වෙස්ට් කෝස් බලාගාරය – දුෂිත විදුලි මාෆියාවේ මර්මස්ථානයට දේශපාලන බලධිකාරයේ ආරක්ෂාව ලැබෙනවා-යහපාලනය ටෙන්ඩර් 150 ක් දුන්නත් එකම බලාගාරයක් තවම නෑ
Posted on July 30th, 2018

මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට අද දක්වා එක මෙගාවෝට් එකක් අලුතෙන් විදුලි බල පද්ධතියට එකතු කරලා නෑ.  මේ වන විට ටෙන්ඩර් 150ක් ප්‍රදානය කර තිබෙනවා. පත්තර දැන්වීම් වලින් පිටු පුරවනවා හැබැයි එකම බලාගාරයක් හෝ ඉදිකොට නැහැ.  ගෙවල්වල වහලේ සූර්ය කෝෂ ටිකක් හයිකරන තැනකට ගිහින් ෆොටෝ ගහන දේශපාලනඥයෝ විදුලි මාෆියාවේ විදුලි මාෆියාවේ ඔඩොක්කු කුක්කන් වෙලා ඉන්නවා යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

රුපියල් බිලියන 20 ක ආයෝජනයකින් ඇරඹී වෙස්ට් කෝස් බලාගාරයෙන් තවදුරටත් අධික මිලට විදුලිය ලබාගන්නේ නම් වසර 30 ක් තුල එයට රු. බිලියන 284 ක් ගෙවීමට සිදුවන බවත්, එමගින් රටට සිදුවන පාඩුව රු.බිලියන 264 ක් බවත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍ර‍කාශ කළේ රාජගිරියේ අද පැවති පුවත්පත් සාකච්ඡාක දී ය.

විදුලිබල මණ්ඩලය පරිසර හානියක් හෝ විදේශ විනියමට අවම බලපෑමක් සහිත සුළං විදුලි ඒකකයක් මිලදී ගන්නේ රු.10.07ටයි. සුර්ය විදුලිය රු.11.86 කට මිලදී ගන්නවා. වෙස්ට් කෝස් සමාගම නිශ්පාදනය කරන විදුලි ඒකකයට රු.33.69 ක් ගෙවනවා.  විදුලිබල මණ්ඩලය හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා ගෙවන මුදලට  වැඩි මුදලක් වෙස්ට් කෝස් විදුලි ඒකකයට ගෙවනවා.  වෙස්ට් කෝස් බලගාරය විදුලි මාෆියාවේ කේන්ද්‍ර‍ය බවට පත්වී තිබෙනවා. දැන් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාම පවසනවා මේ විදුලිය මිලදී ගැනීම් නිසා රු. බිලියන 20 කට වැඩි පාඩුවක් රටට සිදුවී ඇති බව.

වෙස්ට් කෝස් විදුලි සමාගම විසින් නිෂ්පාදනය කරන එක් විදුලි ඒකකයක් සදහා 2008 සිට 2017 දක්වා වසර 9 තුල එක් ඒකකය රු. 29.85ක සාමාන්‍ය මුදලක් ගෙවා තිබෙනවා. 2013 වසරේ දී ඒකකයක් සදහා රු.46.61 ක් ද, 2014 දී ඒකකයක් සදහා රු.41.58ක් ද, ගෙවා ඇත. 2015 දී ඒකකයට රු.34.31ක් ද, බැගින් විදුලිබල මණ්ඩලය  ලක්දනවි සමාගමට ගෙවා තිබෙනවා.   මෙය ජාතික අපරාධයක්.

පසුගිය අවුරුදු තුනහමාර තුල ලංකාවට වැඩිපුරම ආයෝජකයෝ ආවේ විදුලිබල කේෂ්ත්‍රයේ ආයෝජන සදහායි. ආණ්ඩුව ටෙන්ඩර් 230කට වැඩි ප්‍ර‍මාණයක් ප්‍ර‍ධානය කරලා තියෙනවා.  හැබැයි එක මෙගාවෝට් එකක් අලුතෙන් විදුලි පද්ධතියට එකතු වෙලා නෑ. විදුලිබල අමාත්‍යාංශය පත්තරවල දැන්වීම් පුරවන හොර ගුහාවක් වෙලා ඉවරයි.

වෙස්ට් කෝස් සමාගම ආරම්භක ප්‍රාග්ධනය ඩොලර් මිලියන 225 ක් කියලා තමයි පටන් ගත්තේ.  අවසානයේ එයට ඩොලර් මිලියන 294 ක මහජන මුදල් වැය කලා. වෙස්ට් කෝස් බලාගාරය මේ වන විට ස්වභාවික වායුවලින් දුවන්න ඕනි.  හැබැයි එය අදටත් ක්‍රියාත්මක වෙන්නේ ඩීසල්වලින්.   ඒ අතර, කෙරවලපිටිය දෙවන බලගාරයට ඔවුන් ටෙන්ඩර් ඉදිරිපත් කරනවා ඩොලර් මිලියන 175 කට.  මේක විදුලි මාෆියාව හා දේශපාලනඥයින් එක්ව සිදුකරන මාෆියාවක්.

වෙස්ට්කෝස් සමාගමේ කොටස්වලින් 96% ක් රජයට අයත් වෙනවා. නමුත්, ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න කිසිවෙකුත් නෑ. රජයේ කොටස් 50% කට කිසිදු ලාභාංශයක් ගෙවන්නේ නෑ. 27.1% ක කොටස් හිමි සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇත්තේ ද, සුළු ලාභාංශයක්. 4.8% ක කොටස් හිමි ලක්දනවි සමාගමට සමස්ථ ලාභයෙන් 40%ක් හිමිවන අපූරු ගණුදෙනුවක් වෙස්ට් කෝස් හරහා සිදුවෙනවා. 

විදුලිබල අමාත්‍යාංශයට ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ කටයුතු සදහා මැදිහත් විය නොහැකි බව ලක්දනවි සමාගම කියනවා. මේක පුදුම කථාවක්. විගණන පනතට අනුව රජයට 50%ක කොටස් හිමි සමාගම් සියල්ල විගණකාධිපතිවරයා විසින් විගණනය කළ යුතුයි.  නමුත්, මේ දක්වා එවැන්නක් සිදුවී නෑ.  දේශපාලන බලපුළුවන්කම අතට අරගෙන පුද්ගලයින් තිදෙනෙක් මේ රටේ සෑම විදුලි පාරිභෝගිකයෙකුගෙන්ම තමන්ගේ සාක්කුවට මුදලක් දමාගන්නවා.  එය වලක්වන්නට උත්සහ කළ සෑම කෙනෙකුම හොදින් හෝ නරකින් ඉවත් කරන්නට විදුලි මාෆියාවත් එහි ඔඩොක්කු කුක්නන් වී සිටින දේශාපාලඥයින් ද කටයුතු කර තිබෙනවා. 

වෙස්ට්කෝස් සමාගම සමග ඇති ගිවිසුමට අනුව නම් 2011 සිට වසරින් වසර මෙම සමාගම විදුලි ඒකකයක් නිෂ්පාදනය සදහා වැය කරන සත්‍ය මුදල ගණනය කළ යුතුයි. නමුත්, එම ගණනය සිදු කරන්නට වසර 7 ක් හැකියාව ලැබී නෑ.  මේ දක්වා වෙස්ට්කෝස් සමාගමට රු. බිලියන 214 ක් ගෙවා තිබෙනවා.  ඔවුන් ලබාදී ඇති විදුලි ප්‍ර‍මාණය ඒකක 6400 ක් පමණයි.  ඒ අනුව, ඒකකයට රු. 30 කට වැඩි මුදලක් වැය වී තිබෙනවා.  සූර්ය බල ඒකකයක් රු. 11.86 තිබිය දී, සුළං විදුලිය ඒකකයක් රු.10.07ට තිබිය දී මේ රටේම විදුලි පාරිභෝගිකයෝ වෙස්ට්කෝස් විදුලි මාෆියාවේ ගොදුරු බවට පත්වී තිබෙනවා. මේ තත්වය වලක්වන්නට විදුලිබල අමාත්‍යා රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය ඇමති අජිත් පී.පෙරේරා, ලේකම් සුරේන් බටගොඩ ගෙන ඇති පියවර කුමක්ද? කියලා මම ප්‍ර‍ශ්න කරනවා. මහජන උපයෝගීතා කොමිෂන් සභාවට විදුලි කේෂ්ත්‍රයේ නියාමන වගකීම පැවරී තිබෙනවා.  ඔවුන් ෆයිල්වල කොළ පුරවනවාට වැඩි දෙයක් මේ අර්බුදය ජයගන්නට තවමත් සිදු කර නෑ.

මේ තත්වය වෙනස් කරන්නට පාර්ලිමේන්තුව, කෝප් කමිටුව මැදිහත්විය යුතුයි.  ලංකාවේ ලොකුම මුල්‍ය වංචාව බවට වෙස්ට්කෝස් විදුලි මාෆියාව පත්වී අවසන්. එය වැලැක්වීමට විගණකාධිපතිවරයාට හැකියාව තිබෙනවා.  මේ ගැන විගණකාධිපතිවරයා වහා විමර්ශනයක් ඇරඹිය යුතු බව අප අවධාරණය කරනවා.

One Response to “වෙස්ට් කෝස් බලාගාරය – දුෂිත විදුලි මාෆියාවේ මර්මස්ථානයට දේශපාලන බලධිකාරයේ ආරක්ෂාව ලැබෙනවා-යහපාලනය ටෙන්ඩර් 150 ක් දුන්නත් එකම බලාගාරයක් තවම නෑ”

  1. Christie Says:

    Diesel power is for emergency and not for continuous supply.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress