ආණ්ඩුව විසින්ම පොහොට්ටුව පැත්තට ජනතා බලවේගය හරවලා
Posted on July 29th, 2018

ප්‍රගීත් සම්පත් කරුණාතිලක උපුටාගැණීම  මව්බිම

ජනාධිපතිවරණයට ඇත්තේ වසරකුත් මාස හතරක කාලයක්. මේ කාල සීමාව තුළදී අනෙක් පක්‍ෂ ඉදිරිපත් කරන තම අපේක්‍ෂකයා ගැන සඳහන් කරමින් සටනට ලැහැස්තියි.

නමුත් ඒකාබද්ධය දවසින් දවස එක එක අපේක්‍ෂකයන් ගැන කියමින් ජනතාවත් නොමඟ යවන්න හදනවා. ඒ ඇයි?

අපි රටේ ජනතාව නොමඟ යවන්නේ නැහැ. අද රටේ තියෙන තත්ත්වයත් එක්ක රටේ ජනතාව පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒ විකල්පය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කවුද කියා ඉදිරිපත් වේවි. ඒ අනුව අපේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා ඉදිරියේදී දැනගත හැකියි.

අපේක්‍ෂයා කවුද කියා තවම තීරණය කරන්න ඔබලාට බැහැ. මහින්ද මහත්තයා කියනකම් ඉන්නවා කිය කියා ෂේප් වෙලා යන්න හදන්නේ ඇයි?

අපි ප්‍රශ්නයෙන් ෂේප් වෙලා යන්නේ නැහැ. කවුද ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා කියනවාට වඩා අපට සැකයක් තියෙනවා. මොකද ආණ්ඩුව කලින්ම ජනාධිපති සටනට ඇවිත් ජනාධිපතිවරණය නොපවත්වා ඉන්න කුමන්ත්‍රණය කරයි කියා. ජනාධිපති අපේක්‍ෂකයෙක් හොයනවාට වඩා මේ ගැන හොයලා ඒකට විසඳුමක් හොයන්නයි වෙලා තියෙන්නේ.

කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර වැනි මන්ත්‍රිවරු පක්‍ෂය ඇතුළේ විවිධ මත දරනවා. ඉන් පෙනෙන්නේ ඒකාබද්ධය ඇතුළෙත් කචල් කියලනේ?

ඒකාබද්ධය ඇතුළේ කචල් නැහැ. නමුත් ඒකාබද්ධය ඇතුළේ විවිධ මතවාද තියෙන පක්‍ෂ කණ්ඩායම් ඉන්නවා. මේ මොන මත තිබුණත් අන්තිමට සියලු දෙනාම එක මතයකට එනවා.

පසුගියදා හිටපු ජනාධිපතිවරයාගේ නිවෙසේදී සාකච්ඡාවක් පැවැත්තුවේ ඊළඟ ජනපති අපේක්‍ෂකයා කවුද කියා තෝරගන්න නේද?

නැහැ. එතැනදී අපේක්‍ෂකයා ගැන සාකච්ඡා කළේ නැහැ. මොකද එතැනදී කතා කළේ අගෝස්තු මස 17 වැනිදා පවත්වන්නට නියමිතව තිබූ ආණ්ඩු විරෝධී ජනතා බලවේග පෙළපාළිය අ.පො.ස. උ.පෙළ විභාගය නිසා සැප්තැම්බර් මස දක්වා කල් දැමීමටත් සිදුවුණා. විරෝධය පවත්වන්න දින නියම කර ගන්න විතරයි. ජනතාව ඊට සහභාගි වෙන්න පෙළගැසී ඉන්නවා. නමුත් විභාගය නිසා වැඩේ කල් දාන්න සිදුවුණා.

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයත් එක්ක ඒකාබද්ධය අධි තක්සේරුවකට ගියා. නමුත් අද වනවිට ඒකාබද්ධයේ බලය හීන වෙන බවක් තමයි ආණ්ඩුව කියන්නේ?

අපේ බලය හීන වෙලා නැහැ. ජනතාව පෙබරවාරි 10 දුන් ජයග්‍රහණය තවත් ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ ජයග්‍රහණයට වඩා මිලියන දෙකක විතර ජනතාව අපි වටා එකතු වුණා. මොකද අද රටේ සංවර්ධනයක් කියා පෙන්නලා මේ ආණ්ඩුව කරන්නේ ජනතාවගෙන් බදු ගන්න එක විතරයි. රටට සල්ලි එන ක්‍රමවේදයක් නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. ගමට ගිහින් අගමැතිවරයාම කියනවා අද ගමේ ජනතාවට සල්ලි නැහැ කියලා. ඉතින් රටේ අගමැති රටේ ආර්ථිකය ගැන එහෙම කියනකොට ආර්ථිකය ගැන තවත් මොන කතාද? එහෙම තමන් විසින්ම තමන් කරපු පාපකර්මය නිසා රටට වුණු දේ ස්වයං විවේචනයක් කරනවා නම් ඒ වාගේ රජයක් එක්ක ජනතාව පෙළගැසෙන්නේ නැහැ. ඒ වගේම රටේ ආරක්‍ෂාව සංස්කෘතිය සභ්‍යත්වය මේ සියල්ලම අද විනාශ වෙලා. ඒ නිසාම ආණ්ඩුව විසින්ම පොහොට්ටුව පැත්තට ජනතා බලවේගය හරවලා.

මම මුලින් කිව්වා වගේ ඔබ ඉන්නේ පොහොට්ටුව ගැන අධි තක්සේරුවකින්. නමුත් පළාත් පාලන ඡන්දය වගේ නෙවෙයි ජාතික මැතිවරණ. ජාතික මැතිවරණයකදී මේ අධි තක්සේරුව වෙනස් වෙනවා. ඔබ කියන කාරණා ඒ විදියටම ඉෂ්ට වෙන්නේ නැහැ?

රටකට ආණ්ඩුවක් ඕන. රටක ආණ්ඩුවක් පවතින්න ඕන ජනතාව වෙනුවෙන්. රටක ආණ්ඩුවකින් රට වෙනුවෙන් සේවයක් කරන්නේ නැත්නම්, තමන් පත් කළ ආණ්ඩුව තමන්ට දුන් පොරොන්දු ඉටු කරන්නේ නැත්නම් ඒ වටා ජනතාව රැඳෙන්නේ නැහැ. මේ ආණ්ඩුව රට භාර ගත්තේ රටේ ජනතාවට බොරු කියලා. අද වනවිට රටට වුණු දෙයක් නැහැ. දින 100 අලුත් රටක් ගෙනාවා ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ මාස 60න් අලුත් රටක්. ආයි ගෙනාවා ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණු වෙන රට කියලා. මේ වාගේ සංකල්ප ගෙනාවෙ මේ කිසිදු සංවර්ධන සැලැස්මක් නැතිවයි. වචනවලට පමණයි සීමා වුණේ. මේ තත්ත්වය තුළ දවසින් දවස රට ආපස්සට යනවා. බැංකුවේ සල්ලි දැම්මොත් පොලී ගහනවා. විශ්‍රාම වැටුපට බදු ගහනවා. ඊට පස්සේ භාණ්ඩ හා සේවා මත බදු ගහනවා. අපේ ආණ්ඩුව කාලයේ ප්‍රාඩෝ රථයෙන් යන්න සිහින මැව් කෙනාට අද වැගන් ආර් එකෙන් සෑහීමකට පත් වෙන්න සිදුවෙලා. අපේ කාලයේ මෝටර් සයිකලයක් ගැන සිහින මැව් කෙනාට අද පාපැදියත් නැති කරලා. මේ විදියට රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. අනෙක් පැත්තෙන් පාතාලය වේගයෙන් බිහි වෙනවා. ඒ නිසා රටේ ජනතාව අද බියෙන් ඉන්නේ. පොළොන්නරුවේ ගමක් ගමක් ගාණේ මත්කුඩු. මේ ආණ්ඩුව යටතේ ව්‍යාපාරයක් විදියට පෝෂණය වුණේ තරුණ පරපුර විනාශ කරන මත්කුඩු විතරයි. මේ තත්ත්වය තුළ අපට පැහැදිලි වෙනවා ජනතාව බලන් ඉන්නේ මැතිවරණයක් එනකම් කියලා.

යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම මත ජනතාව ආණ්ඩුවෙන් අෑත් වුණා මිස මහින්ද රාජපක්‍ෂ සාධකය වටා ජනතාව එකතු වුණේ නැහැ. ඒකයි ඇත්ත?

මහින්ද මහත්තයා නිසා ඡන්දය දෙන්නේ ඇයි? ජනතාවට විකල්පයක් නැහැ. ජනතා ප්‍රශ්න ගැන කතා කරන්න කෙනෙක් නැති නිසා. බලයට එන්න පෙර මේ ආණ්ඩුව කොපමණ මඩ ගැහුවද? මහින්ද මහත්තයාගේ පවුල සැප වින්දා මහින්ද මහත්තයා ඩොලර් බිලියන 18ක් පෞද්ගලික ගිණුමක දාලා තියෙන්නේ කිව්වා. මහින්ද මහත්තයාව විවේචනය නොකළ අයෙක් නැහැ. එහෙම කරලා තමයි මැතිවරණයකට ගියේ. ඒ යනකොට ජනතාව තේරුම් ගත්තා මුන් කළේ බොරුවක් කියලා. මහින්ද මහත්තයා ඉන්නකොට අපට කොයි තරම් දේවල් ලැබුණද කියලා. ගෙයක් හදාගන්න, පාපැදියක්වත් නැතිව හිටපු අය යාන වාහන ගත්තා. ව්‍යාපාර ගොඩනඟා ගත්තා. නමුත් යහපාලනය ඇවිත් අපිව විනාශ කළා කියා ජනතාව හිතුවා.

ඒක තමයි අපි කිව්ව කාරණාව ඔබ පිළිගන්නවා?

මහින්ද මහත්තයා වටා මේ රටේ ලක්‍ෂ 52ක ඡන්ද බලයක් තියෙනවා. ඒකට තමයි තව මිලියන දෙකක් එකතු වුණේ. එහෙම ඒ අයත් එන්න හේතුව තමයි මේ ආණ්ඩුව ජනතාව රවට්ටපු එක. මොකද මේ ආණ්ඩුව දිගටම කළේ බොරුව. ඒ බොරුව එයාලගේ කටින්ම එළි වෙනවා ඒකයි ඇත්ත.

කුඩු පාතාල ක්‍රියාකාරකම් වැඩියි කියලා ඒකාබද්ධය මේ ආණ්ඩුවට චෝදනා කළාට පොලිස් වාර්තා අනුව ඒ කාලයට වඩා මේ කාලයේ සිදුවී ඇති අපරාධ අඩුයි. තමන්ගේ ඇසේ රොඩ්ඩ දකින්නේ නැතිව අනුන්ගේ පොල්පරාල හොයන්නේ ඇයි? ජනාධිපතිතුමත් මේ සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධ කළා. නමුත් ඒකාබද්ධය වෙන කතා කියනවා?

මේ සංඛ්‍යා ලේඛන එක්ක සංසන්දනය කරලා පාතාලය අඩුයි කියන්න බැහැ. 2008 කියන්නේ මේ රටේ යුද්ධය පැවැති සමය. ත්‍රස්තවාදය පැවැති කාලයේ සංඛ්‍යා ලේඛන අරගෙන ඒවා සංසන්දනය කරමින් එදා පාතාල ක්‍රියාකාරකම් වැඩියි කියනවා. 2008 වකවානුවේ උතුරේදී කී දෙනෙක් මරලා දැම්මද? 2007, 2008 වකවානුවත් එක්ක මේ සංසන්දනය කරලා අද පාතාල ක්‍රියාකාරකම් වැඩියි කියන එක වැරැදියි. මොකද මේ ආණ්ඩුවේ මනස විකෘති වෙලා. යුද මානසිකත්වයක් තිබුණු රටක ඉන් පසු කාලය තුළත් බැලුවම මේ විදියට පාතාල ක්‍රියාකාරකම් සිදු වුණේ නැහැ. යුද මානසිකත්වය සහ අවි ආයුධ තිබුණු තැනක දිගින් දිගට පාතාල ක්‍රියාකාරකම් ක්‍රමයෙන් අඩු වෙනවා. සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා වෙන කතා කිව්වත් ජනතාව රැවටෙන්නේ නැහැ. මේ අය බලන්න ඕන 2015 අපරාධ 2016දී අඩු වෙලාද, 2017දී කොහොමද කියන එකයි. 2018 වසරේ මැයි වෙනකොට පාතාල ක්‍රියාකාරකම් නිසා 30ක් මැරුණා. මේවායින් පෙනෙන්නේ රටේ ආරක්‍ෂාව නැහැ කියන එකයි. අද රටේ අපරාධ වැඩියි. ළමා අපචාර වැඩියි. කුඩු ව්‍යාප්තිය වැඩියි. මේවා වැඩි වෙන තත්ත්වයක් තමයි පෙනෙන්න තියෙන්නේ. මේවා අඩු වෙන්නයි ඕන.

20 වැනි සංශෝධනය ගැන මොකක්ද අදහස? හැමෝම බලයට ආවේ විධායක බලය නැති කරනවා කියා. නමුත් විධායක ජනපති බලය අඩු කරන්න යෝජනා ගේන විට ඊට සහාය දක්වන්නේ නැහැ. මොකද ඒකේ රහ වැඩි වෙන කොට දාලා යන්න හිතන්නේ නැති නිසාද මෙහෙම වෙන්නේ?

මෙතැනදී මම ඉන්නේ විධායක ජනාධිපති බලය රටට අවශ්‍යයි කියන තැන. දේශපාලනයට එන්න ඉස්සර, ආවට පස්සෙත් අදත් මම ඉන්නේ ඒ මතයේ. මොකද සර්ව ආගමික ජනතාවක් ඉන්න රටක්. අපේ රට ශ්‍රී ලංකාව විදියට සංහිඳියාව ඇති කරලා සිංහල විදියට හිතන පරපුරක් ඇති කරන්න නම් එහෙම නායකත්වයක් රටට අවශ්‍ය නම් මහ ජාතිය නියෝජනය කරන නායකයෙක් රටට අවශ්‍යයි. ඒ නායකයා විධායක බලතල යටතේ කටයුතු කරන්නට ඕන. නැත්නම් අර්බුද ගොඩක් බලපානවා. අද රට අරාජික වෙලානේ. අද රටට ප්‍රතිපත්තියක් නෑනේ. ශ්‍රී ලන්කන් මත්තල වගේ අපේ දේවල් විකුණන්න ඕන නෑනේ. උෟරාගේ මාළු උෟරාගේ පිටේ තියාගෙන කපනවා වගේ අද ශ්‍රී ලනිපයේ එදා ඇමැතිවරු අද මේ ආණ්ඩුවේ ඇමැති තනතුරු අරගෙන මහින්ද මහත්තයා හදපුවා විකුණනවා.

ඒ නිසා රට ගැන හිතන්නේ නැතිව මේ අය තීන්දු තීරණ ගන්නවා. අද පාර්ලිමේන්තුවේ කොටසක් අධිරාජ්‍යවාදීන් සහ කුමන්ත්‍රණකාරයන්ගේ මුදල්වලට යට වෙලා ලංකාවේ විනාශය වෙනුවෙන් කටයුතු කරනවා. අවාසනාවකට මේ අය පාර්ලිමේන්තුව තුළ ඉඳන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණයකට යන්න හදනවා. මේ වෙනුවෙන් අපට තියෙන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පිහිට පමණයි. මේ රටේ ව්‍යවස්ථා සංශෝධන පනත් ආවා. අධිකරණයට ගියා. අධිකරණය කිව්වේ ඡන්දයක් තියන්න ඕන නැත්නම් එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කියා. ඉන්පසු මේ ගැන ඡන්ද විමසීමේදී මැතිවරණ සංශෝධනයකට ගියා. අධිකරණ තීන්දුවට එරෙහිව ඡන්ද ක්‍රමයම වෙනස් කරලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විනාශ කළා. 20 වැනි සංශෝධනයත් අධිකරණයට ඉදිරිපත් කළාම අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න වෙයි. එම තීන්දුව කුමන්ත්‍රණකාරී ලෙස මේ අය වෙනස් කරන්න උත්සාහ කරාවි.

එහෙම කරන්න බෑනේ. ඔබ වෙන මතයක් ගොඩනඟන්න උත්සාහ කරනවාද?

මේ අය මැතිවරණ නොපවත්වා පාර්ලිමේන්තු බලය විකෘති කොට මේ පනත් සම්මත කරගන්න උත්සාහ කරයි. ඒ නිසා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශේ‍ර්ෂ්ඨාධිකරණය හොඳ තීන්දුවක් දෙයි. ඒක මේ ආණ්ඩුවට වෙනස් කරන්න බැරි වෙයි කියා අප විශ්වාස කරනවා. එහෙම නොවුණොත් මේ අය ලොකු කුමන්ත්‍රණ කරන්න බලාගෙන ඉන්නවා. අද අපේ ජනාධිපති අපේක්‍ෂකයා කියන දේට වඩා වටින්නේ මේ කාරණා ගැන අවබෝධයෙන් විමසිලිමත්ව සිටීමයි. නැත්නම් 20 කියන්නේ රට විනාශ කරන කුමන්ත්‍රණය රටම විනාශ කරනවා.

අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවාද?

නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ වෙනකොට නැහැ.

ඔබලාගේ පාලන සමයේ මත්තල බලන්න ගිය අයට එදා ගැහුවා. සෙල්ලම් පිස්තෝල පෙන්නලා බය කළා. වෙඩි තිබ්බා. පසුගිය දිනෙක ඔබතුමන්ලාගේ අයත් මත්තලට ගියා විරෝධය පෑවා ආවා. කිසිම කරදරයක් කළේ නැහැ එහෙනම් එදාට වඩා අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියනවා නේද?

පක්‍ෂයකට මිනිස්සු ගන්නකොට අපට කාලා බලලා ගන්න බැහැ. එදා සෙල්ලම් පිස්තෝලවලට සම්බන්ධ වූ අය අද ඉන්නේ ජනාධිපතිතුමා ළඟ. ඔහු ශ්‍රී ලනිපයෙන් ඡන්දය ඉල්ලලා අද කටයුතු කරනවා. එදා ඒ පුද්ගලයා කළ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. එදා එක් එක් පුද්ගලයකු කළ ක්‍රියාවයි තව අයයි කළ ක්‍රියාදාමය හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද නැද්ද කියලා බලන්න බැහැ. එදා සෙල්ලම් පිස්තෝලයක් හරි අරගෙන කළ වැඩේ වැරැදියි. ඒ නිසා එදා පැවැති ආණ්ඩුවටම චෝදනා එල්ල වුණා.

අද මේ දේ වැරැදියි කියන ඔබ එදා ඔය සිදුවීම ගැන වචනයක් කතා කළේ නැහැ. හැමදේම තේරෙන්න බලය නැති වෙන්න ඕන නේද?

මම එදත් විරුද්ධ වුණා. එදත් කිව්වා. අදත් කිව්වා. ගුරුවරයෙක් දණ ගැස්සුවා නම් ඒක වැරැදියි. සමෘද්ධි නිලධාරියකු ගස් බැන්දා නම් ඒක වැරැදියි. ඒක මම කියනවා. මේ සිදුවීම් එක්ක ගත්තාම අද වනවිට රටේ ජනතාවගේ ඡන්ද බලය උදුරාගෙන ඉවරයි. ඒක උදුරාගෙන මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කළා. අවුරුදු තුනක් පළාත් පාලන ඡන්ද තිබ්බේ නැහැ. ඒ නිසා රටේ කුණු ගොඩ ගැහුණා. කුණු නිසා ලෙඩ රෝග හැදුණා. කුණු කඳු කඩා වැටිලා මිනිස් ජීවිත විනාශ වුණා. ඩෙංගු බෝවීම වැඩි වුණා. මේවා වුණේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමේ වැරැද්ද නිසයි.

අද පළාත් සභා අක්‍රියයි. උතුරේ නායකයෝ පළාත් සභා විසුරුවත් නැතත් පළාත් සභා තිබ්බත් නැතත් එයාලට ඕන එයාලගේ අයිතිවාසිකම් දිනා ගන්න විතරයි. මම පෞද්ගලිකවම පළාත් සභා ක්‍රමයට එකඟ නැහැ. උතුරේ අය නිදහස ඉල්ලලා පළාත් සභා ක්‍රමයට යන්න ඕන කිව්වා නම් එයාලටත් දැනෙන්න ඕන පළාත් සභා ඡන්ද කල් දැමීම වැරැදියි කියා. නමුත් ඒ අයගේ එහෙම කතාවක් නැහැ. එදා බටහිර අධිරාජ්‍යවාදීන් මහින්ද මහත්තයට කොයි තරම් බලපෑම් කළාද උතුරේ ඡන්දය තියන්න. අපි උතුර සංවර්ධනය කරලා වෙලාවට ඡන්දය තිබ්බා. නමුත් කිසිම ගැටලුවක් නැතිව ආණ්ඩුවට අද උතුරේ ඡන්දය තියා ගන්න බැරි වෙලා. මේවා ගැන අද බටහිර රටවල් කතා කරන්නේ නැහැ. එදා අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා වෙලාවට ඡන්දය තිබ්බා. නමුත් අද මේ ආණ්ඩුව ඡන්දය නොතියා ඒකාධිපති ගමනක යනවා.

සුදුසු නැති අය දේශපාලනයට ගෙන ඒම නිසා ප්‍රශ්න මතු වෙනවා නම් පසුගියදා ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයාගේ හැසිරීම ගැනත් කලකිරෙන්නේ නැද්ද? නවක මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්න විනයක් නැත්තේ ඇයි?

ඉස්සර වෙලාම විනය නැති වීමට දඬුවමක් දෙන්න ඕන. ඒක අපි පිළිගන්නවා. නමුත් එතුමා සෙංකෝලය ගෙනියන්න ප්‍රධාන වුණු කාරණාව මොකක්ද? විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය ස්වදේශ කටයුතු සහ විදේශ කටයුතු ඇමැතිවරු දෙදෙනා ළඟ තියාගෙන රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රටේ ත්‍රස්තවාදය නැවත ප්‍රවර්ධනය කිරීමේ සහ ත්‍රස්තවාදයට දිරි දීමේ ප්‍රබල දේශනයක් දෙනවා. මේ විදියේ දේශනයක් දීලා සුළු මොහොතක්වත් ඇයට ඉන්න දෙන්න බැහැ. ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළ යුතුයි. එතුමිය අත්අඩංගුවට ගත්තා නම් එදා ගැටලුව ඇති වෙන්නේ නැහැ. රටේ ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් ගරු නොකරන කාටවත් දේශපාලනයේ ඉන්න බැහැ. ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කළ අයට විරුද්ධව හඬ නඟපු අපේ මන්ත්‍රිවරයාට එරෙහිව ප්‍රශ්න කරනවා. මේවාට හරි නීතියක් කරන්නේ නැතිව ඒකට විරුද්ධ වෙන අයටයි අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ ප්‍රකාශය නිසා විජයකලාගේ මන්ත්‍රි ධුරය අහෝසි කරන්න ඕන. එතුමියගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න ඕන. ඒක නොකරන තාක් එතුමිය දෙවැනි වරටත් ඔය වගේ දෙයක් කියයි. පස්සේ හැමෝම කියයි විජයකලාගේ කතාව හරි කියලා. මේ ගැන පාර්ලිමේන්තුව පැත්තෙන් හෝ රටේ ව්‍යවස්ථාවෙන් හෝ රටේ නීතිය අනුව කටයුතු කරන්න පොලිසිය මැදිහත් වෙන්නේ නැහැ. අද රටේ තියෙන්නේ කැලෑ නීතියක්.

මේ සම්බන්ධව ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා?

ඔව් ඒක සිරිකොතේ පොලිසියට ඕන විදියට.

හිටපු ජනාධිපතිවරයාට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතින් එල්ල වූ චෝදනාව ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බා. හිටපු ජනාධිපතිවරයා විවාදයට එන්නේ නැතිව පැනලා ගියා කියා බරපතළ චෝදනාවක් එල්ල වෙනවා. ප්‍රශ්නයකට බයේ එහෙම පැනලා යන එක හරිද?

ඒ කතාව බොරුවක්. තම බලය රැක ගන්න කාලය කා දමන්න ආණ්ඩුව එක එක යෝජනා විවාද පාර්ලිමේන්තුවට ගෙන එනවා. මේ ආණ්ඩුව රටට වැදගත් කිසි දෙයක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ නැහැ. පළාත් පාලන ඡන්ද ක්‍රමය ගෙන ආවා රටට ඔරොත්තු දෙන්නේ නැති මන්ත්‍රි පිරිසක් වැඩි වුණා. හම්බන්තොට වරාය විකුණන එක ගෙනාවා. මේ වාගේ රටට හානිකර රටේ ආර්ථිකය විනාශ කරන දේවල් ගෙන ආවේ. ඒ විතරක් නෙවෙයි රටේ ජනතාවට වැඩක් නැති රාජපක්‍ෂවරුන්ට මඩ ගහන්න විතරයි මේ ආණ්ඩුව දන්නේ. ඊට පස්සේ පත්තරේ හරහා මඩ ගහන්න චීන සමාගමකත් චීන රජයත් සම්බන්ධ කරලා. එම සමාගම සහ චීන රජය ප්‍රකාශ කරලා තියෙනවා රාජපක්‍ෂ මහතාට එවැනි මුදලක් දුන්නේ නැහැ කියා. එසේම මහින්ද රාජපක්‍ෂ මහතා මුළු රටටම ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.

හිටපු ජනපතිට මෙහෙම චෝදනා එල්ල වෙද්දි පාර්ලිමේන්තුවේ ඒ ගැන විවාදයක් තිබියදී එය මඟ හැර ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම පමණක් හරිද?

එතුමා ප්‍රවෘත්ති නිවේදනය හරහා ඇත්ත රට හමුවේ කිව්වා. මන්ත්‍රිවරයෙක් දාලා පාර්ලිමේන්තුවේදී හෝද හෝද මඩේ දානවා වගේ පුවත්පතේ පුවත යොදාගෙන මඩ ගැහුවාට. මේ මඩ ගැහීම හරි යන්නේ නැහැ. මේ ආණ්ඩුව විවාදයක් තියලා මේ මඩ ගැහිල්ල හැඳින්නුවාට අන්තිමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කල් තැබීමේ යෝජනාවට නැහැ. අන්තිමට පාර්ලිමේන්තුවේ ගණ පූරණයක් නැහැ. එ.ජා.ප. මන්ත්‍රිවරුන්ම තේරුම් ගත්තා මේක මඩ ප්‍රචාරයක් කියලා. ගණ පූරණයක් නැති පාර්ලිමේන්තුවකට මහින්ද මහත්තයාට ඇවිත් විවාද කරන්න අවශ්‍ය නැහැ.

එතුමා විවාදයට එන්න රටේ හිටියේ නෑනේ? හරි විවාදයක් තිබුණා නම් එතුමා එයි. මඩ ගහන විවාදයකට ඇවිත් එතුමා මුහුණ දෙන්න ඕන නැහැ. එතුමා රටේ ජනතාවට ඇත්ත කිව්වා. එතුමාගේ අස්සනින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා. ඊට වඩා වෙන මොනවද?

එතුමා ඇවිත් එදා හිටපු මෝඩයන්ට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. මේ හරහා මඩ ගහන්න හැදුවේ. ඒ නිසා ඒ වගේ ද්‍රෝහීන්ට උත්තර දීලා වැඩකුත් නැහැ.

16 දෙනාට මොකද කරන්නේ. ඒ අය ආවට හරියට පිළිඅරගෙන නැහැ නේද? දැන් 16න් කොටසක් ආණ්ඩුවට ගොස් කැබිනට් ඇමැතිකම් ගන්නත් බලාගෙන ඉන්නවා කියලයි ආරංචිය?

අපි 16 දෙනා අතහැරලා නැහැ. අපි කියන්නේ මේ 16 විතරක් නෙවෙයි ශ්‍රී ල.නි.ප.යේ අනෙක් අයටත් එකතු වෙන්න කියලයි.

එතකොට ශ්‍රී ල.නි.ප.ය විදියටද පෙනී හිටින්නේ?

අපි ඒකාබද්ධය විදියටයි යන්නේ. ඒකාබද්ධය විදියට කටයුතු කරන ගමන් ජනතාවගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකාබද්ධ විපක්‍ෂය බිහි වුණේ ජනතා ඡන්දයෙන්. මේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළ ගැහෙන විට ඒ අය පොහොට්ටුව වටා ඒකරාශී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එකතු වුණා. අද කවුරු මොන මතයක හිටියත් ඒ අයට අන්තිමට එන්න වෙන්නේ එතැනට. ඔය හැම කෙනාටම පිහිට වෙන්න තියෙන්නේ පොදුජන පෙරමුණ පමණයි. ජනතාවයි එම පක්‍ෂය ගොඩනැඟුවේ. මේ 16 දෙනාගෙන් කවුරු හරි පොහොට්ටුව විවේචනය කරනවා නම් ඒකත් නොවිය යුතුයි. ඒ 16 දෙනාව අපි විවේචනය කරනවා නම් ඒකත් සුදුසු නැහැ.

අද ශ්‍රී ල.නි.ප.යේ ඉන්න අයගෙන් 2015දී මහින්ද මහත්තයාට සහයෝගය දක්වපු අය ඉන්නවා. ඒ අයටත් අපි එක්ක එකතු වෙන්න කියනවා. මොකද මේ ආණ්ඩුව කරන පාපතර ක්‍රියාවට සහභාගි නොවී, මත්තල විකුණන්න උඩගෙඩි නොදී, ශ්‍රී ලන්කන් එක විකුණන්න උඩගෙඩි නොදී, තමන්ගේ පෞද්ගලික වාසි පැත්තක තියලා රට බේරා ගන්න පොදුජන පෙරමුණ හා එකතු වෙන්න කියලයි අපි කියන්නේ. මොකද පොහොට්ටුව විවේචනය කළා කියා එයාලගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

ඊළඟ පළාත් සභා ඡන්දය වෙනකොට පක්‍ෂ දෙක එකතු වෙලා අලුත් ගමනක් යෑමට අඩිතාලම දමයි වගේ පෙනෙන්නේ?

මට ඒක විශ්වාස කරලා කියන්න බැහැ. මට හිතෙන විදියට පොහොට්ටුවට එන්නේ නැතිව හිටියොත් අන්තිමට ශ්‍රී ල.නි.ප.ය, එ.ජා.ප.යක්් විදියට යයි කියලයි පෙනෙන්නේ. එසේ නොවේවා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. ශ්‍රී ල.නි.ප.ය කියන දැවැන්ත පක්‍ෂය එ.ජා.ප.යේ අලියාගේ නැට්ට නොවේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මොකද දැන් මේ අය බළල්ලු ලවා කොස් ඇට බාවනවා. උෟරාගේ මාළු උෟරාගේ පිටේ තියලම කපනවා වගෙයි පෙනෙන්නේ. මොකද ශ්‍රී ල.නි.ප. විරුද්ධ ප්‍රතිපත්ති සියල්ලම ශ්‍රී ල.නි.ප.යේ සහාය අරගෙන කරනවා. පෞද්ගලීකරණය කොට රටේ ආර්ථිකය විනාශ කරගෙන රටේ සම්පත් විකුණාගෙන කන්න එ.ජා.ප.ය ශ්‍රී ල.නි.ප.යේ උදවු ගන්නවා. ඒ ක්‍රියාවලියට ඉඩ නොදිය යුතුයි. මාතෘ භූමියේ නාමයෙන් රටට හරිදේ කළ යුතුයි. එහෙම නැතිව බලලෝභයෙන් රටක් කරන්න බැහැ.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress