඔහු මැදිහත් වෙලා තිස්ස අත්තනායක මහතාටත් මටත් බොරු නඩු පැටලෙව්වා, කූට ලේඛන හැදුවා කියලා. ඇත්තටම කූට ලේඛන හදපු කෙනා ඒක පිළිගෙනත් නඩු නැහැ. ඒ වගේම ඔහුගේ පෞද්ගලික සහකාර සුකි නොහොත් හර්ෂ තිලකසිරිව පැහැර ගෙන ගොස් මානසික රෝහලේ නතර කරලා අසනීපයක් නැතිව සිටියදී බලහත්කාරයෙන් 7 පාරක් විදුලි සැර අල්ලනවා, කිසිම නඩුවක් නැහැ. සංදිප් ප්‍රදීප් 2016 පෙබරවාරි 29 දා අනතුරකට ලක් කරලා ඒ තරුණයාව සදාකාලික අබ්බගාතයෙන් කරනවා, කිසිම නඩුවක් නැහැ. තමන්ගේ ජේ‍යාතිෂ උපදේශක මාරසිංහව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අංගොඩ මානසික රෝහලේ දමා රෝගියෙක් ලෙස ප්‍රතිකාර කරනවා. කිසිම නඩුවක් නැහැ. මේ වගේ චෝදනාවලට ලක් වෙලා ඉන්න කෙනා තමයි අනිත් අයට ඇඟිල්ල දිගු කරන්නේ. මම එතුමාට කියනවා තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පෙනෙන්නේ නැතිව ගෝඨාගේ ඇසේ තියෙන කුණු රොඩ්ඩ දිහා බලන්නේ නැතිව තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය ඉවත් කර ගන්න කියලා.

ඒ වගේම එතුමාට ‘මව්බිම’ පුවත්පතින් නඩු දාලා නැහැ. ඔහු ගොනු කළ නඩුවලට දීර්ඝ වශයෙන් අධිකරණයේදී හරස් ප්‍රශ්නවලට ලක් වෙන නිසායි. ඒ නිසයි නඩු දෙක ඉල්ලා අස්කර ගත්තේ. මේ නිසා ඇමැතිවරයා ගොනුකර තිබූ නඩු දෙකට අදාළව ඊට එරෙහිව ‘මව්බිම’ පුවත්පත ගොනු කළ නඩුවද ඉල්ලා අස්කර ගත්තා. දැන් චම්පික රණවක ඇමැතිවරයා කියන්නේ “මව්බිම” නඩුව ඉල්ලා අස්කර ගත්ත නිසා තමන්ද නඩුව ඉල්ලා අස්කර ගත්තා කියලයි. බොරු කරනවා මදිවාට මාධ්‍ය සංවාදවලට ඇවිත් බොරුත් කියනවා.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress