ලේවල බැඳීම
Posted on September 15th, 2018

 උපුටාගැණීම  මව්බිම

ලංකාවේ දේශපාලනය දෙබරයක් නම් ඊට ගල් ගැසුවාක් මෙන් ඊඩඥ ඩ්ඪදඤභ පුවත්පත පසුගියදා ඉන්දියාවට ගිය මහින්ද එහිදී කළ කතාවක් වාර්තා කරමින් රටම කැලඹීය. මහින්ද ඉන්දියාවේදී කීවේ ආවාට ගියාට කටට ආ පළියට කී කතාවක් නම් නොවේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්දගේ ධුර කාලය අවසන් වී ඇති නිසා 2019 වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන්නේ තමා බව මහින්ද එහිදී කියා තිබීම විශේෂයකි.

එසේම 19 වැනි සංශෝධනය තිබුණත් තමාට තරග කළ හැකි බවට අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර යහපත් තීන්දුවක් ගත හැකි බවත්, එසේ හොඳ තීන්දුවක් ගත හැකිවී නම් තමා ජනාධිපති තනතුරට තරග කරන බවට ඉඟියක්ද මහින්ද ලබාදී තිබේ. එහි ඉතා වැදගත්ම ප්‍රකාශය නම් මහින්දට එසේ තරග කරන්නට බැරි වූයේ නම් නිසැක වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමන්ගේ සොහොයුරකු බවයි.

දැනට මහින්දගේ සොහොයුරන් වශයෙන් ගතහොත් චමල්, බැසිල් හා ගෝඨාගේ නම් කියැවෙතත් ජනතාව අතර වඩාත් දැනටත් කතාබහට ලක්වී ඇත්තේ ගෝඨාභයයි.

‘ගෝඨා විනයක් ඇති රටක් හැදුවා. බොරු කරන්න බෑ. වැඩ හරියට තියෙන්න ඕන. වේගයෙන් රට දියුණු කරන නායකයෙක් වේවි’ යන අදහස පොදුවේ ජනතාව අතර පැවැතීම මේ අදහසට ජීවය සපයන්නක් වී ඇත.
කෙසේ වෙතත් මහින්දගේ ප්‍රකාශය ඉන්දියාවත් ලංකාවත් කලඹන්නක් වීම නිසා මේ සොහොයුරා කවුදැයි කතාබහට ලක්වීම වළක්වන්නට බැරි තරම්ය. එහිදී සංවිධාන ශක්තියෙන් නිපුන බැසිල්ද, යමක් වඩාත් නිවැරැදිව හා ඉතා ඉහළින් කළ හැකි බව ඔප්පු කළ ගෝඨාද වැදගත්ය. ගෝඨා එන බව දැන ගත්තාක් මෙන් ඉන්දියානු මාධ්‍ය මහින්දගෙන් හරස් ප්‍රශ්න අසමින් පිළිතුරු අපේක්‍ෂා කරද්දී මහින්ද ‘මගේ සහෝදරයා තරගයට ඒවි’ යන්න කීම තත්ත්වය තවත් උණුසුම් කරවා ඇත.

නාමල්ට වයස 35 සම්පූර්ණ වී නැති නිසා ඔහුට තරග කරන්නට නොහැකි වන්නේය යන්නද මහින්ද කියා තිබේ. නාමල්ට බැරි නම් ‘මගේ සහෝදරයා’ය කියා මහින්ද කීවේ ඒ ‘ගෝඨා’ බවට සැක කිරීමක් ‘ද හින්දු’ පුවත්පත විශ්වාස කළේද යන්නද විවාදිතය. එසේ නම් මහින්දගේ වචනවලින් කියතොත් ‘සියලු දෙනාටම පිළිගත හැකි අපේක්‍ෂකයකු’ වශයෙන් දක්වන්නේ කවුරුන්ද යන්න ‘ද හින්දු’ පුවත්පත පෙරළා ප්‍රශ්න කළේ නැත. ඒ අනුව දැනට ජනතාව අතර වඩාත් කතාබහට ලක්වී ඇති ප්‍රමුඛ චරිතය ‘ගෝඨා’ ‘වීම වැළැක්විය නොහැකි තත්ත්වයකි. ඒ අනුව ‘ගෝඨා’ ගේ පැමිණීම ප්‍රතිවාදීන් දුර්මුඛ කරන්නේය. ඔවුන්ගේ ජයග්‍රාහී මානසිකත්වය අවුල් කරන්නේය. ‘ද හින්දු’ පුන පුනා වටින් ගොඩින් මහින්දගෙන් විමසා සිටියේ මේ ඇත්ත තව තවත් මතු කර ගන්නටය.

එසේ නම් ‘ගෝඨා’ ව වැළැක්වීම හෝ ගෝඨා දුර්මුඛ කිරීමට විරුද්ධ පාර්ශ්ව පෙලඹීම සිදුවිය හැක්කකි. ගෝඨා මේ මොහොතේ ගත කරන්නේ එවැනි විරුද්ධ පාර්ශ්වයේ කකුල් මාට්ටු වට්ටවන කරදර වැඩි කරන කඩාකප්පල් කිරීම් තත්ත්වයක් මැදය.

ගෝඨා නිශ්චිත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි යන්න කියා නොමැති තත්ත්වයක් තුළ විරුද්ධ පාර්ශ්වය කැලඹීම තුළම ඔහුගේ පැමිණීමෙන් එහි උණුසුම මතු කරවන්නේය. ගෝඨා සෙන්පතියකු ලෙසත්, ආරක්‍ෂක ලේකම්වරයකු ලෙසත් දක්‍ෂතා දක්වා තිබීම නිසා මේ සෙලවීම බරපතළය. දැක්මක් සහිතව ‘ගෝඨා’ පැමිණීම ඊට හේතු වන්නේය.

‘ද හින්දු’ පුවත්පත එසේ දැනෙන හැඟෙන පැනයක් හැටියට මතුකර තිබෙන වාතාවරණය නිසාම ‘ගෝඨා’ දේශපාලන වශයෙන් වැදගත් වීම කතාබහට ලක් කරන්නේය. එසේ නම් ගෝඨාට වටිනාකමක් ලැබී තිබෙන පසුබිම වටහා ගත යුතුය. මේ ගෝඨාගේම අදහස්වලින් බිඳක්ය.

‘යම් කෙනකු උපයන මාසික ආදායමෙන් කෙරෙන වැඩ කොටස අසීමිතය. කෑමට, බීමට කොටසකි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට තවත් කොටසකි.

නිවෙසක් ඉදිකිරීමට ලබාගත් ණය වෙනුවෙන් තවත් කොටසක් වෙන් කෙරෙනු ඇත. එදිනෙදා තව තවත් අවශ්‍යතා මතුවන බවද පැහැදිලිය. යම් සුළු කොටසක් හෝ ඒ වෙනුවෙන් වෙන්කර තැබීමට සිදුවනු ඇත. මේ සියල්ල සමඟ අනාගතය ගැන සිතා යම් කොටසක් ඉතිරි කිරීමද අත්‍යවශ්‍යය. එකී ඉතිරි කිරීම හුදෙක්ම එම පවුලේ හෝ පුද්ගලයාගේ යහපතට පමණක් හේතුවන්නක් නොවේ. සමස්ත රටේ ඉතුරුම් කෙරෙහි එය බලපානු ඇත. යම් ප්‍රතිශතයක් ඉතිරි නොකළහොත් ඒකාකාරී ජීවිතයකට ජනතාව හුරුවනු ඇත.

එය සාමාන්‍ය ජන ජීවිතයේ මෙන්ම සමාජයේද ප්‍රශ්න නිර්මාණය වීමට හේතුවකි. ඒ නිසා රජයේ ආදායම් තරකර ගැනීමට ජනතාව පිට අසීමාන්තිකව බදු පැටවීම නොකළ යුතුය. ඒ වෙනුවෙන් විකල්ප ක්‍රම අනුගමනය කළ යුතුය.’

ගෝඨාභය රාජපක්‍ෂ – (2018.08.16)
ජනතාව හිතන පතන පැත්තක සිට ගත් ගෝඨා රටේ ආදායම සොයාගත යුතු වන ආකාරය එසේ දැක්වීමක් කළේය. ආර්ථිකයේ ඉතා වැදගත් ක්‍ෂේත්‍ර ගැනද ඔහුගේ මතය වැදගත්ය. මේ එවැන්නකි.

‘තේ ආර්ථිකය ආරක්‍ෂා කර ගත යුතුය. ‘සිලෝන් ටී’ ලෝක ප්‍රසිද්ධය. ලොව හොඳම තේ ලංකාවේය. පිටරටවලින් තේ ගෙනැවිත් ඒවා අපේ තේවලට මිශ්‍ර කර අපනයනය කළේ විවිධ අයගේ විවිධ මත නිසාය.
ලෝක වෙළෙඳපොළත් සමඟ තරගකාරී විය යුතු බව සැබෑවකි. ඒ වගේම සිලෝන් ටී නාමයට ආකර්ෂණය වූ ඉහළ වෙළෙඳපොළක් තිබේ. මේ ඉහළ වෙළෙඳපොළටත්, පහළ වෙළෙඳ පොළටත් දෙකටම ගැළපෙන තේ නිෂ්පාදනයට වගබලා ගත යුතුය.’

ගෝඨාභය රාජපක්‍ෂ – (2018.07.26)
රටේ ආරක්‍ෂාව පිළිබඳ ගෝඨා සතු දැක්ම ඉතා වැදගත්ය. කුමන පාර්ශ්වයක අය හෝ වේවා එම දැක්මට ගරහන්නේ නැත. ඒ අනුව ගෝඨා කියූවක් මෙසේය.

‘ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි සාධක සම්බන්ධව සුළු හෝ හෝඩුවාවක් දැනුණහොත් ඒ පිළිබඳ නිදහස්ව ක්‍රියා කළ යුතුය.’

‘බුද්ධි අංශ සහ ආරක්‍ෂක අංශවලට කටයුතු කිරීමට අවශ්‍ය නිදහස ලබාදීම බලධාරීන්ගේ වගකීමකි. යම් සිද්ධියක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් නිදහස් පියවර ගැනීමට අවකාශය හැකි නැතිනම් වඩා බරපතළ තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. දේශපාලන බලපෑම් කිරීමට ගියහොත් වඩා නරක අතට ප්‍රශ්නය පෙරළෙන්නට පුළුවන. සංහිඳියාව යැයි සිතා බලපෑම් කිරීමෙන් අනාගත අර්බුදයකට මඟපාදනු නිසැකය. මුළු රටටම එයට මුහුණ දීමට සිදුවන බවද අමුතුවෙන් කිවයුතු නැත.’

ගෝඨාභය රාජපක්‍ෂ – (2018.07.19)

ගෝඨා විවෘත ආර්ථික ක්‍රමයට විරුද්ධ නැතත් එය මෙරට ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන ඔහුට ඇත්තේ වෙනස් මතයකි. මේ ඒ ගැනය.

‘තාක්‍ෂණයෙන් වැඩි, ඉහළ වැටුප් ලබාගත හැකි තාක්‍ෂණික කර්මාන්ත ආකර්ෂණය කර ගත්තා නම් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවකාශය තිබිණි. ලෝකයේ සෑම රටක්ම විශාල තරගයකට එක්වී තිබේ. හොඳ ආයෝජන ගෙන ඒමට අවශ්‍ය වෙනස්කම් කරගැනීමට යොමුව නැත. නීතිරීති රෙගුලාසි සහ අනෙක් බාධක පිළිවෙත් වෙනසකට ලක්කර නැත. මේවා වෙනස් කරගෙන ශ්‍රම අධික කර්මාන්ත වෙනුවට දැනුම අධික කර්මාන්ත ස්ථාපිත කර නිදහස් වෙළෙඳ කලාප දියුණු කළා නම් අනෙක් රටවල් මෙන් මේ වන විට ඉහළ මට්ටමක පත් වන්නට තිබිණි.’

ගෝඨාභය රාජපක්‍ෂ – (2018.08.10)
මෙවන් දැක්මක් සහිතව මහින්දගේ නායකත්වය යටතේ පෙරට එන ගෝඨා වැන්නන්ට පෙරළා පහරදී දේශපාලනික වශයෙන් පසුපසට තල්ලු කර දැමීම හෝ දුර්මුඛ කිරීම ප්‍රතිවාදියාගේ ස්වභාවයය. එබැවින් මේ ගත වන්නේ කුමන හෝ චෝදනාවක් ගොනු කර ගෝඨා කොටු කර ගෝඨා නිහඬ කරන ක්‍රියාදාමයක් යැයි ප්‍රකාශ වන්නේ නිකමට නොවේ.

වැඩ කළ හැකි මිනිසුන්ට වැඩ කරන්නට මං පෙත් විවර කරදීම ජනතාවගේත් සමාජ දේශපාලන බලවේගයන්ගේත් යුතුකමය. එබැවින් ගෝඨාට එරෙහිව අභූත චෝදනා නඟමින්, ගොනු කරමින් උසාවි ගාණේ රස්තියාදු කරවන්නට ඉඩ හැර පළිගැනීම නොකළ යුත්තකි. ඇඟිලි සලකුණු ලබාගෙන අපරාධකාරයකුට මෙන් සලකමින් මානසිකව වැට්ටවීම කොතරම් සාදාචාර සම්පන්නද යන්න අද සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබෙන්නේ එම පළිගැනීම්වල බර දැනෙන නිසාය.

එහෙත් ගෝඨා සහ මහින්ද මෙන්ම චමල් හා බැසිල්ද සතුරු බල කඳවුරු හරහා එල්ල කරන මේ පොදු ප්‍රහාරය හමුවේ එක්සත්ව ඊට මුහුණ දේවිය යන්න ජනතාව විශ්වාස කරන දෙයක්ය. ඉවසීම හා දරාසිටීම මේ කෝකටත් වඩා ඇඟට ගුණය. ඉන් ජයක්ම ලැබෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress