සුබ්‍රමනියම් ස්වාමිගේ ආගමනයෙන් ආණ්ඩුව කලබල වෙයි මහින්ද යළි ගේන්න ඉන්දියාවෙන් මෙහෙයුමක්
Posted on August 25th, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ බල පෙරළියක ආරම්භයක්දැයි මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙන්ම කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළද මේ වනවිට දැඩි අවධානයකට ලක්ව තිබේ.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුහුණදුන් අත්දැකීම් ඔස්සේ ඉහත කී විශේෂ දේශනය පැවැත්වීමට මෙම ආරාධනාව මඟින් දැනුම් දී ඇත.

මේ අනුව සැප්තැම්බර් 11 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ‘ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීම’ පිළිබඳ විශේෂ දේශනය පැවැත්වීමට නියමිතය.

මෙම විශේෂ දේශනය පැවැත්වෙන අවස්ථාවට ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රකට විද්වතුන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බවද වාර්තා වේ. මේ අනුව සැප්තැම්බර් 10 වැනිදා සිට 12 වැනිදා දක්වා හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

මෙම විශේෂ දේශනය පැවැත්වීම සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කිරීම සඳහා පසුගිය 22 වැනිදා ඉන්දීය ලෝක් සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලක භාරතීය ජනතා පක්ෂයේ ජේ‍යෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙරටට පැමිණියේය.මැදමුලනට ගොස් මහින්ද රාජපක්ෂ මහතා සමඟ අවස්ථා දෙකකදී සුබ්‍රමනියම් ස්වාමි මහතා පැය තුනක පමණ කාලයක් සාකච්ඡා කර තිබේ.

මුලින්ම මැදමුලන නිවෙසේදී පැය 2ක පමණ කාලයක් පැවැති සාකච්ඡාවට සුබ්‍රමනියම් ස්වාමි මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ යන මහත්වරු සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය, කලාපීය දේශපාලන ප්‍රවණතා හා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ.

ඉන් අනතුරුව යළි ඉන්දියාව බලා පිටත්වීමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි සුබ්‍රමනියම් ස්වාමි මහතාට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා මුණගැසුණේය. කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ කාමරයේ පැයකට ආසන්න වේලාවක් සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා අතර පැයකට ආසන්න වේලාවක් ඉතා රහසිගත සාකච්ඡාවක් සිදුවිය. කෙතරම් රහසේ මෙම සාකච්ඡාව පැවැත්වුණේද කියතොත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ තානාපති නිලධාරියාද එම ස්ථානයෙන් ඉවත් කර එම සාකච්ඡාව පවත්වා තිබේ.ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට සූදානම් වනවාත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඔහුගේ හදිසි අනපේක්ෂිත ගමන ගැන විමසද්දී සුබ්‍රමනියම් ස්වාමි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ සමීපතමයකු වන මූනු නලපත් මහතාද, ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා සමඟ මෙම සංචාරයට පැමිණීම විශේෂත්වයකි.

2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට යම් යම් මැදිහත්වීම් කළ ඉන්දියාව යළිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දැඩි මිත්‍රත්වයක් ඇති කරගැනීමට ක්‍රියා කිරීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම කලාපීය දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි අවධානයට ලක්ව තිබේ.

ඉන්දීය ලෝක් සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලක භාරතීය ජනතා පක්ෂයේ ජේ‍යෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා රජයට නොදන්වා සිදුවීම පිළිබඳවද රජයේද දැඩි අවධානයට ලක්ව තිබෙන බව වාර්තා වේ.

One Response to “සුබ්‍රමනියම් ස්වාමිගේ ආගමනයෙන් ආණ්ඩුව කලබල වෙයි මහින්ද යළි ගේන්න ඉන්දියාවෙන් මෙහෙයුමක්”

  1. Randeniyage Says:

    Yes. This is what I suspected for 2 years now.
    India is behind Mahinda , for now. ( until he is able to run the country again and fulfill the promises, but after a year or two they will side the opposition). Only Mahinda can meet their demands in a subtle way, for now.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress