විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මහා සංඝරත්නයේ එකඟත්වයක් නෑ
Posted on July 23rd, 2018

මහනුවර – ගයා ශ්‍රී කාරියවසම් උපුටාගැණීම  මව්බිම

දැනට රටේ පවතින අවුල් සහගත තත්ත්වය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව මහා සංඝරත්නයේ එකඟත්වයක් නැතැයි අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමි අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ පැවැසූහ.

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පෙරේදා (21දා) අස්ගිරි අනුනාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගෙන රටේ වත්මන් තත්ත්වය පිළිබඳව උන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් අතරතුර අනු නාහිමියෝ මෙසේද සඳහන් කළහ.

අද රටේ වර්තමාන තත්ත්වය දෙස බලන විට පවතින අවුල් සහගත බවත් රාජ්‍ය මට්ටමේ ක්‍රියාකාරීත්වයේ අවුල් සහගත තත්ත්වයත් නිසා රටේ ආර්ථිකය බිඳවැටී තිබෙනවා. ඒ තුළින් ජීවන වියදම ඉහළ යෑම වැනි විශාල ගැටලු පැන නැඟී තිබෙන අතර ආගමික හා සංස්කෘතික වශයෙන්ද රටේ ගැටලු පවතිනවා. එම නිසා එවැනි තත්ත්වයක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව මහා සංඝරත්නයට එකඟ වීමට හැකියාවක් නැහැ.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට සුදුසු වාතාවරණයක් පළමුව රට තුළ ගොඩනැඟිය යුතුයි. එවන් වාතාවරණයක් රටේ ගොඩනැඟී ඇති විටෙක විධායක ජනාධිපති ක්‍රමය මේ රටට අවශ්‍ය නැහැ කියන තැනට පැමිණිය හැකියි. මේ රටේ පරිසරය සාමකාමීව ගොඩනැඟුණු විට රට තුළ ගැටුම් අවම වූ විට මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද නැද්ද කියන එක අප භාර කළ යුත්තේ අනාගතයටයි. නමුත් වර්තමානය දෙස බලන විට පවතින ක්‍රමය සහ රටේ ඇති ගැටලුත් සමඟ විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍යයි කියන එකයි මහා සංඝරත්නය ලෙස අපේ අදහස වන්නේ.

පසුගියදා සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන විට රටේ මහා සංඝරත්නය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා මේ අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැහැ කියලා. රටේ පවතින තත්ත්වය අනුව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ කියලා අප ප්‍රසිද්ධියේම සඳහන් කළා. නමුත් ඒ කියන දේවල් කිසිවක් පිළිගන්නේ නැතිව කටයුතු කරනවා නම් එය මහා ගැටලු සහගත තත්ත්වයක් බවද අනු නාහිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress