තවත් එක් වෙසක් පොහොයකින් පසුව අපි පිහිටුවන ආණ්ඩුවෙන් බදු බර අඩු කරනවා
Posted on August 3rd, 2018

කේ.එස්. උදය කුමාර්  උපුටාගැණීම  මව්බිම

වත්මන් යහපාලන ආණ්ඩුව මහජනතාව මත පටවමින් සිටින අධික බදු බර සහ ජීවන වියදම් ගැටලු තවත් එක් වෙසක් පොහොයකින් පසුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පිහිටුවනු ලබන ආණ්ඩුවක් මඟින් අවසන් කරන බවත් එම නව ආණ්ඩුව යටතේ වත්මන් ආණ්ඩුව විසින් මහජනතාව මත පටවා තිබෙන අධික බදු බර 20%කට වඩා අඩු කිරීමට කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. මධ්‍යම පළාතේ සංවිධානය කරනු ලබන ‘පොදුජන ජනරැළ’ රැස්වීම් මාලාවේ පළමු වැනි රැස්වීමද වේ.

එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීවේය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේ ඒ මහතාට අභියෝග 07කට මුහුණ දෙන්න සිදුවුණා. සුනාමියෙන් පීඩාවට පත්වූවන් නඟාසිටුවීම, උතුරු – නැඟෙනහිර යුද්ධය සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑම ඒ අතර ප්‍රධාන තැනක් ගත්තා. බොරතෙල් ගෙන්වීම සඳහා වාර්ෂිකව එදා අපේ රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.1ක මුදලක් වැය කරන්න සිදුවුණා. ඒක දරාගත නොහැකි පිරිවැයක්. එසේ තිබියදීත් අපි සහනාධාර මිල ගණන්වලට භූමිතෙල් ආදිය ජනතාවට ලබා දුන්නා. එහෙත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 50 සිට 30ක් දක්වා අඩු වුණා. එහෙත් යහපාලන ආණ්ඩුව අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රුපියල බරපතළ ලෙස බාල්දු වී වටිනාකම පිරිහී යෑම නිසා බොරතෙල් මිල අඩුවීමේ වාසිය මහජනතාව වෙත ලබා දෙන්න ආණ්ඩුවට නොහැකි වුණා. රුපියල ශක්තිමත්ව තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. බොරතෙල් මිල අඩුවීමේ වාසිය ආණ්ඩුව ප්‍රයෝජනයට ගෙන තිබුණේ නම් හම්බන්තොට වරාය චීනයට විකුණන්න වෙන්නේ නෑ. මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකුණන්න වෙන්නේ නැහැ.

අපි දේශීය ව්‍යාපාරිකයන්ට කියන්න සතුටුයි ඉදිරියේදී පිහිටුවන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් යටතේ ණය බරින් පීඩාවට පත්ව සිටින දේශීය ව්‍යාපාරිකයන්ගේ බැංකු ණය ප්‍රතිසමාලෝචනය කර ඔවුන්ට සහනයක් ලබාදීමට කටයුතු කරනවා.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ගවයන්ගේ හා උෟරන්ගෙන් ශුක්‍ර ධාතු සහ කලල ආනයනය කිරීම සඳහා වූ බදු සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබෙනවා. මේ තුළින් මහජනයාට සෙතක් අත්වන්නේ කෙසේද? කියා ප්‍රශ්න කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද දිනාගත නොහැකි බවට වත්මන් ආණ්ඩුව වපුරා තිබෙන මිථ්‍යා මතය මේ වනවිට පුස්සක් වී තිබෙනවා.
සුළු ජාතීන් මහින්ද රාජපක්‍ෂ මහතා මත විශ්වාසය තැබීම නිසා තමයි අපිට මේ තරම් විශාල ජයග්‍රහණයක් අත්පත් කරගන්න හැකිවුණේ. ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියත් මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එක්ව වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට සුළු ජාතිකයන් බලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ 67 නමක් සිරගත කර තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරුන්ටත් වත්මන් ආණ්ඩුව විවිධ හිරිහැර සිදු කරමින් සිටිනවා.’පොහොර සහනාධාර අපට දියව්’ කියා ගොවියෝ බෝඩ් අල්ලමින් පාරවල්වල ඉන්නවා. කම්කරුවන්ටත් අද යන එන මං නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ

මේ ආණ්ඩුව විදේශීය ආයෝජකයන්ට විශාල වශයෙන් බදු සහන ලබා දෙනවා. එහෙත් කිසිම ආයෝජකයෙක් ලංකාවට එන්නේ නෑ. මලික් සමරවික්‍රම ඇමැතිතුමා සඳහන් කරලා තිබුණා අපි හොඳ ආයෝජකයෙක් ලංකාවට ගේනවා කියලා. මාත් බැලුවා කවුද මේ අලුත් ආයෝජකයා කියලා. බැලුවාම ඒ වෙන කවුරුවත් නොවෙයි ඩුබායිහි ‘මැරියට්’ හෝටලයේ අයිතිකාරයා. අපේ ආණ්ඩුව තියෙනකොට කිව්වේ ‘මැරියට්’ හෝටලය නාමල්ගේ කියලා. මේ වගේ බොරු ප්‍රචාර පතුරුවලා තමයි යහපාලන ආණ්ඩුව බලයට ආවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress