ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි එන්නේ මොකාටද?
Posted on September 2nd, 2018

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර Lanka Lead News

පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට තම රටට අදාල ඉන්දු, අමෙරිකානු ,ජපන් තුන් ඈදුතු න්‍යාය පත්‍රයේ ප්‍රබල පිළිඹිඹුවක් දැකගත හැකිවිය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සැපත් විය. ජපානයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික සාකච්ඡා වටයක් අවසන් කිරීමෙන් පසුව ය. එය ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ප්‍රබල චීන ආයෝජනයක් වන හම්බන්තොට වරාය සහ අනාගතයේ ජපානය, ඉන්දියාව සහ ඇමෙරිකාව එක්ව අත්පත් කර ගැනීමට නියමිත ත්‍රිකුණාමලය වරාය පරික්ෂා කිරීමෙන් පසුව ඔහු ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු විසින් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය හමුදාමය කටයුතු සඳහා යොදා නොගතයුතු බවට සෘජු ප්‍රකාශයක් කරණු ලැබීය. එය එක්තරා ආකාරයකට විරෝධතාව ප්‍රකාශ කිරීමක් ලෙස ද සැලකිය හැක.

ස්වෛරී රාජ්‍යයක වරායක කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි කොන්දේසි පැනවීමට තවත් රටකට කිසිදු අයිතියක් නැත. ජපානය විසින් ඔකිනාවාහි ඇමරිකානු කඳවුරක් පවත්වාගෙන යාමේ හොඳ-නරක අනෙක් රටවල් ප්‍රශ්න කරන්නේ නැත. ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ගේ එම ප්‍රකාශය තුළින් ඔහු යම් ආකාරයක බලපෑම් සහගත රාජතාන්ත්‍රික මෙහෙයුමක යෙදී සිටින බව පැහැදිලි වේ. ඉන්දියාව විසින් සෘජුව එවැනි ප්‍රකාශයක් කරනවට වඩා ශ්‍රී ලංකාවේ මිත්‍රයෙක් සේ සැලකෙන ජපානය විසින් එවැනි තර්ජනයක් කිරීම රාජතාන්ත්‍රික වශයෙන් වඩාත් පිළිගත හැකි බවට විවාදයක් නැත. කෙසේ වෙතත් ඒ ආකාරයට ශ්‍රී ලංකා චීන සබඳතා පිළිබඳ නිර්ණායක පැනවීම ඉන්දු- ඇමරිකානු- ජපාන පොදු න්‍යාය පත්‍රයේ මූලික අංගයක් බවටද සැකයක් නැත. තව දින කිහිපයකින් ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම ක්‍රියාවලියේම දිගුවක් ලෙස බව පෙනේ. ඔහුගේ පැමිණීමේ නිමිත්ත ජපානය විසින් තෑගි දුන් සමුද්‍ර යාත්‍රාවක් යාත්‍රා කිරීමේ ආරම්භක උත්සවයට සහභාගී වීමය. ඉන්දියානු සාගරයේ ආරක්ෂාවට අදාළ ජපානයේ කොටස අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන එවැනි තෑගි බෝග ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් ජපාන ඇමතිවරයාගේ සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කිරීමය. නමුත් ඒ සබඳතා තර කිරීමේ උපාය මාර්ගික අරමුණ ශ්‍රී ලංකා චීන සබඳතා වලට බාධා එල්ල කිරීම බව ඔවුන් කියන්නේ නැත.

දැන් ශ්‍රී ලංකාවට අදාල ඉන්දු- ඇමෙරිකානු- ජපාන පොදු න්‍යාය පත්‍රය තුල චීනය විසින් ශ්‍රී ලංකාව තුළ කරනු ලබන අත් පත් කිරීම් වලට එරෙහිව ප්‍රති මෙහෙයුම් සැලසුම් කෙරෙන බව පැහැදිලිව දැකගත හැක. ජපාන ඇමතිවරුන්ගේ සංචාරයට සමගාමීව වියට්නාමයේ දී ශ්‍රී ලංකාවේ අගමැතිවරයා සහ ඉන්දියානු විදේශ අමාත්‍යවරිය හමු විය. වාර්තා වන ආකාරයට එහිදී ඇය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ වරායවල් පමණක් නොව ගුවන් තොටුපල සංවර්ධනයට ද ඉන්දියාව ඉදිරිපත් වන බවය. එම හමුව සිදු වන්නේ ඔවුන් හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර සමුළුවේ තුන් වන සැසිවාරයට සහභාගී වී සිටියදීය. එම සමුළුවේ දී මූලික වශයෙන් සාකච්ඡාවට ලක්වන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ නිදහස්ව විවෘතව සහ නීතියට අනුව කටයුතු කෙරෙන බව සහතික කිරීම ය. එහිදීම අගමැතිවරයා හමුවන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් අවධාරණය කරන්නේද එම අරමුණ මය. ඊට අදාළව ශ්‍රී ලංකාවේ නාවික හමුදාව පුහුණු කිරීමේ වැදගත්කම ඇය විසින් ඊට පෙර අවධාරණය කොට තිබුණි. පසුගියදා ඇමරිකානු ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ හමුදාවට රුපියල් කෝටි 600 කට අධික මුදල්ක් ආධාර ලෙස ලබාදෙන්නේ එම මූලික අරමුණ සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විශේෂයෙන්ම නාවික හමුදාව පෙළගැස්වීම සඳහා ය. ඒ අනුව පසුගියදා ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකිවේ විශාලතම නාවික මුර යාත්‍රාව බවට පත්වන යාත්‍රා බවට පත්වන යාත්‍රායවක් තෑගි කරන බවය. එම අරමුණ මුල් කරගෙන ඉන්දියාව ඇමරිකාව සහ ජපානය එකට එක්ව ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරන්නේ එක් ප්‍රධාන උපාය මාර්ගික උවමනාවක් සඳහා බව පැහැදිලි ව පෙනේ. එනම් චීනය විසින් තම උපාය මාර්ගික උවමනාවන් සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීම වැළැක්වීම සඳහාය.

ඒ ආකාරයට ශ්‍රී ලංකාවට අදාළ ඉන්දු, ඇමරිකානු, ජපාන න්‍යාය පත්‍රය දිගහැරෙන්නේ වර්තමාන ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව ය. එහෙත් ආණ්ඩුවෙන් පරිබාහිරව විපක්ෂය මුල් කරගෙන තවත් සුවිශේෂී ඉන්දියානු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වනවාද යන සැකයක් ද පසුගිය දිනවල ඇති විය. ඒ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ට සමගාමීව ශ්‍රී ලංකාවට පැමිණි ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිගේ හැසිරීම සහ ප්‍රකාශ නිසා ය. ඔහු ලංකාවට පැමිණෙන්නේ ඉන්දියානු සහ ශ්‍රී ලංකා ආණ්ඩු අතර ද්විපාර්ශ්වික සබඳතා තර කිරීමේ අරමුණින් නොවේ. ඔහු ශ්‍රී ලංකාවේ දී ආණ්ඩුවේ කිසිදු නායකයකු මුණගැසුණේ නැත. ඔහු තමා විසින් වාර්තා කළ යුතු ඉන්දියානු මහ කොමසාරිස්වරයා මුණගැසෙන්නේ ආපසු යන ගමනේ දී ගුවන්තොටුපළේ දී ය. නමුත් ඔහු මැදමුලනට ගොස් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරුට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී තිබුණි. ඒ අනුව පැහැදිලි වන්නේ ඔහු බිඳී ගොස් තිබෙන සබඳතා නැවත අලුත් කර ගැනීමේ නෑ ගමනක නියුක්ත වූ බවය.

බොහෝ විට ඔහු ශ්‍රී ලංකාවට හදිසියේම පැමිණීමට තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂයන් මුණගැසීම සඳහා මැද මුලනට යාම අරමුණු කරගෙන විය හැක. සබඳතා අලුත් කරගැනීම සඳහා මළ ගෙවල් ඉතා ප්‍රයෝජනවත් බව අප රටේ ගැමියෝ පවා දනිති. ඒ බව ශ්‍රී ලංකාවේ සිටි ‘‘රෝ ඒජන්ත සහ වර්තමාන ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් ඩොවැල් වැනි අය නොදැන සිටීමට හේතුවක් නැත. අජිත් ඩොවැල්ට ශ්‍රී ලංකාවෙන් පිටවීමට සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ විරෝධය ඔහුට එරෙහිව එල්ල වීම නිසා ය. කෙසේ වෙතත් කපන්නට නොහැකි අත සිඹීම සඳහා නරේන්ද්‍ර මෝදි සහ අජිත් ඩොවැල් එක්ව තෝරන්නේ ඊට සුදුසුම පුද්ගලයා බවට නම් විවාදයක් නැත. ආචාර්ය ‍සුප්‍රමණියම් ස්වාමිට ශ්‍රී ලංකාවේ මිත්‍රයෙක් ලෙස ශ්‍රී ලාංකිකයන් අතර පිළිගැනීමක් ඇත. එයම මූලික ‘‘සුදුසුකම්ක් බවට කිසිදු සැකයක් නැත. නමුත් ඔහුට තව බොහෝ සුදුසුකම් ඇත. ඔහු ප්‍රභාකරන්ට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධ වුවද කිසිදු අවස්ථාවක ෆෙඩරල් කරනයට හෝ බෙදුම්වාදයට විරුද්ධව අදහස් ප්‍රකාශ කොට නැත. එල්ටීටීඊ විරෝධය බෙදුම්වාදී විරෝධයක් ලෙස සැලකිය නොහැක. ඊට හේතුව ඇමරිකාවට අයි. එස්. අයි. එස් මෙන් ඉන්දියාවට එල්.ටී.ටී.ඊ සංවිධානයක්ද විදේශ ප්‍රතිපත්තියේ උපාංගයක් වීමය. යම් අවස්ථාවක්දී පෝෂණය කිරීම මෙන්ම තවත් අවස්ථාවකදී පහර දීම යන ක්‍රියාවලි දෙකම එකම විදේශ ප්‍රතිපත්තියේ පැතිකඩ දෙකක් පමණි. නමුත් සුබ්‍රමනියම් මහතා පැළඳ සිටින්නේ බැටලු හමක් බව සාමාන්‍ය ජනතාව දන්නේ නැත. ඔහු දැඩි හින්දුත්ව වාදියෙකි.

එසේම ඔහු නරේන්ද්‍ර මෝඩි මහතාටත් වඩා දැඩි ඉන්දියානු ජාතිකවාදී මතය දරන අයෙක් බව ප්‍රසිද්ධ කරුණකි. හින්දුත්ව වාදය සහ ඉන්දියානු ජාතිකවාදය ප්‍රචලිත කිරීම සඳහා ඔහු පොත්පත් සහ ලිපි ලේඛන රාශියක් ලියා පළ කොට ඇත. මැතකදි ඔහු ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටියේ ඉන්දියාව විසින් පකිස්ථානය කැබලි හතරකට ඉරා දැමිය යුතු බවය. (economic times දෙසැම්බර් 27. 2017 ) ඊට අමතරව ඔහු බංගලාදේශයට කියා සිටියේ ඉන්දියාවේ සිටින බංගලි සරණාගතයින් ආපසු කැඳවා නොගන්නේනම් බංග්ලාදේශය නිදහසට පෙර තිබූ ආකාරයට ඉන්දියාවට ඈඳා ගත් යුතු බවය. ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරන ඔහු කියා සිටින්නේ සමලිංගිකත්වය හින්දු ත්වවාදයට පමණක් නොව ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව ය. එසේම ඔහු සියලු ඉන්දියානුවන්ට පාසලේ දී සංස්කෘත භාෂාව ඉගැන්විය යුතු බවටද ව්‍යාපාරයක් ගෙන යයි. ශ්‍රී ලංකාවේ සිටියදී ඔහු ඉතා ප්‍රබල ආන්දොලනාත්මක ප්‍රකාශයක් ද කරනු ලැබීය. මාලදිවයිනේ අගමැති මැතිවරණ දූෂණ වලින් ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන්නේ නම් ඉන්දියාව විසින් මාලදිවයින ආක්‍රමණය කළ යුතු බව ඔහු සෘජුව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව පිළිබඳ ඔහුගේ ආකල්පයද ඒ තුළින් පිළිබිඹු වේ. දැඩි හින්දුත්ව මතධාරියෙක් වන ඔහු විසින් තම ජනතා පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය එකතු කිරීමට කටයුතු කරන්නේ ද හින්දු දේව වාදය ශක්තිමත් කිරීම සඳහාය. ඔහු 2016 සිට රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස පමණක් කටයුතු කළද නරේන්ද්‍ර මෝඩිගේ රජයේ ප්‍රබලයකි. අගමැති මෝඩි ගේ උපායමාර්ගික න්‍යායාචාර්යවරයා සුප්‍රමනියම් ස්වාමි බවටද මතයක් ඇත. ඔහුට ඒ සඳහා සුදුසුකම් ඇත. ඔහු ආචාර්ය උපාධියය ලබා ගන්නේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් වන අතර පශ්චාත් උපාධියෙන් පසුව වසර දහයක් එහි ඉගැන්වීය. මීට පෙර දෙවතාවක් ලෝක සභා මන්ත්‍රීවරයෙකු ලෙස අමාත්‍ය තනතුරු හොබවා ඇත. ඔහු කර්මාන්ත හා වානිජ අමාත්‍යවරයා ලෙස ඉන්දියානු වෙළෙඳ ප්‍රතිපත්තිය උපායමාර්ගිකව නැවත ස්ථානගත කිරීමට කටයුතු කළ බවට ගෞරවය දිනාගෙන ඇත.

සංඛ්‍යාන විශ්ලේෂකයෙක් සහ ආර්ථික විශේෂඥයෙක් ලෙස ඔහු ඉන්දියාවේ සැලසුම් කොමිසමට සහ එක්සත් ජාතීන්ගේ වෙළඳ සහ සංවර්ධන සමුළුවට ද විශාලසේවයක් කළ බවට ගෞරවය දිනාගෙන ඇත. ඒ සියලු සුදුසුකම් නිසා ඔහු ඉන්දියානු රජය තුළ විශාල බලපෑම් කළ හැකි පුද්ගලයෙක් ලෙස සැලකේ. එසේම ඔහු හින්දුත්ව රාජ්‍යය ශක්තිමත් කිරීම සඳහා දීර්ඝ කාලීන උපාය මාර්ගික මඟපෙන්වීම් කරන්නෙක් ලෙසද සැලකේ. ඔහු සිහින දකින්නේ ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ ශ්‍රී ලංකාව එක් කළ මහා හින්දූත්ව රාජ්‍යයක් පිළිබඳවය. ඒ සැලසුම තුළ සමස්ත ශ්‍රී ලංකාව කෙසේවෙතත් බෙදා වෙන් කළ ඊළාම් රාජ්‍ය ඇදගැනීමේ උපාය මාර්ගයට විශේෂ වැදගත්කකමක් හිමි වන බවට සැකයක් නැත. ඒ සියල්ල තුළින් පැහැ පැහැදිලි වන්නේ අජිත් ඩෙවැල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කපන්න බැරි අත සිඹීම සඳහා එවන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවන බව ය. ඔහු ඉතා දැඩි මතධාරියකු වුවත් විනීත ලෙස මිත්‍රයින් දිනාගැනීමට දක්ෂයෙක් වුවද බවද ප්‍රකාශ වේ. ඒ අනුව ඉන්දියාව විසින් මහින්ද රාජපක්ෂයන්ට සිදුකළ සියලු අකටයුතුකම් වලට සමාව ගැනීම සඳහා ඔහු වඩාත් සුදුසු බවට විවාදයක් නැත. එදා 2010දී සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා සකස් කළ ඉන්දු අමෙරිකානු සැලසුම පිළිබඳ බොහෝ තොරතුරු හෙලිදරව් විය. එය අසාර්ථක වූ දින සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගෙල සිර කිරීමට ඉන්දියාව විසින් ගනු ලැබූ උත්සාහයන් ව්‍යාර්ථ වූයේ මහින්ද රාජපක්ෂයන්ගේ ගැලවුම්කරුවා ලෙස චීනය ඉදිරිපත් වූ බැවිනි .

ඉන් පසුව පසුගිය 2015 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ නැවත වටයකින් පරාජය කිරීම සඳහා සකස් කළ ඉන්දු -අමෙරිකානු න්‍යාය පත්‍රය පිළිබඳ බොහෝ රහස් මේ වන විට හෙළිදරව් වී ඇත. ඒවා පිළිබඳ නැවත කතා කිරීම අවශ්‍ය නැත. මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් අතුගා දැමීම සදහා කළ හැකි සියල්ල කළ ඉන්දියාව දැන් ඔහුගේ අත සිඹීමට පැමිණෙන්නේ 2010 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිසාම පමණක් නොවේ. විශේෂයෙන්ම මෛත්‍රී- රනිල් ආණ්ඩුවේ දීර්ඝකාලීන පැවැත්ම පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය තුළ ඉන්දියාවට දැන් මහින්ද රාජපක්ෂ දෙස බැලීමට සිදුවී ඇත. මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ මිත්‍රයෙක් ලෙස තෝරාගෙන ඇති බව පිළිගත නොහැක. එම නිසා ඉන්දියාව මහින්ද රාජපක්ෂ දෙස බලන්නේ පළමු සැලසුම වැරදුනහොත් දෙවන සැලසුමක් ලෙස බවට පිළිගත හැක. මහින්ද රාජපක්ෂයන්ට භාරතරත්න සම්මානය ලබාදීමට යෝජනා වන්නේ එසේ කරන දේ හරියට කිරීම සඳහා බවටද සැකයක් නැත. මීට පෙර එම සම්මානය ලබා දී ඇත්තේ නෙල්සන් මැන්ඩෙලාටය. එහෙත් ඔවුන් ඔහු පරික්ෂා කිරීම සඳහා පරීක්ෂණයක් කරන බවටද සැකයක් නැත. එම ලිට්මස් පරීක්ෂණය යනු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය බවට කිසිදු සැකයක් නැත. දැනටමත් ඔවුන් යුද්දයෙන් පසු රට ගොඩනැගීම පිලිබද දේශනයක් කිරීමට ආරාධනාකොට ඇත. එම ආරාධනාව තුලින් මීට පෙර 13+ යනුවෙන් ශිවසංකර් මෙනන් විසින් ඇලවූ ලේබලය නැවතවටයකින් මහින්ද රාජපක්ෂකන්ගේ පිටේ ඇලවීම සදහා සුබ්‍රමණියම් ස්වාමිව යොදා ගැනීමට අජිත් ඩොවැල්ලා උත්සාහ කරනු ඇත.

 

One Response to “ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි එන්නේ මොකාටද?”

  1. Hiranthe Says:

    Main thing I can see is India is afraid of Gota coming to power. If MR comes to power it will be business as usual for India. MR need India as his savior is in Thirupathy and he need to visit India. MR will not offend India and will give 13+ or 13++.

    India want to stop Gota. They have read the game rightly.

    Gota is Mother Lanka’s only hope. But I doubt if it happen. As I can see, MR will not give free hand to Gota!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress