මධුෂ්ට බාරදෙන්න ගිය නියෝජ්‍ය පොලිස්පතිගේ ජනපති ඝාතන කුමන්ත්‍රණයේ සුලමුල
Posted on September 15th, 2018

 උදේනි සමන් කුමාර මහනුවර _ ගයා ශ්‍රී කාරියවසම්උපුටාගැණීම  මව්බිම

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකු කරන ලද කුමන්ත්‍රණයක් හෙළිවීම නිසා දේශපාලන අංශ තුළ මහත් ආන්දෝලනයක් පැනනැඟී තිබේ. මෙම ඝාතන ප්‍රයත්නයට අදාළ සියලු තොරතුරු මේ වන විට ජාතික පොලිස් කොමිසමට භාරදී තිබේ. එකී රහසිගත කරුණු හෙළි කරනු ලැබ තිබෙන්නේ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා විසිනි. ඔහු මෙහිදී එකහෙළා ප්‍රකාශ කරන්නේ 2020 වෙනකොට ගෝඨාභය රාජපක්ෂට හෝ මෛත්‍රිපාල සිරිසේනට හෝ මාකඳුරේ මධුෂ් කියන පාතාල නායකයා යොදවා කරන්න පුළුවන් දෙයක් කරන්න කියා ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තමන්ට පැවැසූ බවය.

නාමල් කුමාර මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

“ඔබ දන්නවා පසුගිය දිනවල මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් ගැටුමක් ඇතිවුණා. එම ගැටුමට සම්බන්ධ යැයි මහසොහොන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තා. එහිදී අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළේ ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ නාලක ඩී. සිල්වා කියන නිලධාරියායි. මෙම අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී එය මානුෂීයව සිදුවුණා කියන තැනක මම නැහැ. ඒ වගේම මට කියන්න පුළුවන් මේ අත්අඩංගුවට ගැනීම් සිදු වුණේ මේ නිලධාරියාගේ පෞද්ගලික අභිමතාර්ථය උඩ බව.

මට එය ඔප්පු කළ හැකියි. මම රටේ ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමින් සාක්ෂි කීපයක් පමණක් ඔබට ඉදිරිපත් කරනවා.

මොහු ශ්‍රී ලංකා පොලිසියේ සිටින දූෂිත නිලධාරියෙක්. මම ඒ බව තේරුම් ගත්තේ දැනට වසරකට පමණ ඉහතදී. ජාත්‍යන්තර ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් මට එක් අවස්ථාවක තොරතුරක් ලැබුණා. මම පොලිස්පතිතුමාව දුරකතනයෙන් සම්බන්ධ කරගෙන එතුමාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. ඒ අනුව පොලිස්පතිතුමා මාව ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සම්බන්ධ කළා. ඒ අනුව මම ඔහු සමඟ කටයුතු කරන්න පටන් ගත්තා. රොහින්ග්‍යා සරණාගතයන්ගේ ප්‍රශ්නය ඇති වූ අවස්ථාවේ ඔහු මට කතාකර යම් යම් උදවු ඉල්ලා සිටියා. මම ඔහු සමඟ පරෙස්සමින් කටයුතු කළා.

මම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළා මේ සිදුවීම්වලින් අපට තිබෙන ප්‍රයෝජනය කුමක්ද කියා. එවිට ඔහු පැවැසුවා මේවා තමාට යම් දවසක පොලිස්පති වීමට මේක හේතු වන බව.

මම එතැනට ගියොත් අපි දෙන්නටම හොඳ බව ඔහු කීවා. මම කල්පනා කළා රටේ නීතිය, සාමය ආරක්‍ෂා කිරීමට එතුමා මේවා කරනවා නම් හොඳයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් පොලිස්පති වීමේ සිහිනය නිසා මේවා කරනවා නම් අපට ඒ ගැන නැවත හිතන්න වෙනවා.

ඔබ දන්නවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට යම්කිසි වපසරියක තමයි කටයුතු කරන්න සිදුවන්නේ. ඒ නිසා මේ පුද්ගලයා කුමන්ත්‍රණ දියත් කරනවා රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා ඒ තනතුරින් ඉවත් කරන්න.

මා ළඟ ඒ පිළිබඳ සාක්‍ෂි තිබෙනවා. ඒ තොරතුරු අපි ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කරනවා.

ඊළඟට ඔහු මට කියනවා, ජනාධිපති ගැන, අපට විශ්වාස කරන්න බැහැ. අපි අගමැතිතුමා ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඕනෑ. 2020දී ගෝඨාභය රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල සිරිසේන දෙදෙනා එකතු වෙනවා. දැනටත් ඔවුන් අතර සම්බන්ධයක් තියෙනවා. මේ වනවිටත් ජනපති, අගමැති දෙදෙනා අතර ගැටුමක් තියෙනවා.

අපට ජනාධිපතිතුමා විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපට බැරිම අවස්ථාවක් ආවොත් 2020ට ළං වෙනකොට ගෝඨාභය රාජපක්ෂට හරි මෛත්‍රිපාල සිරිසේනට හරි මාකඳුරේ මධුෂ් යොදවලා කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා මට කිව්වා. එතැනදී මම ඇහුවා මොන වගේ දෙයක් කරන්නද කියන්නෙ කියලා. එවිට මට කිව්වා, “ඕනෑම දෙයක් කරන්න. මොකද ගෝඨාභය එක්කත් මධුෂ්ගෙ ප්‍රශ්නයක් තියෙනවා.

ඒ වගේම මෛත්‍රි එක්කත් මධුෂ්ගෙ ප්‍රශ්නයක් තියෙනවා.” කියලා මම ඒව වැඩියෙන් විස්තර ඇහුවම මධුෂ් කියන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල නායකයෙක් කියා මට පැහැදිලි කළා. මධුෂ් මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට පත්වෙලා අවුරුද්දක විතර කාලයක් අත්අඩංගුවේ සිටි බව කිව්වා. ඒ කාලේ මධුෂ් සමඟ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයක් ඇති කරගත් බවත් මධුෂ් ඩුබායිවලට ගියාට පසුත් ඒ සම්බන්ධකම දිගටම පවත්වාගෙන යන බවත් කිව්වා. මෛත්‍රිපාල සිරිසේන වර්තමානයේ මත්ද්‍රව්‍යවලට වැට බඳින නායකයා නිසා මාකඳුරේ මධුෂ් ඒ චරිතය විනාශ කරන්න පෙරමුණ අරගෙන සිටිනවා කිව්වා. ඒකට නාලක ද සිල්වා මහත්තයා සහයෝගය ලබා දෙනවා.

මේක කරන්න එතුමා මට කිව්වා. මම මෑත කාලෙ සම්බන්ධකමක් හදාගත්තා නැඟෙනහිර පළාතේ දේශපාලන නායකයෙක් එක්ක. ඔහුගේ නම පුෂ්පරාජ්. දෙමළ පක්ෂයකින් පළාත් සභාවෙ වැඩිම ඡන්දගත් පුද්ගලයෙක්. ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් මට මොහු ගැන සැකයක් ඇති වූ නිසා මම ඔහු ගැන නාලක ද සිල්වා මහතාට දැනුම් දුන්නා. එවිට එතුමා මට කිව්වේ අපි විමර්ශන කටයුතු කරගෙන යමු. හැබැයි මඩකළපු හරි අම්පාරෙ හරි ජනාධිපතිතුමා යන වෙලාවක අපි ගහමු. ගහලා පුෂ්පරාජ්ගෙ පැත්තට අනිවාර්යයෙන්ම මේ කේස් එක දමමු කියලයි. අපට එහෙ සම්බන්ධකම් තියනවා. සාක්ෂි මොනව හරි ටිකක් එකතුකර ගන්නත් පුළුවන්. අපි මේ කේස් එක ඒ පැත්තට දමමු කිව්වා.

මම හිතුවා මේක තවදුරටත් සඟවාගෙන සිටීම සුදුසු නැහැ. ඒ වගේම මම දන්නවා පසුගිය දවස්වල සිදුවූ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් වුණෙත් මේ විදියට තමයි. මම මා සතුව තියෙන තොරතුරු ඔබට කිව්වා. නමුත් හැම දෙයක්ම මම කියන්නේ නැහැ. රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසා. මට විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ ශ්‍රී ලංකා පොලිසියේ නාලක සිල්වා කියන්නේ පෞද්ගලික අභිමතාර්ථ අනුව වැඩ කරන චරිතයක්.
මොහුට විරුද්ධව අගොස්තු 29දා පුවත්පතක ලිපියක් පළවුණා. නියෝජ්‍ය පොලිස්පතිගේ උපාධි සහතිකේ කොස්සක් කියලා. ඒ ගැනත් යමක් කියන්න ඕනෑ. ඔබ දන්නවා ප්‍රාථමික පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා නම් ඒ පුද්ගලයා මේ වනවිට වැඩ තහනමට ලක්වෙලා. ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙන්නෙක් පැමිණිල්ල ඉදිරිපත් කර තිබියදීත් මේ ප්‍රශ්නය ගැන මේ වනතුරු පියවරක් ගෙන නැහැ. කළ යුතු හොඳම දේ වැඩ තහනමට ලක්කර විමර්ශනයක් සිදුකිරීම. මෙතෙක් එය සිදුව නැහැ.

දැන් මා ඉදිරිපත් කළ කාරණා සම්බන්ධව මා සතුව තිබෙන සාක්ෂි කීපයක් මා ඔබට දෙනවා. අනෙක්වා පොලිස් කොමිසමට දුන්නාට පසුව තොරතුරු දැන ගැනීමේ පනතට යටත්ව ඔබට ලබා ගන්න පුළුවනි.

මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ මා සම්බන්ධවී මාස දෙකකට වඩා නැහැ. ඔහු මේ දේවල් මා සමඟ කීවේ ඇයිදැයි මා දන්නේ නැහැ. මා ඔහු ගැන සොයා බැලුවා. පොලිසියේ බොහෝ දෙනකු කියන්නේ ඔහු පිළිබඳ හෙළිදරව් කරන්න, ඒක රටට ජාතික වශයෙන් සිදුකරන ලොකු සේවයක්, පින්කමක් කියලායි. මොහු බොහෝ අයට පීඩා හිංසා කරන නිලධාරියෙක්. මම හැප්පෙන්නෙ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් එක්ක.

මම මේකට අත ගහන්නෙ දිනන්න බලාගෙන. මම පැරදුණොත් මට වෙනදේ හිතා ගන්න පුළුවන්නෙ. මෙතැන මගේ ජීවිතයටත් ලොකු තර්ජනයක් තියෙනවා. මේ වගේ මිනිස්සු රටට හෙළිදරව් කරලා ජීවිතේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. රටට තියෙන පිළිලයක් නැති කරලා මැරෙන එක වටිනවා. අපි හරිදේ සාධාරණ දේ කරන්නේ. අපේ ජීවිතයට කිසිම කෙනකුට වරදක් කරන්න බැහැ කියන විශ්වාසය මට තියෙනවා.
නාමල් කුමාර මහතා ප්‍රසිද්ධ කළ හඬ පටවල ඇසෙන දෙබස් මෙසේය.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා.

මට අමතර වැඩ වැඩියි බං. දින 14ක් රට ගියානෙ. මම හිරවෙලා ඉන්නේ ඒකයි.

නාමල් කුමාර
මම එක පාරටම බය වුණා. සර් ෆෝන් ඕෆ් කරලා. අමිත් වීරසිංහගෙ කේස් එකෙන් පස්සෙ සර්ට කේස් එකක් ආවද කියලා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා
කේස් නම් ඇවිත් තිබෙනවා. එක එක්කෙනා මට මඩ ගහනවා. මම ඒවට බයත් නැහැ. මම ඒවා ගනන් ගන්නෙත් නැහැ. මම දවස් දාහතරක් රට ගිහින් හිටියා. දැන් ප්‍රශ්නයක් නැහැ. උඹට බැරිද මිනිහට විරුද්ධව හාමුදුරුවරු අතේ පත්තු කරන්න.

නාමල් කුමාර _ එස්.අයි.එස්. ලොක්කටද

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා – ඔව්

නාමල් කුමාර _ කිසි ගැටලුවක් නැහැ. මට හරි තොරතුරු තමයි ඕනෙ සර්
නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –

මම තොරතුරු දෙන්නම්. කොහොම හරි එයාගේ අතේ යවන්න. කෙළින්ම පීචං කරලම දාන්න ඕනෙ. ඒ කියන්නේ අමිත් වීරසිංහ ගාවට මෙයා මිනිස්සු දාලා අමිත් වීරසිංහව අමාරුවෙ දැම්මෙ මෙයා කියන එක පත්තු කරන්න ඕනෙ. ඩී.අයි.ජී. නුවර නෙවෙයි ඩී.අයි.ජී. එස්.අයි.එස්. කියලා යවන්න ඕනෙ. බෞද්ධ සංවිධාන හරහා කතා පතුරවන්න. මෙයාගේ මිනිස්සු අමිත් වටකරගෙන ඉඳන් අමිත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ කළේ මෙයා. එයා කළේ කොන්ත්‍රාත්තුවක් කියලා පතුරවන්න. අමිත් වීරසිංහ බින්දුවට දාලා අල්ලන තත්ත්වයට පත් කළේ මෙයා කියන්න. එවිට ඒ සෙට් එකම මෙයත් සමඟ තරහ වෙනවා.
නාමල් කුමාර _
මොකක්ද නම සර්? එයාගෙ මට නම මතක නැහැ.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –

නිලන්ත ජයවර්ධන

නාමල් කුමාර –

අගමැතිවරයා එයාව විශ්වාස කරනවද සර්.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –

අගමැතියි, ජනාධිපති දෙන්නම

නාමල් කුමාර _

ඒ දෙන්නම විශ්වාස කරනව නේද?

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –

හම්. ඔය ප්‍රචාරය ඇරියොත් එහෙම අගමැතිතුමා අතඅරිනවා ටක් ගාලා.

නාමල් කුමාර _
ලතිෆ් මහත්තයා ගැන මට දැනගන්න ලැබුණා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –

එයා එස්.ටී.එෆ්. එකෙන් අයින් කරන්න ඕනෙ.

නාමල් කුමාර _
එයාට නාකොටික් එක තියෙනව නේද සර්.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –

නාකොටික් කියන එකෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. එස්.ටී.එෆ්. එකෙන් අයින් කළා නම් ඔක්කොම බලය බිඳෙනවා. එස්.ටී.එෆ්. එකේ ඉන්න නිසා තමා එයාගෙ බලේ තියෙන්නේ.

නාමල් කුමාර _
මගේ යාළුවෙක් ඉන්නවා නාකොටික් එකේ. එයා කීවා පොලිස්පතිතුමා එස්.ටී.එෆ්. එකට දෙන ප්‍රතිපාදන නවත්තලා කියලා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඒක බොරු කතාවක්. දැන් මිනිසුන්ට එස්.ටී.එෆ්. භීතිකාවක් හැදිලා. දැන් අපිනෙ මහසොහොනා ඇල්ලුවේ. එස්.ටී.එෆ්. එක ගිහිල්ලද නැහැනෙ. අපිට කරන්න පුළුවන්. පොලිසියෙ මිනිසුන්ට කරන්න පුළුවන්. එස්.ටී.එෆ් එකක් මොකටද. බොරු භීතිකාවක් හදාගෙන එස්.ටී.එෆ්. එස්.ටී.එෆ්. කියනවා.

නාමල් කුමාර _
සර් කිව්ව ආකාරයට ෆේස්බුක් එකක් හදලා දාන්න ඕනෙ. අද ෆේස්බුක් එක තමයි හොඳම මාධ්‍යය. එක පැයෙන් මුළු රටම, ලෝකයම දැනගන්න පුළුවන්. බස් එකේ ,ට්‍රේන් එකේ යන ගමන් වුණත් ඕන කෙනෙක් බලනවා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඕකට හදන්න බැරිද එකක්

නාමල් කුමාර-
බෑ සර්. මේකට හදන්න බැහැ. කට්ටිය දන්නවා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඔය මැරුණු එක්කෙනකුගේ දෙන්නකුගේ නමට හදන්න බැරිද.

නාමල් කුමාර _
පුළුවන් සර්. ගොඩක් හදන්නේ එහෙමයි. තාක්ෂණයත් තියෙනවානේ.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ප්‍රවේශමෙන්. තාක්ෂණයත් තිබෙනවා. ඒ වගේම නීතියත් තියෙනවා. මඩ ගහන්න ගිහින් අන්තිමට ඇතුළෙ තමයි ඉන්න වෙන්නේ. මම ගහන්න ඕනෙ ඇමට් එක ගහලා ඉවරයි. ඒ ඇමට් එකට මූ ඉවරයි. නැඟිටින්න බැරිවෙන්නම ගහනවා. නමුත් මට මේක වෙන්න ඕනෙ. සාලිය රණවක සහ ඩෑන් ප්‍රියසාද් මුගෙත් එක්ක එකතුවෙලා ගමනක් යන්න යනවානේ. ඒක බ්ලොක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් මට ඕනෙ. ඒ කියන්නේ මම අරිනවා ෆේස්බුක් එකවුන්ට් එකක්. ඒ ෆේස්බුක් එකට මේ දෙන්නා කරන අලුගුත්තේරු වැඩ ගැන තොරතුරු දෙන්න ඕන. අපි ඒක දම්මල ගස්සනවා. ඊට පස්සේ මුන් දෙන්නා පීචං කරන්න ඕනෙ එන ඡන්දෙට ඉස්සරවෙලා. දෙන්නකුට තුන්දෙනකුට ගහන්න දුන්නොත් ගහන්න පුළුවන්ද?

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
දැන් මාත් එක්ක සම්බන්ධකම් තියෙන්නෙ කවුද, උන් අල්ලනවා.

නාමල් කුමාර –
ඇත්තටම සර්ට බයකුත් ඇති.
නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
මට බයයි. බය නිසා තමයි අල්ලන්නෙ.
නාමල් කුමාර-

එස්.අයි.එස්. ලොක්කට හිතෙනව ඇතිනෙ සර් යම්කිසි දවසක එතෙන්ට එයි කියලා. ඒකනෙ එයා මොනව හරි ගේම් ගහලත් ඇතිනෙ.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා-
අනිවාර්යයෙන්ම, ගේම් නෙවෙයි හම්බ කරනවා. ඉන්දියාවෙ බුද්ධි අංශ තමයි එයාට ස්පොන්සර් කරන්නෙ. මම ඒව ඔක්කොම දෙන්නම් ඔයාට. ඉන්දියාවෙ බුද්ධි අංශ මෙයාට බිස්නස් එකක් සෙට් කරලා තියෙන්නෙ මෙයාව බලාගන්න. මිලියන ගාණක බිස්නස් එකක්. එයා රිටයර් වුණාමත් ඒ බිස්නස් එකෙන් ජීවත් වෙන්න පුළුවන්.

නාමල් කුමාර-
ඩී.අයි.ජී. නන්දන මුණසිංහ කියලා කෙනෙක් ඉන්නව නේද?

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
එයා තමයි ලොකුම කරදරේ. බඩු පොට්වලින් හම්බු කරනවා. දූෂණ ගුහාවක්.

නාමල් කුමාර
සීනියර් ඩී.අයි.ජී. කෙනෙක් නේද. මට මතකයි ගිය අවුරුද්දේ මේ කාලෙ හිටියා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
එයා තමයි, අක්මීමන දයාරතනලට ඇප දෙන්න මූලික වෙලා වැඩ කළේ. මම ඔයාට කතා කළොත් ඔයා ෆෝන් එකට එන්න.

නාමල් කුමාර _
මගේ ෆෝන් එකටද සර්.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඔය මොබිටෙල් ෆෝන් එක ගඟට විසි කරලා දමන්න. හොයා ගන්න බැරි වෙන්නම ගඟට විසි කරන්න. ඒ ෆෝන් එකට වෙන සිම් දාලා කතා කරන්න එපා. මම ඔයාට වෙන ෆෝන් එකක් ලබන සුමානෙ ලැබෙන්න සලස්වනවා. අපේ ඔෆිස් එකට ෆෝන් 5ක් විතර ගන්නවා. එයින් එකක් ඔයාට මම දෙන්නම්. සිම් එකකුත් දාලා. ඒ සිම් එකෙන් මට විතරක් කතා කරන්න. ඒ කතා කරන කොටත් ගෙදර ඉඳන් ගන්න එපා. කිලෝමීටරයක්වත් අෑතට ගිහින් ගන්න. ඔයා මතක තියාගන්න ඔයාගෙ පස්සෙන් දැන් එස්.අයි.එස්. එක ඉන්නවා. තාක්ෂණයෙන් බේරෙන්න කිලෝමීටරයක් අෑතට ගියාම ඉවරයි. එතකොට හොයා ගන්න බෑ. මමත් ඒ වගේම නොම්මරයක් තියෙන ෆෝන් එකක් ගන්නවා. එතකොට අපි දෙන්නට විතරක් කතා කරන්න පුළුවන්.
අනිත් එක තමයි මම කියන්න හිටියෙ ඇල්පිටියෙ ඉන්නවා නිහාල් තල්දුව කියලා එකෙක්. උෟ ඔය හාමුදුරුගොල්ල එක්ක හොඳටෝම ෆිට්.

නාමල් කුමාර _
පොලිසියෙ කෙනෙක්ද සර්?

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඔව්, ඇල්පිටියෙ එස්.පී. එයා ඇවිල්ල බැසිල්ල, ගෝඨාභයල, බොදුබල සේනාව, ඔය කා එක්කත් හොඳටම ෆිට්. අන්න එයා ඔය සංවිධාන එක්ක තියෙන සම්බන්ධෙ ගැන තොරතුරු හොයල දෙන්න ඕන. එයා කට්ටියට දෙන පොලිස් උපදෙස්, නීති උපදෙස් මොනවද කියලත් හොයලා තියාගන්න. මතක තියාගන්න නම නිහාල් තල්දූව.

උදේනි සමන් කුමාර
මහනුවර _ ගයා ශ්‍රී කාරියවසම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress