එදා සිල් රෙදි බෙදපු අය හිරගෙවල්වල කුඩු බෙදන අය අද රජගෙවල්වල
Posted on July 23rd, 2018

උදයන්ති මුණසිංහ,කමල් මහේන්ද්‍ර වීරරත්න, කෑගල්ල – බණ්ඩාර මද්දුමගේ උපුටාගැණීම  මව්බිම

එදා පෙබරවාරි 10 වැනිදා ඔබ සියලු දෙනා එකාවන්ව එකතුවෙලා ‘මහා බල පෙරළිය’ ආරම්භ කළා. අද රනිල්ගේ ‘ගම් පෙරළිය’ කින් ඒක වෙනස් කරන්න හදනවා යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (22දා) දැදිගම පැවැති ජනහමුවකදී කියා සිටියේය.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

මේ පාර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව වැඩි ඡන්ද 13424කින් ජයග්‍රහණය කිරීම ගැන දැදිගම ජනතාවට අපේ ගෞරවය මුලින්ම පුද කරනවා.
අපි දන්නවා දැදිගම ජනතාව කවදත් නියම මාර්ගයේ යන පිරිසක්. එහෙම තැනකින් පටන් ගත්ත මේ රැස්වීම් මාලාව මුලින්ම පවත්වන්නේ ඔබෙන්.

බි්‍රතාන්‍ය පාලකයාගෙන් නිදහස් වූ පසුව පත්වුණු ආණ්ඩු යටතේ පාලනයේත් කිසි වෙනසක් නැහැ. පාලනය සුද්දාගෙන් කළු සුද්දාට ලැබුණා විතරයි. මේ රටේ දහදිය හෙළන කම්කරුවාට, ගොවියාට රටේ තැනක් නැහැ. ඒ වගේම රටේ ආර්ථික මර්මස්ථානය සියල්ල විදේශිකයන් සතුව තියෙන්නේ කියලා තේරුණු නිසා තමයි එදා පංචමහා බලවේගය එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා මේ රටේ සංස්කෘතියට තැන දුන්නා. ඒ විතරක් නෙවෙයි එදා බි්‍රතාන්‍ය කොඩිය පහළට දාලා මේ සිංහ කොඩිය එසෙව්වේ බණ්ඩාරනායක මහත්මයලා කියන එක අපි කියන්න ඕනි.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියා ගන්නා ජනාධිපතිවරයෙක් අර මහින්ද මහත්තයා හදපු හම්බන්තොට වරායේ අපේ රටේ ජාතික කොඩිය පහළට දාලා වෙන රටක ජාතික කොඩියක් උස්සලා. ඒකත් විකුණන්න පටන් ගත්තා. බණ්ඩාරනායක මහත්තයා ජනසතු කරපු ඒ වරාය විදේශිකයන් සතු කළා. ඒ වගේම රටේ සියල්ල විනාශ කළා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කියා ගන්නා පක්ෂය බෝඩ් ලෑල්ලකට රාජකාරි කාර්යාලයකට සීමා වෙන කොට තමයි මේ රටේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ. ඒකට ශක්තිය වුණේ මේ ගමේ ඔබ. ඔබ තමයි ඒ නායකත්වය ගත්තේ.

අද මේ ආණ්ඩුව ඇවිල්ලා කරලා තියෙන්නේ මොනවද? එක පැත්තකින් ජාතික ආරක්ෂාව ඉල්ලලා ඔබේ පෞද්ගලික ආරක්ෂාව දක්වා නැති කරලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාව නෑ අද. ඒ වගේම අද මහපාරේ යන්න බයයි. කොයි වෙලාවේ වෙඩි පාරක් වදීද කියලා කියන්න බැරි තරමට පෞද්ගලික ආරක්ෂාව අහිමි වෙලා තියෙනවා. ඒ වගේම ගමේ සංවර්ධනයේ ඉඳලා රටේ සංවර්ධනයත් නතර වෙලා තියෙනවා. අද ගමේ කිසි දෙයක් කෙරෙන්නේ නැහැ. එදා තිබුණු ගමේ සංවර්ධනය අද නැහැ. ඒ වගේම ජාතික ආර්ථිකය කඩාගෙන වැටිලා විතරක් නෙමෙයි ගෙදර ආර්ථිකයත් කඩාගෙන වැටිලා.

ඒකටත් දැන් බද්දක් ගහලා. අපි දිවි නැඟුමෙන් ගෙදර ආර්ථිකය හැදුවා. අපි ස්වයං රැකියා ඇති කරලා ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් හැදුවා. ඒක අද කඩාගෙන වැටිලා. අද අලුත් අලුත් දේවල් හදනවා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා. ඒවායේ නම් විතරයි වැඩ නැහැ.

රටකට නිදහසක් තියෙන්න ඕනේ. අද බොරුවට එල්ලුම්ගහ අරක මේක කියලා මේ බලන්න කියන ඒවා. දැන් එල්ලුම් ගහ ගැන කතා කරන්න පටන් ගත්තා. මෙතුමාලාගේ එක්කෙනා කිව්වේ කඩුව ගැන. දැන් කඩුව ඇතුළට දැම්මා. ගත්තා එල්ලුම්ගහ.

දැන් පාකිස්තාන් ලණුවෙන්ද එල්ලන්නේ. නැත්නම් අපේ කඹෙන්ද එල්ලන්නේ. දැන් වාදෙ. හැබැයි ඒකට නිදහසක් නෑ අපේ රටේ දැන්. අරෙහෙ යුරෝපා හවුලෙන් කියනවා එල්ලුවොත් ට්ඉර්ථී බදු සහනය දෙන්නැතිලු. අන්න රටේ නිදහස නැතිවෙච්ච එක. ඔන්න ඕවට තමයි මහින්ද මහත්තයා නැඟී සිටියේ. මහින්ද මහත්තයා කිව්වා මේක උඹලගේ කොලනියක් නෙවෙයි. අපි නිදහස අරගෙන දැන් අවුරුදු ගාණක් වෙනවා. උඹලා එන්න එපා කියලා. එදා මිලි බෑන්ඩ්ලා පුෂ් කරන්න හැදුවේ ඒකයි. ඒකයි මේ කියන්නේ. මෙන්න ජාත්‍යන්තරය යාළු කරපු විදිය. මොකක්ද වෙලා තියෙන්නේ. එල්ලුම් ගහ කරන එකත් එහෙන් අහන්නෝනේ. මෙහෙම බෑ තීන්දු ගන්න. රටේ නිදහසට වෙච්ච දෙයක්. ඔබේ නිදහස ගැන මොනවද කතා කරන්නේ. වැඩක් නෑ.

ඒ කාලේ බෙදුවේ සිල් රෙදි – දැන් බෙදන්නේ කුඩු. සිල් රෙදි බෙදපු අය අද හිර ගෙවල්වල. අද කුඩු බෙදන අය ඉන්නේ කොයි ගෙදරද? රජ ගෙදර. මම නෙමෙයි ඒක කියන්නේ ඔබලා. සුනාමියෙන් විනාශ වුණු, යුද්ධයෙන් විනාශ වුණු මේ රටට ඊටත් වැඩිය විනාශයක් මේ ආණ්ඩුව කරලා තියෙනවා.

සමහරු කියනවා විනාශ වුණහම කොහොමද හදන්නේ කියලා. ඒක අපි හදනවා. අපි මේ රට ගන්නකොට අපිට භූමිය අහිමි වෙලා තිබුණේ. මුහුදු තීරය නැතුව තිබුණේ. බස් ටික තිබුණේ ඩිපෝවල කොට උඩ.

අපි ලංගම හැදුවා. බස් ටික දුන්නා. හැම දෙයක්ම කළා. මහින්ද ජනාධිපතිතුමා කියන්නේ කියන දේ කරන, කරන දේ කියන නායකයෙක්. ඒක නිසා මහින්ද ජනාධිපතිතුමා නැවත මේ මවුබිම ගොඩනඟනවා කියන පොරොන්දුව අපි දෙනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress