අබලක සූත්‍රය
Posted on September 8th, 2018

අබලක

අප මහ බුදුරජාණන්වහන්සේ පිරිනිවී වසර දෙදහස් පන්සිය හැට දෙකක් ගෙවුණු ඒ වෙසක් පුර පසළොස්වක දිනෙන් පොහෝ දෙකක් ගතවුනු තැන උදාවුනු පොසොන් මස පුර පසළොස්වක් දිනයේ මිහින්තලාව වන්දනාවට ගිය මම; එහි කලුබුද්ධරක්ඛිත මහරහතන්වහන්සේ කාලකාරාම සූත්‍රයෙන් බණ කිව් කළුදිය පොකුණ අසබඩ වූ කළුවර ගස තිබුණු තැනට වී විඩාහරිමින් සිටියෙමි. එ කල්හි, අමුතු ලෙස ම දෙස බලමින් එකිනෙකා පසුපස හඹා යන ලෙහෙණුන් පස් දෙනෙක් දැක ඒ කෙරෙහි ඇති වූ කුහුල නිසා උන් පසුපස ගියෙමි. වැඩි කල් නොයා ඒ අසළ වූ ලෙනකට වැදුණු උන් අතුරුදන් වූ හෙයින් වික්‍ෂිප්ත වූ මම ද ඒ ලෙනට වැද එහි හිඳ විවේක ගන්නට වීමි.

එ සේ විවේක ගනිමින් සිටිනා අතර වාරයෙහි හාත්පස බැලූ මා හට ඒ අසළ ම වැටී තිබුණු තල්පත් තුනක් දක්නට ලැබිණි. ඒවා අසුළාගත් මම තල්පත් තුබූ පිළිවෙළින් ගෙන එකින් එක කියවන්නට වීමි. ඒවායෙහි මෙ සේ ලියා තිබිණි.

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස! මා විසින් මෙ සේ අසන ලදී෴ සියලු ලෝ වැස්සන්ට වැඩ කොට පරම ශාන්තිකාලයට සපැමිණ පිරිනිවන් මඤ්චකයෙහි සැතැපුනා වූ අප මහා ගෞතම බුදුරජාණන්වහන්සේ තමන් වන්දනයට පැමිණි දේව සමාගමයෙහි මුල් තැන් ගෙන සිටි ශක්‍ර දේවේන්ද්‍රයාණන් අමතා; තම ශාසනය ලක්දිව්හි පිහිටන හෙයින් එය සුරකින මිනිසුන් ද රට ද ආරක්‍ෂා කරන මෙන් උන් හට දන්වා සිටි සේක෴ තථාගතයන්වහන්සේ ගේ බස ගෞරවයෙන් ගත් ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ ලක්දිව සුරැකීමේ කාර්යය උත්පලවන්න නම් දිව්‍යරාජයා හට භාර කළේ ය෴ අප මහා බුදුරජාණන්වහන්සේ පිරිනිවුණු ඒ දිනයේ දී ලක්දිව් ගොඩබට විජය කුමාරාදී සත්සියයක් පිරිසට පිරිත් පැන් ඉස පිරිත් හූ බැඳ ආරක්‍ෂාව සැලසූ උත්පලවන්න දෙව්රජ තෙමේ එවක් පටන් මේ දක්වා ම ලක්දිවත් ධර්මය සුරකින ලක්දිව් වාසී මිනිසුනුත් ආරක්‍ෂාකරනු ලබන්නේ ය෴”

ඒ අමෘත වූ සද්ධර්මය රැගෙන අනුබුදු මහින්ද මහ රහතුන්වහන්සේ මෙහි වැඩම කළ තැන් පටන් බුද්ධ ශාසනයා ගේ චිරස්ථිතිය උදෙසා මහා සංඝයා කරණ කොට ප්‍රත්‍යවේක්‌ෂා වශයෙන් සැලකෙන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යාදී සිව්පසය පුදමින්, අටුවා සහිත වූ ත්‍රිපිටක සද්ධර්මය සුරක්‍ෂා කරමින්, හතුරු උවදුරින් ලක්දිව් මඩනා කල්හි තම දිවි පවා පුදමින් කටයුතු කළෝ ද ආකාසට්ඨ ටූ ද භූමාටු වූ ද අනේක වූ දේව මණ්ඩලවල ඉපැදී මේ ලක්දිව් ආරක්‍ෂා කරනු වස් උපුල්වන් දිව්‍යරාජයාණන් හට තම උපකාරය ලබාදෙන්නෝය෴”

බුදුන්පිරිනිවීමෙන් හවුරුදු දෙදහස් පන්සිය හැට දෙකක් පිරුණු වෙසක් මස පුර පසළොස්වක දිනයෙහි අනුරාධපුරය ඉහළ අහසේ වැඩසිට ලක්දිව බුදුසසුන්හි තත් විචාරණ උපුල්වන් දෙව් රජ තොමෝ තම පරිවාර දෙවිවරුනගෙන් කරුණු විමසා සිටියේ ය෴ එ කල්හි උන්වහන්සේ ඇමැතූ එක් දෙවි කෙනෙකුන් පවසා සිටියේ ලක්දිව අබලක නමින් අමුතු ම නිකායක් බිහි වී එහි සරණ ගියෝ බුදු බණ නමින් විප්‍රකාර බණක් දෙසමින් සිටින බවයි෴ මේ අසා කම්පා වූ සිත් ඇති උපුල්වන් දෙව්රජාණෝ අබලක නිකාය යැයි කියන්නේ මන්දැයි කියා ඒ පිළිබඳ විස්තර විමසා සිටි සේක෴”

එ තෙකින් ඒ තල්පත් තුන අවසන් වී තිබුණු බැවින් ඒවා පසෙක තැබූ මම පෙර තල්පත් තිබූ දෙස නැවතත් බැලීමි. පුදුමයෙකි. එහි තවත් තල්පතෙකි. එහි සඳහන් වැ තිබුණේ පෙර තල්පත් තුනෙහි සටහන් ක‍ොට තිබුණු විස්තරය හා බැදුණු ම විස්තරයෙකි. ඒ මෙ සේ ය.

අබලක නිකායට මුල් වූ අභය, අභය යැයි නම් තබාගත් චීවරධාරීන් දෙදෙනකු ද ලංකාර, ලංකාර යැයි නම් තබාගත් චීවරධාරීන් දෙදෙනකු ද වෙයි෴ මේ නිකාය ඇටවීමට මුල් වූ බුඩ්ඪ පබ්බජිතයා අභයරතනාලංකාර ය෴ ඌහු ගුරු තනතුරෙහි ලා ඒ පසුපස ගිය බුඩ්ඪ පබ්බජිතයා සිරිධම්මාලංකාර ය෴ ඒ දෙදෙනාට ම ලංකාර නාමය වෙයි෴ ඒ හැරුණු විට තවත් එකෙකු ද අභය නාමය ගෙන සිටියි෴ මේ පොදු නාම මාත්‍ර සැළකිල්ලට ගත් කල්හි නව නිකාය අභය සහ අලංකාර යන දෙවදනින් නම් තැබීම යුක්තියුක්ත ය෴ තව ද මෙහි සරණ ගියෝ හට සිතු සිතු දේ බිණීමේ විලිබිය ද නැත෴ සිතට එන්නේ යමෙක් ද ඔවුහු එය ම අලංකාර කොට කියති෴ විලිබිය නො මැති ව අලංකාරවාදයෙන් මිනිසුන්ට කරුණු දෙසන බැවින් ද ඔවුහු අභය හා අලංකාර දෙවදනින් නම්කිරීම යුක්තියුක්ත ය෴ අභය හා අලංකාර යන දෙවදන එක් ව අභයාලංකාර යන නම ද එහි විකෘතියෙන් අබලකර යන නම ද එය ලඝුවීමෙන් අබලක යන නම ද සැකැසී ඇත්තේ ය෴”

ඒ තල්පත ද එ තැනින් අවසන් ය. මම එය ද පෙර තල්පත් මත්තෙහි ම තැබුවෙමි. පුදුමයෙකි. පෙර තල්පත් සතර මතු වූ තැන තවත් තල්පතෙකි. පුනරුක්තිය අඩු කරනු වස් මෙහි ඉදිරියට ඇති විස්තර ද එ ලෙසින් නැවත නැවතත් හමු වූ තල්පත්වල සටහන් ව තිබූ දෑ බැව් දත යුතුයි.

අබ සරණය, අබ සරණය ලෙසින් කියැවෙන අලුත් ව්‍යවහාරයක් ලක්දිව්වාසීන් අතර ප්‍රචලිත වී ඇත්තේ ය෴ එයින් කියැවෙන්නේ යමක් කම්මුතු වී යන බව ය෴ ඉදින් අබලක නිකාය නිසා බුද්ධ ශාසනයට ද අබ සරණයි කියා කියන්නෝ සිටිති යි කියා ඒ දේවතාවා සැළකර සිටියේ ය෴ එහි අර්ථය වනුයේ බුද්ධ ශාසනයට අනතුරක් උදා වී තිබෙන බැව් දැයි කියා උපුල්වන් දෙවිරජු නැවතත් කරුණු විමසා සිටියේය෴ එ සේ ය. අබලක නිකායෙහි එවුන් පෙනීසිටින්නේ රහතුන් ලෙසිනි෴ එයට මුල් වූ අබේරත්න නම් තැනැත්තා දැනටත් පරලොව ගොසිනි෴ ඌහු පිරිනිවන් පෑ බැව් අබලකයෝ කියති෴ ඒ අබේරත්නයාගේ මළකඳින් ගත් ඇට කැබැලි සුවඳ පැනින් නහවන අබලකයෝ ඒවාට ධාතුන්වහන්සේලා කියා වන්දනාමාන කරත්෴

සිරිසේන නම් ගිහි නම දැරූ එකෙකු දැන් සිරිධම්මාලංකාර නමින් පෙනී සිටියි෴ ඌහු මුලින් කී අබේරත්නගේ මිතුරෙකි෴ අබේරත්න සිවුරක් හැඳගත්තේ වයස්ගත වී විශ්‍රාම ගත් කල්හි ය෴ ඌහු එයට පෙර නොයෙක් වූ රැකියා ද කට්ටඩිකම් ද කර දිවි රැකගත්තෙකි෴ තමන් සිවුරු පොරවාගන්නා කල්හි අබේරත්න තම බිරිඳ වන චන්ද්‍රලතාට ද පුත්‍රයා වන කපිලට ද දියණිය වන ප්‍රියදර්ශනීට ද සිවුරු පෙරෙව්වේ ය෴ එ ලෙසින් සිවුරු පොරවාගත් ඔවුහු එක ම ගෙදරක එකට ලැග සිටියෝ ය෴ පෙර පරිද්දෙන් ම ගැහුණුන් දෙන්නා පිරිමින් දෙන්නාට බත් තම්බා දුන්නෝ ය෴ පෙර ලෙසින් ම එක් වැ කා බී තුටු වූ ඔවුහු පවුල ම පන්සලක් කරගත්හ෴ මේ විප්‍රකාර මැද අබේරත්න අලුතින් ශාසනයක් පටන්ගැනීමේ වැඩට යුහුසුළු වී සිටියේ ය෴ සිවුරු පොරොවාගත් අබේරත්න තම නම වෙනස් කරගෙන සිටියේ අභයරතනාලංකාර යනුවෙනි෴”

අබේරත්න තෙමේ අලංකාර ලෙසින් පෙර බවය ගැන කියන්නට ද පටන්ගත්තේ ය෴ දීපංකර පා මූලයේ දී අප මහ බෝසතාණන්වහන්සේ නියත විවරණ ලබන කල්හි තමන් සිරිසේන සමඟ ඒ අසළ ම සිටි බැව් අබේරත්න කියන්නේ ය෴ අපේ බුදුන් පිරිනිවී හවුරුදු දෙදහස් පන්සියයක් ගිය තැන අබලක බණ කීමට තමන් අධිෂ්ඨාන කරගත්තේ දීපංකර පාද මූලයේ අප මහ බෝසතාණන් නියත විවරණ ලබන කල්හි බැව් ද අබේරත්න කියන්නේ ය෴”

අප මහ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි කල්හි අබේරත්න ගවයෙක් ව සිටි බැව් සිරිසේන අලංකාර ලෙස කියා සිටියේ ය෴ ඒ බැව් අබේරත්න ද පිළිගත්තේ ය෴ එ ලෙස ගවයකුව සිටි හෙයින් අප මහ බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ දී අබේරත්නට ධර්මය වටහාගත නොහැකි වූ බව සිරිසේන කියන්නේ ය෴ අහෝ, ආශ්චර්යයෙකි!෴එ කල ධර්මය වටහාගත හැකි භවයක උපත ලබා සිටියාය කියන්නා වූ ඒ ගව පට්ටයේ හිමිකරුවා වූ සිරිසේන මෙ කල අබේරත්නගෙන් අබලක ධර්මය උගත්තේ ය෴”

සිරිසේන අබලක බණට කියන්නේ සිරිසද්ධම්මය කියා ය෴ ඌහු සං-දේශනාව කියා නම් කළ අභූත ධර්මයක් උගන්වති෴ මේ තමන් ගේ ම ස්වයංභූ ඥාණයෙන් දැනගත් දහමක් බව ද සිරිසේන කියන්නේ ය෴ සං යනු එකතුකිරීම හා වැඩිකිරීම බවත් එහෙයින් සං අඩුකොට, බෙදා ශූන්‍යතාව අවබෝධ කරගත යුතු බවත් ඌහු පවසති෴ තමන් කිසි දිනෙක ත්‍රිපිටකය කියවා නැති බැව් ද ඌහු කියති෴ එ නමුදු, තමනට ඕනෑ ම සූත්‍රයකට අර්ථ පැවැසිය හැකි බැව් ද ඌහු පවසති෴ ඉදින් මේ සිරිසේනයා කියන්නේ සම්මා යනු සං මා කිරීම කියායි෴ ඌහු එය පැහැදිළිකරන්නේ එකතුකිරීම අඩුකිරීම කියායි෴”

අබලක ධර්මයට අනුව අනිච්ච යනු අනිත්‍ය නො වේ෴ ඉච්ඡා යන්නෙහි නැත අර්ථය අනිච්ච බව ඔවුහු කියති෴ පාලි භාෂාවේ අල්පප්‍රාණ, මහප්‍රාණ වෙනසක් නැති බව ද ඔවුහු කියති෴ එහෙත් අල්පප්‍රාණ බයන්නක් තිබුණු අබේරත්න සිවුරු හැඳගත් පසු මහප්‍රාණ භයන්නක් යොදා අභයරතනාලංකාර යන නම් ගත්තේ ය෴ අල්පප්‍රාණ අකුරුවලින් ම හැදුණු නමක් තිබුණු සිරිසේන සිවුරු හැඳගත් පසු සිරිධම්මාලංකාර කියා මහප්‍රාණ ධයන්නක් ඇති නමක් ගත්තේ ය෴ ඒ එ සේ වුව ද අනිච්ච, ඉච්ඡා පදවල අල්පප්‍රාණ සහ මහප්‍රාණ නොසළකන්නැයි ඌහු උපදෙස් දෙති෴”

මේ විප්‍රකාර අදහස් පතුරුවන තවත් අය ද සිටිති෴ අභය යනුවෙන් ම තව එකෙකි෴ නිවාතාප කියා ද එකෙකි෴ විමුක්තිරතන කියා ද එකෙකි෴ සිවුරු දැරුවෝ මෙන් ම සිවුරු නො දැරුවෝ ද සිටිති෴ චිත්‍රා නමින් එකියකි෴ ධම්මවිමුක්තා නමින් එකියකි෴ ගාමිනි අභය නමින් එකෙකි෴ මේ හැම කෙනෙක් ම තම තමන්වත් ඔවුනොවුන්වත් රහතුන්වහන්සේලා නමින් හඳුන්වාගනිති෴ ඉතා ඉක්මනින් ම මගඵල ලබාගන්නා ආකාරය ඔවුහු තම අනුගාමිකයන්ට කියා දෙති෴ දුරකථනය ඔස්සේ ද මගඵල ලබාදෙති෴ අබලක ධර්මය ඇසීමෙන් පසු ඉතාමත් පහසුවෙන් සැනෙකින් සත්‍යය අවබෝධ කරගත් බව ඔවුන ගේ අනුගාමිකයෝ ද පවසති෴”

ශීලය අනවශ්‍ය බව ද මොවුහු දෙසති෴ ශීලය වතක් කියා බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇති බවත් මොවුහු පවසති෴ මොවුහු මේ කරුණු සනාථ කරනු වස් ත්‍රිපිටකාගත ධර්මපාඨවලින් උද්ධෘත පෙන්වමින් ද තවත් දේ වසමින් ද කරුණු කියති෴ වැසූ දේ නොදකින්නෝ ඒ කියන දේ අසා නොමග යති෴ ශීලය වතක් බව පවසමින් එය පිළිකෙව් කරන්නට තම අනුගාමිකයන් පුරුදු පුහුණු කරන ඔවුහු දානය යනු ණය ගෙවීමක් බව ද පවසති෴ අබලක ධර්මයට අනුව දානයෙන් ලැබිය හැකි අනාගත ඵලයක් නැත෴ ඒ, එය හුදෙක් ම අතීත ණය ගෙවීමක් වන බැවිනි෴”

දානයත් ශීලයත් හළ විට ඉතිරිවන්නේ භාවනාව යි෴ අබලකවාදීහු භාවනාව ගැන ද අපූරු කතා කියති෴ අභය නමින් පෙනී සිටින අබලකවාදියාට අනුව භාවනාව කරන විට බඩ බුරුල් ව අශූචි පහවෙයි෴ වමනය ඇතිවෙයි෴ දහඩිය ගලයි෴ සෙම සොටු ගලයි෴ කඳුළු වැගිරෙයි෴ මේ සියල්ල සිදු වූ විට ශරීරය ශුද්ධ වන බව ද ඔහු පවසයි෴ නිරුත්තර සම්‍යක් සම්බෝධිය අධිගම කළ අවස්ථාවේ ද, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ අවස්ථාවේ ද බඩ බුරුලට අශූචි පහ වී, වමනය ඇති වී, දහඩිය දමා, සෙම සොටු පිට වී, කඳුළු වැගිරී අප මහ බුදුරජාණන්වහන්සේ ගේ ශරීරය පිරිසිදු වුනු බව මේ අබලකවාදියා පවසයි෴”

පුක්කුස මල්ල පුත්‍රයා විසින් පූජා කළ මට සිළිටි රන්වන් සිවුරු දෙකින් එකක් ආනන්ද හිමියන් විසින් තථාගතයන්වහන්සේ ගේ සිරුරට පැළැඳැවීමත් සමඟ උන්වහන්සේ ගේ සිරු‍ර ප්‍රභාස්වර වූ බව කියන සඳහන උපුටා දක්වමිනුයි මොහු මෙ සේ කියන්නේ෴ තථාගතයන්වහන්සේ ගේ සිරුර ප්‍රභාස්වර වූයේ ඇයි දැ යි ආනන්ද හිමියන් ඇසූ බව මොහු නො කියයි෴ පහවූ සිළු ඇති, ගිනි අඟුරු රැසක් මෙන් අප මහා බුදුරජාණන්වහන්සේ ගේ සිරුර දිලෙන්නේ ඇයි දැ යි ආනන්ද හිමියන් ඇසූ බව මොහු නො කියයි෴ බඩ බුරුලට අශූචි පහ වී, වමනය ඇති වී, දහඩිය දමා, සෙම සොටු පිට වී, කඳුළු වැගිරුණේ ඇයි කියා ආනන්ද හිමියන් විමසා නැත්තේ ය෴ එ සේ නමුදු, මේ අබලකවාදියා නැත්තක් ම ඇත්තක් සේ කියයි෴”

 බුදුදහම අනෙකුත් ආගම්වලින් වෙනස් නො වන බැව් නිවාතාප යන නම් ගත් අබලකවාදියා පවසයි෴ යේසුස්වහන්සේ යනු බෝධිසත්වයන්වහන්සේ නමක් බව ඌහු පවසති෴ බෞද්ධයන් මසකට වතාවක් පන්සල් යද්දී ක්‍රිස්තියානි භක්තිකයන් සතියකට වතාවක් පල්ලි යන බැව් පවසන ඔහු ඒ අතින් බෞද්ධයන්ට වඩා ක්‍රිස්තියානි භක්තියන් උතුම් බැව් පවසයි෴ තව ද ලක්දිව්වාසීහු බෞද්ධයන් වී ඇත්තේ නාමික ව බවත් සුනඛයන් පවා නාමික ව බෞද්ධයන් බවට පත් කළ හැකි බවත් ඔහු පවසයි෴ මේ අනුව ඔහු කියන්නේ ක්‍රිස්තියානි භක්තියන් උතුම් බවත් බෞද්ධයන් සුනඛයන් හා සමාන බවත් ය෴”

 සිවුරු දරාගත් සිරිසේන නමැත්තා සිරිධම්මාලංකාර ලෙසින් පෙනී සිටිමින් කියා ඇවිදින්නේ බුදුන් උපන් තැන, බුදු වූ තැන, ධම්මචක්කපවත්තන දේශනාව පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන ඇතුළු බුද්ධ ජීවිතයට සම්බන්ධ සියලු ස්ථාන මේ ලක්දිව් පිහිටා ඇති බවකි෴ ඒ බැව් පවසමින් ඔහු අතීත රජදරුවන්ට ද ශාසනික වීරයන්ට ද නින්දා කරන්නේ ය෴”

බහ තෝරන දරුවෝ අලුතින් වචනයක් දැනගත් කල්හි එහි අකුරු පෙරළමින් විනෝදවන්නාක් මෙන් අබලකවාදීහුද වචනවලට සිතු සිතු පරිද්දෙන් අර්ථ දෙති෴ මෝහ කරන අය මාලු වී උපදින බව ද හුරු කර අල්ලාගත් අය හුරුල්ලන් වී උපදින බව ද සහායට ආලය කරන්න ගිය අය සාලයෝ වී උපදින බව ද බලය පෙන්නපු අය බලයෝ වී උපදින බව ද තල තලා ගොඩ ලොකු කරගත් අය තල්මහ වී උපදින බව ද ණය නොගෙවා මුවා වී යන අය මූවන් වී උපදින බව ද තිතට දෙන්නම් කියා මුවා වී ගිය අය තිත් මුවන් වී උපදින බව ද වේලි වේලි සිට ගිය අය වැලි මුවා වී උපදින බව ද අබලකවාදීහු කියති෴”

 මෙ ලෙස පුටුවක් පෙන්වමින් අල පුතුව, අල පුතුව යැයි කියන නොදරුවන් තොදොල් වන්නා ලෙසින් භාෂාවේ එදිනෙදා ව්‍යවහාර කරන වචනවලට විප්‍රකාර නිරුක්ති ලබාදෙන අබලකවාදීහු ධර්මයට ද සිතු සිතූ පරිද්දෙන් නිරුක්ති ලබාදෙති෴ ඔවුනට අනුව දානය යනු ණය දා යන්න පෙරැලී හැදුණු වචනයකි෴ කාලෙන යනු කෙලෙස් නැතිකිරීම යැයි මූහු කියති෴ බණ යන්නෙහි අරුත බව නසන යන්න යැයි මූහු කියති෴ පටිච්චසමුප්පාදය යනු කැමැත්තෙන් බැඳීම නිසා සං උප්පාදවීම යැයි මූහු කියති෴ මාගධී යනු අධිගමයට ඇති මග යැයි මූහු කියති෴ සෝතාපන්න යනු ශ්‍රවණයෙන් මාර්ගයට පැමිණියේ යන්න යැයි මූහු කියති෴ සංඝ යනු සං ගසා දමනු ලැබූ අය යැයි මොවුහු කියති෴ මෙ ලෙසින් සිතු පරිද්දෙන් නිරුක්ති දී ඇති වචන ගණනින් අපමණ ය෴”

 අබලක නිකායේ අනුගාමිකයන් වශයෙන් කටුයුතුකරන්නෝ අතර විවිධ ශාස්ත්‍ර සඳහා සහතිකපත්‍ර ලබාගත්තෝ ද වෙති෴ වෛද්‍ය ශාස්ත්‍ර, ඉංජිනේරු ශාස්ත්‍රාදිය ඉගෙනගෙන ඒ ශිල්ප ඇසුරුකරමින් රැකියාකරන්නෝ ද ඒ අතර වෙති෴ මෙ කල ලක්දිව් සමාජයෙහි ඉහළින් අගය කෙරෙන්නේ වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවරුන් ය෴ ඌහු සිංහල නොදන්නා බව කියති෴ ඉංගිරිසි බස ම දන්නා බව කියති ෴ එවැනි ඉහළ සමාජ වරප්‍රසාද විඳින පිරිසක් තමන් ව අනුගමනය කරන හෙයින් තමන් හා එක්වන ලෙස අබලකවාදීහු අන් ජනයාට ද පවසති෴”

 දෙව්රජාණන්වහන්ස, මේ ආකාරයෙන් කටයුතුකිරීමට ඉඩදෙන්නේ නම් ලක්දිව් බුද්ධ ශාසනය වැඩිකල් නො රැකෙන්නේ ය෴ ඇත්ත නැත්ත කිමෙක්දැයි විමසා දැනගැනීමේ බුද්ධියක් දැන් කල මිනිසුන්ට නැත්තේ ය෴ උගත් යැයි සම්මත ජනයා පාලි, සංස්කෘත තබා සිංහලවත් නොදන්නහුය෴ තමන් සිංහල නොදන්නා බව ඌහු ආඩම්බරයෙන් කියති ෴ පාලි, සංස්කෘති තබා සිංහලවත් නොදන්නා උන්ට අලුත් අලුත් නිරුක්ති රිසි පරිද්දෙන් කියාදීම අපහසු කටයුත්තක් නොවේ ෴ ඉදින්, ශාසනය රක්‍ෂාකරන්න නම් දැන් කළයුත්තේ කිමෙක් දැයි කියා ඒ දෙව් පුත්තෙම උපුල්වන් දෙව් රජුගෙන් විමසා සිටියේය෴”

 එයට පිළිවදන් දුන් උපුල්වන් දෙව්රජු මෙ ලෙසින් පවසා සිටි සේක෴ ශාසනය රැකගත හැක්කේ සිංහලදේශයේ මිනිසුන් හට ය ෴ එය අපට කළ හැකි කාර්යයක් නොවන්නේ ය ෴ අපට කළ හැක්කේ ශාසනය රකින මිනිසුනුත් උන්ට එය කිරීමට ඉඩ සළසනු වස් මේ දේශයත් ආරක්‍ෂා කරදීම ය ෴ භාෂා ශාස්ත්‍රාදිය නොදන්නා නිසා මිනිසුන් ගේ සිත් විකල් වී සිටින බවක් පෙනෙයි ෴ භාෂා ශාස්ත්‍රාදිය උගන්වන පිරිවෙන් ආයතන නැති වී ගොසිනි ෴ ඉදින් අපට කළ හැක්කේ මේ පිරිවෙන් ආයතන නැවත ඇතිකිරීමට උත්සුක වන ජනයා හට උපකාරකිරීමයි ෴ උන් ව ආරක්‍ෂාකිරීමයි ෴ එය කළ හැකි දනන් ගැන සොයා බලව් ෴ එවන් දනන් හට ආරක්‍ෂා සලසා දී, අවැසි පිහිටාධාර ලබාදියව් ෴”

 මේ සැනෙන් දිව්‍ය සභා තොමෝ විසර ගියහ ෴ මතු පැමිණෙන සිංහල බස දන්නා අයවළුන් ගේ අවබෝධය පිණිස මම මෙය සිංහලෙන් ම ලියා තැබුවෙමි ෴”

එ් අවසන් තල්පතයි. එය ද අනෙක් තල්පත් මත තැබූ මම දෑස් පියාගතිමි. නො දැනුවත්ව ම මා හට නින්ද ගොසිනි. සිහිනයෙන් මා පිවිස සිටියේ නිදාගෙන සිටින මිනිසුන්ගෙන් පිරිණු සභාවකට ය. එම සභාවෙහි සිටි අප ඉදිරියෙහි ප්‍රාදූර්භූත වූ අනගාරික ධර්මපාලතුමන් මෙ සේ කියනු මා හට ශ්‍රවණය විය.

සිංහලයිනි අවදිවව්! නැවතත් පිරිවෙන් ඇතිකරව්!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress