ජාවාරම්කාරයන් බන්ධනාගාරයේ සිට වැරදි කරනවා නම් වරද ආණ්ඩුවේ
Posted on July 24th, 2018

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය උපුටාගැණීම  මව්බිම

වත්මන් ආණ්ඩුවට එරෙහි පිරිස් එකතු කරගැනීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ තුළින් මෙම ආණ්ඩුව පෙරළා දැමිය හැකි බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

නානායක්කාර මහතා මෙසේ ප්‍රකාශ කෙළේ ඊයේ (23දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුව අස්සන් කරපු සිංගප්පූරු ගිවිසුම පිළිබඳව වෘත්තීයවේදී සංවිධාන 40ක් පමණ එකතු වී එහි දුර්වලකම් හා ඉන් ශ්‍රී ලංකාවට සිදුවන අවාසිදායක තත්ත්වයන් පිළිබඳව පෙන්වා දී තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ පිළිබඳව තැකුවේ නැහැ. නමුත් මලික් සමරවික්‍රම ඇමැතිතුමා කියා තිබෙනවා අපි මොකටද බය වෙන්නේ ලෝකයේ නිෂ්පාදනත් සමඟ තරග කරන්න කියලා. ඔය ප්‍රකාශය ජපානය කරනවාද? ඇමෙරිකාව කරනවාද? ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ ආරක්ෂා වෙන විදියටයි ඔවුන් කටයුතු කරන්නේ. හැම රටක්ම තමන්ගේ ආර්ථික ආරක්ෂාව රැක ගන්නවා. නමුත් විදේශ ආයෝජනත් අපිට අවශ්‍යයි. අපේ සම්පත්වලට අනුකූලවයි අප ඒවා කැඳවා ගත යුත්තේ. මේ ගිවිසුම විශාල පාවාදීමක්.

එල්ලුම් ගහට කෙනෙක්ව නියම වුණාට පසුව ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ නෛතික ක්‍රියාදාමයේ අවසානයට තමයි ජනාධිපතිවරයාගේ කාර්යය තිබෙන්නේ. ජනාධිපතිවරයාට හිතුණ හිතුණ විදියට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නට බැහැ. මත්ද්‍රව්‍ය ජාවාරමට සිරගත වුණ අය තවමත් බන්ධනාගාරය තුළ ඉඳගෙන එම මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදු කරනවා. කවුද වැරැදිකාරයන්. ඒ අය බන්ධනාගාරයේ ඉඳගෙන මේ දේවල් කරනවා නම් කවුද වැරැදිකාරයෝ. එවැනි බන්ධනාගාර දෙපාර්තමේන්තුවක් පිළිබඳව ආණ්ඩුව පළමුවෙන් වරද භාරගත යුතුයි. වරදක මුල අල්ලගන්නවා වෙනුවට වරදක අග අල්ලගෙන එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා නම් එය තර්කානුකූලවත් වැරැදියි.

ජනතාව මත පටවලා තිබෙන බදු බරේ ප්‍රමාණය පිළිබඳව හැමෝම කතා වෙනවා. බදු වර්ග 7ක් විතර තිබෙනවා. අපට වැඩියෙන්ම බලපාන්නේ වැට් බද්දයි. මුළු බදු ප්‍රමාණයෙන් ආහාරවලට පමණක් 73%ක් පමණ බදු අයකරනවා.

පර්යේෂණයකින් එය ඔප්පු වී තිබෙනවා.

මෙවැනි ජනතාවට අහිතකර දේවල්වලට ඒකාබද්ධ විපක්ෂය තදින්ම විරුද්ධයි. ඒ වෙනුවෙන් අපි කොළඹදී උද්ඝෝෂණයක් පවත්වනවා. ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවලිය නිසා මේ රටේ පීඩාවට පත්වී සිටින පවුල්වලින් එක් අයකු හෝ මේ උද්ඝෝෂණයට සහභාගි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳව කතා නොකරන්න අපි එකඟ වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress