ජනබලය සාර්ථකද?
Posted on September 11th, 2018

ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම  මව්බිම

2018 වසරේ විපක්‍ෂය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකිය. මේ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2018 පෙබරවාරි 10දා පැවැති පළාත් පාලන මැතිවරණයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ කණ්ඩායම සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 45%ක් ලබාගෙන එක්සත් ජාතික
පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිළිවෙළින් දෙවැනි හා තුන්වැනි තැන්වලට ඇද දැමීමෙනි. ආණ්ඩු කරන ප්‍රධාන පාර්ශ්ව දෙකම අභිභවා පළමු වරට තරග කළ විපක්‍ෂයේ පෙරමුණක් ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිද්ධියකි. එය ඉතිහාසයේ මින් පෙර කිසි දිනක සිදුවී නැත.

පළාත් පාලන මැතිවරණයෙන් පසු දේශපාලන බලවේගවලට මුහුණ දෙන්නට වූයේ අලුත් මැතිවරණ ක්‍රමය තුළ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්වී ඇති සභා පිහිටුවීමේ අභියෝගයටය. එය නුවණ යොදවා සැලසුම් සහගතව කළ යුතු කාර්යයක් විය. මන්ද රහස් ඡන්දයෙන් සභාපතිවරු තෝරද්දී ඡන්ද ඔබ මොබ මාරුවීම වැළැක්විය නොහැකි නිසාය. මේ කාර්යයේදීද විපක්‍ෂය ආණ්ඩු බලය හිමි කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටි නිසා අවසානයේ පිහිටුවන ලද පළාත් පාලන ආයතනවලින් 80%ක පමණ බලයක් හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන කණ්ඩායම්ය.

පළාත් පාලන ඡන්දයෙන් පසු අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්විය. එහෙත් පරාජය තුළ විපක්‍ෂය සැඟවුණ ජයග්‍රහණයක් අත්කරගෙන තිබිණි. ඒ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එක්වී එතෙක් රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති තනතුරු දරමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනකු රජයෙන් ඉවත්වීමයි. එසේ ඉවත්වූ 16 දෙනා අතරින් දයාසිරි ජයසේකර මහතා හැරුණු විට අනෙක් 15 දෙනා ඒකාබද්ධයට සම්බන්ධ වීමෙන් විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇත. ආණ්ඩුවේ 2/3 බලය නැති කිරීමට විපක්‍ෂයට තවත් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 7 දෙනකු පමණි. සුවිශේෂී අවස්ථාවක තමන් සමඟ දැනට සිටින සුළු පක්‍ෂ කාගේ පැත්තට ඡන්දය ප්‍රකාශ කරාවිදැයි නිවැරැදිව නොදන්නා නිසා අද රජය 2/3ක ඡන්දවලින් සම්මත විය යුතු අණ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට චකිතයකින් සිටින බව ආණ්ඩුවේ වර්තමාන හැසිරීමෙන් පෙනේ. මෙය පැහැදිලිවම විපක්‍ෂයේ ජයග්‍රහණයකි.

විපක්‍ෂය විසින් අලුතින්ම කරනු ලැබූ අත්හදා බැලීම සැප්තැම්බර් පස් වැනිදා පැවැති ජන බලය
කොළඹට විරෝධතා වැඩසටහනයි. මේ වන විට අවසන්වී ඇති ජනබලය වැඩසටහනද බොහෝ දුරට විපක්‍ෂයේ අපේක්‍ෂාවන් ඉටු කිරීමට සමත්වූ බව ඒ පිළිබඳ අපක්‍ෂපාතී අධ්‍යයනයක් කරන්නකුට පෙනී යයි.

මෑත ඉතිහාසයේ විරෝධතාවක් වෙනුවෙන් එකට එක්වූ විශාලතම ජනතාව රටට දැක ගන්න ලැබුණේ සැප්තැම්බර් 5දා පැවැති ජනබලය කොළඹට විරෝධතා වැඩසටහන සමඟය. දැනට ඇස්තමේන්තු වන ආකාරයට ලක්‍ෂ 2කට ආසන්න ජනතාවක් එදා කොළඹට එක් රොක් වී සිටියහ.

සාමාන්‍යයෙන් පොදු විරෝධතාවකට එක්නොවන ආකාරයේ අය පවා ජනබලයට සම්බන්ධ වී සිටිනු දක්නට ලැබිණි. වෛද්‍යවරු, ඉන්ජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, ව්‍යාපාර කළමනාකරුවන් ඇතුළු වෘත්තිකයන් රැසක්, නීතිඥයන්, අධ්‍යාපනඥයන්, ස්වාමීන් වහන්සේලා, විශ්වවිද්‍යාල සිසුන් හා සාමාන්‍ය පොදු ජනතාව අතර විරෝධතාවට එක්වී සිටිනු දක්නට ලැබිණි.

ජනබලය විරෝධතාව මුල සිටම සැලසුම් කළ පරිදිම ඉතා සාමකාමී එකක් විය. මහජන ජීවිතයට බාධා නොකෙරිණි. මහජන දේපළවලට හානි නොකෙරිණි. කලබලකාරී හැසිරීමක් දක්නට නොලැබිණි. විරෝධතාව අවසන් වූ පසු සියලු දෙනාම එක්ව පරිසරය පිරිසුදු කොට කුණු පිළිවෙළකට ගොඩගසනු දක්නට ලැබිණි.

ජනතාව අවසානයට එකතු විය යුතු තැන 5 වැනිදා සවස් භාගය වන තුරුම රහසක් වශයෙන් තබා ගැනීමට සංවිධායකයෝ සමත් වූහ. බොහෝ දෙනකු යන තැන කලින් නොදැන සිටීම සංවිධානයේ දුර්වලතාවක් යැයි සමහරු වරදවාගත්තද එය සංවිධායකයන් අතර මුල සිටම පැවැති සැලැස්ම විය. එහි ප්‍රතිඵලය වූයේ පොලිසියට කිසිවක් කලින් සැලසුම් කරගත නොහැකිව තමුන්ගේ බළ ඇණි කොළඹ පුරා විසුරුවා තබා ගැනීමට සිදුවීමය. පොලිසිය සතු අධිපීඩන වතුර නළ සහිත බවුසර් කිහිපය තැන් කිහිපයකට විසුරුවා ස්ථාන ගත කරන්නට වීම නිසා පොලිසිය සිටියේත් හදිසි තත්ත්වයක් ඇති වූවා නම් දුවනවා හැර වෙන විකල්පයක් නැතිවය.

මෙවැනි විශාල පිරිසක් කොළඹට පැමිණෙනවා නම් පොලිසියේ තර්ජන ගර්ජනවලට බිය නොවිය යුතු බව ජනතාවට වටහාදීම සංවිධායකයන් ලද විශාල ජයග්‍රහණයක් විය. ජනතාව එන්නේ කොහෙන්ද, යන්නේ කොහෙන්ද කියා තේරුම් ගත නොහැකිව ප්‍රහාරක බළ ඇණි බෙදී, අධිපීඩන වතුර බවුසර්වල සහාය නොමැතිව තෝන්තු වී සිටි පොලිසියට අනාගතයේ ජනතාව මීටත් වඩා බලයකින් පාරට ආ දාට කරන්නට දෙයක් නොමැති බව මින් ඔප්පු විය. විරෝධතාකරුවන්ට අත නොතැබීම රජයේ උපක්‍රමයක් යැයි පෙන්වන්නට උත්සාහ කළාට කාට හෝ අත තිබ්බා නම් අමාරුවේ වැටෙන්නේ කවුදැයි රජය හොඳින්ම දැන සිටි බව පෙනේ. ජන බලයට එරෙහිව උසාවි ගිය පොලිසිය විනිසුරුවන් විසින් ආපසු හරවා එවන ලද අතර සාමකාමී විරෝධතාවන් වළක්වන්නට උසාවි නියෝග ගැනීමද පොලිසියට මින්පසු තවත් අපහසු වනු ඇති බව මින් පෙනී යයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අදටත් රටේ සිටින ජනප්‍රියම දේශපාලනඥයා බව ජනබලය විරෝධතා වැඩසටහනින් තවදුරටත් තහවුරු විය. ලක්‍ෂ සංඛ්‍යාත ජනගඟක් මැදින් මහින්ද රාජපක්‍ෂ මහතා යනු කවරෙක් දැයි රූපවාහිනියෙන් පෙන්වූ දසුන් පෙළ ජනතාවගේ ඔහුට ඇති ආදරය මැනවින් විදහා පායි.

සැබෑ විපක්‍ෂයේ සියලුම බලවේග එක් කරන්නට ජනබල මෙහෙයුම සංවිධායකයෝ සමත් වී සිටියහ. මෙම විරෝධතාවට නායකත්වය සැපයූවේ ඒකාබද්ධ විපක්‍ෂයයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටරට ගොස් සිටින බැසිල් රාජපක්‍ෂ මහතාද තම දේශපාලන යාන්ත්‍රණයේ සම්පූර්ණ සහාය ලබාදී තිබිණි. සාමාන්‍යයෙන් දේශපාලන කටයුතුවලට ප්‍රසිද්ධියේ සහභාගි නොවන ගෝඨාභය රාජපක්‍ෂ මහතාද කල්වේලා ඇතිවම පුවත්පත් නිවේදනයක් හරහා ජනබලයට සහභාගි වන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබිණි. මීට අමතරව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය වියත්මඟ සංවිධානයේ වෘත්තිකයන් රැසක් සමඟ ජනබලයට සහභාගි වෙමින් ජනතාව අතර සැරි සරනු දක්නට ලැබිණි.

ඒකාබද්ධ විපක්‍ෂයේ ජේ‍යෂ්ඨයන් විසින් තරුණ මන්ත්‍රිවරුන්ට සංවිධානයේ වැඩි බරක් කරට ගැනීමට අවස්ථාව ලබාදීමෙන් මේ තරුණ මන්ත්‍රි කණ්ඩායමට අනාගතයට මහෝපකාරී වන අත්දැකීම් රැසක් ලබාගන්නට අවස්ථාව සැලසී තිබිණි. අලුත් අදහස් අත්හදා බලන්නට මින් අවස්ථාව සැලසුණු අතර යම් යම් අඩුපාඩු තිබුණද සමස්තයක් වශයෙන් ජනබලය ඉතා සාර්ථකව නිමා වීම කාගේත් සතුටට කාරණාවක් වන්නට ඇත.

ජනබලය වැඩසහටනේ එක් අඩුපාඩුවක් ලෙස දැකිය හැක්කේ කොළඹට ගලා ආ අති විශාල ජනතාවට තම දේශපාලන නායකයන් දැක බලා ගැනීමට හා ඔවුන්ගේ කතාවලට සවන්දීමට අවස්ථාව නොලැබීමයි. අෑත ගම් පළාත්වලින් මෙවැනි වැඩසටහන් සඳහා සහභාගි වන බොහෝ දෙනකු පුල පුලා බලා සිටින්නේ මේ අවස්ථාව උදාවන තුරුය. එහෙත් සංවිධායකයන් සැලසුම් කර තිබුණේ කතා පැවැත්වීම වෙනුවට සත්‍යග්‍රහයක් බැවින් තරමක් දුරට සාමාන්‍ය පාක්‍ෂිකයන්ගේ බලාපොරොත්තු කඩවූවා විය හැකිය.

ප්‍රමාණවත් තරම් සනීපාරක්‍ෂක පහසුකම් නැතිවීම කොළඹට ඇදී ආ විශාල ජනතාවට බොහෝ වේලාවක් නගරයේ රැඳී සිටීමට තිබූ මූලික බාධකය විය. තාවකාලික වැසිකිළි පහසුකම් මෙතරම් විශාල ජනතාවකට සැපයීම පහසු කාරණයක් නොවේ. ඒ නිසා ජනතාව රාත්‍රිය කොළඹ ගත කිරීමේ සැලැස්මක් ඇතැයි වැරැදි මතයක් යම් දේශපාලනඥයන් විසින් කල්වේලා ඇතිව ප්‍රකාශ කිරීම නොකළ යුතුව තිබුණු වරදකි. අතීතයේ මෙන් කටට ආවක් කියන පුරුද්දක් දේශපාලනඥයන් දැන්වත් නතර කර ගත යුතුය.

ජනබලය කොළඹට විරෝධතාව තේමාවන් රැසක් මුල කරගෙන පැවැත්වුවද එහි අවසාන ඉලක්කය වූයේ කල් තබමින් පවතින මැතිවරණ නොපමාව පවත්වන මෙන් ආණ්ඩුවට බල කිරීමයි. පස්වැනිදා කොළඹට රැස්වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ලොවට දුන් පණිවුඩය නම් ආණ්ඩුවේ අවසාන කාලය ආරම්භ වී ඇති බවත් ආණ්ඩුව කෙරෙහි දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව ඡන්ද කල් දැමීමේ උපක්‍රමයේ දිගටම යෙදී සිටියහොත් අවසාන ප්‍රතිඵලය භයානක විය හැකි බවය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා යැයි කියන අන්තර්ජාතික බලවේගවලටද තම හැසිරීමේ අවංක බව පෙන්විය හැක්කේ තවදුරටත් ඡන්ද කල් නොදමා ප්‍රජාතන්ත්‍රවාදීව මහජන මතය උරගා බලන ලෙස වත්මන් ආණ්ඩුවට බල කිරීමෙනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress